The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? -(සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

May 7, 2023 • 10:50 AM

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? -(සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්‍රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය .
  • "අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ" "මම මළා තමයි "අමුත්තා ප්‍රකාශ කළේය.
  • "ඒ බය නැති වෙච්ච දවසෙ සන්තෝසෙට මිනිස්සු රතිඤ්ඤාත් පත්තු කරානෙ" අමුත්තාට කේන්ති ගියේ මා පැත්තකට කර ගෙට ඇතුළු වී හොඳම පුටුවේ වාඩි විය.
  • "තමුසෙ මේ සුමානෙ අපි ගැන ලියන බව තේරිච්ච නිසයි මම මෙහෙම ආවෙ" ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්‍රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය .

"මම ආර්.ප්‍රේමදාස "

"ඒක වෙන්න බෑනෙ. ඔහේ මැරුණනෙ" මම ක්ෂණිකව කියා සිටියෙමි. "අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ"

"මම මළා තමයි "අමුත්තා ප්‍රකාශ කළේය. "ඒ වුණාට සජිත්ගෙ ලෝකෙ මම දිගටම ජීවත් වෙනව අයිසෙ. කවදාවත් අහල තියෙනවද එයැයිගෙ කතාවක් "මාගේ ආදරණීය පියාණන් "කියන්නෙ නැතුව කරපු "

 

N bb06d744 dimage story

"හැබැයි ඔහේට ගෙට කතාකරල අපේ ගෙදර මිනිස්සු බය වෙයිද දන්නෑ. මතකද ඒ කාලෙ මුළු රටම ඔහේට බයේනෙ හිටියෙ" මම කියා ගතිමි. "ඒ බය නැති වෙච්ච දවසෙ සන්තෝසෙට මිනිස්සු රතිඤ්ඤාත් පත්තු කරානෙ"

අමුත්තාට කේන්ති ගියේ මා පැත්තකට කර ගෙට ඇතුළු වී හොඳම පුටුවේ වාඩි විය.

"තමුසෙ මේ සුමානෙ අපි ගැන ලියන බව තේරිච්ච නිසයි මම මෙහෙම ආවෙ" ඔහු කියා සිටියේය. " සජිත්ගෙ විපක්ෂෙ අයි.එම්.එෆ්. විවා⁣දෙදි කරපු ගොන් වැඩේ ගැන ලියන්න එපැයි කියන්න "

මගේ ඉදිරියේ ඉන්නේ කවුදැයි අමතක වී මට හිනා ගියේය.

"ඔහේ කිව්වට සජබෙ ඡන්දෙ නොදී කරපු නපුංසක වැඩේ ගැන නොලිය වෙන මොනව ලියන්නද මානිගෙ තීරුවට" මම කියා සිටියෙමි. "මේගොල්ලො ඡන්දෙ දීමෙන් වැලකිච්ච ගමන්ම මම මලලසේකර ශබ්දකෝෂෙ අරගෙන absent කියන වචනෙ තේරුම බැලුවා. absent වලට තියෙන එක තේරුමක් අවිද්‍යමාන. ඒ කියන්නෙ විපක්ෂෙ ප්‍රධාන පක්ෂෙ අවිද්‍යමානයි. අවිද්‍යමානයි කියන්නෙ අතුරුදහන්. ඒක හරිම භයානක තත්ත්වයක්නෙ"

"එහෙනම් තමුසෙ විපක්ෂෙ කරපු මෝඩ වැඩේ ගැන ලියනව?"

 

"ඇයි දෙයියනේ ඔහේ ආණ්ඩු කරපු කාලෙ වුණත් අතුරුදහන් වුණේ මිනිස්සු විතරයිනෙ. දැන් විපක්ෂෙ ප්‍රධාන පක්ෂෙම අතුරුදහන් වුණාම ඒක ගැන ලියන්නෙ නැතුව හිටියොත් රට්ටු හිතයි මාත් අතුරුදහන් වෙලා කියල. දැන් බලන්න මේගොල්ලන්ට පළාත්පාලන ඡන්දෙ තිබ්බෙ නැති නිසා ආණ්ඩුවට සහයෝගය දෙන්න බෑ කියල විරැද්ධව ඡන්දෙ දෙන්න තිබුණ. අපි නම් මේ වගේ කොන්දේසිවලට යට වෙන්නෙ නෑ කියලත් විරුද්ධ වෙන්න තිබුණ. මොකෝ මිනිස්සු ඡන්දෙ දීල මේගොල්ලොන්ව පාර්ලිමේන්තු යැව්වෙ ඡන්දෙ නොදී ඉන්න ද?"

 

ඒ අසා සජිත්ගේ ආදරණීය පියාට හිනා ගියේය.

"තමුසෙටත් එහෙනම් විපක්ෂෙ කරපු අනිත් ගොන් වැඩ අහුවෙලා නෑ නේද ?' ඔහු මගෙන් ඇසුවේය. "හොඳයි, හොඳයි, ඔහොම යං, ඔහොම යං"
එවර හිනා ගියේ මටය.

 

WhatsApp Image 2022 04 08 at 09.43.44

"ඔය කියන්නෙ අයි.එම් .එෆ් .කොන්දේසි ආණ්ඩුව ඉෂ්ට කරන්නෙ නැති වෙයි කියල විවාදෙදි කියපු කතාවනෙ" මම සිනාසෙමින්ම ඇසුවෙමි. "ඡන්දෙ නොදී කරපු තකතිරු වැඩේට හපන්නෙ ඒ කතාව. ආණ්ඩුව ගිවිසුමේ කොන්දේසි ඉෂ්ට කරන්නෙ නැති වෙයි කියල අයි.එම්.එෆ්පෙක ගැන දුක්වීමෙන් කියන්නෙ කොන්දේසි හොඳයි කියලනෙ".

මගේ අමුත්තා මා දෙස රවා බැලුවේය.

 

"තමුසෙ වගේ පත්තරකාරයෙකුටත් තේරෙන මගුල විපක්ෂෙ එකෙකුටවත් තේරිල නෑනෙ ඕයි" ඔහු අප්‍රසාදයෙන් කියා සිටියේය. "අනිත් කාරණේ මුන් කියන විදිහට ගිවිසුමේ කොන්දේසි හොඳ නැත්නම් ආණ්ඩුව ඒවා රකින්නෙ නැතුව ඉඳියි කියන්නෙ මුන්ට පයිත්තියන් ද? කොන්දේසි හොඳ නැත්නම් ඒවා රකින්නෙ නැතිවීම රටට හොඳයි කියල මුන්ට තේරෙන්නෙ නැද්ද ?"

 

එවිට මම මගේ තවත් අදහසක් කියා පෑවෙමි.

"රනිල් මිනිහගෙ ලොකුම වැඩේ කියල පෙන්වන කාරණේදී විපක්ෂ නායකයා එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියල ඉඳල කොහොමද ?" මම කියා සිටියෙමි. "ඇත්තටම සජිත් තමන්ට ලැබෙන අවස්ථාව මගහරින මනුස්සයෙක් කියල පෙන්නපු කී වෙනි අවස්ථාවද මේ. ඔහේ හිතනවද මෑන්ට ඔය විදිහට ඊළඟ ජනාධිපති වෙන්න පුළුවන් කියල "

ආර්.පී.නොරිස්සුමෙන් නැගිට ගත්තේ ගෙදරින් එළියට බැස්සේය. යමින් ගමන කී දේ මට හරියට ඇසු⁣ණේ නැත. මට හිතුණේ ඔහු කීවේ, "අනේ මන්ද ඕයි මේ වැඩ කරන විදිහට ඊළඟ ජනාධිපති නෙවෙයි ඊළඟ විපක්ෂ නායක වෙන්නවත් පුළුවන්ද කියල සැකයි " කියාය.

ඔබට හිතෙන විදිහට ඔහු කියන්නට ඇත්තේ කුමක් ද ?


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...