The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔහුගේ ආගම වෛරය ද ? : අරගල සංවත්සර ආවර්ජනාවකි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

May 20, 2023 • 10:10 AM

ඔහුගේ ආගම වෛරය ද ? : අරගල සංවත්සර ආවර්ජනාවකි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (රම්පෙ කරපිංචා මෙන් දැමෙන ටෝකන්මය සුළුතර ජනවාර්ගික හා ආගමික කුළුබඩු ස්වල්පයක් ද සහිත ව) සමකාලීන ඉතිහාසයේ 'අරගලය' ලෙස ක්ෂණික ව හා ලිහිල් ලෙස නාමකරණය වූ සිද්ධි මාලාවේ කුටප්‍රාප්තියේ පළමු සංවත්සරය යෙදුණේ ඉකුත් සතියේ ය.
  • හොංකොං හී 2014 දී පමණ පැවති අරගලවලට කියැවුණේ 'කහ-කුඩ-විප්ලවය' කියා ය.
  • කහ යනු 19 වන ශත වර්ෂයේ සිට ම සැමට ජන්ද අයිතිය (යුනිවර්සල් සෆ්රේජ්) වෙනුවෙන් සංවිධානය වුණු ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර භාවිතා කළ පාටකි.
  • විශේෂයෙන් 1860 දී ඇමෙරිකානු කාන්තා ජන්ද අයිතිවාසිකම් අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයේ අනන්‍ය වර්ණය වූයේ කහ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

(රම්පෙ කරපිංචා මෙන් දැමෙන ටෝකන්මය සුළුතර ජනවාර්ගික හා ආගමික කුළුබඩු ස්වල්පයක් ද සහිත ව) සමකාලීන ඉතිහාසයේ 'අරගලය' ලෙස ක්ෂණික ව හා ලිහිල් ලෙස නාමකරණය වූ සිද්ධි මාලාවේ කුටප්‍රාප්තියේ පළමු සංවත්සරය යෙදුණේ ඉකුත් සතියේ ය.

Umbrella Movement anniversary                                  'කහ-කුඩ-විප්ලවය' - yellow umbrella revolution


ආසියාවේ මෙවැනි මහජන නැගිටීම්වලට විවිධ සන්නාම පටබැඳිණි. හොංකොං හී 2014 දී පමණ පැවති අරගලවලට කියැවුණේ 'කහ-කුඩ-විප්ලවය' කියා ය. හොං කොං හී වීථිබට දහස් සංඛ්‍යාත ජනයාට ( ඒ අතරින් බහුතරය තරුණ තරුණියන් ය) පොලීසියෙන් එල්ල වෙන කඳුළු ගෑස් හා ගම්මිරිස් කුඩු මිශ්‍රිත ඉසිනයෙන් (පෙපර්-ස්ප්‍රේ) ද දහවල් කාෂ්ඨක හිරු රැස් පහරින් ද බේරීමට හොංකොං අරගලකරුවෝ භාවිතා කළෝ කුඩ ය.

කහ පාට ආවේ ඒ වන විටත් හොංකොංහී ප්‍රජාතන්ත්‍රවාදය හා සැමට ජන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරයේ අනන්‍යතාව වූ කහ පීත්ත පටි (යෙලෝ රිබන්) ව්‍යාපාරය නිසා ය. කහ යනු 19 වන ශත වර්ෂයේ සිට ම සැමට ජන්ද අයිතිය (යුනිවර්සල් සෆ්රේජ්) වෙනුවෙන් සංවිධානය වුණු ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර භාවිතා කළ පාටකි. විශේෂයෙන් 1860 දී ඇමෙරිකානු කාන්තා ජන්ද අයිතිවාසිකම් අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයේ අනන්‍ය වර්ණය වූයේ කහ ය.

17 listopad 1989                                        විල්ලුද විප්ලවය- welwate revolution


අසූව දශකයේ අග භාගයේ චෙකොස්ලොවැකියාවේ සිදු වූ දේශපාලන පෙරැළි මාලාවට කියැවුණේ 'වෙල්වට් රෙවලුෂන්' හෙවත් 'විල්ලුද විප්ලවය' කියා ය. ඊට හේතුව වුයේ දකුණු යුරෝපයේ සෙසු සෝවියට් විරෝධී ව්‍යාපාර මෙන් ප්‍රචණ්ඩ නොවී, විල්ලුද මෙන් සුමට ව බල මාරුව සිදු වූ නිසා ය.

 එළඹුණු වසරේ ලංකාවේ හමා ගිය ජන නැගිටීම් මාලාවට, එහි කතෘකයින් විසින් ම කියා ගනු ලැබුවේ 'ආදරයේ අරගලය' කියා ය. පැරැණි වාම කඳන් ආදරයේ අරගලය නාමකරණයේ ඇති රෝමාන්තික බව නිසා දෝ ඊට යම් අපුලක් පෙන්නුම් කළ බව දක්නට ලැබිණ. එහෙත් අරගලයට මහ විච්චූරණ මතවාදී පදනම් රහිත ව අවංක හැඟුමෙන් හා ආවේගයෙන් එක්කාසු වූ සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් තරුණ පිරිස්, ආදර අරගල බැනරයට ඇළුම් කළ හ.

ආදරයේ අරගලය  යන බැනරය ඔවුනගේ සිතුම් පැතුම් නියෝජනය කළා යන්න අනුමාන කළ හැක. අරගලයේ මුල් අවධියේ සටන් පාඨ යට කී තරුණ පිරිස හෝ වැඩිහිටියන් විසින් ම තමන්ගේ බසින් ම ලියන ලද ඒවා විය. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති විසින් සීට්ටු කොලවල ලියා දී, ඉන් පසු ව ඒවා අනුගාමිකයෝ ගිරවුන් මෙන් ගිගුලන්නෝ කොටුවේ බෝහග යට පිහිටි ලොතරැයි කූඩු ටෝනයෙන් මොරදෙන පක්ෂයේ කථිකයෙක් අනුගමනය කිරීමෙනි.

maxresdefault

ආදර අරගල සටන් පාඨ එක්තරා ආකාරයකට එළිසමය රහිත නිසඳැස් මෙන් විය. ඒවායේ සමහර විට මහා ඝාම්භීර දේශපාලන සටන් පාඨ නොතිබුණත් ඵලදායි සන්නිවේදන පණිවිඩ අඩංගු විය. උදාහරණයක ලෙස, තරුණියක ඒ4 කොල දෙකක් එකට අලවා, එහි අපිළිවෙලට ලියා තිබුණේ 'තෙලේ යන්න, ගම දීපිය.." කියා ය. 'නිකරගුවාවට අත නොතබනු' පන්නයේ සීපද සමග ආදර අරගල නිසඳැස් නොගැලපීම සිහිපත් කළේ සිරි ගුණසිංහ 1956 දී මස් ලේ නැති ඇට පළ කළ කාලයේ පරිසරය යි.    

WhatsApp Image 2022 04 22 at 6.00.20 PM 1                  
ආදර අරගලකරුවන් පැහැදිලි ව ම නිර්ප්‍රචණ්ඩ ප්‍රවේශයකට බර විය. බොදුණු සිවුරක් කතෝලික කැසොකයක් නිතර ම ඔවුන්ගේ අරගල අධ්‍යාත්මය පෝෂණය කරනු දක්නට ලැබිණ. ඉඳහිට සෙසු ආගමික ලෙබ්බේවරුන්,  රබ්බීවරුන් හා පුසාරිවරුන් ද අරගල බිමට වැඩම කරනු දක්නට ලැබිණ. ගීත ගායනා, නැටුම්, චිත්‍ර ඇඳිලි, මුහුණේ පමණක් නොව ඇඟේ පතේ ද පින්තාරු කිරීම්, කුරුස කරේ තියන් යෑම්, බෙල්ලේ වැල දාගෙන වගේ ඉඳීම්, දේශනා, සාකච්චා, වැඩමුළු වැනි නිර්මාණාත්මක, අහිංසක හා නිර්ප්‍රචණ්ඩ වැඩ කටයුතු ය මේ බොහෝ දෙනෙක් අරගල බිමේ කළේ එකල සිටි ජනපතිට ගෙදර යන්න කියන ගමන් ය.
ඇත්තෙන් ම, ඉංග්‍රීසියෙන් සංකල්පගත කරන ලද හැෂ්ටැගය වූ, ''ගෝටා-ගෝ-හෝම්'' හී සුපුරුදු වදන් වන තොලොන්ජි වෙයන්, හැඳි ගෑවිලා පල, නැති භංගස්ථාන වෙයන් වැනි වෛරී හැඟුමක් අඩංගු නොවී ය.

 

image 831199977a
එහෙත් සියල්ල වෙනස් වුණේ සංවත්සරය ලෙස අරගලකරුවන් සලකන මැයි නමය දිනයේ ය. අරලිය ගහ මන්දිර පෙදෙසින් මුදා හැරුණු ප්‍රචණ්ඩත්වයට එරෙහි ව ඊට සමාන නැතහොත් ඊට වඩා බලගතු හා කුරිරු ප්‍රචණ්ඩත්වයක් මුදා හැරුණේ හරියට ම කොතනින් ද කා විසින් ද යන්න තාමත් තුන් තේරවිල්ලකි. මෙසේ හැසිරුණේ ආදර අරගල කරුවනුත් නොව ඔවුන්ට මුලින් නිර්දය ව පහර දුන් බයිවරුනුත් නොව පියාඹන පීරිසියකින් ලක්දිවට මැයි නවය ගොඩබට පරසක්වල ජීවී කොටසක් ද ?          

මේ තේරවිල්ල තෝරා බේරා ගන්න මා හිසේ කෙස් ඇද ගන්නා විට, පරණ ගීත පමණක් ම ගැයෙන එෆ්එම් රේඩියෝ චැනලයක කවුරුත් වැඩිය නාසන කාල පරාසයක මා අන්තර් ජාලයෙන් අදාළ තරංගය සුසර කළ විට අපූරු ගීතයක් වාදනය විය. ප්‍රේම කීර්ති ද අල්විස් ගේ පද සංකලනයෙන් හා ලෙස්ලි අශෝකාගේ තනු නිමැවුවෙන් වූ මේ ගීය ගයන්නී යමුනා විනෝදිනී ගායිකාව යි. ගීතයේ අන්තරා කොටස මෙයයි : ප්‍රේමයයි වෛරයයි අතරේ, වෙනස කෙස් ගසකට සමයි, බිඳුණ දා පූජාව ප්‍රේමයේ, ඔහුගෙ ආගම වෛරයයි. කෙටි ඉන්ටර්ලූඩයකින් අනතුරු ව, ගැයෙන්නේ මෙය ය : පහන් ටැඹ දල්වනු ලැබූයේ, පහන් ටැඹ හිමිකාරයා, එහෙත් ඒ එළියෙන් දිනන්නේ, සමුදුරේ නැව් කාරයා. අන්තරා කොටස නැවත ගැයුමෙන් පසු ව අවසාන පදය ලෙස විනෝදිනිය ගයන්නී : අසනු කෙලෙසේ පහන් ටැඹකින්, එළිය කෙනෙකුට බාර දැයි, එතැන් හිඳ කඳුළක් ව එන්නේ, උරුමයයි ඒ වෛරය යි.


පහන් ටැඹ යන කොටස් ගයනාතර ආදරයේ බැනරයෙන් දෙවුර වසා බැනරයේ දෙකොන අල්ලා ගැටයක් ද ගසා සිටි, කිසිදු  අණ කිරීමකින් තොර ව වීථි බට අසංඛ්‍ය නිර්නාමික අරගලකරුවන් මගේ සිහියට නැගිණ. ඔහුගේ ආගම වෛරයයි යන කොටස විනෝදිනිය අවධාරණයෙන් ගයනා විට දැන් යූ-ටූබරයෙකු වී සිටින අරගලකරු නිකෙලෙස් ද, බයිවර කසඳ මැති සඳ ද (මැයි 9 සංවත්සරදා නිකෙලෙස් කසඳට කෝචෝක් ම ඇමතුමක් ගැනීමේ යුටුබය ද), කදුවෙල ගම්භාර නිළමේ හා එතුමන්ගේ පිරිවර ද මගේ සිහියට ආවේ නිතැතිණි.

 ඒ අතර ම මේ ගීයේ ඇති බරපතල ම පෙළ වන 'පහන් ටැඹ දල්වනු ලැබූයේ, පහන් ටැඹ හිමිකාරයා, එහෙත් ඒ එළියෙන් දිනන්නේ, සමුදුරේ නැව් කාරයා' යන්න ගැයෙන විට ඔහුට ම අනන්‍ය වූ නක්කල ම ය සිනහවක් මුවඟ රඳවා, නිතර බහින තම කලිසම වරින් වර ඉහලට ඔසවමින්, නාවික මාලිමාවක් එහෙට මෙහෙට කපමින්, හුදෙකලා ව නැවක් පැද යන කපිතාන්වරයෙකුගේ දසුන ද මගේ මනසේ චිත්‍රණය විය.



Udan fernando

 

 


(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

Anida 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...