The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙර+හන්+කඩේ : කොත්තරන් සතේ මතු කළ වැඩිහිටි පොඩිහිටි ආරවුල

T

The Leader Desk

May 10, 2023 • 9:12 AM

පෙර+හන්+කඩේ : කොත්තරන් සතේ මතු කළ වැඩිහිටි පොඩිහිටි ආරවුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ දෙවෙනි දෝනිය යසෝදරාවන් මාර්තු මස අග ඇයගේ පුතු මගේ මුනුපුරු අයේන් සමග ලංකාවට සේන්දු වී ලේවැල්ලේ අපේ නිවහනට පැමිණීම ඊට හේතුවය.
  • පෙරළෙයි දුවයි පනියි.....“ ආදි ලෙස මහා අවදානමක හිර වී මුහුණ මොකක්දෝ කර ගෙන පොඩි එකා රකින්නට ගත් වෙහෙස මෙතෙකැයි අප්‍රමාණය.
  • කොත්තරන් සතේට අවශ්‍ය දුවන්න පනින්න පෙරළෙන්න වැටෙන්න නැගිටින්න හිනා වෙන්න අඩන්න ආදි සියලු උවමනාවන් අත්තා සමීපයේදී ඉටු වන බව තේරුම් ගත්තා සේ අත්තාගේ ඇසුරට කොත්තරන් සතේ වැඩි සතුටක් දැක්වීය.
  • ඒ කෙළිලොල් පැවැත්මට බාධා අවහිර කිරීම කුඩා එවුන් සමහර විට අභියෝගයක් ලෙස භාර ගන්නට බැරි නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මගේ දෙවෙනි දෝනිය යසෝදරාවන් මාර්තු මස අග ඇයගේ පුතු මගේ මුනුපුරු අයේන් සමග ලංකාවට සේන්දු වී ලේවැල්ලේ අපේ නිවහනට පැමිණීම ඊට හේතුවය. බෑනණුවන් ශිවංක මෙහි පැමිණියේ අප්‍රේල් මුල් සතියේ ය. ඔවුන් තිදෙනා සමග එක්ව වියපත් අප දෙදෙනා ගත කළ දින තිහකට ආසන්න කාලය මා යළි යළිත් සිහිපත් කරන්නේ අප්‍රමාණ සතුටකිනි.

මගේ දරුවන් දෙදෙනාම දියණියන් වෙති. (තවමත් දෙවසරක් නො ලැබූ) පිරිමි පුතෙකු වන අයේන් දුවන පනින නටන හිනාවෙන දගලන අඩන හඩින් අපේ හේ බා ගිය හුදෙකලා ජීවිත තෙපුල් දෙන්නට විය.

අත්තම්මා සිරිත් පරිදි ‘‘බලා ගෙනයි වැටෙයි හීරෙයි. තුවාල වෙයි. පෙරළෙයි දුවයි පනියි.....“ ආදි ලෙස මහා අවදානමක හිර වී මුහුණ මොකක්දෝ කර ගෙන පොඩි එකා රකින්නට ගත් වෙහෙස මෙතෙකැයි අප්‍රමාණය. ඇය පැය විසි හතර පුරාම මුණුබුරා පරෙස්සම් කිරීමට දැරෑ උත්සාහය බෙහෙවින් ආශ්වාද ජනකය. පැටියා සමග ටිකක් හුරතල් වීමට අත්තම්මා එහෙ මෙහෙ වෙන තෙක් බලා සිටීමට අත්තාට සිදුවිය.

 

ඇසුරු කිරීමේදී ගනුදෙනු කිරීමේදී මා කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් ගැන කල්පනා කරන්නේත් ඔවුන්ගේ පැත්තෙනි. සතුටක් ලැබෙන්නේ අනෙකාට අනුගත වීමෙන් මිස කිසිවෙකු යටත් කර ගැනීමෙන් හෝ අත්පත් කර ගැනීමෙන් අපේ වසගයට ගැනීමෙන්  නොවේ. මා පොඩි එකාව හදුන්වන්නේ කොත්තරන් සතේ කියාය. කොත්තරන් සතේට අවශ්‍ය දුවන්න පනින්න පෙරළෙන්න වැටෙන්න නැගිටින්න හිනා වෙන්න අඩන්න ආදි සියලු උවමනාවන් අත්තා සමීපයේදී ඉටු වන බව තේරුම් ගත්තා සේ අත්තාගේ ඇසුරට කොත්තරන් සතේ වැඩි සතුටක් දැක්වීය.

 

IMG 5343මගේ මුණුපුරා තුලින් මා දුටු දුව පැන ඇවිදීම දරුවාගේ ඒ වයසට සරිලන ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් මිස දග කිරීමක් නොවේ. ඒ කෙළිලොල් පැවැත්මට බාධා අවහිර කිරීම කුඩා එවුන් සමහර විට අභියෝගයක් ලෙස භාර ගන්නට බැරි නැත.

එය පරම්පරා දෙකක ගැටුමක් ලෙස සමහරු දකින වැඩිහිටි පොඩිහිටි අරගලයේ පටන් ගැන්ම විය හැකිය. මගේ මුණුපුරා සිය මා පියන් සමග ඔස්ට්‍රේලියාවේ ජීවත්විවිය යුතුවේ. කැන්ගරු දේශයෙහි දරුවන් උස් මහත්වන්නේ ගොඩ නැගෙන්නේ රටට දේශයට එහි පරිසරයට  ගැලපෙන සාර්ථක පුරවැසියන් හැටියට මිස විවිධ රටවලින් පැමිණ එහි ජිවත්වන දෙමාපියන්ගේ කැමැත්තට අනුව නොවේ. වයස දහසයට එළඹීමත් සමගම පාසල් යන දරුවන් කෙටි කාලීනව රැකියා වෙත යොමු කෙරෙයි. ඉපයීම් හෙවත් හම්බ කිරීමට ඔවුන් යොමු කරන්නේ එහෙමය. සංකමණික කොයි කවුරුත් එයට අනුගත වන්නේ මේහෙ එහෙම තමයි කියමිනි.

සංක්‍රමනික ආසියාතිකයෙකුට අනුව, කුරුල්ලන්ට කෑම දීමෙන් වැළකීමට ඕස්ට්‍රේලියාවේ කුඩා දරුවන් හුරු කරවති.  ඒ පරිසරය අපවිත්‍රවීම නිසාද? හෝ කුරුල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ස‍දහාද? නිවැරදි උත්තරය තම නඩත්තුව තමා විසින් සපයා ගත යුතු බව වටහා දීමටය. ඕස්ට්‍රේලියානු පුරවැසියා වෙහෙස මහන්සියෙන් වැඩ කළ යුතුවේ.

 

ගගන සරන කුරුල්ලන් පමණක් නොවේ. අපා දෙපා සිව්පා සතුන් ආදි සියලු සතුන් යම් අවස්ථාවක, සිය දරු පැටව් හැර දමා තම වේල සරිකර ගැනීමේ වගකීම පවරා දෙති.  අප දරුවන් උපන් දා සිට විවාහ වී දරු මල්ලන් ලැබූ පසුවද අත් නොහරිති. ආදරය හෝ ආරක්ෂාව නිසා නොවේ ද? සත්තකින්ම අත් නො හැරීම වගකිමකට වඩා ඇබ්බැහිකමකි.  පුංචි එකෙක් කටේ ඇගිල්ල දමා ගැනීම වළකාලන අපේ වැඩිහිටියන් ......? සිය ආචීර්ණ කල්පිත ඇබ්බැහිකම් ඇගිලි මෙන් සූප්පු කරමින් සිටින්නාහ.

 

pk ayanජීවිතයේ අග්ගිස්සට පැමිණ සිටින වැඩිහිටි අප හෙට දවස හිමි කිරි දරුවන් ඔවුන්ට හිමි ලෝකය වෙත ලෝබ නැතිව මුදා හැරිය යුතුව තිබේ. සතුන් හාමදාමත් ඒ සම්මුතියෙන් බැදී සිටින හැටියකි. වෙනස්වන ලෝකයට ඔරොත්තු දිය හැකි දරු පරපුරක් නිර්මානය කිරීමට අපේ වැඩිහිටියන් තවමත් සූදානම් නැත. කෙටි කලකට තමන් වෙත පැමිණෙන විදේශයක උපන් සිය දරු මුණුපුරන් තම ආචිර්ණ කල්පිත පැවැත්මට හසු ගැනීමට වැඩිහිටි පරම්පරාව දරන වෑයම අනුවේදනීය වේ.

පරම්පරා දෙකක් උනුන් දැන හදුනා ගත යුත්තේ ලෙන්ගතුව ය. අවබෝධයෙන් මිස සම්මුති කොන්දේසි වලට අනුගතව නොවේ. මහා දැනුමැත්තියක ලෙස මගේ අනූන ගෞරවාදරයෙන් නිති බුහුමන් ලබන මගේ දයාබර අම්මාත් මගේ වැඩිමහල් දියනිය දුටු පළමු දවසේම ඇය මට බරපතල පැමිණිල්ලක් කළාය.
‘‘ලොකු පුතේ මේ දරුවා ගස් නගින්න හදනවා.‘‘ මම මුවට නැගුණ සිනාව යටපත් කරගෙන ඒ අත්තම්මාගේ අනවබෝධය නිහඩව  දරා ගතිමි. හේතුව පිරිමි දරුවෙකු වූ මා කුඩා කාලයේ ගස් නැගීමෙන් වළක්වාලීමට ගත් උත්සාහය මට වදයක් වීමය. ඒ ගැටුමට මැදිව මා කොතෙක් නම් ගුටි කන්න ඇද්ද? වැඩිහිටි අප, පොත පතින් උගත්තාට වඩා පරිචයෙන් ලබා ගත් දැනුමෙන් ලෝකය දැකිය යුතුවේ. අප වෙනස් විය යුතුවේ. වෙනස්වීම යනු දරාගත යුතු අමිහිරි සත්‍යයක් විය හැකිය. එහෙත් එය සටන් කර යටපත් කළ යුතු විනාස කළ යුතු වෛරසයක් හෝ හතුරෙක් නොවේ.

අප ළග සිටියත් නැතත් කුඩා එවුන් වටා අපට නොපෙනන මහා රැකවරණයක් නිර්මානය වී ඇත යන්න මගේ විශ්වාසයයි. දරුවා පරිසරයට අනුගතව උස් මහත් විය යුතුවේ. සීතලෙන් රස්නෙන් රැක ගත යුතුවේ. වඩා වටින්නේ සීතලට රස්නයට ඔරොත්තු දෙන චරිත හැටියට ඔවුන්  ශක්තිමත් කිරිමය. සීතල සිතල ලෙස මෙන්ම රස්සනය රස්නය ලෙස ඔවුන් අත්දැකීමෙන් දැන ගත් දවසට ඔවුන් වඩාත් සුරක්ෂිත වේ. වයස්ගත වන අපට ඔවුන් හැමදාම ආරක්ෂා කළ නොහැකිය. අපෙන් තොර ලෝකයක කෙළින් හිට ගැනීමට ඒ දරුවන් ශක්තිමත් කළ යුත්තේ ය.

දරුවන් අට දෙනෙකු වූ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වන මා වසර හත ලබන විට තෙවන කුඩා නැගෙණිය රැක බලා ගත්තේ අම්මා එවැන්නක් අපේක්ෂා කළා විය හැකිය. එ දවස ගමේ හැම ගෙදරකම එය සාමාන්‍ය තත්වයකි. හේතුව එ දවස ගමේ ගැහැනු පිරිමි කවුරුත් දහවල් කාලය හේනේ කුඹුරේ ගත කළ නිසාය. කිරි බොන කුඩා එවුන් දමා ගියේ වැඩිමහල් දරුවන් බාරයේය.  නියමිත කිරි වේල පොවා ගැනීම සදහා අප බාල එවුන් වඩාගෙන හේන් කුඹුරු වෙත ගියෙමු. අතට පයට වැඩ කාරයන් නො සිටි එ දවස පවුලේ දරුවන්ද ඒ ආකාරයෙන් ආර්ථික ක්‍රියාවලියට සහාය විය.

ඉහතින් කොත්තරන් සතේ යයි ඇමතූ එක් අවුරුදු නව මස් වියැති මේ  සිගිති දරැවා අප සමග  රුවන්වැලි මහ සෑ මලුව වටා අප සමග  එක් රවුමක් කිසිදු වෙහෙසක් නැතිව ඇවිද ගියේ ය. හැකි හැම විටකම කාගේවත් ආධාරයක් සහායක් නැතිව තනිව තමන්ට අභිමත ලෙස හැසිරීමෙන්  සතුටක් ලැබූ මේ සිගිත්තා ඇවිද යන භූමියේ අසමතුලිත හෝ යම් බාධාවක් ඇති බව දැනුණ වහා කාට හෝ ළග සිටින්නෙකුට සිය අත් දිගු කරනු හැම විටම කැරනු මම නිරික්ෂය කළෙමි.

AYEN SELECTED

 

 මා සිතන්නේ කුඩා දරුවන්  කරන කියන දේ මෙන්ම ඔවුන්ගේ අපේක්ෂාවන් ගැන ද, වැඩිහිටියන්ට දැනුමක් තිබිය යුතුය. ඔවුන් චේතනාන්විතව සොරකම් නො කරති. සතුන් නො මරති. කිසිවෙකුට රිදවන්නේ නැත. අතට අසු වූ යමක් විසි කිරීමට සමහර කුඩා දරුවන් තුළ ඇත්තේ පුදුමාකාර කැමැත්තකි. එසේ වීසි කරන කුමක් හෝ දේ  අසල සිටින කෙනෙකුට ස්පර්ශ වන ප්‍රමාණය සහ වේගය අනුව වැඩිහිටියන් ප්‍රතික්‍රියා දක්වති. ඇගේ ගෑවී ගියේ නම් හුරතලයකි. ඒ පහරින් රිදුනොත් තුවාල වුණොත් සමහර වැඩිහිටියන් එහෙම ගහන්න එපා යයි සැරෙන් ආවේගයෙන් අවවාද කරති. එවන් අවස්ථාවල කුඩා එවුන් සමහර විට මහ හඩින් අඩන්න පටන් ගනී. ඒ කළ වරද තේරුම් ගත් නිසා නම් නෙවේ. මා කාටවත් ගැහුවේ නැහැ කියන්නටය. පව් නේද? අප දරුවන් තේරුම් ගත යුත්තේ එහෙමය. දෙවියන් සමගත් දරුවන් සමගත් පරිස්සමින් හැසිරෙන්න යයි කියන්නේ ඒ නිසාය.

 

කුඩා එවුන් තොත්ත බබාලා නොවේ. අප නො දන්නා බොහෝ දේ කුඩා එවුන් දනිති. අපට කළ හැක්කේ ඔවුන් බලා ගැනිම පමණකි. අපට මග හැරෙන හැම විටෙකම දෙවියන් මේ දේව දරුවන් බලා ගන්නවාමය. හරියට සය හැවිරිදි මා නැගෙණියක බලා ගැනීමට සමානය. අදටත් බෙහෝ කුඩා එවුන් අත දිගු කළ සැනින් මා වෙත යොමුවේ. ඒ ඔවුන් සහ මා අතර පවත්නා මොකක්දෝ දෙයක් නිසාය.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com







JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙර+හන්+කඩේ : කොත්තරන් සතේ මතු කළ වැඩිහිටි පොඩිහිටි ආරවුල | The Leader