The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජැක්සන් ලා රත්න ශ්‍රී ලා සහ තවත් අය -(මහේෂ් මුණසිංහ)

T

The Leader Desk

May 29, 2023 • 10:34 AM

ජැක්සන් ලා රත්න ශ්‍රී ලා සහ තවත් අය -(මහේෂ්  මුණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ඉංග්‍රිසි පරිවර්තනය මා යෙහෙළී මාලතී කල්පනා අතින් සිදුකෙරෙන බැව් දැන ගැනීම සතුටකි.
  • එහෙත් එසේ සිදු කලේ ජැක්සන් විතරක් ම නොවන බව ජැක්සන්ට පහර දෙන බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
  • රත්න ශ්‍රී යනු අපට ඉහලින්ම සිටින කවියෙකු ගීත රචකයෙකු බව අවිවාදිතය.
  • මගේ මතකය නිවරැදි නම් චන්ද්‍රිකා හෝ රාජපක්ෂලා හෝ බලයට ගෙන ඒමට මැතිවරණ තේමා ගීත එකක් හෝ දෙකක් හෝ ලියුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ඉංග්‍රිසි පරිවර්තනය මා යෙහෙළී මාලතී කල්පනා අතින් සිදුකෙරෙන බැව් දැන ගැනීම සතුටකි. සිංහල භාෂාවෙන් හරඹ පාන රත්න ශ්‍රී ගේ කවි වෙනත් භාෂාවකට පෙරලීම අභියෝගයකි. ඒ දුෂ්කර වෑයමට මගේ සුබපැතුම්!

wassaneරත්න ශ්‍රී ගේ මේ පරිවර්තනය එළිදකින්නේ ඔහුගේ “ජීවන සෝතස සැත්තෑවන තීර්ථයට එළැඹීම“ වෙනුවෙන් සිදුකරන උපහාර උත්සවයක් සමඟිනි. මෙය ලියන්නට හිතුනේ පහුගිය කාලයේ රාජපක්ෂ වාදියා, තක්කඩියා, ජාතිවාදියි යනුවෙන් ජැක්සන් ඇන්තනිව රෝහල් ඇඳෙන් පොලොවට ඇද දැමූ බොහෝ කලා, ලේඛක සහ සාහිත්‍ය ආදී බුරුතු පිටින් රත්න ශ්‍රී වෙනුවෙන් පවතින උපහාර උත්සවයෙන් අමන්දානන්දයට පත්ව සිටිනු දැකීමෙනි.

ජැක්සන් යනු විවිධ ක්ෂේත්‍රයන් හී උපරිමයෙන් දස්කම් පෑවෙකි. විශේෂයෙන් ම රංගනයේ දී ඔහු අතිවිශිෂ්ටය. අනෙක් මාධ්‍යයන් හීදී යම් විටෙක ඔහුගේ රඟපෑම් අතිශෝක්තියක් සේ දැනුණ ද වේදීකාවේ ඔහුගේ රඟපෑම් කිසිවෙකුටත් සම කළ නොහේ. ඒවා නැවත නැවතත් මතක් කර රසවිඳිය හැකි අපූර්ව ස්මරණයන්ය. ඔහු මුඛරිය. ඔහුගේ හැකියාවන් ප්‍රබලය. ප්‍රසාංගිකය. සජීවීය.

jackson anthony 1 geepadura

එබැවින් රාජපක්ෂවාදී, යුධ වාදී, ජාතිවාදී අසික්කිත දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔහුගේ හැකියාවන්ගේ අවභාවිතාව අනෙකුත් හැම දෙනාටම වැඩියෙන් වඩාත්ම කැපී පෙණුනි. ඊටත් අමතරව ඔහු ඒ අනුසාරයෙන් රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් රාජ්‍ය වරප්‍රසාද ලබාගත් තක්කඩියෙකි. එහෙත් එසේ සිදු කලේ ජැක්සන් විතරක් ම නොවන බව ජැක්සන්ට පහර දෙන බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

මුද්දර ප්‍රමාණයේ ඡායාරූප සහිතව මේ පාපකර්මයන්ට සහයෝගය පලකළ දැන්වීම් පසුගිය දශක දෙකක මැතිවරණ ආසන්නයේ පත්තර පිටු පුරා තිබුණු අතර ඉන් සැළකිය යුතු දෙනෙක් ඉන්පසුව දේශපාලන වරප්‍රසාදයන් ලබා ගත් තක්කඩීන් විය.

රත්න ශ්‍රී යනු අපට ඉහලින්ම සිටින කවියෙකු ගීත රචකයෙකු බව අවිවාදිතය. එහෙත් අවස්ථාවාදී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔහුගේ හැකියාවන් අවභාවිතාවේදී ඔහු ජැක්සන්ට දෙවැනි නොවේ. ගොඩගේ සිරිමතාණන්ගෙන් පටන් ගෙන චන්ද්‍රිකා, රාජපක්ෂලා හරහා යුදවාදී ජාතිවාදී පාඨලී චම්පික රණවක දක්වාම ඔහු අත දිගහැර ගුණ වැණුම් කළේය.

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලිය සුදු කොඩිය ඉහලින්ම ඔසවාගෙන පැමිණිවිට වෙඩිතබා මරා දැමූ යුධ අපරාධී ජන සංහාරක මිනීමරු රාජ්‍යය හමුදාවට ආවැඩීමට අතිශය සංවේදී යැයි කියන රත්න ශ්‍රී රණවිරු ගීත ලියුවේය. ඒ යුද්ධය නිසා කල්ලඩි පාලම යට මාලුන් ගේ සිදු ඇසූ දෙමළ ජනසමාජයට සිදුවූ හානියේ ප්‍රමාණය නැවත නැවතත් කිවයුතු නෙවේ.

මගේ මතකය නිවරැදි නම් චන්ද්‍රිකා හෝ රාජපක්ෂලා හෝ බලයට ගෙන ඒමට මැතිවරණ තේමා ගීත එකක් හෝ දෙකක් හෝ ලියුවේය. චන්ද්‍රිකා බණඩාරණායකව හා එවකට දකුණු පළාත් මහ අමැති අමරසිරි දොඩංගොඩව බලයට ගෙන ඒමට දායක වීමේ ආනුභාවයෙන් දොඩංගොඩගේ මාධ්‍ය ලේකම් හා සම්බන්ධීකාරක තනතුරු හෙබවීය. ඒ කාලයේදීම ඔහු අමාත්‍යාංශ වල හෝ රජයේ දෙපාර්තමේන්තු වල ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දැරුවේද ඒ ආනුභාවයෙන්ම යන්න මගේ මතකයයි (වැරදි නම් නිවරුදි කරන්න).

එලෙස දේශපාලන වාසි ලබා ගන්නා ඕනෑම කෙනෙක් මට අනුව නම් අවස්ථාවාදී තක්කඩීන්ය. ම්ලේච්ඡ යුද්ධයට ගුණ වැණූ සියල්ලන්ගේම දෑත්වල ලේ තැවරුණි. ඒ සඳහා දෑතේහි ලේ තැවරුණු තක්කඩීන් ඕනෑ තරම් රාජපක්ෂලා පහුගිය කාලයේ බිහිකළෝය.

 

මම ජැක්සන්ගේ රඟපෑම් රස වින්දෙමි. තවමත් විඳිමි. එලෙසින්ම රත්න ශ්‍රී ගේ කවි සහ ගීත ද එලෙසින්ම විදීමි. ඒ අතරට සුනිල් ආරියරත්න, සුනිල් ආර් ගමගේ, රෝහණ වීරසිංහ, නීලා වික්‍රමසිංහ, දිවුලගනේ වැනි එකී මෙකී නොකී එවැනිම හැත්ත බුරුත්තකම නිර්මාණ නිශ්ශබ්දව රසවිඳිමි. එහෙත් මෙවැනි අවස්ථාවාදී, ජාතිවාදී තක්කඩීන් ට උපහාර පිදීමට හෝ සුබ ප්‍රාර්ථනා කිරීමට මගේ කශේරුව මෙළෙක් කර නොගනිමි. ඊටත් වඩා එවැනි දේ සිදුකිරීමෙන් සිදුවන සාමාජීය අනර්ථය ලබා දෙන අනුබලය ඉතා හානිකරය. මළ දූපතේ ඕනෑම සෙල්ලමක් දමා යහතින් ප්‍රභාසම්පන්නව වැඩ හිඳිය හැක්කේ මෙවැනි තකතීරුකම් වලට උල්පන්දම් දෙන තවත් ප්‍රගතිශීලී යැයි කියාගන්නා වුන් නිසාවෙනි.

කිසිවෙකු අතින් වැරදි සිදු නොවිය හැකියැයි මම නොකියමි. දෑත්වල ලේ සෝදා ගැනීමට පහසු නැත. එහෙත් එවැනි වැරැද්දක් සිදු කළේ නම් ඉදිරියට පැමිණ තමන් සිදුකළ වැරදි පාපොච්චාරණය කිරීමට තරම් අවංක වීමටත් නැවත එම වැරදි නොකිරීමට තරමට කෙලින් සිටගැනීමටත් හැකිවිය යුතුය. පසුගිය අරගලය කාලයේ රැල්ලට අරගයේ මතවාදයන් සමඟ ඉන්නවා යැයි මොකක්දෝ බහුබූතයක් කියෙව්වා හැර රත්න ශ්‍රී ඉන් එහාට එවැනි ප්‍රකාශයක් සිදු කළා යැයි මම නොදනිමි.

රත්න ශ්‍රී, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්

ගැමුණු නරනිඳුට දස මහ සෙනෙවි    ලෙස
දෙවුණු සවිය මඩිමින් රුදු දසනු        දෙස
ගෙවුණු සමේ දී ඉටුකළ මහරු          කිස
කියනු බැරිය – කියතොත් ඒ ඔබම     මිස


රත්න ශ්‍රී, මහින්ද රාජපක්ෂ වෙනුවෙන්

පැතුම් සේම ලක් අම්මා  පැතූලෙසිනි
වරම් දුන් දනට යුතුකම්     සපුරමිනි
උපන් මව් දෙරණ රැකදුන්  අනුහසිනි
චිරං ජයතු - ජීවතු මහ     නරනිඳුනී!


රත්න ශ්‍රී, රාජ්‍ය හමුදා උපහාර සහ දිරි වැඩීම වෙනුවෙන්,


රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…!
රන් රිදී මිල මුදල් කහවනු
යස ඉසුරු ළඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය
අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..!
පවුරු බැද සිවු දිගින් වට කළ
සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම
සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..!


රත්න ශ්‍රී, පාඨලී චම්පික රණවක වෙනුවෙන්,

සතර දිගින් ආ ගොරතර
විතර නොහිම් වූ අණසක
බිඳැර නැණසරව
නිදහස පතා මව් බිමේ
පෙරටු කර මහා සඟ ගණ
කෙසර වෙසින් නැඟ නොබියව
ඔබයි පාඨලී චම්පික
නියමුවා වුණේ
නිල්ල දිළෙන මේ දෙරනත
දෙන්න දරුවන්ගෙ දෝතට
දියඹ වාතලය මේ බිම
නොවන්නට ඉතින් දූෂිත
ඔබයි පෙරමුණේ
කොල්ල කෑ උන්ට රිසි ලෙස
මහඟු ජාතියේ සම්පත
පාඩුවෙන් මුදා සරුකර
නඟා සිටුවමින් පින්කෙත
ඔබයි පෙරමුණේ          


mahesh munasinghe(මහේෂ්  මුණසිංහ)



සබැඳි ලිපියක් :
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...