The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගගේ මාලු ඉහළට පිහිනනවාද - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

May 4, 2023 • 8:26 PM

ගගේ මාලු ඉහළට පිහිනනවාද - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපට අපේ දරුවන්ට හැමදාමත් වැඩිහිටියෙකුව, දැන මිත්තියකව සිට සෝමා හේරත් ගුරු මාතා අපෙන් සමු ගත්තාය.
  • විශ්‍රාමික සෝමා හේරත් ගුරු මාතාවගේ අභාවයෙන් සත් වෙනි දිනට නියමිත දානමය පින්කම මාර්තු 30 වෙනි ඉරු දින සහ අප්‍රේල් 01 වෙනි සදුදාට යෙදී තිබිණ.
  • එකී දේශනාවේ කල්පනාවට ගත යුතු බොහෝ කරුණු ඇතුළත් විය.
  • ඇය ඇසූ දේ තේරුම් ගියද ඊට දිය හැකි පිළිතුරක් ගැන මට දැනුමක් තිබුණේ නැතිවා විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අපට අපේ දරුවන්ට හැමදාමත් වැඩිහිටියෙකුව, දැන මිත්තියකව සිට සෝමා හේරත් ගුරු මාතා අපෙන් සමු ගත්තාය.



එතුමිය මහනුවර විද්‍යාර්ථ මහා විද්‍යාලයේ වසර තිස් ගණනක් දූ දරුවන්ට නුවන ලබා දුන්නාය.  විශ්‍රාමික සෝමා හේරත් ගුරු මාතාවගේ අභාවයෙන් සත් වෙනි දිනට නියමිත දානමය පින්කම මාර්තු 30 වෙනි ඉරු දින සහ අප්‍රේල් 01 වෙනි සදුදාට යෙදී  තිබිණ. එකී පින්කම්  මාලාවේ රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ භාග්‍ය මටත් මගේ ආදරණිය බිරිය ප්‍රේමලතා සෙනෙවිරත්නටත් හිමි විය.



ධර්ම දේශකයානන් වහන්සේ කවදත් අපේ ගෞරවාදරය ලබන ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයේ පූජ්‍යපාද ශාස්ත්‍රාචාර්ය මඩාටුගම සෝරත හාමුදුරුවන් වහන්සේය. කැමැත්තෙන් උනන්දුවෙන් ශ්‍රාවකයන්ගේ ධර්ම ඤාණය ජිවිතාබෝධය පුලුල් කළ එකී ධර්ම දේශනාව සත්තකින්ම බණක්ම විය. එකී දේශනාවේ කල්පනාවට ගත යුතු බොහෝ කරුණු ඇතුළත් විය.

නේරන්ජනා නදිය අසලදී සූජාතාවන් කිරිපිඩු දානය පිළිගැන්වීමේ සිද්ධිය සිද්ධාර්ථ ගෞතමයන් සිය පාත්‍රය උඩු ගං බලා යන්නැයි අධිෂ්ඨාන කළ අවස්ථාව ගැන කළ විස්තරය මගේ දැඩි අවධානයට ලක් විය. දේශකයානන් වහන්සේ නදියේ මාලුන්ගේ හැසිරීම විස්තර කළේ අපට බොහෝ දේ යළි යළි කල්පනා කිරීමට අවස්ථාව සලසා දෙමින් විය හැකිය.

නදියේ ජීවත්වන මාලුන් ඉහළට පිහිනා යාම ගැන කළ විස්තරය අසා සිටි මට කුඩා අවදියේ මෑණියන් සමග නාලන්දා ඔයේ පැන් සැනහුණ කාලය සිහිපත් විය. හැකි හැම අවස්ථාවකම සිය ක්‍රියාකාරකම් අතර කුඩා අප විසින් සිහි තබාගත යුතු එමෙන්ම දැනගත යුතු  පලදායි යමක් කතා කිරීම උන්දෑගේ සිරිත විය. එදාත් මට ඔයේ මාලුන් ඉහළට පීනා යාම තරමක ගැටලුවක් විය.

‘‘ඇයි අම්මා මාලු ඔයේ ඉහළට විතරක් පීනන්නේ.... යම් අවස්ථාවක මම එසේ අසා සිටයෙමි.

‘‘ පුතේ අපිත් පිහිනන්නේ ඔයේ ඉහළට විතරයිනේ‘ අම්මා දුන් පිළිතුර විය. කුඩා මගේ සිතට ඒ ගැන යළි යමක් ඇසීමේ උවමනාවක් නො තිබුණා විය හැකිය.

‘‘පුතේ පහළට පිනන්න දෙයක් නැහැ. වතුර පාර සැර නම් මාලුයි අපියි පහළට ගහගෙන යනවානේ. මයේ පුතා පිනන්නේ නැතිව ටික වෙලාවක් වතුරේ පා වෙලා බලන්න. ඔයා පහළට ගසාගෙන යයි. මම අම්මා කී අභ්‍යාසයට අනුගත වූ වහාම ඒ තත්වය අත්දැකීමෙන් අවබෝධ කරගත හැකිවිය.

‘‘පුදුමයිනේ නේද? මට ඊට වඩා යමක් කියන්න අවබෝධයක් තිබුණේ නැත. අම්මා ජල ස්නානය කළේ මහත් සතුටිනි. ඇය මට ජලබුං ගැසීම, උඩුබැලි අතට හැරී පිහිනා යාම, දිය යට දිගු වේලාවක් කිමිදී සිටීම මෙන්ම දියේ පාවෙමින් සිටින හැටිත් කියා දුන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය. අප දිය නෑවේ ඒ නවය පාරේ උතුරු දෙසට ගමන් කරන විට තරණය කළ යුතු නාලන්ද පාලම බඩවතෙහි පිහිටි සුන්දර නාන තොටුපළකය.

‘‘පුතේ ඇයි මාලු ඔයේ උඩහට පීනන්නෙ...... සුලු මොහාතෙකින් ඇය මා වෙතින් විමසා සිටියාය. ඇය ඇසූ දේ තේරුම් ගියද ඊට දිය හැකි පිළිතුරක් ගැන මට දැනුමක් තිබුණේ නැතිවා විය හැකිය. මෙවැනි උත්තර නැති අවස්තාවල මා කළේ කරමින් සිටි කාර්ය නවතා බලා සිටිම පමණකි.

පුතේ... ඔය මාලු පිහිනනවාම නොවෙයි. එහෙම නොකර නිකම් හිටියොත් පුතාට වුනා වාගේ මාලුන්වත් ඉබේම පහළට ගහගෙන යනවා. තමයි මාලු උඩවට පිනන්නේ ඒ නිසා.


පැයකට සීමා වූ මඩුටුගම සෝරත හාමුදුරැවන්ගේ ධර්ම දේශනාව අවසන් වූ පසුවද මට මේ පැරණි සිද්ධිය යළි යළි මගේ මතකයට නැගිණ. හෙවත් අම්මා සහ මා අතර පැවති කතාබහ එක දිගට සිහිපත් විය. මගේ අම්මා අපෙන් වෙන්ව ගොස් මේ වන විට අවුරුදු විසි දෙකක් ඉක්ම ගොස්ය.

අම්මා මා දැනුවත් කළ පරිදි මාලුන් ගලන දියේ ඉහළට පීනනවාම නෙවේ. සමහරුන් කල්පනා කරන්නේ මාලුන් එසේ පිහිනීම ඔවුන්ට ආවේනික ව්‍යායාමයක් විය හැකිය. ජීවිතයේ අග්ගිස්සට පැමිණ සිටින වයෝර්ධ මට එදා අම්මා කී කතාව එනම් මාලුන් පිහිනනවාම නොවෙයි යන්න වඩාත් අවබෝධ වෙමින් පවතී. මාලුන් ඉහළට පිහිනන්නේ හෝ ජල පාරේ වේගයට මුහුණ දෙමින් සිටින්නේ සිය පැවැත්ම පිණිසය. ඒ සතුන් ඔහේ පා වෙවී සිටියොත් මුහුද තෙක් ගසා ගෙන යා හැකිය. එවිට උන් තවදුරටත් ඔයේ ගගේ මිරිදිය මාලුන් වන්නේ නැත. මාලුත් එහෙම කරන්නේ සිය ජීවන පැවත්ම සදහාමය.

ජීවත්වන මිනිසුන් තිරිසනුන් සකා සිව්පාවුන් දැන හෝ නොදැන විවිධ වේගයන්ට ප්‍රවාහයන්ට මුහුණ දෙන්නාහ. සමහරු එවැනි අවස්ථාවන්හී අලසව ඒවාට මුහුණ නො දෙයි නම් ඔවුන්ට පැවැත්මක් නැති වෙනවාමය. මත්ස්‍යයන් ගලා යන ජල ප්‍රවාහයේ අභියෝගයට මුහුණ දෙමින් ඉහළ ට ගමන් කළේ හෝ පිහිනා නො ගියේ නම් ඔවුන්ට හැමදාම මිරිදිය මසුන් ලෙස ජීවත්විය නො හැකිය. ඒ මත්ස්‍ය උපමාව අනුව පැවැත්ම වෙනුවෙන් හැමදාම අපට අභියෝගයන්ට මුහණ දීමට සිදුවේ.

සෝරත හාමුදුරුවන් සෝමා හේරත් මාතාවට පින් පිණිස සිදු කළ ධර්ම දේශනාවේදී විස්තර කළ නේරංජනා ගගේ මාලුන්ගේ හැසිරීම පිළිබද ධර්ම කාරණාව මා වසර හැත්තෑ ගණනකට එපිට කාලය වෙත කැදවා ගෙන යාමට සමත් විය. ඒ මතකය නතර වුණේ මගේ අම්මා ළගය. ඇය කියා දුන් ඒ උපදේශාත්මක අභ්‍යාසයන් යළි මා අලුතෙන් කල්පනා කිරීමට යොමු කළා නොවේද?

දනුම සහ පරිකල්පනය යනු දෙකකි. දැනුමට වඩා පරිකල්පනය ජීවිතයට බෙහෙවින් පලදායි වේ. මේ යහපක් ආරම්මනය වෙත මා සමීප කළ සෝමා හේරත් මාතාව බුදුන් දැක නිවන් දකීවා යයි පතමි. එසේම සෝරත හාමුදුරුවන්ගේ ධර්ම දේශනය ඇසීමට මම වාසනාවන්ත වුණා යයි සිතමි. අපට මේ අවස්තාවට සහභාගි වන ලෙස අපේ නිවෙසටම පැමිණ ආරාධනා කළ සෝමා හේරත් මාතාවගේ දෙවන දියණිය පේරාදෙණිය ගුරු විදුහලේ කථිකාචාර්ය කෝසලී හේරත්ට සහ යේළිය හර්ෂනීටත් පිං.


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...