The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි

T

The Leader Desk

May 1, 2023 • 10:18 AM

ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිකාවක් ඇති වුණාම ඒ පිළිකාව ඇති වුණු පුද්ගලයාත් ඔහුගේ සමීප ඥාතීනුත් ඉමහත් කම්පනයකට තැති ගැනීමකට පත්වෙනවා.
  • මේ පිළිකාව සුව කරගත යුතු බව ඔවුන් දන්නවා.
  • පිළිකාව හොඳ කරන්නට අසීරු එකක් නම් බටහිර වෛද්‍යවරුන් ඒ බවත් රෝගියාට සංයමයෙන් යුක්තව පහදා දෙනවා.
  • පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තම අදහස් ප්‍රකාශ කරන්නේ විද්‍යාත්මක පදනමක් සහිතවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පිළිකාවක් ඇති වුණාම ඒ පිළිකාව ඇති වුණු පුද්ගලයාත් ඔහුගේ සමීප ඥාතීනුත් ඉමහත් කම්පනයකට තැති ගැනීමකට පත්වෙනවා. මේ පිළිකාව සුව කරගත යුතු බව ඔවුන් දන්නවා. නමුත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ අයට නිසි මග පෙන්වීමක් නොලබන විට විවිධ මිථ්‍යා මත හා වැරදි ප්‍රතිකාර කෙරෙහී ඔවුන් යොමු වන්නට ඉඩ තිබෙනවා.

භයානක කාරණය තමයි, මේ විදිහේ අවස්ථා ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ කූට ව්‍යාපාරික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්නට උත්සාහ ගන්නා කණ්ඩායම් අපේ රටේ බොහෝමයක් ඉන්නවා.

metastasis

බටහිර වෛද්‍ය විද්‍යාවේදී පිළිකා රෝගියෙක් හමු වුණාම, ඔහුට තමන්ට තිබෙන පිළිකාවේ ස්වභාවය, ඊට කරන්නට තියෙන ප්‍රතිකාර, ඊට තියෙන අභියෝග වගේම මේ සියල්ල හමුවේ ප්‍රතිකාරය සාර්ථක භාවයට පත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් රෝගීන්ට ලබාදෙනවා. පිළිකාව හොඳ කරන්නට අසීරු එකක් නම් බටහිර වෛද්‍යවරුන් ඒ බවත් රෝගියාට සංයමයෙන් යුක්තව පහදා දෙනවා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තම අදහස් ප්‍රකාශ කරන්නේ විද්‍යාත්මක පදනමක් සහිතවයි.

නමුත් අර ප්‍රශ්නගත කණ්ඩායම් කරන්නේ මේ පිළිකාව සම්පූර්ණයෙන් සුව කරන්නට ස්ථිර වශයෙන්ම හැකිය කියන මතය ඉඳුරාම රෝගියාගේ හිත තුල පැලපදියම් කිරීමයි. ‘‘මේක ඔය බටහිර වෛද්‍යවරුන්ට බැරි වුණාට මම මේක සුවපත් කරනවා.’’ ඔවුන් එහෙම කියනවා. රෝගියා තුළ උපරිම විශ්වාසනීයත්වයක් ජනිත කරනවා.

sutathissa 0

ළමයින්ට හා තරුණ අයට ඇති වෙන්නට ඉඩ තිබෙන පිළිකාවක් තියෙනවා ඔස්ටියෝ සාකෝමා කියලා. ඒක හැදෙන්නේ අත්වල සහ පාදවල අස්ථි ආශ්‍රීතව. සමහර ඔස්ටියෝ සාකෝමා කාණ්ඩයේ පිළිකා වලදී රෝගියාගෙ කකුල බේරගන්න බෑ. රෝගියාට එහෙම අවදානමක් තිබෙනවා නම්, කකුල වෙනුවට ජීවිතය බේරගන්න අවශ්‍ය නම් ඒ බව රෝගියාට කරුණූ කාරණා සහිතව පහදා දෙනවා.

නමුත් එහෙම වෙලාවට අර කලින් කියපු විදිහට ක්‍රියාත්මක වන ව්‍යාජ වෛද්‍යවරුන් කියන්නේ ‘‘අනේ, ඔය කකුල නම් කපන්න දෙන්න එපා. මං පිළිකාව සනීප කරලා දෙන්නම්, කකුලත් බේරල දෙන්නම්’’ කියලා. එහෙම කිව්වහම කොයි කෙනාද ඒක අහන්නේ නැතුව ඉන්න කැමති. ඔය වගේ ආකර්ෂණීය පොරොන්දු දීලා අන්තිමටම මේ රෝගියාගේ ජීවිතය රැකගන්නත් බැරි මට්ටමට පත් වෙනවා. කිසිවක් කරගන්න බැරි විදිහට අසරණ වුණාම ඒ අවස්ථාවේදී රෝගියා අප හමුවට එනවා.  හැබැයි, ඒ වෙනකොට ඔවුන් ප්‍රමාද වැඩියි. අසරණ රෝගියාට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා.

 

සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මේ අය ගජරාමෙට ඔවුන්ගේ ප්‍රචාරාත්මක කටයුතු කරගෙන යනවා. අපේ සමාජයේ වැඩි දෙනෙක් මේව ගැන සබුද්ධිකව හොයල බලන්නෙ නෑ. චාටු බස් වලට අහුවෙලා බොහෝ ජීවිත විනාශ වෙනවා. මේ විදිහ මිත්‍යාවන් සමාජගත කරන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථා අවමයි. ඇත්තටම ඔහුගේ ප්‍රතිකාරවලින් රෝගියා සුවපත් වුණාද? කියන කාරණය හොයලා බලන්න ඉදිරිපත් වෙන අය බොහොම අඩුයි.

 

සමාජය වුණත් මේ ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ.  මෙහි ඇති අවදානම සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙනව නම් එය රෝගීන්ට නිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඉතා හොඳ පිටුවහලක් වෙනවා.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලටත් වගකීමක් පවතින බවයි මගේ අදහස. රෝගීන්, ජනතාව නොමඟ යවලා තමන්ගේ ආර්ථික වාසිය ගැන විතරක් හිතන්න, රෝගීන්ගේ වටිනා ජීවිත අවදානමේ හෙලන්න යොමුවන මානසිකත්වයකින් තමයි මේ අය ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා ජනමාධ්‍යවේදීන් ගවේෂණාත්මකව මේ ගැන සොයා බලන්න  ඕනි. එයින් අනාවරණය වන කරුණූ පෙන්වා දීලා මෙහෙම මිත්‍යාවන් පසුපස යන එක අධෛර්ය කරන්න  ඕනි. එයයි ජනමාධ්‍ය වල අද දවසේ වගකීම.

මේ විදිහේ වැරදි ප්‍රචාර නිසා අපේ අසරණ පිළිකා රෝගීන් සෑහෙන ප්‍රමාණයක් නිරතුරුව අමාරුවේ වැටෙනවා. විධිමත්ව, විද්‍යාත්මකව ප්‍රතිකාර කරන රෝහල් පද්ධතියට ප්‍රවිෂ්ට වෙන්නේ නැතුව මේ ව්‍යාජ ප්‍රතිකාර පසුපස්සේ ගිහින් අන්තිමේදි පිළිකාව පාලනය කරන්න බැරි අවස්ථාවකට පත් වෙලා නැවතත් අපි ළඟට එනකොට අපිටත් කරන්නට දෙයක් නැති වෙන්න පුළුවන්. මේ නිසා මේ අභියෝගය, ජීවිත විනාශ කරන මිත්‍යාවේ අභියෝගය පරාජය කරන්නට මේ මොහොතේ අප සියළු දෙනාම එකාවනන්ව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා.


Dr Prasad Abeysingha(විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ)
පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය



(උපුටා ගැනීම -Healthwatch)
Doctor Plus News Wire)
editor@doctorplus.lk


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...