The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කොමඩි සහ කොමඩු

T

The Leader Desk

June 4, 2023 • 12:56 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කොමඩි සහ කොමඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනවල එසේ ඇසුණු එක් දෙයක් වූයේ ස්ටෑන්ඩ් අප් කොමඩිය.
  • මේ රටේ ඇති භාෂණයේ නිදහස, රට පැටවීමටත් සෑහේ.
  • පහුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූයේ එවැනි කතාවකිනි.
  • 'කට තිබුණු පලියට දොඩන්න එපා, කට පරිස්සම් කරගෙන කතා කරපන්' යනුවෙන් වැඩිහිටියන් අවවාද කර ඇත්තේ එවැනි කටකම සෙයියාවක් නැති උදවියටය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය දිනවල එසේ ඇසුණු එක් දෙයක් වූයේ ස්ටෑන්ඩ් අප් කොමඩිය. අනෙක කොමඩුය. වචනවල සමානකමක් තිබුණත්, මේ දෙක අතර කිසිදු සබඳකමක් නැත.

එහෙත් කෙනකුට අවශ්‍ය නම් කොමඩු ගැන වුණත් කොමඩියක් කිරීමට කාගෙන්වත් අවසර ඕනෑ නැත.

මේ රටේ ඇති භාෂණයේ නිදහස, රට පැටවීමටත් සෑහේ.

ස්ටෑන්ඩ් අප් කොමඩි යනු හිටිවන කෙරෙන විහිළු කතාය. බොහෝ විට ඒවා කෙරෙන්නේ සභාවක් ඉදිරියෙහිය. බොහෝ රටවල මෙය ඉතා ජනප්‍රියය. හොඳම හිටිවන විකට කථිකයා තෝරන ස්ටෑන්ඩ්-අප් කොමඩි තරග පවා පැවැත්වේ.

stgbv

රට වටකර වැට බැන්ඳත්, කට වටකර වැට බැඳිය නොහැකිය යනු ජනප්‍රිය පිරුළකි. කොමඩිකාරයෝද හිතෙන හිතෙන දෑ කියති. කටට එන එන දෑ කියති. අව කැපෙන කතා මෙන්ම කට කැපෙන කතාද ඒ අතර වෙයි. පහුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූයේ එවැනි කතාවකිනි. 'කට තිබුණු පලියට දොඩන්න එපා, කට පරිස්සම් කරගෙන කතා කරපන්' යනුවෙන් වැඩිහිටියන් අවවාද කර ඇත්තේ එවැනි  කටකම සෙයියාවක් නැති උදවියටය.

හිටිවන විකට කතා පැවැත්වීමක් ගැන අපේ ඉතිහාසයේ දක්නට නැතත්, හිටිවන කවිකාරයෝ නම් අම්බලම්වල පමණක් නොව රාජ සභාවලද සිටියහ.

ගජමන් නෝනා මෙන්ම රංචාගොඩ ළමයාද සුප්‍රකට හිටිවන කිවිඳියන් දෙදෙනෙකි. මාතර විසූ රංචාගොඩ ළමයාගේ අමුතුම තාලේ කවියකි මේ.

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීල ඉලව්වේ
බල්ලොත් නොකන වැල වරකා මග දිගට
හැම දෙවියනේ, මගේ වාහේ රකෝ රකෝ



කාව්‍ය ශාස්ත්‍රයෙහි පරතෙරට ගිය පඬිවරු නම්, ''රංචාගොඩ ළමයාගේ කවි වගේ'' යැයි සවුත්තු කරන්නේ වාචාල කුකවියන්ගේ බකල් ගහන කවිය.

gajaman puwatha1

එහෙත්, නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන් තම ''ගජමන් පුවත'' නමැති නාටකයේදී රංචාගොඩ ළමයාට තැනක් දුන්නේ ''දුප්පතුන්ගේ කිවිඳිය'' යැයි කියමිනි. මේ ගජමන් පුවතෙන් ගත් රසවත් දෙබස් ඛණ්ඩයකි.

(මාතර කඩවීදිය)
පුයි අප්පා - රංචාගොඩ ළමයා හින්ද කලාවයි වෙළෙඳාමයි දෙක එකට එකතුවෙලා. හැමදාම හවස් වරුවෙ මෙතන පුංචි කවි මඩුවක් නේද?

වෙළෙන්ඳියක් - මිනිහ නැතිවෙච්ච වේදනාවට ඔය කවි කියන්නෙ. අපිට බය මෙහෙන් කවුරු හරි ජෝඩු කර ගත්තොත් කියල. එතකොට ඉතින් කවි මඩුත් ඉවරයි.

වයිසිංඤො - මිනිස්සු මැරෙන්න මැරෙන්න ගෑනුන්ගෙ කවිත්වය තව තව වැඩි වෙනවා. ඔය පේන්නෙ නැද්ද ගජමන් නෝනා; දැන් දෙවැනි මිනිහත් මැරිලා. එයාගෙ රස්සාව දැන් කවි ලියන එක. මුදලි මුහන්දිරම්ලට කවි ලියල රස්සා වෙනවා.

වෙළෙන්ඳියක් - තුන්වැනි මිනිහ මැරුණම වස් කවිත් ලියයි.

වෙළෙන්ඳියක් - අපිට දැන් ඉන්නවනෙ අපේම කවිකාරියක්. රංචාගොඩ ළමයා එයා කවි ලියන්නෙ මුදලි මුහන්දිරම්වල ගැන නෙවෙයි. දුප්පත් අපි ගැන.

තවත් වෙළෙන්ඳියක් - ලොකු ලොක්කන්ට තමයි ඔය වස් කවි, සෙත් කවි ඕනෑ. අපිට හොඳයි රංචාගොඩ ළමයගෙ කවි.

kjhffy

රංචාගොඩ ළමයා, වර්තමානයේ ජීවත්වූවා නම් හොඳ ස්ටෑන්ඩ් අප් කොමඩිකාරියක වීමට ඉඩ තිබුණි. නූතන ස්ටෑන්ඩ් අප් කොමඩිකාරයන් පිනවන්නේ ඉහළ මැද පන්තියය. ඔවුන්ගෙන් වැඩි දෙනාගේ බස ද ඉංග්‍රීසිය. සිංහලෙන් කරන්නට යන රංචාගොඩ ළමයි පටන්ගත් තැනම කිඹුල්වත්පුර යන්නට ගොස් අනාගැනීම කනගාටුදායකය. සමහර විට, ඔය සුද්ධෝදන කතාවම ඉංග්‍රීසියෙන් කියුවා නම් ඔය තරම් ඇනුම් බැණුම් නොඅසන්නටත් ඉඩ තිබුණි. මට ඒ රංචාගොඩ ළමයාට කීමට ඇත්තේ මෝඩ චූන් කතාවලට නොගොස් තම හැකියාවෙන් වැඩ පෙන්වන ලෙසය.

මීට කලකට ඉහත, අපේ රටේ සැණකෙළි වේදිකාවල සිටි ස්ටෑන්ඩ් අප් කොමඩියන්ස්ලා දෙදෙනකු ලෙස, නවනන්දන විජේසිංහ හා මංගල ප්‍රේමදාස දැක්විය හැකිය. රුස්ව සිටින බාල, මහළු, තරුණ සැම පිනවන්නට ඔවුන් සමත් වූයේ කිසිවකුට අපහාස නොකරමිනි. හරුප නොකියමිනි. ෆ්‍රෙඩී සිල්වා ද, ප්‍රසංග වේදිකාවලදී තම ගීත අතර කවට කතා කියුවේය.

වර්තමාන තරුණ පරම්පරාවෙන් මගේ සිත් ගත් කවට කථිකයකු ලෙස සමරේට ලකුණක් දෙනු කැමැත්තෙමි.

මිගාර බමුණුසිංහ, සම්මාන ලැබූ හිටිවන කවියෙකි. වැලි කැටයක්, අබ ඇටයක් ගැන වුව ඔහු එක් සැණින් කවියක් ගෙතීමෙහි සමතෙකි.

පහුගිය ටිකේ, කොමඩි නැගලා යද්දි, කොමඩු මිල පහත බැස්සේය. ඒ ගැන කොමඩු ගොවීන් රූපවාහිනියට පැවසුවේ දුක හිතෙන කතාය. කොමඩි අස්සෙ කොමඩු 'ට්‍රුජඩි' බවට පත්වුණි. මේ අවුල ගැන බමුණුසිංහ කවියා හිටිවනම ගෙතූ කවකි මේ.

දැන හෝ නොදැන බොරුවට නොව කොමඩි කළේ
ඒවා ඇහෙන විට තද කළ හවඩි හැලේ
තිර ඇරෙනා විටදි පොලිටික්ස් කබඩි පොළේ
අමුඩෙත් ගැලවුණා අඩුවට කොමඩු මිලේ


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)

ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...