The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

අහිමි වූ නිෂ්ටාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

April 22, 2023 • 10:16 AM

 අහිමි වූ නිෂ්ටාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළව තිබුණේ පසුගිය වසරේ මාර්තු 29 වෙනිදාය.
  • ඉනික්බිති උදා වූ සති කිහිපය තුළදී නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ විශාලතම මහජන නැගී සිටීම සිදු වනු ඇතැයි එය ලියූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණ සමාජ ක්‍රියාකාරිකයා දැන නොසිටින්නට ඇත.
  • නමුත්, ඒ ඓතිහාසික සංසිද්ධියට තුඩු දුන් සාමූහික සමාජ මනෝභාවය අද අප හැර ගොස් සිටින බුද්ධි ප්‍රබෝධගේ ප්‍රකාශය තුළ මනාව සංගෘහිතව තිබිණ.
  • සැබවින්ම ඔහු එම ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු පමණක් නොව එහි නිර්මාපකයෙකුද විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළව තිබුණේ පසුගිය වසරේ මාර්තු 29 වෙනිදාය.

341681707 1623124424874551 1754525850025683251 n

ඉනික්බිති උදා වූ සති කිහිපය තුළදී නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ විශාලතම මහජන නැගී සිටීම සිදු වනු ඇතැයි එය ලියූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණ සමාජ ක්‍රියාකාරිකයා දැන නොසිටින්නට ඇත. ගාලු මුවදොරට ගලා එන ලක්ෂ ගණනක ජන ගඟක් ගැන ඒ මොහොතේ පරිකල්පනය කළ හැකිව තිබුණේ කා හටද?

නමුත්, ඒ ඓතිහාසික සංසිද්ධියට තුඩු දුන් සාමූහික සමාජ මනෝභාවය අද අප හැර ගොස් සිටින බුද්ධි ප්‍රබෝධගේ ප්‍රකාශය තුළ මනාව සංගෘහිතව තිබිණ. ඒ අරුතින් ඔහු කිසිවෙකුටත් නිශ්චිතව පෙර දැකිය නොහැකි වූ දේශපාලනික සංසිද්ධියක පළමු සාක්ෂිකරුවන් කිහිප දෙනාගෙන් අයෙකු විය. සැබවින්ම ඔහු එම ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු පමණක් නොව එහි නිර්මාපකයෙකුද විය.

 බුද්ධි ප්‍රබෝධගේ ප්‍රකාශය (සහ මැදිහත්වීම) අපට ඉතිහාසය තුළ මිනිසාගේ විෂයීය මැදිහත්වීම (subjective intervention) පිළිබඳ කදිම න්‍යායික පාඩමක් උගන්වයි. ඔහු කාටත් තේරෙන භාෂාවෙන් පවසා ඇත්තේ කුමක්ද? පවත්නා දේශපාලන සංස්ථාපිතය ගැන තවදුරටත් විශ්වාසය රැඳවිය නොහැකිය යන්නයි. මෙතැන අප මදක් නතර වී විමසා බැලිය යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, බුද්ධි ප්‍රබෝධ ඇතුළු අතිවිශාල ජනතාවකගේ කළකිරීමට ලක් වූ දේශපාලන බලාධිකාරය වනාහී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ රීතීන්ට පිටතින් ගොඩ නැගුණක් නොවූයේය යන්නයි. කවුරුත් දන්නා පරිදි, එය හැට නම ලක්ෂයක කැමැත්ත නියෝජනය කළ එකක් විය. එසේම, එය බලය අභ්‍යාස කරමින් සිටියේ විධිමත් ආයතනික රාමුවක් මගිනි.

328840872 6353223481379251 8970695732107259522 n 

එය නෛතික සහ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව ක්‍රමවත්ව තෝරා පත් කරගනු ලැබූ ආණ්ඩුවක් විය. එම පාලනය කෙරෙහි ජනතා විශ්වාසය (සහ එනයින් සුජාතභාවය) ගොඩ නැගුණේ එය පදනම් වූ කතා ආඛ්‍යානයන් දෙකක් මුල් කොට ගනිමිනි. පළමු කතා ආඛ්‍යානය නම් රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ සුපුරුදු ජාතිකවාදී සහ සංවර්ධන ආඛ්‍යානයයි. දෙවැන්න වඩා මූලධාර්මික වූවකි. එනම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳ 'පදනම් කතාන්දරයයි.' සරලව, යමෙකු කිසියම් ආණ්ඩුවක් විශ්වාස කිරීමට පෙර එම ආණ්ඩුව බලයට පත් වන ක්‍රමවේදය විශ්වාස කළ යුතුය. තමන් එය මුළුමනින්ම විශ්වාස නොකළද, අන් අය එය විශ්වාස කරන බව විශ්වාස කළ යුතුය. මන්ද යත්, අප විශ්වාස කරන්නේ අනෙකාගේ විශ්වාසයයි. මෙම සාමූහික විශ්වාසය රාමුගත වී පවතින්නේ කිසියම්  කතාන්දරයක ස්වරූපයෙනි.

නිදසුනක් ලෙස, "ස්වාධිපති බලය පවතින්නේ ජනතාව සතුවය, එම ජනතාව අතර සම්මුතියක් පවතීය, එම සම්මුතිය අනුව ජනතාව තම බලය ක්‍රියාවට නැගීමට තම නියෝජිතයින් තෝරා පත් කර ගන්නේය" යන කතාන්දරය ගත හැකිය. අන් කවර කතාන්දරයක් සේම මෙම කතාන්දරයද ප්‍රබන්ධයකි. නමුත්, අප එම ප්‍රබන්ධය යථාර්තයක් යැයි සාමූහිකව විශ්වාස කරන තාක් දුරට එය අර්බුදයකින් තොරව ක්‍රියාත්මක වේ.

ඉතිහාසයෙහි ඊනියා සාමාන්‍ය කාලවල පවතින තත්ත්වය එයයි. නමුත්, අර්බුද සමයකදී සිදුවන්නේ එතෙක් කලක් දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය ගොඩ නැංවූ කතාන්දරය ගැන සැක සංකා පහළ වීමයි; එකී කතාන්දරයේ අස්ථාවරත්වය හෙළිදරව් වීමයි; එහි ප්‍රබන්ධමය ස්වරූපය ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගැනීමයි.

 පසුගිය වසරේ මහජන නැගී සිටීමෙන් සංකේතවත් වූයේ රාජපක්ෂ පාලනාධිකාරයට සුජාතභාවයක් ලබා දුන් කතා ආඛ්‍යානය කෙරෙහි පැවති පොදු විශ්වාසය බරපතල ලෙස බිඳ වැටීමයි. නමුත්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ 'පදනම් කතාන්දරය' කෙරෙහි වූ විශ්වාසය තවමත් ඉතිරිව පැවතිණ (රැඩිකල් වාමාංශය තුළ හැර). මෑතක් වන තුරු පැවති ජවිපෙ/ජාජබ සහ සජබ මැතිවරණ රැල්ලෙන් ගම්‍ය වූයේ එයයි. අඩු තරමින් සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් මගින් කිසියම් අවම දේශපාලන පරිවර්තනයක් හෝ දිනා ගත හැකි යැයි සැලකිය යුතු ජන සමූහයක් විශ්වාස කළ බව එයින් හැඟේ. ජනතාවටත් වඩා එවැන්නක් විශ්වාස කළේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නායකත්වයන්ය.

විශේෂයෙන්ම මෙරට තුළ නියෝජන ප්‍රජාතාන්ත්‍රික ආයතන, නෛතික විධිවිධාන සහ ක්‍රියා පටිපාටීන් තවදුරටත් නිසියාකාරව ක්‍රියාත්මක වෙතැයි ජවිපෙ/ජාජබ නායකත්වය විශ්වාස කළ බව පෙනේ. මැතිවරණයක් දිනා ගැනීම සඳහා වුවත් ජනතා අරගලයක් අවශ්‍ය බවත් එවන් අරගලයක් තනි පක්ෂයක නායකත්වය යටතේ ප්‍රායෝගිකව දියත් කළ නොහැකි බවත් පළාත් පාලන මැතිවරණ ආන්දෝලනය පැවති පසුගිය සතිවලදී බොහොමයක් විචාරකයින් පෙන්වා දුන්නද, ජවිපෙ/ජාජබ නායකත්වය එය එතරම් ගණනකට ගත්තේ නැත. ඒ වෙනුවට, ඊනියා සාමාන්‍ය ක්‍රමවේදය අනුව මැතිවරණය ලැබෙන්නට නියමිත යැයි ඔවුන් විශ්වාස කළ සෙයකි.

AP07 19 2022 000211B 0 1658283999672 1658283999672 1658284021356 1658284021356.jpg
සරදම්ජනක ලෙස, අරගලයෙන් පසු අදියරේදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නමැති කතාන්දරයේ ප්‍රබන්ධමය ස්වභාවය ප්‍රතීයමාන කරමින් සිටින්නේ කිසිදු විපාක්ෂික නායකත්වයක් විසින් නොව වික්‍රමසිංහගේ දක්ෂිණාංශික නායකත්වය විසිනි. එය දැන් අප හමුවේ ඉදිරිපත් කොට තිබෙන උභතෝකෝටිකය වන්නේ කිසිදු ජන වරමකින් තොරව, මැතිවරණ පැවැත්වීමෙන්ද තොරව, ආන්තික සමාජ කණ්ඩායම් වඩ වඩාත් පීඩනයට ලක් වන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තීන්ද ක්‍රියාවට නගමින් බලයේ රැඳී සිටිය හැක්කේ කෙසේද යන්නයි.

මේ වියහැකියාව තේරුම් කරන්නට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා ආඛ්‍යානය අසමත්ය. මන්ද යත්, එම ආඛ්‍යානයට අනුව දැන් ජන වරමකින් තොර පාලනයට එරෙහිව වීදි මහජනයාගෙන් පිරී තිබිය යුතුය. එය හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් යැයි යමෙකු පැවසිය හැකිය. නමුත්, වත්මන් තත්ත්වයේ සුවිශේෂකත්වය තේරුම් කරන්නට එවන් ප්‍රතිචාරයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ වෙනුවට, එය තේරුම් කළ හැක්කේ දේශපාලනය තුළ පවතින සියළු ප්‍රබන්ධමය කතාන්දරවලට (ජාතිකත්වය, සංවර්ධනය, සමාජ සම්මුතිය යනාදී) ඔබ්බෙන් පවතින බලය සහ පසමිතුරුතාව රජයන නග්න දේශපාලනිකයේ කලාපය ගවේෂණය කිරීම මගිනි.

 අරගලය සමයේදී එකී දේශපාලනිකයේ කලාපය ග්‍රහණයට ගෙන තිබුණේ බුද්ධි ප්‍රබෝධලා විසිනි. "මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා" යැයි ඔහුට පැවසිය හැකි වූයේ එබැවිනි. ඔහු එසේ පැවසුවේ තමන් අබිමුව තිබෙන (තමන්ද අයත්) සහ තමන් විශ්වාස කළ යථාර්තය වනාහී හුදෙක් ප්‍රබන්ධයක් පමණක් බව පසක් කළ නිමේෂයකය. අර්නෙස්ටෝ ලැක්ලාවූ පැවසූ පරිදි, මිනිස් විෂය (subject) පැන නගින්නේ අප යථාර්තය යැයි හඳුන්වනු ලබන සංකේතීය පිළිවෙළෙහි අස්ථාවරත්වය අපට අභිමුඛ වූ විටය.

අරගලය වියහැකියාවක් වූයේ බුද්ධි ප්‍රබෝධලා සංකේතීය යථාර්තයෙහි රීතීන් ඉක්මවා ගොස් තමන් යථාර්තය අළුතින් ගොඩ නගන්නන් බවට තමන්වම පරිවර්තනය කර ගත් මොහොතේදීය. නමුත්, දැන් සිදුවෙමින් පවතින්නේ මධ්‍ය-වාමාංශයද ඇතුළු ප්‍රගතිශීලී නායකත්වයන් සංකේතීය යථාර්ථයෙහි රීතීන් අධික ලෙස විශ්වාස කරමින් දේශපාලනිකව අකර්මණ්‍යව සිටින අතර දේශපාලනිකයේ කලාපය දක්ෂිණාංශයේ ග්‍රහණයට ලක් වීමයි.

342190940 675002607643050 2957748754395696559 n

එනයින්, සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වෙමින් පැවතීමයි. අරගලය තුළ ප්‍රකාශයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා ගැඹුරු හා හරයාත්මක පරිවර්තනයක් පිළිබඳ නිෂ්ටාව වෙනුවට පාරිභෝජනවාදී සිහිනය ආදේශ වීමයි. බුද්ධි ප්‍රබෝධලා හට සිය දිවි හානි කරගන්නට සිදු නොවන ආකාරයේ සිස්ටම් චේන්ජ් එකක් සඳහා අරගලයේ අවසන් නොවූ නිෂ්ටාවන් වෙත අප සමාජයක් ලෙස ආපසු හැරිය යුතු නොවේද?

 

Sumith Chminda

 

 

 

 

 


(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අහිමි වූ නිෂ්ටාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් - (සුමිත් චාමින්ද) | The Leader