The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව

T

The Leader Desk

May 7, 2023 • 6:00 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දාන, ශීල, භාවනා වැනි පින්කම් හැරුණු විට, වෙසක් කූඩු වැනි විවිධ සැරසිලි, තොරණ හා දන්සල්ද වෙසක් සමය තුළ විශේෂ තැනක් ගනී.
  • දන්සලට ඇත්තේ දිගු ඉතිහාසයකි.
  • බුදුන් ජීවමානව සිටි සමයේ පවා රජවරු දුගී, මගී යාචකාදීන්ට දන්සල් පැවැත්වූ බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙයි.
  • විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේ විවිධ ජන කොටස් ජනාධිපති මන්දිරයට කැඳවා රාජ්‍ය භෝජ්‍ය සංග්‍රහ පැවැත්වීමද දේශපාලන විචාරකයන් දුටුවේ, දන්සල් දීමක් ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):



දාන, ශීල, භාවනා වැනි පින්කම් හැරුණු විට, වෙසක් කූඩු වැනි විවිධ සැරසිලි, තොරණ හා දන්සල්ද වෙසක් සමය තුළ විශේෂ තැනක් ගනී.

 



දන්සලට ඇත්තේ දිගු ඉතිහාසයකි. බුදුන් ජීවමානව සිටි සමයේ පවා රජවරු දුගී, මගී යාචකාදීන්ට දන්සල් පැවැත්වූ බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙයි. සිරි ලංකාවේද රජවරු දන්සල් පැවැත්වීමේ සිරිත දිගටම කරගෙන ගියහ. ජනාධිපතිවරුද විවිධ ආකාරයේ දන්සල් පැවැත්වූහ. විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේ විවිධ ජන කොටස් ජනාධිපති මන්දිරයට කැඳවා රාජ්‍ය භෝජ්‍ය සංග්‍රහ පැවැත්වීමද දේශපාලන විචාරකයන් දුටුවේ, දන්සල් දීමක් ලෙසිනි.

 

දන්සල් අතරින් වඩාත්ම ජනප්‍රිය වූයේ බත් දන්සලය. පසුව වෙනත් වෙනත් දන්සල්ද පැතිරුණි. ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, රොටී, කොත්තු, නූඩ්ල්ස්, පාන්, මයියොක්කා, බිස්කට්, සිසිල් බීම, තේ, කෝපි, සුප්, ඔසු පැන්, කඩල, අයිස් ක්‍රීම් වැනි දෑ ඊට එක්වුණි.

 

eDJ0NLj

 

එක්තරා ප්‍රදේශයක වෛශාඛ සමිතියකින් පැවැත්වූ දන්සලක බැනරය මෙසේ විය.

''පහළොස් වැනි වරටත් පවත්වනු ලබන ශ්‍රී සංඝරාජ අනුස්මරණ මහා ෆෘට් සැලඩ් දන්සල''

දන්සල් පවත්වන්නන් ඊට සැරසෙනුයේ වෙසඟට මාස කීපයකට පෙර සිටමය. මුලින්ම කරනුයේ දන්සල ඉදිකිරීමට නියමිත ස්ථානයේ බැනරයක් මගින් ඒ බව ජනතාවට දැනුම් දීමය. පැවැත්වෙන වේලාවද එහි සඳහන්ය. ඒ අනුව, දන්සල විවෘත කිරීමට පෙරම දිගු පෝලිමක් සැදෙයි.

 

නන්දා මාලිනියගේ ජනප්‍රිය ගීතයක කියැවෙන අන්දමට කේතුමතී නුවර නම්, දන්සල් දොරෙහි යදියෝ නැත. අතමිට හිඟ නැති බැවින් පුරවැසියෝ සල්පිල්වලය. එහෙත් මේ සිරිලංකාවය. එහෙයින් දන්සල්වලට, සෙනඟින් අඩුපාඩුවක් නැත.

 

කලකට ඉහත නම් ඇති හැකි අය දන්සල් ගියේ නැත. එය ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකුණි. දන්සල් බත් කෑමේ දොළක් ඇති වූ ඉහළ පෙළේ උදවිය කළේ තම සේවකයෙකු යවා පාර්සලයක් ගෙන්වා ගැනීමය.

 

දැන් තත්ත්වය වෙනස්ය. එහි පංති භේදයක් නැත. සුපිරි වාහනවලින් එන අයද දන්සල් බත් කති. එය ඔවුනට විනෝදයකි. ඇතැම් දන්සල්වල ''VIP කෑල්ලක්'' ද ඇත්තේ ප්‍රභූවරුන්ටය. දන්සල් තුළ ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහ ද නැත්තේ නොවේ.

 

මීට කලකට ඉහත මා සේවය කළ මාධ්‍ය ආයතනයක් ඉදිරියේ වෙසක් දන්සලක් පැවැත්වුණි. එය ප්‍රදේශවාසී දිළිඳු ජනයා වෙනුවෙන්ම සංවිධානය කෙරුණක් බැවින් අප කිසිවෙක් එහි ගියේ නැත. එහෙත්, අපගේ එක් මිත්‍රයෙක් දන්සල් බත් ලොබින් පෙළුණේය. කාටත් හොරෙන් එහි යාමට සිතා සිටි ඔහු තරමක් මසුරු පුද්ගලයෙකි. මාධ්‍යවේදීන් වූ අප වෙසක් දිනයේද වැඩය. අපගේ මිත්‍රයා එදින දිවා ආහාරයද නිවසින් ගෙන ආවේ නැත.

දහවල් දෙක තුන වෙද්දී, දන්සලේ පෝලිම අඩුවිය. දහ පහළොස් දෙනකුට වඩා එහි දක්නට නොවීය. අප මිතුරාද සෙමින් එහි ළඟා විය. ගතවූයේ සුළු මොහොතකි. ඔහු දන්සල් දොරකඩට ළං වෙද්දීම, ශබ්දවාහිනියෙන් මෙසේ නිවේදනය වුණි.

''කාරුණික නිවේදනයයි...

සියලු ආහාර අවසන් වූයෙන්, අපගේ දන්සල දැන් නිමාවට පත් කරන බව කරුණාවෙන් දැනුම් දෙමු. ලබන වෙසඟේදී යළි හමුවෙමු...''

අපගේ මිත්‍රයාට එදින ''දවල් බත'' වැරදුණි. දන්සල් බත් කන්නටත්. පෙර පින් තිබිය යුතුය.

 

dansala

දන්සල් සංවිධානය යහපත් චේතනාවෙන් මෙන්ම, සැඟවුණු චේතනාවෙන්ද කරනා අය සිටිනා බව, සමහර කතාවලින් දැනගන්නට ලැබේ. එබඳු අයගේ නම්වලට ''දන්සල්'' කෑල්ලද ඈදා ඇත්තේ සමාජය විසිනි. දන්සල් බතා, දන්සල් සිරා, දන්සල් පිනා යනු ඉන් කීපයකි.

එක්තරා ප්‍රදේශයක ''දන්සල් මුදලාලි'' නමින් හැඳින්වෙන පුද්ගලයෙක් සිටීය. අවුරුද්ද පුරාම ඔහුගේ ''රාජකාරිය'' දන්සලට බඩු එකතු කිරීමය. කිසියම් තැනකින් හාල් මිටි 2ක් ලැබුණොත් එකක් දන්සලටය. අනික ගෙදරටය. අනික් බඩු මුට්ටුවලට වන්නේත් ඒ ටිකමය. වෙසක් දන්සලද සරුවට දෙන ඔහු ඉතිරි මාස ටිකද අඩුවක් පාඩුවක් නැතිව කල් ගෙවීය.

පොසොන් සමයේදීද දන්සල් දක්නට ලැබෙයි. පාසල් යන කාලයේ පාපැදිවලින් අනුරාධපුර ගිය අපේ මිතුරු නඩය, ඒ ගමන හැඳින්වූයේ ''දන්සල් වන්දනාව'' යනුවෙනි. එක් පොසොන් දිනයකදීද, මහනුවරින් අනුරාධපුරය බලා පිටත්වූ අපි මගදිගට ඇති දන්සල් සියල්ල එකක් නෑර ''වන්දනා'' කළෙමු.

අනුරාධපුරයේදී එවකට සුප්‍රසිද්ධ ''මැලිබන් දන්සල'' ද ''වැඳ පුදා'' ගැනීම අපේ අරමුණයි. එහෙත්, ඒ වෙසක්දා අපි සියලු දෙනාටම ''බඩ පලයං'' ය. අන්තිමේදී සිදුවූයේ මැලිබන් දන්සල අමතක කර, බසවක්කුලමට යාමටය.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

 

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...