The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

'වීණාවක් රැගෙන ගිය දරුවා' රැගෙන එන පණිවිඩය - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

April 24, 2023 • 8:47 AM

'වීණාවක් රැගෙන ගිය දරුවා' රැගෙන එන පණිවිඩය - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතුරින් ප්‍රමුඛස්ථානය ඉසුලුවේ සෝවියට් රුසියන් ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා ය.
  • ඊට හේතුව ලෙස මට හැඟුණේ ඒ වන විටත් දෙමළ සාහිත්‍ය කෙරෙහි අප එතරම් උනන්දුවක් නොදැක්වීම විය හැකි බව ය.
  • එහි අන්තර්ගත මෙනමින් ලියූ කෙටිකතාව වඩාත් සිත් ගත් බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය.
  • එතැන් සිට මේ දක්වා දෙමළ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා බොහෝ ප්‍රමාණයක් කියවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතුරින් ප්‍රමුඛස්ථානය ඉසුලුවේ සෝවියට් රුසියන් ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා ය. ඉක්බිති: ඇමරිකා, ප්‍රංශ, ඉතාලි සහ චීන යනාදි රටවල කෙටිකතා මතු නොව ඉන්දියානු කෙටිකතා ද කියවා තිබිණ. නමුදු ලාංකිය දෙමළ ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා කියවා නොතිබිණ. ඊට හේතුව ලෙස මට හැඟුණේ ඒ වන විටත් දෙමළ සාහිත්‍ය කෙරෙහි අප එතරම් උනන්දුවක් නොදැක්වීම විය හැකි බව ය.

එබඳු වාතාවරණයක් තුළ මා පළමුවෙන් ම කියවූ ලාංකීය දෙමළ කෙටිකතා සංග්‍රහය වූයේ ඉබ්නු අසුමත් සහ පුෂ්පා රම්ලනී විසින් පරිවර්තිත ‘‘කාලිමුත්තු ගේ පුරවැසිභාවය’’ නමැති කෙටිකතා සංග්‍රහය යි. එහි අන්තර්ගත මෙනමින් ලියූ කෙටිකතාව වඩාත් සිත් ගත් බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. එතැන් සිට මේ දක්වා දෙමළ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා බොහෝ ප්‍රමාණයක් කියවා ඇත. ඒ බොහෝ කෙටිකතාවලින් මා උකහාගත් දෑ බොහෝ ය. වෙසෙසින් ම උඩරට, පහත රට මතු නොව ලංකාවේ වෙනත් පළාත්වල වෙසෙන ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ දුක්ඛ දෝමනස්ස මෙන් ම උතුරු පෙදෙසේ වෙසෙන ද්‍රවිඩ ජනතාවගේ (යුද්ධයට පෙර, යුද්ධය පවතින සමයේ සහ ඉන් අනතුරුව) බොහෝ අත් දැකීම් ද ඒ අතර විය. පසු ගිය දිනෙක ද මෙබඳු අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් රචිත අභිනව කෙටිකතා සංග්‍රහයක් රසවිඳීමේ භාග්‍ය උදා විණ; ඒ, ජී. ජී. සරත් ආනන්ද විසින් පරිවර්තිත ‘‘වීණාවක් රැගෙන ගිය දරුවා’’ නමැති කෙටිකතා සංග්‍රහය යි.

veenaawak regena giya

දෙමළ කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ කෙටිකතා  අඩංගු මෙම කෙටිකතා සංග්‍රහය තුළ නවමු අත් දැකීම් සහිත කෙටිකතා කිහිපයක් මෙන් ම පෙර කියවා ඇති අනුභූතිය සහිත කෙටිකතා ද්විත්වයක් ද රස විඳින්නට ලැබිණ. මේ එක් එක් කෙටිකතා ඇසුරු කිරීමේ දී දැනුණ විශේෂත්වය වූයේ පරිවර්තකයා වැඩි අවධානයක් යොමු කර තිබුණේ යුද්ධය සහ එහි අතුරු ඵල විපාක සම්බන්ධයෙනේ බවයි. ඊට අමතරව පීඩිත පංතියේ පාසල් දැරියකුගේ අත්දැකීමක් සහිත කෙටිකතාවක් ද රස විඳිය හැකි විය. මේ අනුභූතිය සහිත කවියක් ද මීට පෙර රසවිඳ තිබිණ.

 

වීදි පරඬැල්

 75765357 img 80162

 

මහ මග සිඟමන් යදින පුද්ගලයන් පාදක කරගත් විවිධ සාහිත්‍ය නිර්මාණ මෙන් ම සත්‍ය සිද්ධි ද මා අනන්තවත් අසා සහ කියවා ඇත. නමුදු ඒ සියලු අත්දැකීම් අභිභවන නවමු අනුභූතියක් සහිත කෙටි කතාවක් ද මෙම කෘතිය තුළ තිබිණ. ඒ, එම් රිෂාන් ෂෙරිෆ් විසින් රචිත ‘‘වීදි පරඬැල්’’ නමැති නිර්මාණය යි.

යාචක ව්‍යාපාරයේ ඇතුළාන්තය පිළිබඳ ගවේශණාත්මක ලිපියක් ද සම්පාදනය කර ඇති මට මෙම කෙටිකතාවට පාදක වී තිබෙන අනුභූතිය කිසිදු දිනෙක අසන්නට හෝ දකින්නට ලැබී නොමැත. එබඳු අනුභූතියක් පාදක කරගනිමින් බොහෝ කෙටිකතා ලියැවී තිබෙන්නට පිළිවන; බොහෝ දෙනා කියවා තිබෙන්නට ද පිළිවන. නමුදු මා කියැවූ, එබඳු අත්දැකීමක් පාදක කරගෙන ලියා ඇති පළමු නිර්මාණය මෙය බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ අත්දැකීම ඉතා සංවේදී ය; එක් පසෙකින් අනුකම්පා සහගත ය; තවත් පසෙකින් අති අමානුෂික ය. එහි වඩාත් බරපතළ කාරණය වන්නේ සිඟමන් යැදීම සඳහා මිය ගිය අටමස් වියැති දරුවකු ලබා දෙන්නේ එම දරුවාගේ ම මව වීම ය. එක් පසෙකින් ගත් විට තම දියණිවරු සල්ලාලයන්ට අලෙවි කර මුදල් උපයාගන්නා මවුවරු සිටින සමාජයක මෙය එතරම් පුදුමසහගත නොවනු ඇතැයි කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. නමුදු මිය ගිය දරුවකු උකුළ මත තබාගෙන සිඟමන් යැදීම ද එක්තරා ආකාරයකින් ජීවමාන ළදැරියක උකුළ මත තබාගෙන සිගමන් යැදිමට වඩා පහසු බව යාචක ඒජන්තවරයා සිතන විට එය කෙතරම් ම්ලේච්ඡ දැයි පාඨකයාට දැනෙන හැඟීම වදන්වලින් විග්‍රහ කළ නොහැකි තරම් ය.
 
 
මෙම නිර්මාණය තුළින් යාචක ව්‍යාපාරය මතු නොව නොදියුණු සමාජයක වෙසෙන පීඩිත ජනයා විඳින නේක විද දුක් පිඩා සහ ඒ දුක් පීඩාවලින් මිදෙනු වස් එබඳු ජනයා කෙතරම් නීතියට පටහැනි වෘත්තිවල නියැළෙනවා ද යන්න ද විද්‍යමාන කරයි. එක් පසෙකින් ගත් විට ඔවුන් එබඳු රැකියාවල නියැළෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා ම නොවන බව ද පසක් කෙරේ. සැබැවින් ම ඊට වගකිව යුත් වන්නේ එබඳු ජනයා වෙසෙන රටවල් පාලනය කරන පාලක පාර්ශ්වය යි. නමුත් ඒ පාලකයෝ එබඳු සමාජ ප්‍රශ්න තුරන් කිරීමට නොව වළකාලීමට හෝ යත්න නොදරන්නේ ඔවුන්ගේ පැවැත්මට ද එබඳු සමාජ වාතාවරණ පිටුවහලක් වන බැවිනි. මෙම නිර්මාණය තුළින් මෙකී යටිපෙළ ද ඉතා සියුම් ලෙස විග්‍රහ කෙරේ. ඊට කදිම උදාහරණයක් ලෙස: මිය ගිය දැරිය උකුළ මත තබාගෙන සිඟමන් යදින තරුණිය‍ගේ මව පිළිබඳ කරන හැඳින්වීමේ දී ඇය අනීතික අන්දමින් ගබ්සාකරණයේ නියැළීම පෙන්වා දිය හැකි ය.
 
 
එහි තවත් උත්ප්‍රසාත්මක අවස්ථාවක් වාක්‍යකින් දෙකකින් පවසන්නට කතුවරයා සමත්වීම තවත් සුවිශේෂතාවකි.

‘‘ඉහළ පැලැන්තිවල බොහෝ කාන්තාවෝ ඇගේ මව සොයා පැමිණෙති. වරක් ප්‍රබල නිළියක් ද අම්මා සොයා පැමිණ සිටියා ය. ‘නොසැලකිලිමත්කම’ හේතුවෙන් ඇති වූ, තෙමසකටත් වඩා මේරූ දරු ගැබ විනාශ කර දැමීම සිදුකෙරෙනුයේ අම්මාගේ අතිනි.’’

පිටුව 72


කඩදාසි ප්‍රජාව
 
ewr

ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා හට පරම්පරා ගණනක සිට ම ලංකාවේ පුරවැසිභාවය නොලැබීම හේතුවෙන් ඔවුන් කෙතරම් අමානුෂික ඛේදවාචකයකට මුහුණ දෙනවා ද යන්න පිළිබිඹු කෙරෙන නිර්මාණයක් ලෙස මු. සිවතිංගම් විසින් රචිත ‘‘කඩදාසි ප්‍රජාව’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය. මා යට සඳහන් කළ ‘‘කාලිමුත්තු ගේ පුරවැසිභාවය’’ නමැති කෙටිකතාවෙහි අනුභූතිය ද මීට සමපාතය.

එම නිර්මාණයේ කාලිමුත්තුගේ අවශ්‍යතාව පුරවැසිභාවය ලබාගැනීම ය. ඒ සඳහා ඔහු විවිධාකාරයේ ලියකියවිලි ඉදිරිපත් කළ යුතු ය. එහෙත් රජයේ නිලධාරින් (ඔවුන් ද දමිළ ය) ඉල්ලන ආකාරයේ ලියවිල්ලක් ඔවුන්ගේ පැම්පරා කිහිපයකට ම ලැබි නොමැත. අවසන ඔහු සිය අයිතිය තහවුරු කිරීම සඳහා පොළොවේ වළක් හාරා එහි තිබූ ඔහුගේ සීයාගේ ඇටකටු කැබලි අදාළ නිලධාරින් වෙත ඉදිරිපත් කරයි. නමුදු අදාළ නිලධාරින් කාලිමුත්තු උම්මත්තකයෙකු ලෙස හඳුන්වයි.

මා සත්හඬ පුවත්පතේ සේවය කරන සමයේ එම පුවත්පතේ ‘‘ඇඩ්‍රස් නැති මිනිස්සු’’ යන මැයෙන් ලිපියක් පළ වූවා මතක ය. එම ලිපිය තුළ ද සාකච්චා කර තිබුණේ මේ ආකාරයේ ම ඛේදවාචකයකි. එනම් පේළි නිවාසවල (ලයින් කාමර) වෙසෙන වතුකම්කරුවන් හට ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීම පිණිස ලිපිනයක් නොමැති වීම ය.
 
 
අධිරාජ්‍යවාදී එංගලන්තයෝ මෙරට හැර ගොස් මේ වන විට වසර හැත්තෑපහක් ද ගෙවී ගොස් අවසන් ය. එහෙත් වසර එකසිය පනහකට අධික කාලයක් පුරා මෙරට වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු දෙමළ ප්‍රජාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ලබාදීමට පවා අප රටේ පාලකයෝ අසමත්වී ඇත. ‘‘දෙමළා, දෙමළා නිසාම ඇති ප්‍රශ්න මොනවා ද...?’’ යැයි විමසන මුග්ධ ජාතිවාදියෝ මේ පිළිබඳ විමසන විට ඇටි කෙහෙල් කෑ උගුඩු චරිත රඟදක්වති.
 
 
යට කී ආකාරයේ ම්ලේච්ඡ, අමානුෂික මෙන්ම මුග්ධ ක්‍රියා පිළිවෙත තවදුරටත් මෙරට ක්‍රියාත්මක වන ආකාරය‘‘කඩදාසි ප්‍රජාව’’ නිර්මාණය තුළින් ඉතා සංවේදී ලෙස විද්‍යමාන කෙරේ. එහි යට කී ඛේද ජනක ඉරණමට ගොදුරු වන්නේ රජයේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙ වතු දෙමළ කම්කරු ප්‍රජාවෙන් පැවත එන තරුණයෙකි. එබඳු ඛේදවාචකවලට මුහුණ දෙන තරුණයෝ මේ මොහොතේ ද මෙරට ජීවත් වන බව නොඅනුමාන ය; ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන තෙක් යුද ජයග්‍රහණයක් ද ලබාගනු නොහැකි ය.


කන්‍යා අරණ
 

මල්ලිකෛ සී කුමාර් විසින් රචිත ‘‘කන්‍යා අරණ’’ නමැති නිර්මාණය ද හද කම්පා කරවනසුලු අනුභූතියකි. එබඳු නිර්මාණයක් මා මීට පෙර කියවා නොතිබූ බව ද මෙහි දී පැවසිය යුතු ම ය.

එම නිර්මාණය සඳහා පාදක කරගන්නේ 1964 වසරේ දී අත්සන් කළ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම ප්‍රකාරව ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා මෙරටින් පිටුවහල් කිරීමෙන් ඉක්බිති තමිල්නාඩුවට සංක්‍රමණය වූ එම ජනතාව එහි දී මුහුණ දුන් ඛේද ජනක ඉරණම විය හැකි ය. මන්ද එහි සිටින සියලු චරිත සිලෝනය හෙවත් ලංකාවේ සිට තමිල්නාඩුවට සංක්‍රමණය වූ බවට ඉඟි කෙරේ.
 
 
ඔවුන් මෙරටින් පිටුවහල් කරන විට තමිල්නාඩුව ඔවුන් බාරගැනීමට කැමැත්ත පළ කර තිබුණ ද ඒ සඳහා පෙර සුදානමක නොසිටි බව මෙම කෙටිකතාව තුළින් විශද කෙරේ. මෙරට සිට තමිල්නාඩුව වෙත සංක්‍රමණය වූ ඒ ජනතාව වෙනුවෙන් රැකියා, නිවාස, ආහාරපානාදිය සපයන්නට එම ප්‍රාන්ත රාජ්‍යයේ පාලකයන් අසමත් වී ඇති බවත්, අවම වශයෙන් මෙරටින් පිටුවල් කළ එම ජනතාවට මිය ගිය තම: ඥාතියකු, මිත්‍ර යෙකු, හිතවතකු මිහිදන් කිරීම පවා අති දුෂ්කර කාර්යයක් බවට පත්වූ අන්දම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්ව ඇත.
 
 
විණාවක් රැගෙන ගිය දරුවා

කෘතිය නම් කර ඇති ‘‘විණාවක් රැගෙන ගිය දරුවා’’ නමැති නිර්මාණය වඩාත් සබඳකම් දක්වන්නේ යුද්ධය නමැති ම්ලේච්ඡ සිදුවීම හේතුවෙන් මිනිසුන් වශයෙන් ඉපි ද මිනිසුන් වශයෙන් මිය යන අප තුළ ඇත්තට ම මිනිසෙකු සිටිනවා ද යන්න පවා සැක සහිත බව ය.

තවත් පසෙකින් ගත් විට මනුෂ්‍යත්වය අගය කරන තවත් මනුෂ්‍යයෙකුට අනෙකාගේ ජාතිය, කුලය හෝ ආගම කිසිසේත් ම බල කොපාන බව මෙම නිර්මාණය පුරා ම දක්නට ඇත. රෝහිත්ගේ චරිතය තුළින් කියාපාන්නේ එකී මනුෂ්‍යත්වය යි.
 
 
වීණාවක් රැගෙන ගිය දරුවා මේගවණ්නන් ය. ඔහු වෙතින් ප්‍රකට කෙරෙන්නේ යුද්ධය හේතුවෙන් එයට මුහුණ දුන් අය මතු නොව ඉන් පරිබාහිර වෙසෙන පුද්ගලයන් පවා කෙතෙරම් දරුණු අසාධාරණයකට ලක්වෙනවා ද යන්න ය. මට හැඟෙන අන්දමට දකුණේ සිංහල ජනතාවට මේ සියලු අත්දැකීම් නවමු විය හැකි ය. එමෙන් ම මෙවන් දෑ මේ කුඩා දුපත තුළ සිදුවුවා ද යන්න පවා විශ්වාස කිරීම ද අසිරු විය හැකි ය. නමුදු කුමක්දෝ අවාසනාවකට මේ කුඩා දුපත. තුළ එබඳු අති අමානුෂික ඛේදවාචකයක් සිදු වී නොව සිදු කර ඇත. ඒ සඳහා වගවිය යුත්තේ එදා මෙදාතුර මෙරට පාලනය කළ පාලක පන්තිය යි. ඔවුන් මේ දුපතේ වෙසෙන සියලු ජනයා ‘‘ශ්‍රී ලාංකිය ජාතිකයන්’’ ලෙස සලකා කටයුතු කළේ නම් මෙබඳු වාතාවරණයක් මේ දුපත තුළ ඇති නොවන්නට ඉඩ තිබිණ. අනාගතයේ දි හෝ එබඳු තත්ත්වයක් පැන නොනගින්නට කටයුතු සැලසීම වර්තමාන පාලකයන්ගේ වගකීමකි. නමුදු එය කොතෙක් දුරට සාර්ථක කරගත හැකි ද යන්න අවිනිශ්චිත ය.
 
 
අශෝක උයන් අතරේ
 
jaffna

යුද්ධය, ජනවාර්ගික ගැටලුව, සමාජ පීඩනය යනාදි අනුභූති අතරට ආදරය, ප්‍රේමය සහ ස්ත්‍රි පුරුෂ බැඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන නිර්මාණයක් ද මෙහි අන්තර්ගත ය. ඒ, උමා වරදරාජන් විසින් රචිත ‘‘අශෝක උයන් අතරේ’’ නමැති නිර්මාණය යි.

මෙම කෙටිකතාවට පාදක වන්නේ විවාහක පුරුෂයකු සමග පෙමින් බැඳෙන ස්ත්‍රියක් මුහුණ දෙන සමාජමය තත්ත්වය යි. ඇය ගුරුවරියක් වීම ද මෙම නිර්මාණය කෙරෙහි පාඨක අවධානය වැඩි වශයෙන් යොමු වෙනු ඇතැයි සිතිය හැකි ය. ඒ, ගුරු වෘත්තියේ නියැළෙන්නෝ වනාහී දේවත්වයෙන් පිදිය යුතු යැයි අනෙකා විශ්වාස කිරීම සහ එසේ තමන්ට දේවත්වයෙන් පිදිය යුතු යැයි ගුරු වෘත්තියේ නියැළෙන පුද්ගලයන් බලාපොරොත්තු විම යන සංකල්ප ද්විත්වය ම මෙම නිර්මාණය තුළ දී නොතකා හැරීම ය.

තවත් පසෙකින් ගත් විට විවාහක පුරුෂයෙකු සමග ආදර සබඳතාවක් පවත්වන කාන්තාවක් කෙරෙහි ඇය ආසන්නයේ වෙසෙන පුරුෂ සමාජය කටයුතු කරන ආකාරය ද මෙම නිර්මාණය තුළ ඉතා සුක්ෂ්ම ලෙස ඉදිරිපත් කෙරේ. එමතු නොව එබදු කාන්තාවකට සිය දෙමාපියන්ගෙන් මෙන් ම සොයුරු සොයුරියන් වෙතින් කෙරෙන බලපැම ද මෙහි විද්‍යමානව පවතී. සරලව ම පවසන්නේ නම් සාම්ප්‍රදායික ප්‍රේම සබඳතාවක් නොවෙන සබඳතාවක් වෙත සමාජය හෙළන දෘෂ්ටිය මෙහි අන්තර්ගත ය.

ඒ අතර ම අධ්‍යාපන නිලධාරියකුගේ භූමිකාව සහ ඔහුගේ හෝ ඇයගේ භුමිකාවට මුහුණ දෙන ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ භූමිකාව යන ද්විභූමිකා ඝට්ටනය ද මෙහිදී මතු කර ඇත. මේ ඒ සඳහා කතුවරයා සිය සාහිත්‍ය හැකියාව උපස්තම්භක කරගෙන ඇති ආකාරය යි.

‘‘අද උදැසන අධ්‍යාපන නිලධාරියෙකු පැමිණ සිටියේලු. දින 2 -3 කට පෙර වාර සටහන් ලියා තිබූ බැවින් බේරුණේ යැයි සිවගාමී ටිචරුත්, තවත් දෙදෙනෙකුත් පැවසූහ. එකිනෙකින් වෙනස් වූ විෂයන් 6කට මම වාර සටහන් දිය යුතු ය. මෙම පාසලේ මා මෙන් වෙන් වෙන් විෂයන් 6ක් උගන්වන වෙනත් අයෙකු නොමැත. පිළිවෙළින් එක් එක් විෂයක් ගෙන අවසන් කළේ නම් එය සතුටට කරුණකි. කෙතරම් අවංක වූ පරිපාලනයක් ද?’’

පිටුව 115

ලස්සන ම දවස
 
 
ඕනැම දවසක දී අපට හමුවන අපේ: හිතවත්, ඥාති, රැකියා සගයන්, දුම්රියේ හෝ බස් රියේ එකට ගමන් කරන පුද්ගලයන් මුණ ගැසුන විට මෙන් ම දුරකතන සංවාදවල දි ද ‘‘සුබ දවසක් වේවා...!’’ යැයි පැවසීම සාමාන්‍ය සිරිතකි. එහෙත් එසේ පැවසු පරිදි හැම පුද්ගලයෙකුට ම හැම දවසක් ම එසේ වෙයි ද...? එමෙන් ම එක් හෝ තවත් පුද්ගලයෙකුට එක ම දවසේ සුබ අසුබ යන අවස්ථා කිහිපයකට ම මාරුවෙන් මාරුවට මුහුණ දීමට සිදු විය නොහැකි ද...? ඒ අනුව බලන විට එම අදහස පැවසීම සහ බාරගැනීම සාපේක්ෂ නොවේ ද...? සැබැවින් ම සාපේක්ෂ ය.
 
 
 
යට කී සාපේක්ෂතාව ඉතා මැනවින් විග්‍රහ කෙරෙන, අදාළ සුබ පැතුම පිළිබඳ ඉතා විවේචනශීලිව විචාරාත්මක ලෙස සාකච්ඡා කෙරෙන නිර්මාණයක් ලෙස අළහු සුබ්‍රාමාණියම් විසින් රචිත ‘‘ලස්සන ම දවස’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

අපට එදිනෙදා හමුවන යට කි පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් අදාළ සුබ පැතීම මායිම් නොකරන්නට පිළිවන; ඇතැම් විට ඔවු කිසිවකුට එසේ සුබ නොපතන්නට පිළිවන. එහි කිසිදු වරදක් නොමැති බව මෙම නිර්මාණය තුළින් ප්‍රත්‍යක්ෂ කර ඇත.

//‘‘මම විශ්වාස කරන දේ නම් ඇත්තට ම අද දවස ලස්සන ම දවසක් වගේ ම මුසලම දවසක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගෙ සුභ ප්‍රාර්ථනාවෙ අරමුණට තාම මම ළඟා වෙලා නෑ.’’ එසේ පැවසු මම වහ වහා එම ස්ථානයෙන් ඉවත්ව පැමිණ කුඩා ආපන ශාලාවකට කෝපි පානය සඳහා ගියෙමි. ඒ තුළට ඇතුල් වෙද්දී කිසිවෙකුත් සුභ ප්‍රාර්ථනා කීරීමට පැමිණියේ නැත. ජනේලය අසල හිඳගෙන කෝපි පානය කරන අතරේ පිටතට දෑස් යොමු කළෙමි. සැබැවින් ම අද ලස්සන ම දවසකි. අහස දීප්තිමත්ව නිල් පැහැයෙන් බබලයි. පදික වේදිකාව ඔස්සේ එහෙ මෙහ යමින් සිටින සියලු ජනයා සිටින්නේ සතුට උතුරන මුවින් යුක්තව ය. එහෙත් මම කෝපි බී අවසන් වීමට පෙර වර්ෂාව ඇද වැටෙන්නට පටන් ගැනුණි.

ලස්සනම දවස මොහොතකින් කරදරකාරී දිනයක් බවට පත් විය. මාස් කන්නයේ දී මෙන් මහා වැසි බිඳු ඇද හැලෙන්නට විය. ශෝකී ගීතයක රාවයක් සුළඟේ පාවි ආවේ ය. භූමිය පුරා වතුර පිරී මඩ විය. සිත සුළඟින් සිරුර කිලි පොවා ගියේ ය. දරුණු සිතල... සියල්ලන්ගේ ම මුහුණු තුළින් අසහනකාරී බවක් පිළිබිඹු විය.//

පිටුව 123

(උපුටා ගැනීම් සියල්ලෙහි අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් කෘතියේ අනන්තර්ගත පරිදි ම ය)


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/04/24


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...