The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

.මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකක් - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

May 13, 2023 • 6:04 PM

.මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකක් - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ සිද්ධවෙන දේවල් ගැන තොරතුරු අහන්න සිද්ධ වෙන නිසා දකින්න සිද්ධ වෙන නිසා ගුවන්විදුලිය, රූපවාහිනිය, ප්‍රවෘත්ති පත්‍ර නොබලා ඉන්න තරමට හිතට දැනෙන මානසික සුවය හිතට ගන්න පුළුවන් එකම තැන නිසල වන අරණක්ය කිවුවොත් නිවැරදියි.
  • අවුරුදු ගණනාවක් තිස්සේ සුනාමියෙන්, කොරෝනාවෙන්, ආර්ථීක අර්බුදයෙන් බැට කාපු ජාතියකගේ ඉරණම විසඳන්න දේශපාලන බලය අතට ගත්තු පාලක කණ්ඩායම තම තමන්ගේ සුඛ විහරණයට අදාළ දේවල්වලට පමණක් හිමිතැන දෙන බවක් පේන්නට තියෙනවා.
  • රට කරවන ඇත්තන්ට රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න තියෙන එකම තුරුම්පු දෙක ණය ගැනීම සහ බදුගැසීම පමණයි.
  • මේ විදියට බුද්ධිගලනයක් සිද්ධ වුනොත් රට බුද්ධිමතුන්ගෙන් තොර අවිද්‍යාවේ කාන්තාරයක් බවට පත්වීම අනිවාර්යයි.
අකුරු ප්‍රමාණය (Font Size):



රටේ සිද්ධවෙන දේවල් ගැන තොරතුරු අහන්න සිද්ධ වෙන නිසා දකින්න සිද්ධ වෙන නිසා ගුවන්විදුලිය, රූපවාහිනිය, ප්‍රවෘත්ති පත්‍ර නොබලා ඉන්න තරමට හිතට දැනෙන මානසික සුවය හිතට ගන්න පුළුවන් එකම තැන නිසල වන අරණක්ය කිවුවොත් නිවැරදියි.

ඒ තරමට සිද්ධ වෙන දේවල් 'පරාභව සමාජයක' ලක්ෂණ පෙන්නුම් කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ සුනාමියෙන්, කොරෝනාවෙන්, ආර්ථීක අර්බුදයෙන් බැට කාපු ජාතියකගේ ඉරණම විසඳන්න දේශපාලන බලය අතට ගත්තු පාලක කණ්ඩායම තම තමන්ගේ සුඛ විහරණයට අදාළ දේවල්වලට පමණක් හිමිතැන දෙන බවක් පේන්නට තියෙනවා.

එක පැත්තකින් ආර්ථීකය පිරිහෙනවා. අනිත් පැත්තෙන් සදාචාරය, මනුස්සකම වල් වැදිලා. රට කරවන ඇත්තන්ට රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න තියෙන එකම තුරුම්පු දෙක ණය ගැනීම සහ බදුගැසීම පමණයි.



උහුලන්න බැරි බදුබර නිසාම රටේ හොඳම විද්වතුන් රට හැර යනවා. විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු වගේ රටකට වටිනා සම්පත් විතරක් නෙමෙයි බුද්ධිමත් තරුණ පරපුරත් රට හැර යනවා.

මේ විදියට බුද්ධිගලනයක් සිද්ධ වුනොත් රට බුද්ධිමතුන්ගෙන් තොර අවිද්‍යාවේ කාන්තාරයක් බවට පත්වීම අනිවාර්යයි.

ඉස්පිරිතාලවල ඛෙහෙත් නැතිව රෝගීන් මියයන තත්ත්වයකට පත්වෙලා. පිළිකා රෝහලක රෝගින් දෙන්නෙකුම එකම ඇඳක. සමහර රෝගීන් පුටුවල වාඩිවෙලා සේලයින් වල පිහිටෙන් ඉන්නවා. සමහර රෝහල්වල සමහර අංශ වැසීගෙන යනවා. ඒත් ඛෙහෙත් වලින් හොරකම් කරන බව වෛද්‍යවරු චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. තවත් පැත්තකින් රට පුරාම මහා අපරාධ රැල්ලක් නැගෙන්න පටන් අරන්.

අහිංසක දුවා දරුවෝ දූෂණය කරලා මරා දමන රැල්ලක් ඉදිරියේ මුළු සමාජය පුරාම බිය, දුක පැතිර යනවා. දැන් තමන්ගේ පුංචි දැරියො බේරගන්න අම්මලා තාත්තලාට වෙහෙස වෙන්න වෙලා.

ජනතාවට සතුටක් අත්විඳින්න ඉතුරුවෙලා තියෙන මාතෘකා මොනවාද කියපල්ලා කියන ප්‍රශ්නය රටේ පාලක පෙළැන්තියෙන් අහන්න සිද්ධ වෙලා.

මිනිස්සු ජීවත්වෙනවා නෙමෙයි, මැරි මැරි උපදිනවා.

ඒත් මේ රටේ සිද්ද වෙන දූෂණ, යටිමඩි ගැහිලි අක්‍රමිකතා නිමක් නැහැ. සුනාමි ආධාර වලින් පවා පිල්ලි ගහපු රටක් මේක. කොරෝනා ආධාර වලින් යටිමඩි ගහපු රටක් මේක. ගං වතුර ආධාර වලිනුත් යටිමඩි ගහපු රටක් මේක. ගහන්න පුළුවන් හැම තැනින්ම ගහන මජර දේශපාලූවො ඉන්න රටක් මේක. මහ එවුන්ගේ කැතවැඩ එළිකරණ මාධ්‍යවේදීන්ට නෙලන තඩිබාන රටක් මේක.

අවුරුදු 75 ක් තිස්සේ වපුරපු දේවල්වල ඵලදාව නෙලන කාලයක් මේ. මාධ්‍යවේදීන් විදියට මේ මජර දමන දේශපාලූවන්ට ප්‍රශස්ති ගායනාකරන්න,  වන්දිභට්ටකම් කරන්න සුදානම් නැති කොන්ද කෙලින් තියාගෙන ලියන කියන මාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්ව දඩයම් කරන්න හදන පාලක රොත්තක් ඉන්න රටක් මේක.

දැන් මහා කෙරුම්කාරයො වගේ අරගලකරුවන්ගේ පැටිකිරිය හමගහන මේ ඇත්තො පුළුවන් නම් වරෙල්ලා කියලා අභියෝග කරනවා.

රටේ සියළුම සම්පත් කුණුකොල්ලයට විකුණ විකුණ කන මේ රටම වෙන්දේසිලන්තයක් බවට පත්කර ගත්තු පාලක රොත්ත රටේ පෞරාණික වටිනාකම් සහිත සම්පත් විකුණගෙන කෑමට වුනත් ඉස්සරහදි අණ පනත් ගේන්න පුළුවන්.

'සීගිරිය'පරම්පරා ගානකට කළුගල් සප්ලයි කරලා හම්බකරන්න පිටරට කොම්පැනියකට විකුණා දැම්මත් පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් ජාතික සම්පත් විකුණනවා හැරෙන්න බදු ගහනවා හැරෙන්න රටේ පාලකයින්ට ආර්ථීක ප්‍රතිපත්තියක් නැහැ.

මේ යන විදියට හොංකොං, මකාඕ රට වල වගේ සූදුවෙන්, ගණිකා මඩම්වලින්, ආදායම හොයන්න පුළුවන් විදියට පිටරැටියන්ට ආතල් ගන්න එන රටක් විදියට මේ රට ගොඩනැගෙන බවක් තමයි පේන්න තියෙන්නෙ.

අල්ලන මත්කූඩුවලට සිද්ද වෙන්නෙ මොනවද කියන්න කවුරුවත් දන්නේ නැහැ. කූඩු බොන එකා විතරයි අල්ලන්නේ ගේන එවුන් නිදැල්ලේ ඉන්නවා.



IMF එකෙන් ගත්තු ණයට වඩා විශාල මුදලක් වන්දි විදියට ගන්න තිබුණ 'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ සිද්ධියෙනුත් 'චාමර ගුණසේකර' කියලා එකෙක් ගහලා කියලා රටේ නීතිය බාර ඇමැතිම කියනවා නම් කවර කථාද?



තව කාලයක් මෙහෙම දිගටම මේ අයම රට කළොත් අන්තිමට ඉතුරු වෙන්නේ රටේ හපය විතරමයි. මේ වෙලාවේදි මතක් වෙන්නේ නන්දා මාලිනි ගේ මේ සිංදුව.

''මැගේ නම ලංකාය, ඉන්දියන් සාගරේ වසන්නී''

 දැන්වත් මිනිසුනි රට ගැන හිතපල්ලා....



mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...