පැය 08 වැඩ මුරයක් වෙනුවෙන් සටන් කරන ලද ඇමෙරිකානු චිකාගෝ නුවර කම්කරු අරගලයක් වෙත එල්ලවුණු තිරශ්චීන පොලිස් ප්‍රහාරයක් නිසා අහිමි වූ ජීවිත මුල්කර ගනිමින් ඇතිවූ කම්කරු දිනය අනෙකුත් දේශපාලන මතවාද මෙන්ම පිටතින් ආනයන වූවකි.
කම්කරුවා මූලික කරගෙන පැවැත්වෙන මේ අවස්ථාව මාක්ස්වාදී අර්ථයක් ලැබෙන්නේ එහි ඇති සංකල්පීය ගොඩනැගීම් හරහාය. කම්කරු පංතියේ ආඥාදායකත්වය යටතේ නිෂ්පාදන බලවේග වල අයිතිය කම්කරු පංතිය සතුවිය යුතු බව මාක්ස්වාදී ස්ථාවරය යි.
ඒ අනුව කම්කරුවා මූලික වූ මේ මැයි දිනය මාක්ස්වාදය පිළිගන්නා හා එහි මූලෝපායන් අනුගමනය කරන්නා වූ පක්ෂ හා සංවිධාන වලට වැදගත් ය. නමුත් මින් අදහස් වෙන්නේ අනිකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන වලට මේ මැයි දින සැමරීමේ අයිතිය නැති බව නොවේ.
මාක්ස්වාදය අනුව කම්කරුවා යනු සිය ශ්‍රමය හැර විකිණීමට හෝ යැපීමට වෙන කිසිදු “දෙයක්” නොමැති පුද්ගලයාය. යුරෝපීය කාර්මීකරණයට අනුලෝමව ඇතිවූ විශාල කර්මාන්තශාලා වලදී මේ තත්ත්වය පැහැදිලි සුජාතබාවයක් අත්කර ගනී. නමුත් ධනවාදය මුදල් වලින් මුදල් මැවීමේ සමපේක්ෂන යුගයට එන විට කම්කරුවා යන නිර්වචනයෙහි අර්ථය දියවී යමින් තිබේ.
ලංකාවේ 20% වන රාජ්‍ය හා පුද්ගලික ස්ථිර රැකියාවති පිරිස යනු මාසික නිශ්චිත වැටුපක් හිමි පුද්ගලයන් ය. ඒවායේ පවතින ගැටලු හා අසමානතා කොතෙකුත් තිබිය හැකි වුවද සිය ජීවිකාව වෙනුවෙන් මාසිකව ලබන්නා වූ වැටුප ස්ථිරය.
එසේම මින් රාජ්‍ය විසින් සිය බදු මුදල් හරහා මාසික වැටුප් මගින් ආවරණය කරන ප්‍රමාණය ලක්ෂ 15 කි. එයට විශ්ව විද්‍යාල ගුරුවරු, පාසැල් ගුරුවරු, වෛද්‍යවරු, අනිකුත් සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය බැංකු, විදුලි බල, ජල සම්පාදන, ප්‍රවාහනය(දුම්රිය හා CTB) ආදිය ඇතුලත් ය. මේ සියලුම වෘත්තීන්ට අදාලව වෘත්තීය සමිතිද පවතින අතර ඒවා වාමාංශික පක්ෂ හා සංවිධාන සමග බැදී තිබේ. මේවායේ සමහර වෘත්තීය සමිති වාමාංශික නොවන අනිකුත් පක්ෂ හා බැදී පැවතියද, ඒවාද පොදු ක්‍රියාකාරිත්වයක් තුලදී වාමාංශික මතවාදය කෙරෙහි නැමියාවක් දක්වයි.
පසුගිය දශක කිහිපය පුරාම මැයි දින සැමරුම් වලදී හෝ වෙනත් වෘත්තීය සටන් පෙරමුණු වලදී මුල් පෙල සිටියේ මොවුන් ය. නැතිනම් ලංකාවේ සියලුම වාමාංශික පක්ෂ (ජ.වි.පෙ./පෙරටුගාමීන්ද ඇතුලත්ව) හා අනිකුත් දේශපාලන පක්ෂද (පොදු ජන පෙරමුණ, එ.ජා.ප., ශ්‍රිලනිප ඇතුලු) සිය දේශපාලන ව්‍යාපෘතීන් තුල ” කඩේ ගොස්” ඇත්තේ මේ මාසික වැටුප් ලාභීන්ටය. එසේ නොමැති නම් සිය මැයි දින කම්කරු සැමරීම් හරහා උඩ දමා ඇත්තේද, සිය දේශපාලන අභිලාෂයන් වෙනුවට ඉටුකර ඇත්තේද මෙම 20% වූ පුද්ගලයන්ගේ අභිලාශයන් ය.
මෙහි ඛේදනීය පැත්ත වන්නේ මේ මාසික වැටුප් නොලබන, වෘත්තීය අරගල සදහා සංවිධාන ගත නොවන, අවිධිමත් ආර්ථිකය තුල රැදී සිටින 60% වන බහුතර ජනතාවගේ තත්ත්වය කුමක්ද යන්න යි. ඒ පිළිබඳ මේ දේශපාලන කණ්ඩායම් වල වගකීම හා වගවීම කුමක්ද යන්න යි.
එසේම මෙම අවිධිමත් ආර්ථිකය තුල රැදී සිටිනා පුද්ගලයන්ගේ දේශපාලන අභිලාශයන් පිළිබඳව වන අදහස පසුගිය යුග වලදී සංස්කෘතික දේශපාලනය (ජාතිය, ආගම) තුලින් වසා දැමීමට මුල් වුනේද ජ.වි.පෙ. වැනි වාමාංශික පක්ෂ වීම කොතරම් උත්ප්‍රාසයක්ද? අනිත් අතින් මේ බහුතර 60% මිනිසුන් හා ගැහැනුන්ගේ ඡන්ද මතින් පාලන බලය හෝ නියෝජනයන් ලබා ගන්නා දේශපාලන පක්ෂ ඉන් පසු සිය ව්‍යාපෘතිය තුලම 20% වන විධිමත් ආර්ථිකය තුල රැදී සිටින පුද්ගල කණ්ඩායම් තුලට “කඩේ යාම” කොතරම් උත්ප්‍රාසයක් ද ?
ලංකාවේ මෑත දශකයන් හි සමරන ලද මැයි දින සැමරුම් සේම මෙවර ද මැයි දිනය යනු මේ 20% වන විධිමත් ආර්ථිකයේ සිටින පුද්ගලයන්ගේ ජීවන විලාසිතාව පිළිබඳව වන ස්ථිර කිරීමක් විනා, ඉන් බැහැර වන්නා වූ දේශපාලන ක්‍රමෝපායක් හෝ දැක්මක් පිළිබඳව වන සැමරීමක් හෝ ක්‍රියාකාරී කමක් නොවේ. ලංකාව පාලනය කරන මේ දෘෂ්ටිවාදය නැට්ට පිටින් ගිල, වලදා ඇති ජනතාවකුත්, ඊට සුජාතබාවක් දෙන පක්ෂ රැසකුත් ඇති විට මේ විකාරය මතුපිට තලයේදී පැවතීමම ලංකාවේ දේශපාලනය යි.
ඒ අනුව මැයි දිනය දාටද අවිධිමත් ආර්ථිකයේ රැදී ඇති බහුතර මිනිසුන් හා ගැහැනුන් සිය ජීවත් වීම සදහා වීසිකර ඇති පොරපිටියේ සටන් කරනු ඇත. එය වේදිකාවක් මතට දේශපාලන ව්‍යාපෘතියක් සේ නොනගින තාක් මැයි දිනය යනු “කම්කරුවන් නොවන කම්කරුවන්ගේ සැමරීමකි”. ඊට සුජාතබාවක් දෙන සියලුම දේශපාලන ව්‍යාපෘතීන් යනු මනෝරාජික ලෝක වල වැලි මාලිගා මිස ලංකාව වෙනස් කල හැකි ව්‍යාපෘතීන්ද නොවේ.
(දවසේ සටහන : carbonnews.lk)




