The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ? - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

April 29, 2023 • 7:02 AM

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ?  -  උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව මේ තරම් හොට බිම ඇනී තිබුණත් වංශය කබල් ගෑමේ දක්ෂකම නම් ඉහලින් ම පිහිටා ඇති බවයි.
  • මෙවන් අවස්තාවක දී මා දිප්ලෝමැතික ව අනවැසි ලෙස දේශප්‍රේමී නොවී, හරි ඉතිං මොනාද ඒ කට්ටිය පාරම්බාන්නේ කියා අසන්නේ, මොහොතකට මා අලාංකික වීමෙනි.
  • එනම්, එක් දහස් නවසිය හැට ගණන්වල ලී ක්වාන් යූ අගමැති, එකල මඩ වගුරක ව තිබූ සිංගප්පූරුව ගොඩ නගන විට, ප්‍රොටෝ ටයිපය හෙවත් ආදර්ශය ලෙස සලකා ඇත්තේ ලංකාව යි.
  • එනම් සිංගප්පූරුව, ලංකාව මෙන් විය යුතු බවට ඔහු ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ එකල ලංකාවේ තිබූ සාපේක්ෂ ආර්ථික ස්ථාවරභාවය හා සෞඛ්‍ය, අධ්‍යාපන හා සාක්ෂරතාව ආදී සමාජ දර්ශකයන් කලාපයේ දෙවෙනි වූයේ ජපානයට පමණක් යන හේතු නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාව මේ තරම් හොට බිම ඇනී තිබුණත් වංශය කබල් ගෑමේ දක්ෂකම නම් ඉහලින් ම පිහිටා ඇති බවයි.

මෙවන් අවස්තාවක දී මා දිප්ලෝමැතික ව අනවැසි ලෙස දේශප්‍රේමී නොවී, හරි ඉතිං මොනාද ඒ කට්ටිය පාරම්බාන්නේ කියා අසන්නේ, මොහොතකට මා අලාංකික වීමෙනි. ඉන් තරමක් නිවෙන බිරිඳ පවසන්නී මෙය ය. එනම්, එක් දහස් නවසිය හැට ගණන්වල ලී ක්වාන් යූ අගමැති, එකල මඩ වගුරක ව තිබූ සිංගප්පූරුව ගොඩ නගන විට, ප්‍රොටෝ ටයිපය හෙවත් ආදර්ශය ලෙස සලකා ඇත්තේ ලංකාව යි.

එනම් සිංගප්පූරුව, ලංකාව මෙන් විය යුතු බවට ඔහු ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ එකල ලංකාවේ තිබූ සාපේක්ෂ ආර්ථික ස්ථාවරභාවය හා සෞඛ්‍ය, අධ්‍යාපන හා සාක්ෂරතාව ආදී සමාජ දර්ශකයන් කලාපයේ දෙවෙනි වූයේ ජපානයට පමණක් යන හේතු නිසා ය. ලංකාවේ වංශය කබල් ගාන්නන් නොදන්නා විරල කතාවක් ද මා අසා ඇත.

 

 එනම් ලී කවාන් යූගේ පියා විශ්‍රාම ගෙන, තවත් රැකියාවක් කර ඇත්තේ සිංගප්පුරුවේ පිහිටි ලාංකීය සමාගමක වන බී.පී ද සිල්වා වාප්පු ලිපිකරුවෙකු ලෙසිණි. බී.පී ද සිල්වා සමාගම ඔරලෝසු, මැණික් හා දියමන්ති වෙළෙඳාමේ පුරෝගාමී ව්‍යාපාරයකි. කෙසේ නමුත්, පසු කලෙක සිංගප්පුරු හා ලංකා දෙරට හාවා හා ඉබ්බා නාටකයේ අවසාන ජවනිකාව බවට පත් වීම රහසක් නොවේ.  

Singapore2

බිරිඳත් මමත් මීට සති දෙකකට පමණ පෙර සිංගප්පූරුවේ ශන්ග්‍රිලා හෝටලයේ පැවැති බොහොම ඝාම්භීර ලීලාවෙන් සංවිධානය කරන ලද උත්සවයකට හා දිවා භෝජනයකට සහභාගී වූයෙමු. ශන්ග්‍රිලාවේ ඇති ලොකු ම බැන්ක්වට් ශාලාවේ එය පැවැති අතර ආරාධිතයෝ හය සියයක් පමණ සිටිය හ. සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ද ඒ අතර විය. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ සිටියේ සිංගප්පූරුවේ සංස්කෘතික, ප්‍රජා හා තරුණ කටයුතු අමාත්‍යංශය භාර එඩ්වින් ටොං ඇමති ය. උත්සවයේ නිමිත්ත වූයේ සිංගප්පූරු සිලෝන් ටැමිල් සංගමයේ 115 වැනි සංවත්සරය ය.

සිංගප්පූරු ජනවාර්ගික  සංයුතිය චීන (77%), මැලේ (14%) හා ඉංදීය (8%) වන අතර, ඉතිරි සියයට එක, යුරේශියානු හා කුඩා අනු ජනවාර්ගික කොටස් අයත් වේ. සිලොනීස් ටැමිල් හෙවත් ලාංකීය දමිල යනු එවැනි එක් කුඩා කොටසකි. 1909 දී යට කී සංගමයේ සාමාජිකත්වය 300 ක් ව පැවැති අතර, එම සංගමයේ ශත සංවත්සරය වනවිට සිටි එහි සාමාජිකත්වය 1400 පමණ වූ බව කියැවේ.  එහෙත් මේ කුඩා සංඛ්‍යාවට සාපේක්ෂ ව එම ප්‍රජාව විසින් සිංගප්පූරු සමාජයට කර ඇති බලපෑම ඇති මහත් ය.  

 

Mr S. Rajaratnam                                              සින්නතම්බි රාජරත්නම්


යාපනයේ වඩුකෝට්ටෙයි උපත ලද සින්නතම්බි රාජරත්නම්, තම පවුල සමග මුලින් මැලේසියාවෙත් පසු ව සිංගප්පුරුවෙත් ස්ථාපිත විය. ලංඩනයේ කිංස් කොලීජියෙන් උපාධියක් හදාරා, අනතුරු ව මාධ්‍යවේදියෙක් ලෙස සිංගප්පුරුවේ කටයුතු කරනාතරය  ලී ක්වාන් යූ සමග සිංගප්පූරුවේ ස්වාධීනතාව හා නිදහස වෙනුවෙන් ගොඩ නැගුණු පීපල්ස් ඇක්ෂන් පාර්ටිය ස්ථාපිත කළ පුරෝගාමීන් කිහිප දෙනා අතරට රාජරත්නම් ද එක් වූයේ.

සමකාලීන සිංගප්පූරුව සෑදු පියවරුන්ගෙන් (founding fathers) එක්  අයෙකු ලෙස රාජරත්නම් සැළකේ.  පුර්ණ නිදහස ලද සිංගප්පූරුවේ ප්‍රථම විදේශ අමාත්‍ය ධූරය හෙබ වූයේ රාජරත්නම් වූ අතර 1980 දක්වා එම වගකීම ඔහු දැරී ය. ඒ අතර තුර කම්කරු අමාත්‍ය (1968-1971) තනතුර ද දැරී ය. 1980-1985 කාලයේ ඔහු නියෝජ්‍ය අගමැති ලෙස ද 1985-1988 කාලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තනතුර ද දැරී ය.

නව රාජ්‍යයක් වූ සිංගප්පුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා නොබැඳි ජාතීන්ගේ සංවිධානයට බැඳීමට නායකත්වය දුන්නේ රාජරත්නම් ය. ඊට අමතර ව අග්නිදිග ආසියාවේ ප්‍රබල අන්තර් රාජ්‍ය සංවිධානයක් වන ආසියාන් ස්ථාපිත කිරීමේ පීතෘ භූමිකාව කළේ රාජරත්න ලෙස පිළිගැණේ.    

 

Arumugam Ponnu Rajah                              ආරුමුගම් පොන්නු රාජා


නිදහස් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පළමු කථානායක වූයේ සිලෝන දමිලයෙකු වු ආරුමුගම් පොන්නු රාජා ය. දක්ෂ නීතීඥයෙකු වූ රාජා, පසු කලෙක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද විය. සිංගප්පූරුව විසින් බ්‍රිතාන්‍ය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා  ගොඩනගා ගැනීමෙන් අනතුරු ව, ප්‍රථම මහා කොමසාරිස් ලෙස ලංඩනයේ ස්ථානගත කළේ ඒ.පී රාජා ය. එතුමා ඉන් පසු ඔස්ට්‍රේලියාවේත් මහා කොමසාරිස් ලෙස වැඩ කටයුතු කළේ ය. රාජාගෙන් පසු ව පාර්ලිමේන්තුවේ කථානායක වූයේ ද සිලෝන දමිල පී. කුමාරස්වාමි ය.      

66638520 4fc2 11eb a1ff 055e32e48e0b                          ජොෂුවා බෙන්ජමින් ජෙයරත්නම්


කේවල පක්ෂ ක්‍රමයක් හෝ ඊට ආසන්න ක්‍රමයක් බොහෝ කලක් පවත්වාගෙන ගිය සිංගප්පූරුවේ පළමු විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ද සිලෝන දමිලයෙකි. ඒ යාපනයේ උපත ලැබ පසු ව මලයාවේ හා සිංගප්පූරුවේ ස්ථාපිත වූ ජොෂුවා බෙන්ජමින් ජෙයරත්නම් ය. බ්‍රිතාන්‍යයේ නීතීඥ පුහුණුව ලද ජෙයරත්නම් සිංගප්පුරුවේ උඩුගම් බලා පිහිණීමට තරම නිර්භීත වූ අතලොස්සෙන් එකෙක් ලෙස සැළකේ. නිදහස ලදු ව, ස්වාධීන රාජ්‍යයක් ලෙස 1965 සිට 1980 දක්වා රට පාලනය වුණේ තනි පක්ෂයක් විසිනි. පාර්ලිමේන්තුවේ විපක්ෂයක් කියා පුළුටක්වත් සිටියේ නැත. මුල් ම විපක්ෂ මන්ත්‍රීවරයා ලෙස 1981 වසරේ පාර්ලිමේන්තුවට පැමිණ ඉතිහාසගත වූයේ ජෙයරත්නම් ය  

 

Singapore MAS Shanmugaratnam WEF 810x524                                        ධර්මන් ෂන්මුගරත්නම්


සමකාලීන ව සිංගප්පූරු ජාතික නායක අමුද්‍රව්‍යක් (leadership material) ලෙස කැපී පෙණුන පුද්ගලයෙකි ධර්මන් ෂන්මුගරත්නම්. ලංඩන් ස්කුල් ඔෆ් ඉකොනොමික්ස් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවලින් පිළිවෙලින් ආර්ථික විද්‍යා ශාස්ත්‍රවේදී හා එම්,ෆිල් උපාධි ද, හාර්වඩ් සරසවියෙන් රාජ්‍ය පරිපාලනය ගැන ශාස්ත්‍රපති උපාධියක් ද ඇති ධර්මන්, සිංගප්පූරුවේ අධ්‍යාපන (2003-2008) , මුදල් (2007-2015) ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති (2011-2015) ඇමති ලෙස ද කටයුතු කළ අතර ඔහුගේ අවසාන වගකීම වූයේ නියෝජ්‍ය අගමැති (2011-2015) ලෙස ය.

 

 සිංගප්පූරුවේ සිරිත නියෝජ්‍ය අගමැති යම් කලෙක අගමැති වීම ය. අති දක්ෂයෙක් ලෙස අවිවාදිත ව නායකත්වයට සුදුසු බව කවුරුත් පිළිගත් ධර්මන් කෙසේ හෝ එසේ වූයේ නැත්තේ සිංගප්පූරුව තාමත් සුළුතරයෙකු නායකත්වයට පත්වීමට සුදානම් නැති බව නිසා ය. සිංගප්පුරුවේ වෛද්‍ය විද්‍යාඥයෙකු හා ව්‍යාධිවේදයේ පියා ලෙස ගැණෙන මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් ධර්මන්ගේ පියා ය. 1967 දී සිංගප්පූරුවේ පළමු  පිළිකා රෙජිස්ට්‍රිය ගොඩනැගුවේ මහාචාර්ය කනගරත්නම් ය. ඔහුගේ පියා, එනම් ධර්මන්ගේ සීයා ය, සිලෝනයෙන් මැලේසියාවටත් ඉන් පසු ව සිංගප්පූරුවැටත් කර ඇත්තේ.  


ශන්ග්‍රිලාවේ දිවා අහාර බුෆේ මේසය මෙන් ම ටොං ඇමති කියැ වූ  සිලෝන දමිල නම් වැල ද දිගු විය. ම මෙහි සඳහන් කළේ දේශපාලනයේ නිරත ප්‍රමුඛයන්ගේ නම් කිහිපයක් පමණි. ඊට අමතර ව, නීති, රාජ්‍ය පරිපාලන, වෛද්‍ය, ඉංජිනේරු, පර්යේෂණ, ක්‍රීඩා හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ද අද්වතීය පුරෝගාමී භූමිකාවක් සිලෝන දමිල ප්‍රජාවේ සාමාජිකයින් සිංගප්පුරුව ගොදනගීමෙලා දායක වී ඇත. බැරි වෙලාවත් මේ 'සැට්' එක සිලෝනයේ ම සිටියානම් අප දෙදෙනාට සමහර විට 'සැටල්' වීමට සිදු වන්නේ හාත් පසින් වෙනස් යාපනේ වගේ නගරයක බව මා බිරිඳට කීවේ, ප්‍රණීත පායාසම් හැන්දක් කටට දා ගන්නා ගමන් ය.

 

Udan fernando

 

 

 

 

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

 

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...