The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙර+හන්+කඩේ : ජීවිතය මොන වගේ ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

May 30, 2023 • 12:06 PM

පෙර+හන්+කඩේ : ජීවිතය මොන වගේ ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මොකක්ද නම'' ''මගුල් කපුවා කියලා'' '' කරන්නේ හොඳ වැඩක් නම් මෙනවා කවුරු මොනවා කීවාම මොකද?'' මම එසේ කීවෙමි.
  • මිතුරා තමන් අත ගසා ඇති නව ව්‍යාපෘතිය ගැන කරුණු කියාගෙන යන්නට විය.
  • ඔහු වෙන්වූ දරු පවුලක් නැවත එකලස් කිරීමේ මැදිහත්කරු ලෙස ක්‍රියා කරයි.
  • පුංචි සැකයක් බීජයක් ලෙස වර්ධනය වී දෙදෙනාගේ දෙ කනින් නාසයෙන් අතු ඉති මතුවී තිඛෙනු කාටත් දැකගත හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ''මේ දවස්වල මට නමක් දාල.. ඔහු සිනාසෙමින් කීය.


''මොකක්ද නම''

''මගුල් කපුවා කියලා''

'' කරන්නේ හොඳ වැඩක් නම් මෙනවා කවුරු මොනවා කීවාම මොකද?''   මම එසේ කීවෙමි.
 
මිතුරා තමන් අත ගසා ඇති නව ව්‍යාපෘතිය ගැන කරුණු කියාගෙන යන්නට විය. ඔහු වෙන්වූ දරු පවුලක් නැවත එකලස් කිරීමේ මැදිහත්කරු ලෙස ක්‍රියා කරයි. දෙන්නා දෙපැත්තේ ය. අඹු සැමියන් දෙදෙනාම රටේ ප්‍රකට වෘත්තියක නියැලී සිටිති. කුටුම්බය දෙදරුම් කෑවේ සැමියාගේ වරදිනි. සල්ලිය බාගේ නැහැමින් අත ගෑ සැමියා එක්කෝ ස්ත්‍රී ලෝලියෙකි. නැතහොත් ගැහැනුන් හමුවේ දුර්වලවූ පිරිමියෙකි. සත්‍ය කුමක් වුවද තම සැමියා තවත් ගැහැනියක සමග නිදි වදිනවාට කිසිදු ගැහැනියක් කැමති වන්නේ නැත. මේ පවුලේ දොර පියන් සෙලවුණේ මේ තත්වය නිසාය. පුංචි සැකයක් බීජයක් ලෙස වර්ධනය වී දෙදෙනාගේ දෙ කනින් නාසයෙන් අතු ඉති මතුවී තිඛෙනු කාටත් දැකගත හැකි විය. වචන හුවමාරුවෙන් පටන් ගත් විරසකය ගුටිබැට තෙක් වර්ධනය වුනාට සැක නැත. එක දවසක බිරිය දරුවාත් වඩාගෙන කුල ගෙයින් නික්ම යන්ට ගියාය.
fam dispute for web
 
එසේ යන්ට ගිය ඇය සැමියා ගෙන් පළි ගැනීමට ඇය කළේ වහ කුප්පියක් කටේ හලා ගැනීම නොවේ. ඛෙල්ලේ වැළ දා ගැනීමකි. හෙවත් සෙල්ලක්කාර තරුණයෙකු සමග සහ වාසයට යාමය. එය සමජයේ ඉහළ වෘත්තියක යෙදුණ, එසේම දරුවන් වැදූ විවාහක මවක නො කළ යුතු දෙයක් විය. ඇයගේ නික්මීම, සැමියාගේ සෙල්ලක්කාර ජීවිතයට ඉනිමං බැඳීමක් විය. බිරිය දරුවාත් ඈත්වීම ඔහුට දැනුණේම නැති ගානය. බිරියගේ වැඩිහිටියන් මේ ඛේදවාචකය ඇසූ සැනින් සිය දියණිය තම නිවෙසට ගෙන්වා ගත්හ. නැවත දෙන්නා එකතු කිරීමට බිරියගේ වැඩිහිටියන්ට පැවති උවමනාව මේ ගැහැනියට හෝ අර මිනිසාට තිබුණේ නැත. ඔවුන් දෙදෙනාම එකිනෙකා කෙරෙහි මෝඩ වෛරයෙන් පසුවූහ. තමන්ට දරුවෙකු සිටිතී යන්න දෙදෙනාම අමතක කළහ. මෙසේ සාරාංශ කෙරෙන්නේ බිඳ වැටුණ ඒ පවුලේ කතාවේ පළමුවෙනි කාණ්ඩය  යි.

පසු දවසක අධිකරණය හමුවේ මේ මගුල දික්කසාදයෙන් අවසන් විය. එකී අවාසනාවන්ත ගැහැනියත් අර මෝඩ මිනිසාත් සිය ගෞරවනීය වෘත්තියෙහි යෙදුණේ එකම තැනකය. ඒ නිසාම, ඔවුන් දෙදෙනා දිනපතා දකිති. හමුවෙති. විටෙක කතා කරති. විටෙක නො දැක්කා සේ හැසිරෙති. මේ දෙදෙනාගේ යහලූවන් මේ ඛේදජනක සිද්ධිය දකිති. තැවෙති. පාසල් යන වයසට එළඹි දරුවා, පාසල් ඇරලවීමත්, ආපසු නිවෙස පැමිණවීමත් ඉබේම ගැහැනියට බාර විය. ඒ හැම දවසකම පිරිමියාගේ වැඩිහිටියන් එකී කාරණය සිහිපත් කිරිම නිසා, පිරිමියාද ගෙදරින් එළියට බැස්සේ හිස ගිනි තියාගෙනය. දරුවා භාර ගැනිමට යා යුතු හෝරාව එළඹෙන විට, ගැහැනිය  පැවරුණ දෛනික රාජකාරි අතර සිරවේ. එය දකින සමහර දිනෙක පිරිමියා ඔයා බබා ගන්න යන්න මම මේවා බලා ගන්නම් කියන්න පුරුදු විය.
 
fambam
වර්ෂය අවසානයේ මොන්ටිසෝරියේ වාර්ෂික හමුවට මව් පියන් දෙදෙනාම සහභාගි විය යුතු විය. කලක් එක ඇඳේ නිදා ගත් පසුව, උනුන්ට වෛර කළ මේ ගැහැනියට සහ මිනිසාට එක්ව ඒ අවස්ථාවට සහභාගි වීමට යාමට සිදු විය. දරුවන්ගේ හපන්කම් හමුවේ එක්ව අත්පොලසන් දී එක්ව සතුට පළ කිරීමටත් මේ දෙදෙනාට සිදු විය. සවස්වූ කල්හි නැවත වෙන්ව ගියහ. මේ දෙපරාදුව වසර ගණනාවක් එක සේ පැවතිණ. මගේ යාලූවා අත ගසා තිබුණේ ඒ දෙදෙනා එක්කාසු කිරිමේ දුෂ්කර කාර්යටය.
 
මා දන්නා බොහෝ මාධ්‍ය වාර්තාවල මෙවැනි වෙන්වූ දුරස්වූ පවුල් ගැන යළි යළි කියවා ඇත්තෙමි. ඒ කතාවල එසේ වෙන් වීමට පාදක වූ බොහෝ හේතු කාරණා තිබිණ. එහෙත් එකී කරුණු සමාජය දැන ගත්තේ ඔවුන් වෙන්වී යාමෙන් අනතුරුවය. ගැහනියක් සහ මිනිසෙකු සමග සතුටින් සිටීම ආරංචියක් හෝ මාධ්‍ය වාර්තාවක් නොවේ. එය අපූර්වත්වයෙන් වාර්තා කරන්නේ නැත. හේතුව... ගැහැනියක සහ මිනිසෙකු එක්වීම සාමාන්‍ය දෙයක් වන නිසා විය හැකිය.
මිනිසුන් ගැහැනුන් අපේක‍ෂා කරන්නේ තෘප්තිමත් වන්නේ සිද්ධ නොවිය හැකි දේ ඇසීමටය. සිද්ධ නොවිය යුතු අපරාධ මනුෂ්‍ය ඝාතන ස්ත්‍රී දූෂණ සමාජය අපේක‍ෂා නොකරන නොපතන සිද්ධින් වෙති. එහෙත් එවැන්නක් සිදුවූ සැනෙන් මෝස්තර දමා උත්කර්ෂයෙන් වාර්තා කෙරෙයි. සත්‍ය ලෙසම එක්ව සිටි පවුල් වෙන්වීම යනු සත්තකින්ම මනුෂ්‍ය ඝාතනයකට ස්ත්‍රී දූෂණයකට වඩා ඛෙහෙවින් බරපතල සංසිද්ධියකි.

එක් පොලිස් ස්ථානයකට පවුල් ආරවුලක් විමසමින් තිබිණ. ආරවුලට මුල් වූයේ තරුණ ගැහැනිය සිය පවුල හැර දමා වෙනත් මිනිසෙකු සමග යාමය. ඇය දෙදරු මවකි. සැමියා ඇයට වඩා දස වසක් වැඩිමහල් අයෙකි. දරුවන් දෙදෙනා සමග ඇයගේ සැමියා පොලිසියට පැමිණ සිටියේය. පවුලෙන් ඉවත්ව ගිය ගැහැනියද ඇයට වශී කළ තරුණ පිරිමියාද පොලිසිය  විසින් එකී අවස්ථාවේ කැඳවා තිබිණ.
 
'' තමුන් මේ කාන්තාව විවාහ කර ගන්න කැමතිද? '' තරුණ පිරිමියා කිසිවක් නොකියා නිහඬව සිටියේය.

'' තමුන් මේ මිනිසා සමග ජිවත් වීමට කැමතිද? පොලිසිය ගැහැනියගෙන් ප්‍රශ්න කළේය. ඇය මද වෙලාවක් නිහඬව සිට කතා කරන්නට පටන් ගත්තාය.

'' ඔව්. ඒත් එයා මාව කසාද බඳීන්න කැමති නැහැ. ''

'' එහෙනම් මේ මිනිහා එක්ක ගියේ ....''

'' මම මෙයාට රැවටුණා. මට දැන් කරන්න වෙන දෙයක් නැහැ. ප්‍රශ්න උත්තර අසා සිටි සියල්ලන්ම මොහොතක් නිහඬ විය. බොහෝ දෙනෙකුට සිතුණේ මේ මොන අපරාධයක්ද කියා විය හැකිය. පරීක‍ෂණය සිදු කළ නිලධාරියාද තුෂ්නිම්භූතව සිටියේ යයි කීම සාධාරණය.

'' මට ටිකක් කතා කරන්න දෙනවද? දරුවන් දෙදෙනා සමග පැමිණී පියා අවසර අයැද සිටියේය. පොලිස් නිලධාරියා හිස සලා ඔහුට කතා කරන්න කීය.
 
'' මේ මගෙ ගෑනි මහත්තයෝ. ඒ ඉස්සර. දැන් මේ දරුවන් දෙන්නාගේ අම්මා විතරයි. මගේ ගෑනි නොවෙයි. මට මේ දරුවන් දෙන්නා නො සිටියා නම් මම අද පොලිසියට එන්නේ නැහැ. මට ඕනැ නම් තවත් ගැහැනියක් හොයා ගන්න තිබුණා. ඒත් මට දැන් ඕනැ මගෙ දරුවන් දෙන්නාට අම්මා කියන්න පුලූවන් ගෑනියක් විතරයි. මගේ මේ අහිංසකයන් අම්මා කියලා තුරුල් වෙන්න පුලූවන් මේ ගෑනිට විතරයි මහත්තයෝ. මිනිහලා දහ දෙනෙක් එක්ක ගියත් මේ ගෑනි මට වටිනවා. මගේ දරුවන් දෙන්නාගේ අම්මා නිසා.''  අර ගැහැනිය මහ හඬින් විලාප දෙන්නට විය.
'' මම හොඳ අම්මෙක් නොවෙයි බුදු මහත්තයෝ. ''ඇය කීවේ එපමණකි.

'' යනව තමුසෙ අපි කතා කරන කල් එළියෙන් ඉන්නවා'' . අර ගැහැනියගේ අනියම් පුරුෂයාට පොලිසිය නියම කළේය.
 
bamfam

'' නෑ සර් මගේ පවුල අපෙ අම්මාටත් වඩා හොඳ අම්මෙක්. මයෙ අම්මා අපට සැරවැර කළා. ඒත් මේ ගෑනි කවදාවත් මගේ දරුවන්ට පාරක් ගහලා නෑ මහත්තයෝ. විමර්ශණයට සහාය වෙමින් සිටි පොලිස් කාන්තාවක් හොරෙන් ඇසේ කඳුළු පිසිනවා පෙනිණ.

'' අම්මා කියලා තියෙන්නේ දරුවන්ට අම්මෙක් විතරක් හිටියත් ඇති කියලා. ඒ හින්දා මේ ගෑනි මට ඕනෑ මහත්තයෝ. මේ කතාබහ සිදුවන අතර, කුඩා පැටවුන් දෙදෙනා අම්මා වෙත සේන්දු වී සිටියහ.

'' අපි යං ගෙදර....  අර මනුස්සයා සිය බිරියට එසේ ආරාධනා කළේය. ඒ ගැහැනිය කපා හෙළු ගසක් සේ සිය සැමියා ළ`ග වැඳ වැටුණාය.

'' උඹ ඇවිත් මගෙ දරුවන්ට අම්මා වෙයන් මට ඒ ඇති''  මේ කතාවේ ගැහැනිය නිකම්ම ගෘහිණියකි. පිරිමියා මේසෙන් බාස් කෙනෙකි.

මේවා බණ කතා නොවිය හැකිය. එහෙත් බණ කතා ලෙස අප කියවන්නේ අසන්නේ අර මනුස්සයා මෙන් පෙරුම් පිරූ මිනිසුන් කළ කී දේය. ඒ නිසා මේ කතාව උපදේශ කතාවක්  ලෙස අපට කියවිය හැකිය. ඉහතින් කී උගත් යයි අප හිතන ගැහැනිය සහ මිනිසා ජීවිතය තේරුම් ගෙන සිටියා විය හැකිය. එහෙත් වෘතිකයන් වන ඒ දෙදෙනාට වඩා අර මේසෙන් බාස් සහ ගෘහනිය දැනුම් තේරුම් ඇත්තෝ විය හැකිය.


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙර+හන්+කඩේ : ජීවිතය මොන වගේ ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader