The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : රස කතා නංවන 'ලිෆ්ට්' දෙන වාහන

T

The Leader Desk

May 14, 2023 • 8:12 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : රස කතා නංවන 'ලිෆ්ට්' දෙන වාහන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උස් ගොඩනැගිල්ලක ඉහළ, පහළ ගෙන යන විදුලි සෝපානය ඉන් එකකි.
  • ඔවුන්ට ඒ සඳහා සාධාරණ හේතුද ඇත.
  • ගිලනුන්, මහණුන්, ගැබිණි මව්වරුන් හෝ දරුවන් වඩාගත් මව්වරුන් ලෙසින් රථයට ''අත දමා'' නැගගන්නා සමහරු, අතරමගදී පිස්තෝල.
  • ඇතැම් විට එබදු ගමනක් නිමා වන්නේ නියමිත ගමනාන්තයෙන් නොව තානායම් පොළකදී හෝ හෝටලයකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

උස් ගොඩනැගිල්ලක ඉහළ, පහළ ගෙන යන විදුලි සෝපානය ඉන් එකකි. වාහනයකින් කෙටි දුරක් ගෙන යාම තව එකකි. සිංහල කතා කරන අපිටද නිතර ඒ ලිෆ්ට් දෙක භාවිතා කිරීමට සිදුවෙයි.

මේ කාලයේ හැටියට වාහනයකින් ලිෆ්ට් එකක් ලැබීම නම් ලොකු දෙයකි. ගමන් පහසුව, ඉක්මන මෙන්ම ගමන් ගාස්තුව ඉතිරිවීම යන වාසි කීපයක්ම ඉන් සැලසෙයි.

 

බසයෙන් යනවා නම් අවම ගාස්තුව රුපියල් තිහකි. ත්‍රීවීලරයකින් නම් එකසිය පනහකි. ඒ අනුව, කිලෝමීටර් දෙක තුනක් හෝ ''පිනා'' යන්නට ලිෆ්ට් එකක් වැදීම, පසුම්බියට වාසියකි.

 

වාහන තිබෙන හැම පින්වතෙක්ම ලිෆ්ට් නොදෙති. ඔවුන්ට ඒ සඳහා සාධාරණ හේතුද ඇත. මග දිගට ලිෆ්ට් දෙන්නට ගියොත්, තමන්ගේ ගමන පමාවෙයි. එකෙකට ලිෆ්ට් දී තවෙකකුට නොදුන්නොත් ඒකා තරහා වෙයි. ඒ නිසා කාටත් නොදී සිටීම හොඳය.

pdf snapshot ae70d4225e7d7a08e9c59182bf7d90c0 1595023614

ලිෆ්ට් ලබන සමහරු දොරගුළු කඩති. වීදුරු පහත දැමීමට ගොස් ඒවාද හිර කරති. ජරා ගොඩවල් පාගාගෙන ගොඩවෙන උදවිය නිසා, රථය මග නවතා කාපට් සේදීමට සිදුවෙයි. ලොකුම කරදරය වන්නේ ''ලිෆ්ට් ලාභියා'' රථ හිමියා ලවා තමන්ට අවශ්‍ය තැනින්ම බස්සවා ගැනීමට තැත් කිරීමය.

 

ඈත පළාත්වලදී - විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී නාඳුනන අයට ලිෆ්ට් දීම ඉතා අවදානම්ය. ගිලනුන්, මහණුන්, ගැබිණි මව්වරුන් හෝ දරුවන් වඩාගත් මව්වරුන් ලෙසින් රථයට ''අත දමා'' නැගගන්නා සමහරු, අතරමගදී පිස්තෝල. දැලි පිහි පෙන්වා රියැදුරා සුද්ද කළ අවස්ථාද බොහෝය.

 

රෑමත් තරුණියන්ට ලිෆ්ට් දීමට ඇලුම් කරන රියැදුරෝ ලොව බොහෝය. ඇතැම් විට එබදු ගමනක් නිමා වන්නේ නියමිත ගමනාන්තයෙන් නොව තානායම් පොළකදී හෝ හෝටලයකදීය.

ජනප්‍රිය පුද්ගලයන්ට ලිෆ්ට් ලබාගැනීම පහසු වන්නාක් මෙන්ම, ලිෆ්ට් දීමට මැළි නොවන ප්‍රකට පුද්ගලයෝද සිටිති.

ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්, ඔහුට වැඩක් නැති සෑම දිනකම, කොළඹ අවන්හලකට පැමිණීම සිරිතක් කරගෙන සිටියේය. රතු කට්ට පනිනතුරුම මත්පැන් බොන ඔහු, රාත්‍රී දහයට එකොළහට පාරට බැස, මඟ යන වාහනවලට අත දමයි. මෙම නළුවාට ප්‍රියකරන බොහෝ දෙනා ඔහු දුටු සැණින් රිය නවතා ඔහු නංවාගනී.

රථයට නැග සුළු මොහොතකින් නළුවා, ගොරවමින් නිදන්නට වෙයි. ඉන්පසු ඔහු අවදි කිරීම, සක්කරයාගේ පුතා වයිමාටවත් කළ හැක්කක් නොවේ.

නළුවාගේ නිවස අසා ගැනීමට හෝ නොහැකි වූ රියැදුරෝ, ඔහු ආපසු අවන්හලටම ගෙන ගොස් බාරදෙති. නැතිනම් පොලීසියට යති.

 

Bottle of alcohol fastened with seat belts. Drink and drive. Bottle of beer inside the car. Don't Drink for Drive.

තවත් මෙබඳු ''ලිෆ්ට් නළුවකු'' පදිංචිව සිටියේ, නිවාස සංකීර්ණයකය. බීමත් වූ පසු ඔහුට සියල්ල අමතක වෙයි. නිවාස සංකීර්ණයේ සියලු නිවෙස් එක සමානය. එහෙයින් නළුවාට තම නිවස සොයාගැනීම අපහසු වෙයි. අවසානයේ රියැදුරාට සිදුවන්නේ මහ රුයේ නිවාස දෙක තුනක සීනු නාද කර, ඒ ගෙහිමියන්ගෙන් නළුවාගේ නිවස අසා සොයා ගැනීමය.

එක් අවස්ථාවක රියැදුරා මැලි වූයෙන්, නළුවාම බැස ගෙයක දොරට තට්ටු කළේය. ගෙහිමියා පිටතට පැමිණියේය.

''මිස්ටර්... සොයිසගෙ ගෙදර කොහෙද... අර ෆිල්ම් ඇක්ටර්...?'' (මෙය ව්‍යාජ නමකි) ගෙහිමියාට තද වුණේය.

''ඇයි හලෝ... තමුසෙනෙ සොයිසා.''
''ඒක හරි... මං අහන්නෙ එයාගෙ ගෙදර කොහෙද කියලා.''
''තමුසෙ ඉන්නෙ අපේ අල්ලපු ගෙදරනෙ.''

''තැන්කියු'' කියූ නළුවා, යාබද නිවෙසට යනු වෙනුවට කළේ, ආපසු රථයට ගොස්, දොර වසා ගැනීමය. ඒ තරමටම ඔහුට 'ඩෝප්' ය.

අවන්හලක් අසල සිටි වියපත් පුද්ගලයෙකුට අනුකම්පා කොට, ඔහු තම රථයට නංවාගත් අප මිත්‍රයකු මුහුණ දුන් හාස්‍යජනක සිද්ධියක් ගැනද මතකයට නැඟේ. එම පුද්ගලයා එතරම් බීමත්ව නොසිටියද, ඔහුට නිතර නිතර සුළු දිය පහ කිරීමට අවශ්‍ය විය. මේ නිසා පැය භාගයක ලිෆ්ට් එකක් සඳහා, පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට අප මිත්‍රයාට සිදුවිය.

 

ගුණ යහපත් ලිෆ්ට් ලාභීහුද වෙති. සමහරු ගමන අවසානයේ, මුදලක් දීමට සැරසෙති. තවත් සමහරු තම ගමන් මල්ලේ ඇති පළතුරක්, රස කැවිල්ලක් හෝ පොතක් කෘතඥතාව දක්වනු පිණිස රථ හිමියාට දීමට පෙළඹෙති. තරමක් දුර ගමනකදී නම් ''තේ එකක් බීලා යමු''දැයි විමසති. ඒ අතරම ''තෑන්ක් යූ''වත් නොකියා බැස යන්නෝ ද නැතුවා නොවේ.

uber rider app 1200x788

අද මෙන් ආරක්ෂක රථ පිරිවරාගෙන ගමන් නොගිය කාලේ, දේශපාලනඥයන්ටද තිබුණේ තනි වාහනයකි. ඔවුන් තම ඡන්ද දායකයන්ට ''ලිෆ්ට්'' දීමට මැලිවූයේද නැත. දකුණු පළාතේ මන්ත්‍රීවරයෙක් තම රියැදුරාද සමඟ ගමනක් යමින් සිටියදී බස් නැවතුමක සිටි වියපත් පුද්ගලයකු දැක ඔහු රථයට නංවා ගත්තේය.

ඒ පුද්ගලයා, රථයට නැගුණු වේලේ සිට ආණ්ඩුව පතුරු ගසන්නට ගත්තේය. මන්ත්‍රීද ආණ්ඩු පක්ෂයේ වුවත් නිහඬවම අසා සිටියේය. වියපත් පුද්ගලයා බැස ගිය පසු රියැදුරා මන්ත්‍රීගෙන් මෙසේ ඇසීය.

''අච්චර බණිද්දී ඇයි සර් නිස්සද්දව හිටියෙ?''

''මොනව කියන්ඩද අයිසේ, ඒ මම ගිය ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා.''

''එයා සර්ව අඳුරගත්තෙ නෑ වගේ...''

''ඔව්. ඒක හොඳට ගියා. අඳුර ගත්තනං කාර් එකෙන් බැහැල යන්ඩ වෙන්නෙ එයාට නෙවෙයි, මට!''

මන්ත්‍රීවරයා පැවසුවේ, කටපුරා සිනාසෙමිනි.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : රස කතා නංවන 'ලිෆ්ට්' දෙන වාහන | The Leader