The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

සෙවැණැල්ලෙන් ඈතට යයි නම් මායාවක් තුළ නතර වෙයි - හරුකි මුරකමි

T

The Leader Desk

April 14, 2023 • 9:30 AM

සෙවැණැල්ලෙන් ඈතට යයි නම් මායාවක් තුළ නතර වෙයි - හරුකි මුරකමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අපි පිටස්තරයන්ගෙන් ඈත් වී ඉඳීමට කෙතරම් උස් ප්‍රාකාර තැනූවද, අපි කෙතරම් නම් පිටස්තරයන් අපෙන් ඈත් කොට තැබීමට වෑයම් කළ ද අප අපට ගැළපෙන ආකාරයෙන් අපේ ඉතිහාසය නැවත නැවතත් ලිවීමට උත්සාහ කළ ද එය කෙළවර වන්නේ අපටම හානී කර ගැනීමෙන් සහ රිදවා ගැනීමෙන්” යැයි එහිදී ඔහු අනතරු අඟවයි.
  • එමෙන්ම යම් කිසිවක ආලෝකමත් පක්ෂයක් ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ අන්ධාකර පක්ෂයක් ද සැමවිටම පවතිනවා.
  • එක් පසෙක ධනාත්මක දේ ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ පස සෘණාත්මක දේ ද දක්නට හැකියි.
  • මන්දයත් මිනිසුන්ට නිතරම උවමනා කරන්නේ තමන් තුළ ඇති අඳුර හෝ නිෂේධනාත්මක දේවල් දෙස නොබලා ඉන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):



“අපි පිටස්තරයන්ගෙන් ඈත් වී ඉඳීමට කෙතරම් උස් ප්‍රාකාර තැනූවද, අපි කෙතරම් නම් පිටස්තරයන් අපෙන් ඈත් කොට තැබීමට වෑයම් කළ ද අප අපට ගැළපෙන ආකාරයෙන් අපේ ඉතිහාසය නැවත නැවතත් ලිවීමට උත්සාහ කළ ද එය කෙළවර වන්නේ අපටම හානී කර ගැනීමෙන් සහ රිදවා ගැනීමෙන්” යැයි එහිදී ඔහු අනතරු අඟවයි.

“සෑම අයෙකුටම සෙවණැලලක් තිබෙන්නාක් මෙන්, සෑම සමාජයකටම සහ ජාතියකටම සෙවණැල්ලක් තියෙනවා. එමෙන්ම යම් කිසිවක ආලෝකමත් පක්ෂයක් ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ අන්ධාකර පක්ෂයක් ද සැමවිටම පවතිනවා. එක් පසෙක ධනාත්මක දේ ඇත්නම් එයට ප්‍රතිවිරුද්ධ පස සෘණාත්මක දේ ද දක්නට හැකියි. අප බොහෝ විට සෙවණැල්ලෙන් හෝ සෘණාත්මක දේවලින් අපේ දෑස් ඉවතට ගන්නවා. නැතිනම් බලහත්කාරයෙන් ඒ දේවල් ඈත් කොට තබා ගන්නවා. මන්දයත් මිනිසුන්ට නිතරම උවමනා කරන්නේ තමන් තුළ ඇති අඳුර හෝ නිෂේධනාත්මක දේවල් දෙස නොබලා ඉන්නයි. එහෙත් කිසියම් රූපයක් එහි නියම ඝනකමින්, ත්‍රීමානීය ගුණයෙන් යුක්තව දිස් වීමට නම් ඔබට සෙවණැලි අත්‍යවශ්‍යයි. ඔබ සෙවණැල්ලෙන් ඈතට යන්නේ නම් ඔබ පැතලි මායාවක් තුළ නතර වනු ඇති. සෙවණැලි මතු නොකරන ආලෝකය කිසිවිටක සැබෑ ආලෝකයක් වන්නේ නැහැ” හැටහත් හැවිරිදි නවකතාකරු පවසයි.


සෙවණැල්ල සමඟ ජීවත්වීම


ඔහු මෙසේද කියයි.

“ඔබට ඉතා ඉවසීමෙන් ඉගෙන ගන්න වෙනවා ඔබේ සෙවණැල්ල සමඟ ජිවත් වෙන්නේ කොහොමද කියන එක. ඔබ තුළ පැළපැදියම් වි ඇති අන්ධකාරය ඔබ ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරන්න. බාගවිට ඔබගේ ජිවිතයේ එක්තරා අඳුරු උමං මඟක දී ඔබගේම අඳුරුපස ඔබට සම්මුඛ වෙනු ඇත.”

n murakami a 20161101

 

හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානලාභියා ලෙස මුරකමි ගේ නම 2015 දී  ප්‍රකාශයට පත් කළ ද සම්මානය පිරිනමන ලද්දේ 2016 ඔක්තෝබර් මාසයේය.

 
acd
 

“ඇන්ඩර්සන්ගේ නාමය සහ කෘතීන් සමඟ කිසියම් සැබැඳියාවක් ඇති කර ගත හැකි ශානරමය, කතා කීමේ හෝ කලාත්මක ගුණයේ ඇති සමානකම්” වෙනුවෙන් පිරිනැමෙන ඩෙන්මාර්ක් ක්‍රොනර් 500,000ක් වටිනා එම සම්මානයෙන් මීට පෙර හැරී පොටර් කතා මාලාවේ නිර්මාතෘවරිය ජේ. කේ. රෝලින් සහ සල්මන් රුෂ්ඩි, ඉසබෙල් අයියන්දේ සහ පාවුලෝ කොයියෝ පිදුම් ලැබූහ. මුරකමි එම සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වූයේ එහි විනිශ්චයකරුවන් පවසන පරිදි “සම්භාව්‍ය කතා කීමේ කලාව, ජනප්‍රිය සංස්කෘතිය, ජපන් සම්ප්‍රදාය, සිහිනමය යථාර්තවාදය සහ දාර්ශනික සංවාද අව්‍යාජ ලෙස එකිනෙක හා සම්මිශ්‍රණය කිරීමේ මුරකමි සතු පරිචය විසින් ඇන්ඩර්සන්ගේ දායාදයට උරුමකම් කීමට සුදුසුකම් ලබා ගත් නිසයි”

“භාෂා නිපුණත්වයෙන් පැන නැ‍‍ඟෙන, එදිනෙදා ජීවිතය සහ යථාර්තය, මායාව සහ සුරංගනා කතා සමඟ මුහු කිරීමේ මුරකමිගේ අපූරු හැකියාව කෙනෙකුට හෑන්ස් ක්‍රිස්ටි‍යන් ඇන්ඩර්සන් පිළිබඳ නැවත සිහිපත් කරවයි. මුරකමිගේ නිර්මාණ තුළ පැහැදිලි කාව්‍යාත්මක ගුණයකින් යුත් ස්වභාවික දසුන්, නගර දර්ශන, භූමි දර්ශනවල විස්තර බහුලව දක්නට ලැබෙනවා” යි දකුණු ඩෙන්මාර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක සහ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සම්මාන කමිටුවේ සාමාජිකාවක වන ඈන් මේරි මෙයි සම්මාන ප්‍රදාන උත්සවයේ පවත්වන ලද කතාවක දී සඳහන් කොට සිටියාය.

kafka2

Norwegian Wood, Kafka on the shore වැනි ලොව පුරා සාහිත්‍යලෝලීන් අතර මහත් පැසසුමට ලක් වූ කෘතිවල නිර්මාණකරු වූ මුරකමි, හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ The shadow නම් වු කතාන්දරය සිහිපත් කරමින් එම සම්මාන උළෙලේ දි කළ කතාව නම් කරනු ලැබ ඇත්තේ ද The meaning of Shadows නමිනි.


ඇන්ඩර්සන්ගේ කතාන්දරය
 
hans
 
හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
 
 
ඇන්ඩර්සන්ගේ එම කතාන්දරයේදී එක් මිනිසෙක් සිය සෙවණැල්ල පවා පලවා හරියි. අනතුරුව එම සෙවණැල්ල ක්‍රම ක්‍රමයෙන් මිනිස් වේශයකට පත් වන අතර අවසානයේ දී එය තම පැරණි ස්වාමියා මරා දමයි.

මුරකමි එය “අඳුරු සහ බලාපොරොත්තු සිඳුණු කතාන්දරයක්” ලෙස හඳුන්වා දුන් අතර තමා ඉදිරියේ හුන් ප්‍රේක්ෂාගාරය අමතමින් කියා සිටියේ “යම් විටෙක ගැඹුරු තැනක දි ඔබට ඔබගේ ජීවිතයේ අඳුරු පක්ෂය හා ගැටිමට සිදුවනවා” යන්නයි.

“ඔබගේ සෙවණැල්ල වැඩී, ශක්තිමත් වීමට ප්‍රථම ඔබ ඔබේ සෙවණැල්ලට සම්මුඛ නොවේ නම්, එක් රාත්‍රියක එය පැමිණ ඔබගේ නිවසේ ද්වාරයට තට්ටු කර මෙසේ කොඳුරනු ඇත. ‘මම ආපසු ආවා’”

මුරකමි තම ලිවීමේ කාර්යය පිළිබඳව කිසියම් චිත්‍රයක් මවා පෑමට එම අවස්ථාව යොදා ගත්තේය. රැස්ව සිටියවුන් අමතා ඔහු පවසා සිටියේ, කිසියම් නිර්මාණයක් තමා ආරම්භ කරන මොහොත වන විට තමා සතුව, කතා වස්තුව තුළ දිග හැරෙන සිදුවීම් පෙළක් පිළිබඳ සැලැස්මක් නැති නමුදු, කිසියම් සිදුවීමකින් හෝ අදහසකින් එය ආරම්භ කරන බවයි.

“ මම ලියන විට කිසියම් සිදුවීමකට හෝ අදහසකට එහිම කැමැත්තට අනුව හැසිරෙන්න ඉඩ දෙනවා. මගේ ඔළුව පාවිච්චි කරනවා වෙනුවට, වෙනත් වචනවලින් කියතොත්, සිදුවන්නේ මම හිතන දේ අනුව මගේ අත ක්‍රියාත්මක වීමයි. ඒ මොහොතේදී මගේ සවිඥානය තුළ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ මම අවිඥානික වීම ගැන මම සතුටුයි”


කියවීමේ නිවැරදි ක්‍රමවේදය


“විචාකරයෝ සහ පාඨකයෝ කතා කියවන්න නැඹුරු වෙලා තියෙන්නේ විශ්ලේෂණාත්මකව” ඔහු කියයි. “ඔවුනට එය පාසලින් හෝ සමාජය විසින් හුරු කරවලා තියෙනවා. එය තමයි නිවැරදි කියවීමේ ක්‍රමවේදය. මිනිසුන් පෙළ විවේචනය හෝ විශ්ලේෂණය කරනවා, අධ්‍යාපනික, සාමාජීය හෝ මනෝ විශ්ලේෂණාත්මක දැක්මකට අනුව.

NorwegianWood min

එහෙත් යම් හෙයකින් නවකතාකරු කතාන්දරය විශේලේෂණාත්මකව ගොඩ නඟන්නේ නම් එම කතාවට හිමි නෛසර්ගික ඕජෝ ගුණය අහිමිව යනවා. මක්නිසාදයත් ලේඛකයා සහ පාඨකයා අතර සහකම්පනය ඉන් පැන නොනැ‍‍ඟෙන නිසා”

“නිතරම අපි දකිනවා, විචාරකයන් ලොකු ඝෝෂාවක් එක්ක පැසසුමට ලක් කරන නිර්මාණ පාඨකයන්ගේ සිත් ඇඳ බැඳ ගත් ඒවා නොවෙයි කියන එක. බොහෝ අවස්ථාවල විචාරකයන් විශ්ලේෂණාත්මකව විශිෂ්ඨ කිසිවක් මතු කර ගැනීමට අපොහොසත් වූ නිර්මාණ, සැබවින්ම පාඨකයාගේ ස්වාභාවික සහකම්පනය හඳුනාගත් කෘති ගණයට අයත් වෙනවා” මුරකමි පවසයි.

මුරකමි The meaning of shadows ලෙස නම් කරන ලද සිය කතාව මතු කරන ලද ප්‍රාකාර සහ පිටස්තරයන් පිළිබඳ වැඩි විස්තර දැක්වූයේ නැති නමුත් ජපාන මාධ්‍යවල අනුමානයට අනුව මුරකමි ඉන් අදහස් කළේ “ යුරෝපයේ සහ ලෝකයේ සෙසු තැන්හි දි දිනෙන් දින වඩාත් නරක තත්වයට හැරෙමින් පවතින සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ට එදිරිව නැ‍ඟෙන විරෝධයයි.”

2009 වසරේ පලස්තීන හිතවාදී කණ්ඩායම් විසින් පිරිනැමෙන, විරුද්ධවාදීන් අභිමුඛව සමාජය තුළ පවත්වාගන්නා පුද්ගල නිදහස උදෙසා වූ සම්මානය ලබා ගනිමින් මුරකමි මෙසේ පැවසීය.

“ විසල් ඝනැති ප්‍රාකාරයක හැපී බිත්තරයක් බිඳුනේ නම්, එහි වරද ප්‍රාකාරයේ හෝ බිත්තරයේ වුව, මා පෙනී සිටින්නේ බිත්තරය වෙනුවෙනි. ඒ ඇයි? අප එකිනෙකා තුළත් බිත්තරයක් තිබෙනවා. බි‍‍ඳෙන සුළු බිත්තරයක් තියෙනවා. බි‍ඳෙන සුළු බිත්තරයකින් වටවුණු අනන්‍ය වූ ආධ්‍යාත්මයක්. අප හැම දෙනාටම උස් ප්‍රාකාර අභිමුඛ වෙනවා. එම ප්‍රාකාර කියන්නේ අපි අකමැති, අපට නොගැළපෙනවා යයි අපිට හැ‍‍ඟෙන දේවල් අපට කරන්න බල කෙරෙන සමාජ ක්‍රමයයි”,

“අපිට ප්‍රාකාරයක් ඉදිරියේ කිසිම බලාපොරොත්තුවක් ඉතිරි වී නැහැ. ඒවා ඒ තරමට ම උසයි, අඳුරුයි, හුඟක් සීතලයි” ඔහු ජෙරුසලමේදී පැවසීය. “ ඒ ප්‍රාකාරයට විරුද්ධව සටන් කිරීමට නම් අපි එකිනෙකාගේ අධ්‍යාත්මයන් උණුහුමට සහ ශක්තිමත් ලෙස එකට එක් කළ යුතුයි. සමාජ ක්‍රමයට අප නිර්මාණය කිරීමට හෝ අප පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. අප විසින් ක්‍රමය නිර්මාණය කළ යුතුයි”


subhashini chathurika✎ සුභාෂිණි චතුරිකා
නිදහස් ලේඛිකා
chathushuki.subha@gmail.com

(උපුටා ගැනීම -lucernanotes.net)


(මෙම ලිපිය පළමුවරට 2017.05.21  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ ද පළවුවකි)

 

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...