The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : සාධාරණය, යුක්තිය හා පාස්කුව - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

April 23, 2023 • 8:22 AM

මානීගේ තීරුව : සාධාරණය, යුක්තිය හා පාස්කුව - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (⁣මෙය 2059 වර්ෂයේ අප්‍රේල් මාසයේ සතිඅග අරුණ පුවත්පතේ පළ විය හැකි කර්තෘට ලියුමකි) 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා පල්ලි තුනකත්, හෝටල් තුනකත් පිපිරෑ බෝම්බවලින් 250කට වැඩි පිරිසක් මියගොස්, 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා අදට අවුරුදු හතලිහකි.
  • මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එදා මෙදා පත් කෙරුණු කොමිෂන් සභා ගණන 20කි.
  • ඒ කොමිෂන් වාර්තාවල ප්‍රසිද්ධියට පත් නොකෙරුණු කොටස්ද 20කි.
  • ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටේදී හා මහා මැතිවරණ අටේදී පාස්කු ප්‍රහාරයේ වැරදිකරුන් සොයා ඔවුන්ට දඬුවම් දෙන බවට රටේ බලයට පත් වූ සෑම දේශපාලන පක්ෂයක්ම පොරොන්දු වූ බව ප්‍රසිද්ධය.
අකුරු ප්‍රමාණය (Font Size):


(⁣මෙය 2059 වර්ෂයේ අප්‍රේල් මාසයේ සතිඅග අරුණ පුවත්පතේ පළ විය හැකි කර්තෘට ලියුමකි)


2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා පල්ලි තුනකත්, හෝටල් තුනකත් පිපිරෑ බෝම්බවලින් 250කට වැඩි පිරිසක් මියගොස්, 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා අදට අවුරුදු හතලිහකි. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එදා මෙදා පත් කෙරුණු කොමිෂන් සභා ගණන 20කි. ඒ කොමිෂන් වාර්තාවල ප්‍රසිද්ධියට පත් නොකෙරුණු කොටස්ද 20කි. 2019 ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටේදී හා මහා මැතිවරණ අටේදී පාස්කු ප්‍රහාරයේ වැරදිකරුන් සොයා ඔවුන්ට දඬුවම් දෙන බවට රටේ බලයට පත් වූ සෑම දේශපාලන පක්ෂයක්ම පොරොන්දු වූ බව ප්‍රසිද්ධය. එහෙත් මේ දක්වා කිසිම උසාවියක කිසිම කෙනෙකුට විරුද්ධව නඩු විභාගයක් සිදුවීද නොමැත.

 

image d27e7ed2fb

එසේ වුවද පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අද දිනත් දිවයින පුරාත්, දිවයිනෙන් බැහැරවත් උද්ඝෝෂණ පැවැත්වෙයි. යුක්තිය ඉෂ්ට වන තුරු තමන් සටන අත්නොහරින කාඩිනල්වරයා සතියකට දෙවතාවක්ම ටෙලිවිෂනයෙන් ප්‍රකාශ කරයි. පාස්කු ප්‍රහාරය සිදු වූ අවාසනාවන්ත අවුරුද්දේ සිටි කාඩිනල්වරයාගේ හා ඉන් පසු පත්වීම් ලැබූ කාඩිනල්වරුන්ගේද ඇවෑමෙන් එම තනතුර දරණ පස්වැනි කාඩිනල්වරයා වන මෙතුමාද සිය පූර්වගාමීන් ගත් මග ගනිමින් සිටියි. දේශපාලන කාඩිනල්වරයෙක් යැයි තමන්ට නැගෙන චෝදනා එතුමෝ දැඩිව බැහැර කරති. මේ ප්‍රශ්නයට වහාම විසඳුමක් නොදුනහොත් තමන් ජාත්‍යන්තරයට එය රැගෙන යන බවට එතුමා ඊයේද යළිත් වරක් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව අදහස් දක්වන මෙම ලියුම්කරුගේ සමීපතමයන් කියන්නේ පාස්කු ඝාතනවලටත් වඩා ලියුම්කරුගේ අදහස් කෘෘර බවය. එහෙත් ශ්‍රී ලංකාවේ යුක්තිය හා සාධාරණත්වය යන වචන ඉතිරිව ඇත්තේ ශබ්දකෝෂවල පමණක් බව නොදන්නා පෘථග්ජනයන්ට ඔහු සිය අනුකම්පාව පළ කරයි. ඒ වචන සමාජයෙන් අතුරුදහන් වූයේ පාස්කු ප්‍රහාරයට බොහෝ කලින් බව කිසිවෙක් නොදැන සිටීම ගැන ලියුම්කරු සිය පුදුමයද පළ කර සිටී.

 

1983දී ⁣සිංහල ප්‍රදේශවල සිටි දෙමලුන් තොග වශයෙන් මරා දමා ඔවුන්ගේ දේපළ ගිනිබත් කරන ලදී. එහෙත් අපේ රටේ සුළු අපරාධ පොලිසිය කවදාවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වූයේ නැත. අධිකරණයේ නඩු පැවරුණේද නැත. අපේ රටේ යුක්තිය හා සාධාරණත්වය නැති බව දන්නා නිසාදෝ ඒ කවුරුවත් එකී ඝාතන, මංකොල්ලකෑම් හා ගිනිතැබීම්වලට විරුද්ධව පොලිසි, උසාවි ගියේද නැත. පුළුවන් පුළුවන් උදවිය ගියේ රට හැරදාය.

 

1987-89 වකවානුවේදී ජෙප්පන් තමන්ගේ සතුරන් මරා දමද්දි පොලිසිය හා හමුදාව ජෙප්පන් මරා පුච්චාද දැම්මේය. මේවාට විරුද්ධව පොලිසි යෑම හා නඩු පැවරීම සිදු වූයේ එකම වතාවකි. ඒ ඇඹිලිපිටියේ පාසල් සිසුන් පිරිසක් ඝාතනය වූ අවස්ථාවේය. අනෙකුත් සියළු ඝාතනද, දේපළ විනාශ කිරීම්ද මතකයෙන් අමතක කරන ලදී. ඉඳහිට නවකතාවක පමණක් ඒ ගැන සඳහන් කෙ⁣රේ. එහෙත් නවකතා සැලකෙන්නේ කර්තෘවරයාගේ මනක්කල්පිත ප්‍රබන්ධයක් හැටියටය.

5 A banner with photos of slain and missing journalists outside the Presidential Secretariat yesterday evening. 1

පසුගිය අවුරුදු තිහක පමණ කාලය තුළ පුවත්පත් කර්තෘවරයෙකු ඇතුළු මාධ්‍යකරුවන් දුසිම් කීපයක් මරා දමන ලදී. මේ කිසිම ඝාතනයකට විරුද්ධව සුළු අපරාධ පොලිසිය නඩුවක් පවරා නැත. මේ ඇතැම් ඝාතන කළේ කවුදැයි පොලිසිය හැර මුළු රටම දනියි. අපේ පොලීසියට අවශ්‍ය වූ විට එක මිනීමැරුමක් නොව සමූල ඝාතනයක් වුව නඩු පැවරීමට තරම් නොවන සුළු අපරාධයකි. මේ පොලිසියට අණ දෙන්නේ අප විසින් ඡන්දයෙන් පත් කර ගන්නා ආණ්ඩුවයි. අපේ ආණ්ඩුවට ආණ්ඩු විරෝධියෙකු යමක් කී විට  මිනී මරා ගන්නා තරමට අපි ආණ්ඩුවට භක්තිමත්ය.

 

මෙහි සඳහන් කළ සියළු ඝාතන සිදුවූයේ පාස්කු ප්‍රහාරයට කලිනි. නීතියේ දෙවඟන මෙන් දෙවියන්ද රෙදි කඩකින් ඇස් බැඳගෙන සිටින බව සිතාදෝ කවුරුවත්  ඊට සාධාරණය ඉල්ලා පොලිසි, උසාවි ගියේ නැත. එහෙත් මේ රටේ කාටවත් ඉෂ්ට වන්නේ නැති යුක්තිය තමන්ට ඉෂ්ට නොවීම ගැන කාඩිනල්වරයා කෝපයට, කණස්සල්ලට හා කළකිරීමට පත්ව සිටියි. ඇත්ත . මියගිය  හා තුවාල ලැබූ අයට සාධාරණය ඉෂ්ට විය යුතුය . එහෙත් ඊට යුක්තිය හා සාධාරණය ඉෂ්ට වන රටක් අවශ්‍යය. කාඩිනල් එය කරගන්නට හැදුවේ ගෝටා බලයට පත්කර ගැනීමෙනි . ඒ ගැන මගේ කටට එන වචනය මම මෙතන නොලියමි.



sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...