The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුගයක නිමාව ; ඉතුරු වෙන්නේ කවු ද ?

T

The Leader Desk

May 4, 2023 • 6:27 AM

යුගයක නිමාව ; ඉතුරු වෙන්නේ කවු ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්ද්‍රිකා ගේ ආගමනයත් එක්ක විකල්ප බලවේග වල නැගිටීම් හිමින්, හිමින් වර්ධනය වෙනවා.
  • චන්ද්‍රිකාට තියෙන බණ්ඩාරනායක පවුලේ උරුමය ඇතුලේ ඇය සිවිල් සමාජය සංවිධානය කරනකොට ඒකට රාවය හරහා වික්ටර් අයිවනුත් යුක්තිය හරහා සුනන්ද දේශප්‍රියත් අවශ්‍ය ජවය දෙනවා.
  • ප්‍රභාකරන් එක් පසෙකින් රජීව් ගාන්ධිව චිත්‍රයෙන් ඉවත් කරනවා වගේම 17 වසරක පාලන බල ව්‍යුහයේ මූල කනු වුනු ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රන්ජන් වගේ අයත් ඉවත් කරනවා.
  • දශකයේ ප්‍රධාන ධාරාව තුල ප්‍රකාශකයන් වුනු චම්පික, විමල් වගේ චරිත දකුනේ සිංහල සමාජය තුල ගොඩනැගෙන්නේ ප්‍රභාකරන් අනෙකා කරගෙන.
අකුරු ප්‍රමාණය (Font Size):



චන්ද්‍රිකා ගේ ආගමනයත් එක්ක විකල්ප බලවේග වල නැගිටීම් හිමින්, හිමින් වර්ධනය වෙනවා. ජ.වි.පෙ.ත් නන්දන ගුණතිලක හා සෙනෙවි විසින් හිමීට ගොඩ නගනකොට විමල් හා චම්පික ජාතිකවාදී ස්ථාවරයක කතිකයන් වෙනවා.

අනිත් පැත්තෙන් දීප්ති කුමාර ගුණරත්න x කණ්ඩායම හරහා විකල්ප දාර්ශනික විභවයක් ප්‍රකට කරවනවා.

චන්ද්‍රිකාට තියෙන බණ්ඩාරනායක පවුලේ උරුමය ඇතුලේ ඇය සිවිල් සමාජය සංවිධානය කරනකොට ඒකට රාවය හරහා වික්ටර් අයිවනුත් යුක්තිය හරහා සුනන්ද දේශප්‍රියත් අවශ්‍ය ජවය දෙනවා. ඉතුරු, බිතුරු වෙලා ඉන්න ජ.වි.පෙ. කාඩරයන් නන්දන හා සෙනෙවි හරහා සංවිධානගත වෙනකොට එතනින් විමල් මතුවෙනවා.

මෙතැන තීරණාත්මක සාධකය වෙන්නේ LTTE එක. ප්‍රභාකරන් එක් පසෙකින් රජීව් ගාන්ධිව චිත්‍රයෙන් ඉවත් කරනවා වගේම 17 වසරක පාලන බල ව්‍යුහයේ මූල කනු වුනු ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රන්ජන් වගේ අයත් ඉවත් කරනවා.

prabha cover

තමන්ගේ විමුක්ති අරගලයට ඉදිරියේදී අභියෝගයක් විය හැකි පුද්ගල චරිත ප්‍රභාකරන් හරියටම ලකුණු කරනකොට රාජපක්ෂල වාටියෙවත් නෑ.

කොහොම නමුත් දෙමළ ජනතාවගේ අරගලය හමුවේ පංතිමය දේශපාලනික තත්ත්වය සංස්කෘතික තලයට ඌනනය වෙනවා. ආර්ථික කාරණා හෝ දේශපාලනික බලය පිළිබඳව වන කාරණා වලට වඩා ජාතිය හා ආගම ප්‍රමුඛ වෙනවා. එතනදි හිරු වගේ කණ්ඩායම් දෙකඩ වෙනවා සමහරු විගාමික වෙනකොට ඉතුරු අය ජාතිවාදය ඔස්සේ තමන්ගේ ඉදිරි දේශපාලන පිය සටහන් ලකුණු කරනවා.

මෙතනදි LTTE එකේ තියෙන මූලෝපාය පිළිබඳව වන තියුණු කියවීමක් කිසිවෙක් තුල නෑ. ප්‍රභාකරන් දකුණේ දේශපාලය පිළිබඳව ගන්නා තීන්දු ඒ මතම පදනම් වෙනකොට චන්ද්‍රිකාගේ ව්‍යාපෘතිය අලිමංකඩ බිඳවැටීමෙන් හා බැද්දගාන සංජීවගෙන් අවසන් වෙනවා.

90 දශකයේ ප්‍රධාන ධාරාව තුල ප්‍රකාශකයන් වුනු චම්පික, විමල් වගේ චරිත දකුනේ සිංහල සමාජය තුල ගොඩනැගෙන්නේ ප්‍රභාකරන් අනෙකා කරගෙන. ඒ ජාතිවාදී ස්ථාවරයන් අවසාන වශයෙන් සේවය කරන්නේ රාජපක්ෂ රෙජීමයට වීම ඓතිහාසිකයි.

 

 113049650 sss 

 

ජ.වි.පෙ.දෙවෙනි කැරැල්ල කෙසෙල්වත්තේ හැදුණු ලුම්පන් ප්‍රේමදාස විසින් ඉවර කරනකොට දෙමළ විමුක්ති අරගලය ඉවර කරන්නේ හම්බන්තොට උපන් මහින්ද රාජපක්ෂ. කුරුදුවත්තේ උපන් රනිල් වික්‍රමසිංහට වඩා හම්බන්තොට උපන් රාජපක්ෂලා ට ඉදිරියට එන්න දීමෙන් ප්‍රභාකරන් කරපු දේශපාලන වරදට වන්දි ගෙවන්නේ සමූල ඝාතනයකින්.

 

මේ කිසිම දේශපාලන ව්‍යාපෘතියක් ලංකාව තුල චින්තනමය වෙනසක් ඇතිකරන්න දායක වෙන්නේ නෑ. ඒවා ලංකාවේ සමාජය ඇතුලේ දියවෙලා යන්නේ තියෙන අගති වල හොදින්ම පැටලෙමින්.

 

champika wimal

දීප්ති, විසින් ගොඩනගන x කණ්ඩායමත් 2004 දි විනාශ වෙනකොට එයා ආයෙත් හැදෑරීම් පැත්තට යනවා. තමන්ගේ සමකාලීනයන් වුනු චම්පික, විමල් වගේ චරිත ජාතිවාදය දිගේ ඉනිමගේ ඉහළට යනකොට පශ්චාත් නූතනත්වය කියන ප්‍රවාදය ඇතුලේ දීප්ති ජෝක් වෙවී ඉන්නවා.

 

2009 දි මේ විමල්, චම්පික ඇතුලු ජ.වි.පෙ./හෙළ උරුමයේ වගේ දේශපාලනික ව්‍යාපෘති වල පීක් එක සලකුනු වෙන්නේ ප්‍රභාකරන්ගේ මළ සිරුර උඩින්. 90 දශකයේ මුල ඉන්දියානු විරෝධී ජ.වි.පෙ.කොඩිය ප්‍රේමදාස තනියම ගන්නවා වගේම, 2010 වෙනකොට විමල්ගේ (ජ.වි.පෙ.) හා හෙළ උරුමයේ (චම්පික) කොඩියත් මහින්ද තමන්ගේ අතට ගන්නවා.

ඊට පස්සේ වෙන දේ හැමෝම දන්න දෙයක්, දකුණේ සමාජය තුල එතෙක් කල් තිබුනු නීතිය හා තහනම මහින්ද ඉවත් කරල විනෝද සමාජය බිහි කරනවා. ඒක වනචාරී යුගයක්. පොත් ගුලකට වෙලා ඉන්න දීප්ති 2011 දි “විනෝදය” පොත ලියල, මේ සමාජය න්‍යායිකව පහදනකොට හැමෝම ඒක දැක්කෙ නෑ වගේ ඉන්නවා.

 

දැන් 2023 ට ඇවිල්ලා. එක පැත්තකින් ප්‍රභාකරන් නන්දිකඩාල් වලින් සමුගන්නකොටම අපේ ස්වෛරීබාවය ඉවර වෙනවා. තව දුරටත් තිරිංගයක් වගේ ක්‍රියාකරපු විමුක්ති අරගලයක් අවසන් වෙලා අපි ධනවාදයට පූර්ණ ලෙස විවෘත වෙන වෙලාව. ප්‍රාග්ධනය ගලාගෙන යන්න බැරුව හිරවුනු තැන් සියල්ල ජාතිකවාදය විසින් අවසන් කරනවා. ඒක ඓතිහාසිකයි.

 

තව දුරටත් ඉතුරු වෙන්න දෙයක් නැති, අපේ ලෝකයේ හැම තැනටම යන්න පුලුවන් නිදහස ප්‍රාග්ධනය අත්පත් කරගන්නවා. සංස්කෘතික දේශපාලනය තුල වීරයන් වුනු රාජපක්ෂවරු පවා ජෝකර්ල වෙලා ඉවර වෙනවා.

 

ranil w 

රනිල් ගේ ව්‍යාපෘතිය මොනව උනත් ඒක ධනවාදයේ මොඩලයක්. ඒකෙදි තවදුරටත් වලංගු නැති කාරණා අතරේ ජාතිකවාදයත් ප්‍රමුඛ වෙනවා. තව දුරටත් ලාංකීය සමාජය කෙරෙහි හා සිංහල අධිපතිවාදය කෙරෙහි බලපාන අභ්‍යන්තර සතුරෙකු නෑ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හරි චීනය හරි කියන්නේ බාහිරින් ඉන්න සතුරන්. ඒවා ආත්මීයව අපෙන් ඈත් වෙන්නේ අපේ සීමාවන් දූපත් රාජ්‍යයකින් ලකුනු වෙලා තියෙන හින්දා.

 

2025 වෙනකොට ලංකාව ජාතිකත්ව සීමා වලින් මිදිල  ගෝලීය ප්‍රාග්ධනය ඇතුලේ නිර්වචනය වෙන්න ගන්න යුගය. අපේම වූ ආශාවන් විසින් මෙහෙයවන දේශපාලන දිශානතීන් අපිව පාලනය කරනකොට ඒවා තේරුම් ගැනීමම දේශපාලනිකයි. 90 ‘දශකයේ ආරම්භ වෙචච ජාතිකවාදී මූලයන් වියැකෙනකොට ඉතුරු වෙන්න පුලුවන් හැදෑරීම්, හා න්‍යායික කාරණා මත පදනම් වෙච්ච ස්ථාවරයන් විතරයි. ධනවාදය ඝන වූ සියල්ල වාෂ්ප කරනකොට ඒක බලපාන්නේ අඩියටම හා මන්ඩි වලට.

 

90’දශකයේ ඉදල තමන්ගේ සියලුම දේ සාර්ථක කරගත්ත හැම පොරක්ම රොකට් වේගයෙන් ඉහල ගිය යුගය අවසාන වෙන්න නියමිතයි. පංති දේශපාලනය ඇතුලේ තමන්ගේ මූලෝපායන් වල ඉන්ධන අවසාන වෙනකොට දීප්තිමත් වෙන ඉටිපන්දම් වගේ අවසාන එලිය අපිට මේ පේන්නේ, දැන් තමයි මැච් එකේ ඊලග ඉනිම ගහන වෙලාව.

90’දශකයේ ඉතිරි වෙලා ඉන්න අය අතර හැමෝම වගේ වීරයන් වෙනකොට ඔලුව ඔබාගෙන හිටපු හා තමන්ගේ ජීවිතයම හැදෑරීම් හා න්‍යායික පැහැදිලි කිරීම් වලට යොමු කරපු “දීප්ති” ඉතුරු වෙන්න නියමිත යි.

ඉදිරි දශකය ලංකාවට තීරණාත්මක වෙනකොට ඒක න්‍යායිකව පහදපු කෙනා හැටියට දීප්ති කරන්නේ මොකක්ද කියල බලාගෙන ඉන්න එක අමාරුවෙන්න පුලුවන්. හැබැයි ඉදිරි දේශපාලනය වෙන්නේ “ඒක”.


( දවසේ සටහන : carbonnews.lk)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...