The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වෘත්තීය අරගලයන්ට පාඩමක් කියාදෙන යුරෝපා 'සුදු රැල්ල'- (දොන් සමන්ත)

T

The Leader Desk

April 29, 2023 • 2:27 PM

වෘත්තීය අරගලයන්ට පාඩමක් කියාදෙන යුරෝපා 'සුදු රැල්ල'- (දොන් සමන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව ගිනිය හැක.
  • ජීවන වියදම වැඩිවීම සහ වෘත්තීය අයිතීන් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයයන් යුධ ප්‍රකාශ කර ඇත.
  • ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත.
  • මෙම ලියුම්කරුද මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව ගිනිය හැක.

ජීවන වියදම වැඩිවීම සහ වෘත්තීය අයිතීන් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත.

මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට විරුද්ධ වුවත් ඔහු විසින් එය සම්මත කර ගත්තේය. එසේ එය සම්මත කර ගත්තේ ප්‍රංශ ව්‍යවස්ථාවේ 49.3 ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්තියට නිර්වස්ත්‍රව මුවා වෙමිනි.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ඔහු විමසුවේ නැත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ මෙම බොනපාර්ට්වාදී නින්දිත ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ ජනතා නැගිටීම් වල අලුත් ප්‍රවනතා ඇතිවීමට පටන් ගෙන තිබේ. එනම් ස්ව්යං සිද්ධ බලමුළු ගැන්වීම්, උපාය මාර්ගික අංශ වල වැඩවර්ජන, ප්‍රධාන මාර්ග අවහිර කිරීම් , පාසැල් හා වීශ්ව විද්‍යාල වල වාඩිලා ගැනීම්, හමුදා හා පොලිසිය සමග දැඩි වීදී ගැටුම් ඇති වීමේ ඉඩකඩ වැඩි වෙමින් තිබේ.

ප්‍රංශ ජනපතිගේ මෙම හැසිරීම සම්ප්‍රදායක හා රැඩිකල් වෘත්තිය සමිති ව්‍යාපාරයට සහ සංශෝධනවාදි වාමාංශිකයන්ටත් ප්‍රතිසංස්කරනවාදි ඊනියා වමටත් දැඩි මානසික ආතතියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. නිලධාරිවාදී වෘත්තීය සමිති නායකත්වයට තවදුරටත් කළ හැකි දෙයක් නැති වන තරමට පීඩනය එල්ල වී ඇත.

 

 මෙසේ ඇති වූ පීඩනයේ ධනාත්මක ප්‍රතිපලයක් ලෙස ප්‍රංශ වැඩකරන ජනතාවගේ සැබෑ නිර්මාණශීලී කණ්ඩායම් අලුත් ක්‍රියා මාර්ග ගැන සාකච්ඡාවන් ආරම්භ කර ඇත. ප්‍රංශය පමණක් නොව සමස්ථ යුරෝපානු කලාපයම ඒකාබද්ධ සටන් කලාපයක් කිරීමේ යෝජනා ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස මෙම ලිපිය ලියන 2023 අප්‍රේල් 22 වන දින සවස ප්‍රංශ හා ඉතාලි සමාජවාදි ක්‍රියාධරයන් සටන් ඒකාබද්ධතාවයක් ගැන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

 

අනෙක් අතට මහ බ්‍රිතාන්‍යය පසුගිය අඩ සියවසයේ මුහුණ දුන් විශාලතම වැඩවර්ජන රැල්ලට මුහුණ දෙමින් ඇත. ග්‍රීසියේ දැනටම මහ වැඩවර්ජන තුනක් සිදු විය. ජර්මනියේ වසර 30 කට පසු සිදු වූ  විශාලතම ප්‍රවාහන හා පොදු සේවක වැඩ වර්ජනය 2023 මාර්තු 27 වන දින සම්පූර්ණයෙන්ම එරට අඩාල කළේය. පසුව එය ජාතික වැඩවර්ජන රැල්ලක් බවට පත්විය. 2008 වර්ෂයෙන් පසුව යුරෝපයේ මෙවැනි මට්ටමක වැඩකරන ජනතාවගේ සටන් තත්වයක් ඇති වී ඇතිද යන්න සැකයකි.

2023 වර්ෂයේ පෙබරවාරි 11 වන දින ලිස්බන් හිදී ගුරුවරුන් 140,000 ක් වැඩ වර්ජනය කර වීදියට බැස්සේය. මෙම ගුරුවරුන් අතර සිටි මරියා ගුයිර්රා පෘතුගාල අගනුවරට 150 Km  දුර ලෙයිරියා නගරයේ සිට පැමිණි මහාචාර්ය වරියකි. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ ” මම මෙහි සිටින්නේ මාගේ සියළුම ශිෂ්‍යයන් වෙනුවෙන් වගේම කෝවීඩ් කාලයේ සිට මේ දක්වා අසරණභාවයට ඇද වැටී ඇති මාගේ සියළුම සගයන් වෙනුවෙන්ය. ඔවුන් දැන් දරුණු උද්ධමනයෙන් පීඩා විඳිනවා. පවතින වැටුපෙන් කිසිසේත්ම ජිවත් විමට බැරි තත්වයක් තිබෙන්නේ. ඒ නිසා ඉදිරියේදී වැඩවර්ජන ඉක්මවා යන සමාජ පෙරලියකට මුලපුරන්න සිදු වෙනවා. ඒ සදහා මම ඔබට ඇරයුම් කරනවා”

2023 පෙබරවාරි 28 වන දින ග්‍රීසියේ ද මිනිසුන් 57 දෙනකුට මරු කැඳවූ දුම්රිය ව්‍යසනයක් සිදු විය. මෙම සිද්ධියෙන්  පසුව ග්‍රීසිය පුරා වැඩවර්ජන විරෝධතා ඇති විය. මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙක් කම්කරුවෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වූහ. මේ සම්බන්ධයෙන් ග්‍රීසියේ ප්‍රධාන වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටියේ ” මියගිය හා තුවාල ලැබු සියළුම දෙනා සම්බන්ධව ඇති වේදනාව කෝපයක් බවට පත්වන බවය” එතැන් සිට මාර්තු 8 , 13 හා 16 යන දින වල වැඩවර්ජන 3 ක් කැඳවනු ලැබීය. මෙට්ට්‍රෝ සේවකයෝ සති 2 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහ. ග්‍රීසිය පුරාම දැවැන්ත පෙලපාලි නිර්මාණය විය. එවැනි දැවැන්ත පෙලපාලි දක්නට ලැබුනේ  1974 දී ග්‍රීක ඒකාධිපතිවාදය බිඳ දැමු කාලයෙන් පසුව බව ප්‍රකාශ කෙරේ.

මීලඟට ජර්මනියේ උද්ධමන තත්වය නිසා විශාල වැඩ වර්ජන  ඇවිලී ඇත. දැන් මාස ගණනාවක සිට රෝහල්, පාසල්, තැපැල් කාර්යාල සහ වරායන් වල වැඩ වර්ජන ඇති වී ඇත. 2023 මාර්තු 27 වන දින ජර්මනියේ ප්‍රවාහන සේවකයන් කළ වැඩ වර්ජනය නම් කර තිබුනේ මෙගා වැඩවර්ජනය ලෙසය. පෙබරවාරි මාසයෙදී ජර්මනියේ උද්ධමනය 8.7%  දක්වා ඉහළ ගියේය. කම්කරුවන් 10.5% ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අතර තත්වය පාලනය කර ගැනීමට පාලකයන් විසින් 5% ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලදී. එසේ වුවද ජර්මනියේ වැඩ කරන ජනතාව මෙය ප්‍රමාණවත් නොවන බව දන්වා ඉදිරි ක්‍රියා මාර්ග සැලසුම් කරමින් තිබේ.

අනෙක් පැත්තෙන් 2023 පෙබරවාරි 01 වන දින මහා බ්‍රිතාන්‍යය අර්බුදය දරුණු තත්වයට පත් විය.  එදින දුම්රිය සේවකයන් රාජ්‍ය අංශයේ සේවකයන්,  හෙදියන් , ගිනි නිවන භටයන් , ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 500,000 කට අධික පිරිසක් ජීවන වියදම දරා ගැනීමට නොහැකිව පාරට බැස්සෝ ය.

මේ අතර 2023 පෙබරවාරි 12 වන දින ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදි සෞඛ්‍ය සේවකයන්ගේ දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක විය. මෙම වැඩ වර්ජනය හඳුන්වනු ලැබුවේ ”සුදු රැල්ල” ලෙසය. මේ සඳහා ලක්ෂ ගණනින් ජනයා වීදි වලට පැමිණ සහයෝගය දැක්වූහ. එහි ප්‍රතිඵලය වූයේ එම සේවකයන් 15% වැටුප් වැඩිවීමක් දිනා ගැනීමය. මෙම වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් නිමා විය. එසේ ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එරට වාමාංශික ව්‍යාපාරය ජනතාව පෙර සූදානමක සහ වෘත්තිය සමිති, වෘත්තීය සමිතිවාදය ඉක්මවා කටයුතු කිරීමට සූදානම් වීමෙනි.


ඉහත සඳහන් කළ කරුණු ඔබ හමුවේ තැබුවේ යුරෝපයේ පවතින යථා තත්වය පිලිබඳ යම් අවබෝධයක් ලබා දීමටය. එමෙන්ම ප්‍රධාන ධනපති මාධ්‍ය ආයතන සැබෑ යතාර්ථය සැඟවීමත් එක් හේතුවකි. අනෙක් අතට යුරෝපයේ සමාජවාදී වාමාංශික ලෙස හඳුන්වන බොහොමයක් සංවිධාන හා පක්ෂ හුදෙක්ම නාමකරණයක් පමණක් වෙමින් පවතින අතර අනියම් ලෙස හෝ සෘජුවම මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරමින් සිටීමය.


උදාහරණ වශයෙන් 1938  වර්ෂයේ ලියෝන් ට්‍රොස්ට්කි ප්‍රංශයේදි නිර්මාණය කළ 4 වන ජාත්‍යන්තරය නියෝජනය කරන ප්‍රංශයේ NPA (NEW ANTICA PITALIST PARTY) නායකත්වය ප්‍රතිසංස්කරණවාදි පෙරමුණකට යාම තුළින් සමාජවාදී ඉදිරි දර්ශනය සම්පූර්ණයෙන්ම පාවාදී ඇත.

මෙම පක්ෂයේ අවසාන සම්මේලනය 2022 දෙසැම්බර් මස පැවැත්විමට යෙදුන ද පක්ෂයේ නායකත්වය විසින් එම සම්මේලනය එදින කඩාකප්පල් කළේ පක්ෂය දෙකට බෙදා පලා යාමෙනි. දැන් එම පක්ෂයේ වාම මුහුණුවර වෙනම ගොඩනැගෙමින් ඇති අතර එම කොටස් තුලද යම් යම් වෙනස්කම් ඇති බවද පැහැදිලිය.

ප්‍රංශයේ (NPA) පක්ෂය දක්ෂිනාංශික ප්‍රතිසංස්කරණවාදයට ගෙන ගිය එහි නායකත්වයේ කොටසක්ම හතරවන ජාත්‍යන්තරයේද නායකත්වයේ සිටීම තව දුරටත් ඔවුන් විසින් ලෝක වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර පක්ෂය නිර්මාණය කරන කාර්යය භාරය අවසන් වශයෙන් අත්හැර ඇති බව පසක් වේ.

එම නිසා දැන් යුරෝපය හා ලතින් ඇමරිකානු කලාප වල මෙන්ම ඇමරිකාවේ හා කැනඩාවේද ආසියාකරයේද නව ජාත්‍යන්තරයක් නිර්මාණය කිරීම පිලිබද අත්‍යවශ්‍ය කතිකාව මතු වී ඇත. එම වැඩපිළිවෙල ඉදිරියට ඒමට නියමිතව ඇත. බොහෝ දුරට කලාපීය මට්ටමෙන් එක්සත්වීම් සිදු විය හැක. දකුණු ආසියානු කලාපය හා ආසියානු කලාපය සමාජවාදී කොමියුන් සංගමයක් ලෙස ඉදිරියට ගත යුතුය. ආජන්ටිනාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය පදනම් කර ගෙන “මාක්ස් ” අධ්‍යයනය කරන අලුත් කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් ඇත. ඒ වෙනුවෙන් දෑස් දල්වා ගෙන සිටින ලෙස ශ්‍රී ලංකාවේ ද ඇතුළු දකුණු ආසියාවේ සියළුම සැබෑ සමාජවාදීන්ගෙන් ඉල්ලා සිටිමු.
 
 
Don Samantha(දොන් සමන්ත)
CGT (Confédération générale du travail )
වෘත්තිය සමිති ක්‍රියාකාරි
(සෝර්බෝන් විශ්ව විද්‍යාලය - ප්‍රංශය)

samantha_rajapaksa@hotmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...