The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විනෝදය වෙනුවට වෛරය තෝරා ගැනීම.- (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

June 5, 2023 • 12:07 PM

විනෝදය වෙනුවට වෛරය තෝරා ගැනීම.- (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිළිබඳව විවිධ කතා සහ විවේචන අසන්නට ලැබුණු නිසා මම අද උදෑසන කෙනෙකු කොපි කර සමාජ මාධ්‍යයට දමා තිබූ ඇයගේ එම වැඩසටහන බැලුවෙමි.
  • ඇත්තෙන්ම නතාෂාගේ වැඩසටහන නැරඹීමෙන් පසු මා තේරුම් ගත්තේ ඇය ඉතා දියුණු ප්‍රහසන ශිල්පිනියක් බවයි.
  • මෙවැනි නිර්මාණ ඇති කිරීම පහසු නැත.
  • අනෙත් අතට සමාජයක ඇති දුර්වල තැන් ඉස්මතු කර යමක් කෙනෙකුට හිතන්නට ඉඩක් දෙමින් එමගින් සමාජය ඉදිරියට ගමන් කරවීම සඳහා සහායක් දෙමින් ඒ අතරම විනෝදයක් ද ජනිත කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම පහසු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ පිළිබඳව විවිධ කතා සහ විවේචන අසන්නට ලැබුණු නිසා මම අද උදෑසන කෙනෙකු කොපි කර සමාජ මාධ්‍යයට දමා තිබූ ඇයගේ එම වැඩසටහන  බැලුවෙමි.

ඇත්තෙන්ම නතාෂාගේ වැඩසටහන නැරඹීමෙන් පසු මා තේරුම් ගත්තේ ඇය ඉතා දියුණු ප්‍රහසන ශිල්පිනියක් බවයි. මෙවැනි නිර්මාණ ඇති කිරීම පහසු නැත. ලේඛකයකු වන මම ලිවීමේදී සමාජය සහ දේශපාලන කාරණා විවේචනාත්මකව ඉදිරිපත් කිරීම කරමි.

අනෙත් අතට සමාජයක ඇති දුර්වල තැන් ඉස්මතු කර යමක් කෙනෙකුට හිතන්නට ඉඩක් දෙමින් එමගින් සමාජය ඉදිරියට ගමන් කරවීම සඳහා සහායක් දෙමින් ඒ අතරම විනෝදයක් ද ජනිත කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම පහසු නැත. එයට විශේෂ දක්ෂතාවයක් තිබිය යුතුය. ඇය එවැනි දක්ෂතාවයන්ගෙන් යුතු තරුණියකි.

එනිසා නතාෂා එදිරිසූරියගේ ප්‍රහසන වැඩසටහන ඉතා නිර්මාණාත්මක කලා නිර්මාණයක් බව මගේ වැටහීමයි. එය විහිළුවක් එසේ නැත්නම් විහිළු වැඩසටහනකට වඩා දුර යන යම්කිසි දැනුමක් සහ සිතීමට යමක් සිනහව සමගම එකතු කරන නිර්මාණයකි.

මගේ අදහස අනුව නම් එම ප්‍රහසනය මගින් සමාජය තුළ කැලඹීමකට ඉඟියක් නොලැබේ. සිදුහත් කුමාරයා නැත්නම් සිද්ධාර්ථ පිළිබඳව මෙයට වඩා විවේචනාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය දේශපාලන කතා සිංහල සමාජ මාධ්‍යන්හි මෙයට පෙර පළ වී තිබේ. ඒ  කිසිවකින් ඇති නොවූ කැළඹීමක් මෙවැනි ප්‍රහසනයක් නිසා ඇතිවිය හැක්කේ කෙසේදැයි මට තේරුම් ගත නොහැකිය.

.

ජර්මනිය වැනි රටවල මෙවැනි වැඩසටහන් කොමඩි එසේ නැත්නම් විහිළු වැඩසටහනකට වඩා එහා ගිය “කැබරේ” නමින් හඳුන්වන විනෝදාත්මක සමාජ විවේචනාත්මක වැඩසටහනක් විදිහට හැඳින්වෙයි. ජර්මනියේ මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන ප්‍රහසන ශිල්පීන් සහ ශිල්පිනියන් සමාජය විසින් ඉතා අගනා ලෙස සලකන අතර ඔවුන් ඉතා දියුණු කලාකරුවන් ලෙස සැළකේ.

මෙවැනි ශිල්පීන් ඉදිරිපත් කරන වැඩසටහන් වල දී උපහාස රසය මෙන්ම සිතීමට ඉදිරිපත් කරන කාරණා තුළින් ඇතිවන යම් යම් ගැට‍ළු වලදී රාජ්‍ය සහ පවතින නීතිය විසින් ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු ලබයි.

ආගම්වලින් හෝ  වෙනත් දේශපාලන බලවේග විසින් ඉදිරිපත් කරන මත පිළිබඳව සිතා බැලීමට සහ ඒවා තුළ ඇති පරස්පර විරෝධී බව මතු වන ආකාරයට මෙම ශිල්පීන් විසින් ඉදිරිපත් කරන වැඩසටහන් මාද නරඹන්නෙ ඉතාම සතුටකිනි.

මිනිස්සුන්ගේ ජීවිතවල විවිධ ප්‍රශ්න ඇත. ප්‍රශ්න නොමැති මිනිසුන් මොනයම් ම සමාජයක වත් ඇතැයි මම නොසිතමි. නමුත් මොන යම් ප්‍රශ්න තිබුනද සතුටු වීම ජීවිතයට වැදගත් බව මගේ වැටහීමයි. නතාෂා වැනි ප්‍රහසන ශිල්පීනියන් කරනුයේ එවැනි මිනිසුන්ට තම ප්‍රශ්න වල හේතූන් දෙසට ඉඟියක්ද දෙමින් එතුලම සතුටක් විඳීමටද මග පෑදීමයි. බොහෝ විට ඔවුන් අපට අපවම දැකීමට මඟ පාදයි. එනිසා එය උසස් කලාත්මක නිපැයුමකි. ඇත්තෙන්ම ලංකාව වැනි ප්‍රශ්නවලින් මිරිකී තිබෙන සමාජයකට මෙවැනි කලා ශිල්පීන් ශිල්පීනියන් වැඩි වැඩියෙන් අවශ්‍යය.

cf1a40b694c0ebe075060bab9f573a7ef90abf86

 

ජර්මනිය වැනි දියුණු සමාජයක පවා මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වන ස්ත්‍රීන් ප්‍රමාණය සාපේක්ෂක වශයෙන් අඩුය. නමුත් ලංකාව වැනි රටක මෙවැනි වැඩ සටහන් ඉතා දුලබ වන අතර ස්ත්‍රියක් එවැනි දෙයක් ඉදිරිපත් කිරීම ඇත්තෙන්ම අගය කළ යුතු දෙයකි. මෙවැනි තරුණියන් දිරිමත් කළ යුතු අතර තවත් තරුණ ස්ත්‍රීන්ට මෙවැනි කලාකාරියන් වීම දෙසට ගමන් කිරීමට ඇය ශක්තියක් බවට පත් කළ යුතුය. එය ලංකා රාජ්‍යයේ සමාජ වගකීමකි. ඒ අන් කිසිවක් නිසා නොව වැඩවසම් සමාජ සම්බන්ධතා වලින් මිදී නිදහස් ‍ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දියුණුවක් සඳහා සමාජයක් ගමන් කරවීමට මෙවැනි ප්‍රහසන ශිල්පීනියන් වැඩි වැඩියෙන් මතු වීම සමාජයක් ඉදිරියට තල්ලු කිරීමට අත්‍යවශ්‍ය බැවිනි.

ජර්මනිය වැනි රටවල මේ සඳහා ශාස්ත්‍රීය මට්ටමකින් පුහුණු වීමට අවස්ථාවන් සකසා ඇත. ඒ පිළිබඳව අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව එමගින් ලැබේ.

මෙවැනි තරුණියන් දිරි ගන්වමින් ඒ සඳහා උසස් ශාස්ත්‍රීය මට්ටමක් ඇති කිරීම වැදගත්  බව මගේ වැටහීමයි. නමුත් ඒ වෙනුවට ඇයට සිදුවී ඇත්තේ ඛේදවාචකයකට මුහුණ දීමටයි. ඇය සිරගත කර ඇත. ලංකා සමාජය තුල ස්ත්‍රියකට මතු වීම පහසු නැත.

ඇය කවර කළක් හෝ රැදවුම්භාරයේ තබා ගත හැකි වුවත් අවසානයේදී ඇය නිදොස් කොට නිදහස් වන බව මගේ වැටහීමය. එනයින් මෙම අත්අඩංගුවට ගැනීමේ සහ ඇයට එරෙහිව වපුරා ඇති වෛරය මගින් සිදු ව ඇති එකම විපාකය නම් මෙවැනි ප්‍රහසන ශිල්පිනියන් මතු වීම වැළකී යාමයි. ඇය සිරගත කිරීමේ දේශපාලන අර්ථය වන්නේ සමාජයට බලපාන අන්දමින් ජනයා සිනා ගන්වන විවේචනාත්මක වැඩසටහන් බිය ගැන්වීමයි. එය පුළුල් අර්ථයෙන් අධිකාරවාදී දේශපාලන ව්‍යාපෘතියක කොටසක් වන්නේ එනිසාය.

විශේෂයෙන්ම ලිංගික කුහකත්වයක හිරවී පවතින සමාජයක මෙවැනි ස්ත්‍රීන් පිළිබඳව වෛරයකින් බලන බව සමාජ මාධ්‍ය දෙස බලන විට පෙනේ. සිනහව වෙනුවට සතුට වෙනුවට වෛරය සහ ද්වේශය වඩවන සමාජයක් තමා සිටින තැනින් ඉදිරියට ගමන් නොකරන බව මගේ වැටහීමය. වෛරයකින් පෙළෙන සමාජයකට දියුණු විය නොහැක. සෑම මොහොතකම අනෙකා තමාට එරෙහිව යමක් කිරීමට මාන බලනවා යයි සිතමින් සැකයකින් පසු වීම සමාජයකට හොඳ දෙයක් නොවන බව මගේ වැටහීමය.

ආදරය කිරීම පවා ගර්හාවට ලක් වන සමාජයක් බවට ලංකා සමාජය පත්ව ඇත. මෙවැනි කාරණා පිළිබඳව කරුණු කීමට ඉදිරිපත් වන අය පවා ගර්හාවට ලක් කිරීම ලංකා සමාජයේ ක්‍රමය වී ඇත. ලංකාව දියුණු සමාජයක් බවට දියුණු රටක් බවට පතිතර ගැනීමට අවශ්‍ය නම් අප මේ සිරවී සිටින පසුගාමී බැමි වලින් නිදහස් විය යුතුයි. පසුගාමීත්වය තුල ගිලී තිබෙන රටක් ආර්ථික වශයෙන් පමණක් දියුණු කරන්නට සිතන්නේ නම් එය සිහිනයකි.

modabhi

කලාත්මක නිර්මාණයක් යනු රසාස්වාදයක් සමඟ බුද්ධිමය වශයෙන් සිතීමට යමක් ඉදිරිපත් කිරීමයි. කලාව විවිධ පැතිවලින් විවිධාකාරයෙන් ඉදිරිපත් වේ. රස විඳීම නොදන්නා මිනිසුන්ට නිතරම වෛරයකින් පෙළෙමින් අනෙකා පිලිබඳව ඊර්ෂ්‍යාවකින් සහ කුහක බවකින් දත් මිටි කමින් ජීවත් වෙන මිනිස්සුන්ට සතුටු වීම අරහංය. සතුටු වීම වෙනුවට ඔවුන් තුළ මතුවන්නේ කුහක ඊර්ෂ්‍යාවයි. අනෙකා සිනාසෙනු දැකිය නොහැකි අනෙකාගේ සිනාවෙන් අනිකාගේ සතුටෙන් තමා තුළ මතු වන ඊර්ෂ්‍යා සහගත වෛරය ඔවුන්වම විනාශ කරනු ලබයි.

සිංහල භාෂාව සහ ආගම ආරක්ෂා කර ගැනීමට යයි වෛරයකින් තුච්ච කුණුහරප පාවිච්චි කරන්නේ නම් ඒ තුළින් තමන්ගේ භාෂාවටත් තමන් පිළිගන්නා ආගමක තියෙන හැදියාවටත් දෙකටම සිදුවන්නේ විනාශයකි.

නමුත් රටේ නායකයින් තමන් ලිබරල් ඒජන්තලා බවට කටමැත දොඩමින් තාලිබාන් වර්ගයේ පසුගාමී සමාජ දේශපාලනයක් ක්‍රියාවට නගයි නම් එවැනි රටකට මොන දෙවියකුගේවත් පිහිටක් නොලැබෙනු ඇත. ලංකා රාජ්‍යය සහ එහි දේශපාලන නියමුවන් නතාෂා වැනි කලාකාරිනියන් මර්දනය කරමින් මේ පෙන්වමින් සිටින්නේ ඔවුන්ගේ සැබෑ පසුගාමීත්වයේ හෙලුවයි.

එනිසා මේ මොහොතේ නතාෂා එදිරිසූරියගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම සෑම ප්‍රගතිශීලී පුද්ගලයෙකුගේම යුතුකම බව මගේ වැටහීමයි. ඒ සඳහා එක් වෙමු.


බලය නොඅල්ලා බලය සමඟ කේවල් කරන බහුජන ව්‍යාපාරයක් ! - රංජිත් හේනායක ආරච්චි(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

03.06.2023


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...