The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පනින්නෝ පනිත් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

May 27, 2023 • 5:45 AM

 පනින්නෝ පනිත් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාවික හමුදාවේ කොමදෝරු ලක්මාල් වීරක්කොඩි ක්‍රීඩා කණ්ඩායම භාර ව සිට අතර, සියල්ලන්ගේ පාස්පෝට් තිබුණේ කොමදොරුගේ සන්තකයේ වුව ද ඔහු දිවා ආහාරයට ගිය කාලය තුල පාස්පෝට් හත කෙසේ හෝ ලබා ගත් හමුදා ක්‍රීඩක හත් දෙනා මෙසේ අතුරුදහන් වූ බව ද වාර්තා විය.
  • ඒ නිසා දන්නා හඳුනන අයෙකු එහි පැමිණි විට මා කෙසේ හෝ ඒ එන තැනැත්තා හමු වීමට සෑම උත්සාහයක් ම දැරූ බව මතක ය.
  • මීට වඩා තරමක වෙනස් ට්‍රැෆිකයක මා දන්නා හඳුනන කෙනෙකු ඕලන්දයට ආ බව මතක ය.
  • මා දුරකථනයෙන් හිතවතා අමතා මා පැමිණ ඇති බව කී විට ඔහු තරමක් ඇඹරෙමින් කීවේ නවාතැනෙන් පිටතට යෑමට අවසර නැති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
නාවික හමුදාවේ කොමදෝරු ලක්මාල් වීරක්කොඩි ක්‍රීඩා කණ්ඩායම භාර ව සිට අතර, සියල්ලන්ගේ පාස්පෝට් තිබුණේ කොමදොරුගේ සන්තකයේ වුව ද ඔහු දිවා ආහාරයට ගිය කාලය තුල පාස්පෝට් හත කෙසේ හෝ ලබා ගත් හමුදා ක්‍රීඩක හත් දෙනා මෙසේ අතුරුදහන් වූ බව ද වාර්තා විය. මේ පුවත මගේ මතකය වසර පහළොවකට පමණ පෙර ගෙන ගියේ ය.    
   
 

               
මා ඕලන්දේ ජීවත්වන දීර්ඝ කාලය තුල ලංකාවෙන් එන යන අය නිතර නිතර හමු නොවිණ.ඊට හේතුව වූයේ කොළඹ-ඇම්ස්ටර්ඩෑම ට්‍රැෆිකය අඩු බැවිනි. ඒ නිසා දන්නා හඳුනන අයෙකු එහි පැමිණි විට මා කෙසේ හෝ ඒ එන තැනැත්තා හමු වීමට සෑම උත්සාහයක් ම දැරූ බව මතක ය.

 
සෑම වසරක ම ඔක්තෝබරයේ එක්තරා ට්‍රැෆිකයක් හැදේ. එනම් රොටර්ඩෑමයේ  වාර්ෂික ව පවත්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වෙත ය. ලංකාවේ නිෂ්පාදිත ආර්ට් හවුස් ශානරයේ හොඳ චිත්‍රපට රොටර්ඩෑම් උළෙලට තෝරා ගැනේ. මේ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හමු වීම අතිශය සතුට ගෙන දෙන්නකි. එහි පැමිණෙන බොහෝ අධ්‍යක්ෂකවරුන් ද මේ හමුවීම්වලට ඉතා කැමති ය. මීට වඩා තරමක වෙනස් ට්‍රැෆිකයක මා දන්නා හඳුනන කෙනෙකු ඕලන්දයට ආ බව මතක ය. ඒ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඩෙලිගේශනයක් ය. ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන අපනයනකරුවන් දහයක් සමග පමණ පැමිණ සිටියේ එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙකි.
holland listing
ඔවුන් නැවතී සිටි කුඩා ගැසට් හවුසියට මා හවසක වැඩ ඇරී ගියේ ඒ අතර සිටි මගේ හිතවතෙකු හමු වීමට ය. පරණ වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මගේ හිතවතා විශ්‍රාම ගත පසු තමා ජීවත් වූ හොරණ ප්‍රදේශයේ පන් නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගති. එහි නිමවන පැදුරු ජාත්‍යන්තර වෙළෙද පොලේ පවා විකිණින. එදින හවස මගේ අදහස වූයේ, හිතවතා ගෙස්ට් හවුසියෙන් කැන්දාගෙන ගොස් රෙස්ටෝරන්ටයකින් හොඳ කෑම වේලක් හිතවතාට පිළිගන්වා ආගිය තොරතුරු ද දේශපාලන තොරතුරු ද ගැන ද හිතේ හැටියට කතා කර නැවත ඔහු ව නවාතැනට ම ඇරලවා පැමිණීම ය.
 
දවස පුරා ප්‍රදර්ශනයක සිට අපනයන කණ්ඩායම මා එහි යන විට නැවත නවාතැනට අවුත් සිටිය හ. මා දුරකථනයෙන් හිතවතා අමතා මා පැමිණ ඇති බව කී විට ඔහු තරමක් ඇඹරෙමින් කීවේ නවාතැනෙන් පිටතට යෑමට අවසර නැති බව යි. අවසර ලබා ගත යුත්තේ කාගෙන්ද යී මා විමසු විට, ඒ මණ්ඩලයේ නියෝජිත එම කණ්ඩාම භාර ව සිටින නිළධරයා බව කී ය. අනතුරු ව මම එම නිලධාරයාට කතා කළෙමි.
 
 
 ප්‍රසන්න පුද්ගලයෙකු වූ ඔහු මා රැඳී සිටි ගෙස්ට් හවුසියේ ලොබියට පැමිණ මා හා සුහද ව කතා කළේ ය. "මිස්ටර් තරහ වෙන්න එපා. මට මේ කාටවත් මෙතැනින් එලියට යන්න ඉඩ දෙන්න බෑ. අපි උදේ වාහනේ ප්‍රදර්ශනයට ගිහිල්ලා ඒකෙ ම හවස මෙතැනට එනවා. අපි ඉක්මනින් කෑම කාලම යි එන්නේ. ඉන් පස්සේ ඒගොල්ලන් ව කාමරවලට දාලා ලොක්  කරලා අනිත් දවසේ උදේ වෙනකම් යතුරු ටික තියන් ඉන්නෙ මං. එහෙම නැත්තන් මේ හතර පස් දෙනෙක් පනිනවා පනිනවා ම යි. ගිය මාසේ ජර්මන් ටුවර් එකෙනුත් තුන් දෙනෙක් පැන්නා".    ඒ මහතා මෙසේ කීවේ දැඩි පීඩනයකින් ය. ඔහුගේ අසීරුතාව තේරුම් ගත් මා වාද විවාද කරන්නට නොගොසින් කාරණය යාප්පුවෙන් බේරා ගන්නට උත්සාහ කළෙමි.  මගේ හිතවතා පැදුරු වියන රක්සාව කරත් කෙදිනකවත් පැදුරටවත් නොකියා කොහෙවත් නොයන බවට මම ශපථ කළෙමි. නිලධර මහතා සිනාසෙමින් කීවේ මිස්ටර් පැදුරු වියන නෙමේ මැණික් රට යවන අය වුනත් චාන්ස් එක ලැබුණ ම පනින එක පනිනවා කියා ය.
 
අවසානයේ මා දන්නා හඳුනන මණ්ඩලයේ අධ්‍යක්ෂක කෙනෙකුගේ නම පටලවා ගැනීමෙන් හා ඔහුගේ අවසරය හා රෙකමාදුරුව මත ය හිතවතා සමග ගෙස්ට් හවුසියෙන් ඉවතට ගොස්, කෑම වේලක් ද කා පොඩි අඩියක් ද ගසා  කතා බහක් කරනට හැකි වුණේ. අසරණ නිළධාර මහතා අප නැවත එනතුරු දැඩි නොඉවසිල්ලෙන් සිටි අතර, අප ආපසු ඔහු මගේ අත දැඩි ව මිරිකා කීවේ මං නං හිතුවෙ ගියා ගියා ම යි කියලා. පාස්පෝට් එක මගේ අතේ වුනත්, පනින එකා කොහොම හරි පනින්නේ ඒ වෙලාවේ ඇඟේ තියෙන ඇඳුමෙන් ම යි.

 
 පනින පැනුම් අතර මා අසා ඇති නාටකීය ම කතාවක් ඇත. මගේ මතකය අනුව එය සිදුවුණේ ප්‍රංශයේ ය. ඒ චිත්‍රසේන-වජිරා නාට්‍ය කණ්ඩායම ප්‍රසංගයකට පැරීසියට ගිය විටෙක ය. නැටුම් ශිල්පීන්ට අමතර ව බෙර වාදන ශිල්පීන් ඒ අතර විය. පැරිසියේ ප්‍රසිද්ධ රඟහලක පැවැති ඒ ප්‍රසංගයට රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය ප්‍රේක්ෂක පිරිසක් රැස් ව සිටිය හ.  එක් නර්තන සැසියක් නිම කර, කෙට් විවේකයකින් පසු ව ඊළඟ අයිතමය වී තිබුණේ වජිරා මහත්මියගේ කේවල රංගනයකි.
 
 
71giicEpSat54KQc 5
 
 
නර්තන වින්‍යාස සැලසුම වී තිබුණේ මෙය ය. ඇය එක කකුලක් ඔසවා, දන හිසෙන් නවා, එය වේදිකාවට සමාන්තර ලෙස තබා  ගෙන, දෑතින් මුද්‍රාවක කොට, හිස ඔසවා නිසොල්මන් ව සිටින අතර තිරය කෙමෙන් දෙපැත්තට හැරෙනු ඇත. විනාඩියක පමණ කාලයකින් අනතුර ව නැගෙන බෙර වාදනයකින් වජිරා තම මුද්‍රාවෙන් මිදී නර්තනයට පිවිසෙනු ඇත. දැඩි අත් පොලසන් මැද  තිරය හැරිණ. වජිරා පිළිමයක් මෙන් තනි කකුලකින් පමණක් සිටගෙන යට කී මුද්‍රාවෙන් පිළිමයක් සේ සිටියා ය. විනාඩියක් ගත විය. දෙකක් නොව තුන හතරක් ද ගත විය. මුද්‍රාව බිඳ නර්තනය අරඹන බෙර හඬ තාමත් නොඇසිණ. වජිරා කෙතරම් ප්‍රවිණයෙකු  වූවත් තනි කකුලෙන් දිග ට ම එලෙස සිටිනට බැරි ය. බෙර හඬ නෑසෙන නිසා, දැඩි අපහසුතාවයෙන් යුතු ව වුව ද වේදිකා කළමනාකරුවෝ තිරය නැවත වැසූ හා. ප්‍රේක්ෂකයෝ තුෂ්ණිම්භූත වී  සිටිය හ. සංවිධායකයෝ වහා දිව ගියේ බෙරකරු වෙතට යි. බෙරය පැති තිරයක් අසල සීරුවට සිටුවා තිබිණ. එහෙත් බෙරකරු ඒ වන වන විටත් හැඳි වතෙන් ම, එනම් බෙර වාදන කොස්ටියුමයෙන් ම, පිට වී ගොස් තිබිණ.
හමුදා සෙබලා ද බෙරකරු ද දොස්තර ද ඉංජිනේරුවාද මෙකී නොකී සියලු ලාංකික වෘත්තික පිරිස දැන් ඉන්නේ කොයි රටකට  හෝ පනින්න මාන බලමින් ය. එදා සිදු වුණේ සිල්ලර පැනීම් ය. අද සිදුවන්නේ  මාස් ජම්ප්ස් හෙවත් සමූහ පැනුම් ය. රජයේ මුදලින් හෝ රජය හරහා ලබාගත් ශිෂ්‍යත්ව, සම්මන්ත්‍රණ, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි  මේ පනින්නන්ට බැඳෙන ඉනිමන් ය.
 
බැඳුම්කර වංචා ගැන ආණ්ඩුවේ පාර්ශවයන් පතුරු අරින වෘත්තික පිරිස් ම ය තමන් අනුයුක්ත සරසවි, රෝහල් හා වෙනත් ආයතන හෝ ඒවා පාලනය කරන අධිකාරයන් සමග තමන් ගිවිස ගන්නා බොන්ඩ් හෙවත් බැඳුම්කර බොහොම සැහැල්ලුවෙන් ඛණ්ඩනය කරන්නේ අලවිසියස් දෙවි සිහිපත් කරගෙන විය හැකි ය.


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පනින්නෝ පනිත් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader