The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැයි පළවැනිදා යයි පෙළපාළි

T

The Leader Desk

April 30, 2023 • 11:50 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මැයි පළවැනිදා යයි පෙළපාළි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කම්කරුවන් ඇතුළු සියලු වැඩ කරන හා නොකරන ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට බෙදී මැයි දිනය දා පෙළපාළි යනු දැකගත හැකිය.
  • ඒවා කිසිදු සැබෑ නොවන ඉල්ලීම් බවද ඔවුහු දනිති.
  • මැයි දිනයෙන් පසු කොළඹ නගර සභාවේ කම්කරුවෝ බිම දමා ඇති සටන් පාඨ පත්‍රිකා කුණු කරත්තවලට එකතු කරගෙන යති.
  • බොහෝ දෙනාට මැයි දිනයට පමණක් එළියට ගන්නා රතු කමිස ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කම්කරුවන් ඇතුළු සියලු වැඩ කරන හා නොකරන ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට බෙදී මැයි දිනය දා පෙළපාළි යනු දැකගත හැකිය.

 

ලෝකයේ කම්කරුවන්ට එක්සත් වන්නැයි කීවේ කාල් මාක්ස් ය. සිරි ලංකාවේ කම්කරුවන්ට එය අදාළ නැත. කොටින්ම ඔවුන්ගෙන් බහුතරය මාක්ස් කවුදැයි හඳුනන්නේත් නැත.

 

වර්තමානයේ මෙරට කම්කරු පන්තියට නායකත්වය දෙන බොහෝ දෙනා අයත් වන්නේ ධනපති පන්තියටය. දැන් දැන් ඉස්සර මෙන් ''ධනපතියන් භංග වේවා'' යැයි කියනු අසන්නට නොලැබෙන්නේද එහෙයින් විය හැකිය.

මැයි දිනය ද දන්සලක් බඳුය. ප්‍රවාහනය, කෑම බීම නොමිලේය. සමහර විට මුදල් ද ලැබේ. දුර බැහැර පළාත්වල උදවිය නොමිලේ කොළඹ පැමිණ මුහුද බලා රැල්ල පාගා යන්නේ මැයි දිනයේදීය.

 

64sAIf7WlUHVtzZv Image 1

 

පෙළපාළිවල යන අය හඬ නගා කියන්නේ කල් තියා මුද්‍රණය කර බෙදා දෙන සටන් පාඨයන්ය. ඒවා කිසිදු සැබෑ නොවන ඉල්ලීම් බවද ඔවුහු දනිති. ''දියව් දියව්'' යැයි කොතෙක් කෑ ගෑවත්, කිසිදු ඒ කිසිවක් ලැබෙන්නේ නැත. මැයි දිනයෙන් පසු කොළඹ නගර සභාවේ කම්කරුවෝ බිම දමා ඇති සටන් පාඨ පත්‍රිකා කුණු කරත්තවලට එකතු කරගෙන යති.

 

මැයි දිනයේ පාට රතුය. බොහෝ දෙනාට මැයි දිනයට පමණක් එළියට ගන්නා රතු කමිස ඇත. කැපුවත් කොළ හා නිල් යැයි කියන අය පවා මැයි දිනයේදී රතු අඳිති. රතු මැයි දිනයේ ඉතිහාස කතාව ඔවුහු නොදනිති.

බොහෝ මැයි දින පෙළපාළිවලදී ධනපතියෝත්, නිර්ධනයෝත් එක්ව ගමන් කරති. පාලකයෝත්, පාලිතයෝත් එකම බැනරය යට අත්වැල්බැඳ යති. එහෙයින් වත්මන් මැයි දිනය යනු පන්ති සමගිය විදහා දක්වන සංදර්ශනයකැයිද කිව හැකිය.

මැයි දිනයට සෙනඟ රුස් කරවන උපක්‍රම කිහිපයකි. ඉන් වඩාත්ම වැදගත් වන්නේ මත්පැන්ය.

රතු කට්ට පැනපු ඇතැම් අය රුස්වීම් භූමිය තෙක් නොගොස් මඟ දෙපස පදික වේදිකාවල හෝ ගස් යට වැතිර ගනිති. සමහරු තමන්ගේ සංවිධායකයාගේ පෙළපාළිය මඟහැරී වෙනත් අයගේ පෙළපාලිවල ගමන් කරති. තමන් ගමේ සිට ආ බසය නතර කළ තැන සොයාගත නොහැකිව පසුදින පාරේ බසයක නැගී ආපසු යන අයද නැතුවා නොවේ.

කොළඹට නුදුරු ආසනයකට අලුත පත්වූ සංවිධායකවරයකු ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් පවත්වාගෙන ගිය සදාචාරවාදියෙකි. ඔහුගේ ලේකම්වරයා වූයේ මැයි දින සංවිධානය ගැන හොඳ අත්දැකීම් ඇත්තෙකි.

''සර්, පෙළපාළියෙ යන අයට අරක්කු දෙන්න වෙනවා.'' ඔහු කීය.

''නෑ නෑ නෑ.. මගෙ පෙළපාළියේ අරක්කු නෑ. ඒ වෙනුවට අපි හොඳම හෝටලේකින් බුරියානි දෙමු.'' සංවිධායක කීය. ලේකම්ටද ඊට එකඟ වීමට සිදුවිය.

බුරියානි සඳහා විශාල මුදලක් වැය කෙරුණි. එහෙත් මත්පැන් නැති බව දත් පාක්ෂිකයෝ කනස්සල්ලට පත්වූහ. පිටුපසින් පැමිණියේ වෙනත් ආසනයක පෙළපාළියකි. එහි ගමන් ගත් රථයක ඕනෑ තරම් කයිප්පු පැකට් තිබුණි. බුරියානි පැකට් ගත් ජනයා කසිප්පු පැකට් සොයා ගියහ. අවසානයේදි ''බුරියානි සංවිධායක'' ගේ පෙළපාළිය ගාලු මුවදොරට ළඟා වන විට එහි සිටියේ මුලින් සිටි සෙනඟින් හරි අඩකටත් අඩුවෙනි.

ටික කලකින්ම එම ආසන සංවිධායකවරයා සිය පිරිසුදු ප්‍රතිපත්තිත් සමඟ දේශපාලන භූමියෙන් ඈත්ව ගියේය. සිරි ලංකාවේදී ''මැයි දින මත්පැන'' එතරම් ප්‍රබලය.

A supporter of the Sri Lankan Marxist JVP or People's Liberation Front waves a red flag during a Labour Day rally in Colombo on May 1, 2010. The JVP is part of the opposition alliance headed by the detained former Army chief General Sarath Fonseka. Sri Lanka's political parties are holding May Day rallies for the first time since the ending of nearly four decades of ethnic bloodshed. Nearly a dozen meetings were scheduled in the capital and suburbs, but labour day celebrations by opposition parties were low-key following their drubbing in two major elections this year. AFP PHOTO/ Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

 

දේශපාලන පක්ෂ මැයි දිනය යොදාගන්නේ තමන්ගේ ශක්තිය පෙන්වීමටය. එහෙත් ඇතැම් විට මැතිවරණවලදී පෙනී යන්නේ මැයි දිනයට ආ සෙනඟ තරමටවත් ඔවුන්ට ඡන්ද ලැබී නැති බවය.

 

මැයි දිනය ඉංග්‍රීසියෙන් May days ය. එයට තවත් තේරුමක්ද ඇත. ගුවන් යානා හෝ මුහුදු නෞකා අනතුරකදී සංඥා නිකුත් කරන්නේ ''මේ ඩේ, මේ ඩේ'' යනුවෙනි.

එක් සිනා කතාවක එන අන්දමට ඉන්දියාවේ ප්‍රාදේශීය ගුවන් තොටුපළක් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක යාන්ත්‍රික දෝෂයක් ඇතිවිය. ගුවන් නියමුවා වහාම ගුවන් තොටුපළ අමතා ''මේ ඩේ, මේ ඩේ, මේ ඩේ'' යැයි කීය. නිවාඩු දිනයක් වූ හෙයින් එදින එහි සේවයට යොදවා තිබුණේ ආධුනික නිලධාරියෙකි. ''මේ ඩේ'' සංඥාව නොදත් ඔහු මෙසේ කීය.

''ඔව් ඔව්, ඒ වුණාට අපි වැඩ''

ගුවන් නියමුවා යළිත් වරක් සැලෙන හඬින් ''මේ ඩේ, මේ ඩේ'' යැයි කීය. එවර ආධුනික නිලධාරියා මෙසේ කීය. ''මොනව කරන්ඩද කැප්ටන්. අපි වැඩ කරන පන්තියෙනෙ.'' සුළු මොහොතකට පසු මහ හඬක් නගාගෙන ගුවන් යානය තොටුපළට කඩා වැටුණේය.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)



JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...