The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)

T

The Leader Desk

May 17, 2023 • 6:08 AM

'ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි අරමුණ වන්නේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සමාජයීය සහ ආර්ථික වශයෙන් ගෙන එන වර්ධන විභවයන් පිළිබඳව දැනුවත් කිරීමයි.
  • මිනිසුන්ට අන්තර් ක්‍රියා කිරීමට, ජාලගත වීමට, ඉගෙනීමට සහ තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගැනීමට නවීන මෙන්ම වඩාත් හොඳ සහ ඉක්මන් ක්‍රම සහ විධි සපයමින්, මානව ජීවිතයේ සෑම අංශයකටම ICT කොතරම් ගැඹුරින් විනිවිද යන්නේද බව ඉහත නිර්වචනයෙන් පැහැදිලිව පෙනේ.
  • තාක්ෂණයේ සමාජ බලපෑම මැයි 17, පළමු ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සම්මුතිය අත්සන් කිරීමේ සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) බිහි කිරීමේ කිරීමේ සංවත්සරය සනිටුහන් කරයි.
  • ලෝක විදුලි සංදේශ දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1969 දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙහි අරමුණ වන්නේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සමාජයීය සහ ආර්ථික වශයෙන් ගෙන එන වර්ධන විභවයන් පිළිබඳව දැනුවත් කිරීමයි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

# අපි, අද ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක බව සිහියෙන් සිටිය යුතුයි
# අපි කැමති වුවත් නැතත්, තොරතුරු අපේ ජීවිත තුළට බද්ධ වී තිබේ
# අද අපට ඇත්තේ අවකාශ සමාජීය සම්බන්ධතායි
# ඩිජිටල්කරණය යනු ඩිජිටල්ගත කරන ලද දේ භාවිත කිරීමයි
# ඩිජිටල් පරිවර්තනය යනු ඩිජිටල්කරණය හරහා සිදුවන සමාජ වෙනසයි

 

glossary 1122x777 What is ICT

යුනෙස්කෝ වෙබ් අඩවියට අනුව, ICT අර්ථ දක්වා ඇත්තේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට, ගබඩා කිරීමට, නිර්මාණය කිරීමට සහ හුවමාරු කිරීමට භාවිත කරන විවිධ තාක්ෂණික මෙවලම් සහ සම්පත් සමූහයක් ලෙසිනි.

මෙම තාක්ෂණික මෙවලම් සහ සම්පත් නම් පරිගණක, අන්තර්ජාලය (වෙබ් අඩවි, ඊමේල් සහ බ්ලොග්), සජීවී විකාශන තාක්ෂණයන් (ගුවන්විදුලි, රූපවාහිනී සහ වෙබ් විකාශනය), ගබඩා කළ විකාශන තාක්ෂණයන් (ශ්‍රව්‍ය සහ වීඩියෝ වාදක, ගබඩා උපාංග සහ බ්‍රෝඩ්කාස්ටිං) සහ දුරකතන (ස්ථාවර, ජංගම, චන්ද්‍රිකා, ආදිය) වේ.

මිනිසුන්ට අන්තර් ක්‍රියා කිරීමට, ජාලගත වීමට, ඉගෙනීමට සහ තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගැනීමට නවීන මෙන්ම වඩාත් හොඳ සහ ඉක්මන් ක්‍රම සහ විධි සපයමින්, මානව ජීවිතයේ සෑම අංශයකටම ICT කොතරම් ගැඹුරින් විනිවිද යන්නේද බව ඉහත නිර්වචනයෙන් පැහැදිලිව පෙනේ.

තාක්ෂණයේ සමාජ බලපෑම

FwRokolX0AIUxsr

මැයි 17, පළමු ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සම්මුතිය අත්සන් කිරීමේ සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) බිහි කිරීමේ කිරීමේ සංවත්සරය සනිටුහන් කරයි. ලෝක විදුලි සංදේශ දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1969 දී ය. 2006 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 17 ලෝක තොරතුරු සමාජ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඊට සමගාමීව, මැයි 17 වන දින විදුලි සංදේශ දිනය සහ තොරතුරු සමාජ දිනය යන දෙකම “ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය” ලෙස සැමරීමට ITU තීරණය කළේය.

සෑම වසරකම, ITU විසින් WTISO සඳහා නව තේමාවක් නිවේදනය කරයි. තෝරාගත් තේමාව තුළින් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ තාක්ෂණයේ සමාජ බලපෑම සහ ගෝලීය ආර්ථිකයන් සඳහා එහි අනාගත විභවයන් කෙරෙහිය. 2023 වසරේ තේමාව වන්නේ

 

“තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය තුළින් අඩුම සංවර්ධිත රටවල් සවිබල ගැන්වීම” යන්නයි. ලෝකයේ අඩුම සංවර්ධිත රටවල් (Least Developed Countries - LDC) තාක්ෂණය තුළින් ආර්ථික වර්ධනය සහ යහපැවැත්ම කරා යන ගමනේදී ඔවුන්ට සහාය වීම මෙහි අරමුණ බව ඉන් පෙනේ.

 

ඉතා අඩු මානව ප්‍රාග්ධනය

0.01430800 1481864075 africa trade

අඩුම සංවර්ධිත රටවල් මෙම වසරේ තේමාව බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනුයේ විශේෂිත හේතුවක් නිසාය. LDC යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතු ලොව විශාලතම භාවිතයට නොගත් සම්පතයි. LDC යනු අඩු ආදායම්ලාභී රටවල් සමූහයකි. ඔවුන් පිළිගත හැකි මට්ටමේ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමේදී දැඩි ව්‍යුහාත්මක බාධාවන්ට මුහුණ දෙයි.

 

වර්තමානයේ, ඔවුන් ගෝලීය ආර්ථික හා පාරිසරික බලපෑම්වලට බෙහෙවින් ගොදුරු වන අතර මානව ප්‍රාග්ධනය ඉතා අඩු මට්ටමක පවතී. LDC ලෙස හඳුනාගෙන ඇති රටවල් ගණන 46කි. LDC 46 ලැයිස්තුවේ, අප්‍රිකානු 33, ආසියානු 9, කැරිබියන් එකක් සහ පැසිෆික් රටවල් 3ක් ඇත. එම ලැයිස්තුවේ ඇති අපේ කලාපයේ සාර්ක් රටවල් තුන වන්නේ බංග්ලාදේශය, භූතානය සහ නේපාලයයි. අන්තර්ජාලයට සම්බන්ධ නොවී සිටින බිලියන 2.7 ක ජනතාවගෙන් තුනෙන් එකක් පමණ මෙම LDC 46 තුළ සිටිති.

 

මෙම රටවල් LDC ලෙස වර්ගීකරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව මනාවට සැකසූ, සංකීර්ණ නිර්ණායකයක් ඇත. සාමාන්‍යයෙන්, පහත සඳහන් ප්‍රධාන ලක්ෂණ පොදුවේ මේ රටවල් සතුව තිබේ.

1. අඩු ඒක පුද්ගල ආදායම සහ පුළුල්ව පැතිරණු දරිද්‍රතාවය

2. ප්‍රාග්ධන හිඟය

3. සීග්‍ර ජනගහන වර්ධනය සහ අනුන් මත යැපීම ඉහළ වීම

4. දැවැන්ත විරැකියාව

5. අඩු සාක්ෂරතාව සහ නුපුහුණු ශ්‍රම බළකාය යනාදී වශයෙනි.


මේ දිනය සමරන අපි, අද ජීවත් වන්නේ ඩිජිටල් යුගයක බව සිහියෙන් සිටිය යුතු වන්නෙමු. අප කැමති වුවත් නැතත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය පෙර නොවූ විරූ ආකාරයෙන් එදිනෙදා අපේ ජීවිත තුළ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත. අන්තර්ජාලයේ සහ ස්මාර්ට් දුරකතන යෙදුම්වල ආක්‍රමණයෙන් ගිලී ගිය අපගේ ජීවන රටාව වසර ගණනාවක් තිස්සේ වෙනස් වෙමින් තිබේ.

csm digital society 1920 f9ce687ac5

ඩිජිටල් සමාජ ජාලකරණය හරහා, මිනිසුන් භෞතික අවකාශයන්හි හමුවීම වෙනුවට අථත්‍ය අවකාශය හරහා වැඩි වැඩියෙන් සමාජීය සම්බන්ධතා ඇති කර ගනී. ෆේස්බුක් යාවත්කාලීන කිරීම, ට්වීට් කිරීම සහ ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූප පළ කිරීම එදිනෙදා ජීවිතයේ වැදගත් සහ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් බවට පත්ව ඇත. ජීවිතයට වැදගත් සංවේදී සිදුවීම් පවා බෙදා ගන්නා සමාජ ජාලා තුළින් මිනිසුන්ගේ ජීවිත පිළිබිඹු කිරීමේ ප්‍රවණතාවක් දැන් තිබේ. එවැනි සම්බන්ධතාවයන් වැදගත් වුවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය රටකට ඊට වඩා සැලකිය යුතු වටිනා අංශයකි. සංවර්ධිත රටවල් සමඟ සම වීමට නම්, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඩිජිටල් පරිවර්තනය කාලෝචිත ලෙස වැලඳ ගත යුතුය.

ඩිජිටල් නිරූපණ නිර්මාණ

ඩිජිටල්ගත වීම, ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය යනු අපට නිතර අසන්නට ලැබෙන වචන කිහිපයකි. බොහෝ අය නොදැනුවත්කම නිසා හෝ තම වාසිය සඳහා හෝ මෙම වචනවල තේරුම වැරදි ලෙස නිරූපණය කරන අතර එවැනි භාවිතයන් ව්‍යාකූලත්වයක් ඇති කරයි. මේ විවිධ නම් එකම දෙයක් අදහස් කරන්නේ යැයි වැරදි වැටහීමක් සමහර නිර්වචන මඟින් ඇති කරයි.

ඩිජිටල්ගත වීම යනු භෞතික වස්තූන්වල සහ ඒවායේ ගුණාංගවල ඩිජිටල් නිරූපණයන් නිර්මාණය කිරීමයි. සරල උදාහරණයක් ගතහොත්, අපි කඩදාසි ලේඛනයක් ස්කෑන් කර එය ඡායාරූපයක් ලෙස ඩිජිටල්ගත කර එය ඩිජිටල් ලේඛනයක් ලෙස තබා ගනිමු. එවිට, ඔබ ඡායාරූපයේ දකින්නේ ඔබ භෞතිකව දකින ලේඛනයේ ඩිජිටල් නිරූපණයයි. ඩිජිටල්කරණය යනු ඩිජිටල්ගත කරන ලද දේ භාවිත කිරීමයි. ව්‍යාපාර හෝ වෙනත් ක්‍රියාවලීන් සක්‍රිය කිරීමට හෝ වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ ඩිජිටල්ගත කළ දත්ත භාවිත කෙරේ. මේ අනුව, ඩිජිටල්කරණය සඳහා ඩිජිටල් දත්ත ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

indian farmer with his grand son at wheat field, using laptop

ඩිජිටල් පරිවර්තනය යන්නෙන් අදහස් වන්නේ ඩිජිටල්ගත කිරීම සහ ඩිජිටල්කරණය යන දෙකම හරහා සිදුවන ආයතනික හෝ සමාජ වෙනසකි. පවතින සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට ඩිජිටල් කළ ක්‍රම යොදා ගැනීමම නොවේ. සැබෑ ඩිජිටල් පරිවර්තනයේ දී, ඩිජිටල්කරණ තාක්ෂණයන් විසින් පවතින යල් පැන ගිය ව්‍යාපාරික ක්‍රියාවලීන්හි සම්පූර්ණ වෙනසක් සිදු කරයි. නව ක්‍රියාවලීන් පැරණි ඒවා සමඟ සංසන්දනය කිරීම දුෂ්කරය. නමුත්, අවසාන ප්‍රතිඵලය හැමවිටම ඉතා කාර්යක්ෂම එකකි. ශ්‍රී ලංකාවට නිසි ලෙස ක්‍රියාත්මක වන ඩිජිටල් පරිවර්තන කාලසටහනක් තිබෙන බවක් නොපෙනේ.

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප අරගල කරමින් සිටියද, දිගු කාලීන ආර්ථික තිරසාරත්වයක් ළඟා කර ගැනීමට උපකාරී වීමට නිසි ඩිජිටල් පරිවර්තනයකට හැකි බව අප තේරුම් ගත යුතුය. දරිද්‍රතාවයේ සිට සමාජ අසමානතාවය සහ පාරිසරික පරිහානිය දක්වා රටේ වඩාත්ම දැවෙන ගැටලු කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කිරීමට ඩිජිටල් තාක්ෂණයන්ට හැකියාවක් ඇත.

දත්ත විද්‍යා ක්ෂේත්‍රයේ දියුණුව

AI, Machine learning, Hands of robot and human touching on big data network connection background, Science and artificial intelligence technology, innovation and futuristic.

ඩිජිටල් බෙදීමක් ඇති කිරීම වැළැක්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයේ ප්‍රතිලාභ සමාජය තුළ සමානව බෙදා ගැනීමට අප වග බලා ගත යුතුය. උදාහරණ ලෙස, නවීකරණය කරන ලද සෞඛ්‍ය, මූල්‍ය සහ විදුලි සංදේශ සේවා මෙන්ම අධ්‍යාපනය ද රට පුරා එකසේ බෙදී යා යුතුය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහ දත්ත විද්‍යා ක්ෂේත්‍රයේ ඇති දියුණුව හේතුවෙන් කෘතිම බුද්ධිය AI අංශයේ වර්ධන වේගය ඉතා වැඩි නිසා, නිසි ලෙස එහි ප්‍රයෝජන අත් කර ගත යුතුව තිබේ.

 

උදෑසන සිට රාත්‍රිය දක්වා අපගේ දෛනික චර්යාවන්හිදී, AI තාක්ෂණය අප කරන බොහෝ දේ මෙහෙයවන බව අමුතුවෙන් කිව යුතු නැත. තීරණ ගැනීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ තොරතුරු සෙවීම සම්බන්ධයෙන් අප ක්‍රියා කරන ආකාරය සඳහා AI වෙත සම්බන්ධ වී ඇති ජංගම දුරකතන සහ පරිගණක භාවිතය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ.

ajantha senevirathne(අජන්ත සෙනවිරත්න)
ඉංජිනේරු
ශ්‍රී ලංකා ටෙලිකොම්හි හිටපු ප්‍රධාන සමුහ අලෙවි නියෝජිත

ajanthasene@gmail.com

 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...