The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිතුරු පසමිතුරුතා එකිනෙක සම්මුඛ කෙරෙන 'එතන සිට නොසිට'- (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

May 28, 2023 • 6:57 AM

මිතුරු පසමිතුරුතා එකිනෙක සම්මුඛ කෙරෙන 'එතන සිට නොසිට'- (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය ප්‍රබන්ධයක් රචනා කිරීමට සුදානම් වන පුද්ගලයා ඒ සඳහා අසුන් ගන්නේ ම කිසියම් අනුභූතියක් තමා සන්තකයේ තබාගෙන ම ය.
  • යට සඳහන් කළ පරිදි පූර්ව සුදානමක් නොතිබුණහොත් මේ ආකාරයට අයාලේ ගමන් කරන චරිත හසුරුවා ගැනීම ඉතා අසීරු වන්නේ ය.
  • එය: කොටස් වශයෙන් වෙන් කර, අපිළිවෙළකට විසුරුවා ඇති රූප සටහනක (Puzzle) කොටස් කල්පනාකාරිව එක්තැන් කර නිවැරැදි රූපය සකසා ගන්නා තරමට ම තෘප්ත ජනක ය.
  • ඒ හැඟීම් කෙලෙස මුදා හැරිය ද ඒ සියල්ල සාධනීය ලෙස බාරගැනීම හෝ නිෂේධනීය ලෙස ප්‍රතික්ෂේප කිරීම පාඨක ප්‍රජාවගේ හිමිකමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සාහිත්‍ය ප්‍රබන්ධයක් රචනා කිරීමට සුදානම් වන පුද්ගලයා ඒ සඳහා අසුන් ගන්නේ ම කිසියම් අනුභූතියක් තමා සන්තකයේ තබාගෙන ම ය. එහෙත් අනුභූතිය තමා සන්තක වූ පමණින් ම ප්‍රබන්ධයක් රචනා කළ නොහැකි ය. ඒ සඳහා අදාළ ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය සතුව තමාගේ ම වූ පරිකල්පන ශක්‍යතාවක් ද පැවතිය යුතු ය. එමතු නොව අදාළ ප්‍රබන්ධය සඳහා දායක කරගන්නා චරිත විසින් කරනු ලබන කාර්ය, ඔවුන් විසින් මුදා හරිනු ලබන දෙබස් කණ්ඩ, ඔවුන් ගමන් කරනා මාර්ග, ඔවුන් පරිභෝජනය කරනා ආහාර-පාන යනාදිය පිළිබඳව ද පූර්ව දැනුමක් සහිත සැලසුමක් තිබිය යුතු ය. ඒ සියල්ලට ම වඩා ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයා සිය ප්‍රබන්ධය තුළින් ඉදිරිපත් කළ යුත්තේ කුමනාකාරයේ සිද්ධි දාමයක් ද යන්න පිළිබඳව ද පුර්ව අවබෝධයක් සහ සුදානමක් තිබිය යුතු ය.

යට කී කිසිවක් නොමැතිව වුව ද ප්‍රබන්ධයක් රචනා කිරීම සඳහා සුදානම් විය හැකි යැයි කිසිවකු තර්ක කළ හැකි ය. ඔවු... එසේ කළ හැකි ය. නමුදු එසේ කළහොත් ප්‍රබන්ධයේ චරිත මතු නොව ඊට පාදක කරගන්නා සිද්ධි දාමය පවා අයාලේ යා හැකි ය. යට සඳහන් කළ පරිදි පූර්ව සුදානමක් නොතිබුණහොත් මේ ආකාරයට අයාලේ ගමන් කරන චරිත හසුරුවා ගැනීම ඉතා අසීරු වන්නේ ය. එසේ අසීරු වන විට ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයා පවා ප්‍රබන්ධය තුළ සිරකරුවකු හෝ සිරකාරියක වීම වැළැක්විය නොහැකි ය. නමුදු තම ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නා චරිත සහ සිද්ධි දාම පිළිබඳ පූර්ව නිගමනයක සිට, ඒ සිද්ධි දාම කෙරෙහි අදාළ චරිත යොමු කළ යුත්තේ කෙසේ ද, එම චරිත ප්‍රබන්ධය සමග කෙතෙක් දුරට රඳවා ගන්නේ ද, අදාළ චරිතයේ ආරම්භය විකාශය සහ අවසානය කෙසේ සැකසිය යුතු ද යන්න පිළිබඳ කිසියම් දළ සටහනක් පූර්වයේ ම සකසාගෙන සිටියේ නම් අදාළ චරිත සහ සිද්ධි නිසියාකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ හැකි ය; මුල, මැද සහ අග වශයෙන් පිළිවෙළකට නොවුණ ද පුහුණු පාඨක ප්‍රජාවට අදාළ ප්‍රබන්ධයේ සමස්තය කැටිකරගත හැකි ය. එය: කොටස් වශයෙන් වෙන් කර, අපිළිවෙළකට විසුරුවා ඇති රූප සටහනක (Puzzle) කොටස් කල්පනාකාරිව එක්තැන් කර නිවැරැදි රූපය සකසා ගන්නා තරමට ම තෘප්ත ජනක ය.

අනුභූතියේ සාපේක්ෂත්වය
 
 
මෙහි දී ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයා සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නා අනුභූතිය කෙරෙහි එක් එක් පාඨක පාඨකාවෝ දක්වන රුචි අරුචිකත්වය විවිධාකාර විය හැකි ය. එනම් එක් පාඨක පිරිසකට ඉතා වටිනා අනුභූතියක් තවත් කොටසකට කිසිදු වටිනාකමක් නොතිබිය හැකි ය. ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයා ඒ පිළිබඳ සන්තාපයට පත් නොවිය යුතු ය. මන්ද සියලු පාඨක ප්‍රජාව සංතෘප්තියට පත් කළ හැකි ආකාරයට ප්‍රබන්ධකරණයේ නියැළිය නොහැකි ය. එහෙත් ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය තම හැඟීම් මුදාහළ යුතු ම ය. ඒ හැඟීම් කෙලෙස මුදා හැරිය ද ඒ සියල්ල සාධනීය ලෙස බාරගැනීම හෝ නිෂේධනීය ලෙස ප්‍රතික්ෂේප කිරීම පාඨක ප්‍රජාවගේ හිමිකමකි. අදාළ පාර්ශ්ව ද්විත්වය ම උපරිම සංතෘප්තියට පත්වන්නේ ඉතා කලාතුරකිනි. එය එසේ නොවුණා යැයි ප්‍රබන්ධකරණයේ යෙදෙන්නාට හෝ යෙදෙන්නියට නිහඩව සිටිය නොහැකි ය.
හුදෙකලාවේ සිය වසරක්යට දැක්වු ආකාරයට සිය අත්දැකීම් පාදක කරගනිමින් ඍජු ප්‍රබන්ධකරණයේ යෙදෙන ප්‍රබන්ධකරුවකු ලෙස සාගර විජේසේන ප්‍රබන්ධකරුවා හඳුන්වා දිය හැකි ය. මට ඔහු පළමුවෙන් ම සම්මුඛ වන්නේ Gabriel Garcia Marquez විසින් රචිත  One Hundrad Years OF Solitude කෘතියේ සිංහල පරිවර්තනය වන ‘හුදෙකලාවේ සියවසරක්’ කෘතිය සමග ය. ඒ, 2003 වසරේ දී ය. ඉක්බිති ඔහුගේ කෘතියක් රස විඳින්නේ 2010 වසරේ දී ය. ඒ ‘අහීමානය’ නමැති ප්‍රබන්ධය යි. ඔහුගේ නවමු ප්‍රබන්ධ කෘතිය වන ‘එතන සිට නොසිට’ රස විඳීමට ලැබෙන්නේ ඉනික්බිතිව ය.

පූර්වයේ සඳහන් කළ කරුණු මතුකරලීමට සිත් වූයේ අදාළ කෘතිය රසවිඳීමෙන් ඉක්බිති ලද ප්‍රහර්ෂය යි.

කතුවරයා සහ ප්‍රබන්ධය අතර සහසබඳතාව

ඔහු මෙවර පාඨක ප්‍රජාව හමුවට රැගෙන එන අනුභූතිය බොහෝ ලේඛක ලේඛිකාවෝ විවිධාකාරයෙන් ස්පර්ශ කර ඇති බව අවිවාදිත ය. එමතු නොව සිනමා ක්ෂේත්‍රයේ ද අදාළ අනුභූතිය හැකිතාක් පමණ තොරොම්බල් කර ඇති බව ද අවිවාදිත ය. එහෙත් සාගර විජේසේන කතුවරයා අදාළ අනුභූතිය පාදක කරගනිමින්: එහි ඒක පාර්ශවීය භාවය පසෙකලා අදාළ අනුභූතිය සමග සබඳතා පවත්වන එක් හෝ වෙනත් පාර්ශ්ව හෙවත් චරිත කිහිපයක අභ්‍යන්තරිකත්වය ප්‍රකට කිරීමට යත්න දරා ඇත. එය කෙතෙක් දුරට සාර්ථක ද නැද්ද යන්න පවා එක් එක් පාඨක පාඨකාවකට අනුව වෙනස් විය හැකි ය. නමුදු ඔහු ඉහළට ඔසවා තබන පුද්ගල මානුෂික සහ මානසික තත්ත්ව කෙරෙහි අවධානය යොමු කළ යුතු ම ය. එය එක් පසෙකින් ප්‍රබන්ධමය ස්වරුපයක් පිළිබිඹු කළ ද තවත් පසෙකින් ඔබ මා ඇතුළු අප සියලු දෙනා වෙසෙන සමාජයේ පිළිබිඹුවකි; තමාව ම දකින දර්පණ තලයකි. එබැවින් ඇතැම් විට මෙය කෙනෙකුට ජුගුප්සාජනක විය හැකිය; තවකෙකුට සංතෘෂ්ටියට කරුණක් විය හැකි ය; තවකෙකුට පිළිකුල්සහගත විය හැකි ය; තවත් පාර්ශ්වයකට දේශ ද්‍රෝහී විය හැකි ය.
 
 
යට දැක්වූ කරුණු කෙසේ වුව ද වන ‘එතන සිට නොසිට’ යනු මේ සියලු මිතුරු පසමිතුරුතා එකිනෙකා සම්මුඛ කෙරෙන සන්ධිස්ථානයකි. එනම්: යුද්ධය, සාමය, යුද්ධය සහ සාමය දඩමීමා කරගත් ප්‍රජාව, සිංහල බෞද්ධ ස්වෝත්මවාදය, ආදරය, ආදරයට ඇති කෑදරත්වය, විෂම සරාගය, සම සරාගය, විසම සහ සම සරාගය අතර දෝලනය, බහු සරාගය යනාදි සියලු සිද්ධි මෙම ප්‍රබන්ධය තුළ අන්තර්ගත ය.
කතුවරයා ද වෙදැදුරෙකි
 
සාගර විජේසේන
කතුවරයා තමාගේ අනුභූතිය සමග සිය පරිකල්පනීය ශක්‍යතාව මුසු කරන්නේ කිසිදු ආකාරයකින් අදාළ ප්‍රපංච ද්වය එකිනෙක වෙන් කරගත නොහැකි ලෙස ය. ඔහු ඒ ඒ චරිතවලට අදාළ සිද්ධි එකිනෙක අමුණන්නේ විවිධ වර්ණ සහ හැඩැති මුතු ඇට රාශියක් ඉතා සීරුවෙන් එකිනෙක අමුණා අගනා මුතු මාලයක් නිමකරන ආකාරයෙනි. තවත් පසෙකින් ගත් විට මෙහි එන කිසිදු චරිතයක් ‘‘සුදු’’හෝ ‘‘කළු’’ ලෙස ඉරි ගසා, බෙදා වෙන් කළ නොහැකි ය. කිසියම් චරිතයක්, කිසියම් ස්ථානයක දී කළු හෝ සුදු ලෙස හඳුනාගත්ත ද එම කළු වර්ණිත චරිතය ම තවත් තැනෙක සුදු වර්ණත පැහැයක් ගනී. සුදු වර්ණිත චරිතයක් වේ නම් එය තවත් තැනෙක කළු වර්ණිත පැහැයට පොළා පනී. මේ අන් කිසිවක් නොව එකම පුද්ගලයෙකු තුළ වෙසෙන විවිධ චරිතයෝ ය. කතුවරයා ඒ එක් එක් චරිතය තුළ සැඟව සිටිනා අනෙක් චරිත හෙළිදරව් කරන්නේ ඔවුනොවුන් සැත්කමකට භාජනය කර, ඔවුන් තුළ සැඟව සිටිනා චරිත ඉතා සුක්ෂමාකාරයෙන් පිටතට ගන්නා වෛද්‍යවරයෙකු ලෙසිනි. ඔහු අදාළ චරිත සමග ගනු දෙනු කරන්නේ ද රෝගියෙකු පරීක්ෂණයට භාජනය කරන වෛද්‍යවරයකු ලෙසිනි. එබැවින් විවිධාකාර චරිතවලට පණ පොවන රෝගියාට ද, රෝගියා ඇසුරු කරන පාඨක ප්‍රජාවට ද ඔවුන් එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරගත හැකි ය. ඒ අන්‍යෝන්‍ය සබඳතාව ගොඩනගාගැනීම සඳහා පාඨක ප්‍රජාව සහ චරිත අතර ශක්තිමත්, හැඩැති පාලමක් ඉදිකරන්නට කතුවරයා සමත්ව ඇත.

එකිනෙකා අභිභවිය නොහැකි චරිත පෙළගැස්ම

ප්‍රබන්ධයේ එක් ප්‍රධාන චරිතයක් වෙනුවට චරිත කිහිපයක් ම රඳවා තැබීම ද සුවිශේෂී ය. ප්‍රබන්ධය ආරම්භයේ සිට අවසානය දක්වා ම එක් හෝ වෙනත් චරිතයක් අදාළ ප්‍රබන්ධයේ මුඛ්‍ය චරිතය ලෙස හඳුනාගත නොහැකි ය; වෙන් කළ නොහැකි ය. වෙසෙසින් ම: ආචාර්ය සුසා හෙවත් ලෙනාඩ්, රොහාන්ත, අමන්ද, අප්සරා, මල්කි සහ අමාලි යන චරිත හය ම ප්‍රබන්ධයේ මුඛ්‍ය චරිත ය. එවුන් එකිනෙකා ප්‍රබන්ධය පුරා සැරි සරන්නේ එක් චරිතයකට තවත් චරිතයක් අභිභවිය නොහැකි ලෙසිනි. ඔවුන් ඒ සා විශාල චරිත ලෙස පාඨකයාට හැඟෙන්නේ අන් කිසිවක් නිසා නොව අදාළ චරිත නිර්මාණය කිරීම සහ ඔවුන් හැසිරවීම සඳහා කතුවරයා දක්වා ඇති සමත් භාවය යි. එය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු හෝ සිනමා අධ්‍යක්ෂකවරයකුගේ දක්ෂතාවට සමපාත ය. අධ්‍යක්ෂක කෙතරම් දුරට සාර්ථක ද නිර්මාණය ද සාර්ථක ය.
 
 
මෙය ප්‍රබන්ධ කෘතියක් වුව ද කතුවරයා ප්‍රබන්ධකරණයේ දී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ එනමින් ම ඉදිරිපත් කරයි. අදාළ පක්ෂවල සාධනීය ක්‍රියා කලාප මෙන් ම නිෂේධනීය ක්‍රියාකලාප ද එක හා සමාන ලෙස පාඨක ප්‍රජාව ඉදිරියේ විදාරණය කරන්නට තරම් හෙතෙම නිර්භීත වී ඇත. එය පාඨක ප්‍රජාවගේ පාර්ශ්වයෙන් ගත් විට සරල මතුපිට ඉදිරිපත් කිරීමක් විය හැකි ය. නමුදු ඒ සැම අවස්ථාවක ම අදාළ දේශපාලන ව්‍යාපාරයේ දෙබිඩි බව මෙන් ම නිරුවත හෙළිදරව් වීම වැළැක් විය නොහැකි තත්ත්වයකි. එක් පසෙකින් එය එසේ විය යුතු ය. මන්ද ලංකාවේ මතු නොව බොහෝ රටවල දේශපාලනය යනු සූදු ක්‍රිඩාවකි. එහි ජය හෝ පරාජය අත්පත් කරගන්නේ කවුද යන්න තිරණය කරන්නේ ඡන්ද දායක ප්‍රජාව නොව රට අරක් ගෙන සිටින මජර (වසල) වෙළඳ කුලය යි.
කසාද සහතිකය සහ සැබෑ මිනිස් සබඳතා

ආණ්ඩුවේ නිලධාරියකු ඉදිරියේ, ආණ්ඩුවේ කඩදාසියක ලියා අත්සන් කරන ‘‘කසාදය’’ යනු සැබෑ මිනිස් සම්බන්ධතාවක් නොවන බව යථාර්ථය යි. එහෙත් වික්ටෝරියානු සදාචාරවාදයට සහ නීති රීති රාමුවට කොටු වූ අපට ද දැන් ‘‘විවාහ සහතිකයක්’’ අත්‍යවශ්‍ය ය. මන්ද එය නොමැති නම් අදාළ දෙපළගේ ම බොහෝ අයිතිවාසිකම් ඔවුන් එකිනෙකාට අහිමි වන්නේ ය; එම දෙපළගේ මතු නොව ඔවුනට දාව ඉපදෙන නව මිනිස් ජීවින්ගේ අයිතිවාසිකම් ද අහිමි වන්නේ ය. එබැවින් අප සැවොම නීත්‍යනුකුල ලෙස විවාපත්වේ. එසේ විවාපත් වුව ද ඒ පවුල් කුටුම්බ තුළ අන්ත අප්‍රමාණ ගැටුම් පවතී; කෙතරම් ගැටුම් පැවතිය ද ඉවසා දරාගෙන සිටිය යුතු ය. මෙය වඩාත් බලපාන්නේ ස්ත්‍රී පාර්ශ්වය කෙරෙහි යථා තත්ත්වය එසේ වුව ද මෙම ප්‍රබන්ධයේ එන: මල්කි, අප්සරා සහ ආචාර්ය සුසා අතර පවත්නා සම්බන්ධය පුහු විවාහ සහතිකය අභියෝගයට ලක් කරන්නකි. එබදු සබඳතාවක් පවත්වාගෙන යාම යථා ලෝකයේ දී ප්‍රායෝගික නැතැයි කෘතිය ඇසුර කරන යමෙකුට සිතිය හැකි ය. නමුදු එවන් සබඳතා පවත්වාගෙන යන හෝ ගිය සැබෑ මිනිස් චරිත අප අතර සිටිති; මා පුද්ගලිකව දන්නා අය ද සිටිති; අනාගතයේ ද සිටිය හැකි ය. කතුවරයා එම චරිත ත්‍රිත්වය තුළින් විවාහ දිවියේ බැඳීම සහ සැබෑ මානුෂික දිවියේ බැඳීම අතර පවත්නා පරස්පරය මැනවින් ප්‍රකට කර ඇත.

ලංකාවේ වාමාංශික දේශපාලනයේ ද්විරූපතාව

මෙරට තුළ පැවති සහ වර්තමානයේ පවත්නා වාමාංශික දේශපාලන ව්‍යාපාර යනු ධනේශ්වර දේශපාලන ව්‍යාපාරවලට වඩා: ජාතිවාදි, ආගම්වාදී, බෙදුම්වාදී මතු නොව නරුමවාදී දේශපාලන ව්‍යාපාර බව මේ වන විට ඉතා පැහැදිලි ලෙස ප්‍රකට කර හමාර ය. ධනේශ්වර පාලක පෙළැන්තිය ඍජුව ම ජාතිවාදය කරළියට රැගෙන එන විට වාමාංශික ව්‍යාපාර තිරය පිටුපස සිට ධනේශ්වර පෙළැන්තියේ සියලු අගති සඳහා සහයෝගය දක්වයි. සියල්ල විනාශ වු පසු ‘‘ඒ කඩේ බඩු හොඳ නෑ කියල අපි කිව්ව’’ යැයි පවසා අත පිසදාගනී. එසේත් නොමැති නම් ‘‘අපි නම් නෑ ඕවට’’ වැනි වදනක් දෙකක් පවසා පසෙකට වෙයි. ඒ සඳහා වුවමනාවටත් වඩා උදාහරණ වාමාංශික දේශපාලන ඉතිහාසය පුරා ම දක්නට තිබේ.

කතුවරයා සිය ප්‍රබන්ධය තුළ වමේ ව්‍යාපාරයේ මේ දෙබිඩි බව මෙන් ම කුහකත්වය ඉතා මැනවින් විශද කර ඇත. ප්‍රබන්ධයක් ඇසුරෙන් වුව ද ඔහු නොවරදින ලෙස ඉලක්කය ගෙන නිවැරැදි ස්ථානයට හීතලය මුදා හැර ඇත. එකී හී පහරවලින් ඊනියා වාමාංශික දේශපාලන ව්‍යාපාර ඝාතනය කළ නොහැකි බව සැබැවි: ඝාතනය කළ යුතු ද නැත; නමුදු ඔවුන්ට මාරාන්තික තුවාල සිදුවන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය. එහෙත් තුවාලය සුව වූ පසු යළි දක්නට ලැබෙන්නේ තුවාලය සිදුවීමට පෙර පැවති දේශපාලන ව්‍යාපාරය ම වීම කනගාටුදායක තත්ත්වයකි. එසේ වුවා යැයි ප්‍රබන්ධකරණයේ නියැළෙන පුද්ගලයා නිහඬ විය යුතු නැත. ඔහු හෝ ඇය එකී යථාර්ථය හැකි තාක් සමාජ ගතකළ යුතු ය. ‘‘එතන සිට නොසිට’’ ප්‍රබන්ධයේ කතුවරයා එකී යුතුකම මැනවින් ඉටු කර ඇත.

ආගමික නිල ඇඳුමෙන් වැසුණු පෘථග්ජන සිරුරු
 
එතැන සිට නොසිට

චීවරය යනු (චිවරය මතු නොව ලෝගුව හෙවත් සෝමනය සහ  අනෙකුත් ආගමික නිල ඇඳුම් ද මීට අයත් ය. ප්‍රබන්ධයේ සාකච්ඡා කෙරෙන මානය චීවරය යි) ගරුකටයුතු නිල ඇඳුමකි. එම ඇඳුම ඇඟලාගත් පුද්ගලයා හට අදාළ යුතුකම් සහ වගකීම් කොටසක් පවතී.
 
 
එහෙත් මේ වන විට ලංකාවේ සිටින බොහෝ චිවරධාරියෝ මතු නොව අනෙකුත් ආගමික නායකකාරාදිහු යට කී යුතුකම් සහ වගකීම් හැර වෙනත් බොහෝ කටයුතුවල නිරත වෙති. චිවර ධාරියෝ බුදුන් දෙසූ ධර්මය හැර අනෙක් සියලු දේ අපුරුවට ක්‍රියාවේ නංවති. සෝමනය ඇඟලාගත්තෝ ද ජේසුස් වහන්සේගේ දර්ශනය හැර වෙනත් බොහෝ විකාර රූපි කටයුතුවල නියැළෙති. හින්දු ආගමිකයෝ ද මුසල්මානුවෝ ද ඊට වෙනස් නොවෙති. ඔවුහු සියල්ලෝ ම ජනතාවගේ ගැලවුම්කරුවෝ ලෙස පෙනී සිටිමින් තව දුරටත් ජනතාව අගාධය කරා තල්ලු කරති. අල්ලා නොගැනීම වෙනුවට අල්ලා ගැනීම ම ක්‍රියාවේ යොදවති. සාමය රජ කරවනවා වෙනුවට හැකිතාක් ගැටුම් ඇති කරති. සියලු මිනිස් ජීවියෝ එක රොදකට එකතු කිරීම වෙනුවට බෙදා වෙන් කිරීම වෙනුවෙන් ම ධර්මය මෙහෙයවති. එවන් සමාජයක වෙසෙන ඇතැම් පුජ්‍ය පාර්ශ්ව සිය පූජක නිල ඇදුම ගලවා දැමූ පසු එතැන් සිට වේගයෙන් අමානුෂීයකරණයට ලක් වෙති. ‘‘එතන සිට නොසිට’’ ප්‍රබන්ධය තුළ මේ සියලු චරිත වෙතින් සිදු කෙරෙන අකටයුතුකම්. අසාධාරණතම් ඉතා බරපතළ විවේචනයට ලක් කරයි.
ලිංගික නිදහස සහ සදාචාරය

වික්ටෝරියානු සදාචාරවාදයට නතුවීමට පෙර අප රටේ ජනයා අත්විදි ලිංගික නිදහස යටත් විජිතවාදින් (වෙසෙසින් ම පල්ලිය) විසින් සීමා කරනු ලැබී ය. ඒ අනුව සමලිංගිකත්වය මතු නොව විවාහයෙන් බාහිර ලිංගික සබඳතා පවා තහනමට ලක් කෙරිණ. නමුදු යටත් විජිත පාලක පෙළැන්තිය මතු නොව ඔවුන්ට බත් බැළකම් කළ ඉහළ නිලධාරි පෙළැන්තියේ සිට පහළ නිලධාරි පෙළැන්තිය දක්වා වූ සමුහය තම තමන් රිසි සේ ලිංගික නිදහස භුක්ති වින්දාහ; තමන් කැමති කාන්තාවක් තමන්ගේ යහනට නංවාගත්හ; ඔවුන්ට අවැසි සියලු පහසුකම් ද ලබාදුන්හ. පාලිත පෙළැන්තියට මේ සියලු පීඩා විද දරාගෙන ජීවත්වීමට සිදුවූහ. මේ යථාර්ථය යටත් විජිතවාදය ස්ථාපිත වීමට පෙර සිට ද ක්‍රියාත්මක විය. සියලු ලිංගික නිදහස පැවතියේ පාලක, පීඩක පෙළැන්තිය සතුව පමණි. එහෙත් වර්තමානය වන විට බොහෝ රටවල ලිංගික නිදහස මුදා හැර ඇත. එය විශම ලිංගිකත්වයේ සිට සම ලිංගිකත්වය දක්වා ද, බහු ලිංගිකත්වය දක්වා ද ප්‍රසාරණය වී තිබේ.

සම සරාගයට නැඹුරු වූ කාන්තාවක් අසීරුවෙන් හෝ විෂම සරාගයට අවතීර්ණ වුව ද ඇයට කිසියම් ආකාරයක තනිකමක්, පාළුවක්, හුදෙකලා බවක් (වෙසෙසින් ම තාවකාලිකව හෝ සිය ලිංගික සහකරුවා අහිමි වූ පසු) දැනුණු පළමු නිමේෂයේ ම යළි සිය සම සරාගී සහකාරිය වෙත නැඹුරු වීම (මෙහි අනෙක් පාර්ශ්වය ද ඒ ආකාරය ම ය) වැළැක්විය නොහැකි ය. ඒ සඳහා: පාළුව, හුදෙකලාව, තනිකම මතු නොව සැකය සහ ලිංගික ඊර්ෂ්‍යාව ද හේතු විය හැකි ය. ‘‘එතන සිට නොසිට’’ ප්‍රබන්ධය තුළ මේ යථාර්ථය ඉතා මැනවින් ප්‍රකට කර ඇත. මෙහි එන 26වන පරිච්ඡේදය සපුරාම වෙන්ව ඇත්තේ එම මාතෘකාව වඩ වඩාත් තීව්‍ර කිරීම සඳහා යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ.

ජාතිය, ආගම, ජාතික ඇඳුම සහ දේශපාලනය

යටත් විජිතකරණයෙන් ඉක්බිති බිහිවූ ලුම්පන් පරම්පරාව අධිරාජ්‍යවාදියාගෙන් ලද විවිධ වරප්‍රසාදවලට ලොබ බැඳ එතෙක් තමන් ඇදහූ ආගම අතැර කතෝලික දහම වැලඳගත්ත ද මෙරට දේශපාලන භූමියේ පය ගසා සිටීමට නම් අදාළ දේශපාලකයා හෝ දේශපාලන ව්‍යාපාරය සිංහල බෞද්ධ විය යුතු ය. එසේ නොවුන හොත් අදාළ පුද්ගලයාට හෝ පක්ෂයට පැවැත්මක් නොමැත. මේ පිළිබඳ විවිධ සාහිත්‍ය සහ කලා නිර්මාණ වෙතින් ඉදිරිපත් කර ඇති අතර කැපීපෙනෙන සජීවි අත්දැකීම වන්නේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමැති කතෝලිකකරණය වූ පුද්ගල චරිතය ලාංකීය දේශපාලන භූමියේ සිටගත යුතු බැවින් යළි බෞද්ධකරණය වීම ය; කලිසම් කබා ගලවා දමා ආර්ය සිංහල යැයි කියාගන්නා ඇඳුමට මාරුවීම ය; රාජ්‍ය භාෂාව සිංහල පමණක් බවට පරිවර්තනය කිරීම ය. ලාංකීය වමේ ව්‍යාපාරයේ දේශපාලන පක්ෂවලට ද මෙම මලපුඩුවෙන් ගැලවිය නොහැකි විය. අනාගතයේ එසේ විය හැකි යැයි විශ්වාස කළ නොහැකි ය. මන්ද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ඒ තරමට ම මෙරට බහුතරයකගේ ජානවලට මුසු වී තිබේ. මෙම ඛේදවාචකය ද ‘‘එතැන සිට නොසිට’’ ප්‍රබන්ධයේ කතුවරයා ඉතා මැනවින් විදාරණය කර ඇත. එහෙත් එය කියවාගැනීමට සමත් පාඨක පිරිසක් (වෙසෙසින් ම සාහිත විනිසුරු මඬුළු) නොමැතිවීම මේ සියල්ලට ම වඩා බරපතළ ඛේදවාචකයකි.
 
අහීමානය

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/05/28    


 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිතුරු පසමිතුරුතා එකිනෙක සම්මුඛ කෙරෙන 'එතන සිට නොසිට'- (ජයසිරි අලවත්ත) | The Leader