The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බසකට පෙම් බැඳ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 17, 2023 • 6:55 AM

 බසකට පෙම් බැඳ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිය වසරේ, පසු ගිය සතියේ දිනෙක සඳදස් කෝපරහේවා සූරීන් තම දිවි ඉණිම නිමා කළේ ශතකයකට තව වසරක් පමණක් තිබිය දී ය.
  • ජන මාධ්‍ය විසින් සඳදස් සූරීන්ගේ මෙහෙවර ගැන, විශේෂයෙන් හෙළ හවුලේ පුරෝගාමියෙකු ලෙස එතුමන්ගේ කාර්ය භාරය ගැන, මැනැවින් අගය කෙරිණ.
  • කුඩා මිටි සිරුරකින් හෙබි මිස්ටර් කෝපරහේවා, රැල්ලක හෝ නැති අත් දිග කමිසයක පිළිවෙලට බකල් දෙකක් දෙපස ඇති ප්ලීට් සහිත කලිසමට යටකර, තෙල් හෝ ක්‍රීම් ගල් වූ කොණ්ඩය පිටුපසට පීරා තිබුණේ චණ්ඩ මාරුතයකට හෝ කෙසක්වත් නොසෙල්වෙන පරිදි ය.
  • සිංහල ද ඉංග්‍රීසිය ද එක සේ ම ව්‍යක්ත ලෙස වැහැරූ මේ ගුරුවරු ඉතිහාසය, සාහිත්‍යය ජාත්‍යන්තර සබඳතා ආදී විවිධ විෂයන් ද එක සේ විශද කර සිටිය හ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිය වසරේ, පසු ගිය සතියේ දිනෙක සඳදස් කෝපරහේවා සූරීන් තම දිවි ඉණිම නිමා කළේ ශතකයකට තව වසරක් පමණක් තිබිය දී ය. එතුමා තම අවසන් ගමනේ දී ලාංකීය සමාජයෙන් ලද අවධානය විශාල ය;

සුවිශේශී ය. ජන මාධ්‍ය විසින් සඳදස් සූරීන්ගේ  මෙහෙවර ගැන, විශේෂයෙන් හෙළ හවුලේ පුරෝගාමියෙකු ලෙස එතුමන්ගේ කාර්ය භාරය ගැන, මැනැවින් අගය කෙරිණ.

ජාතිකාරක්ශක දර ලිපේ ජාත්‍යානුරාග ගිනි අවුළවා බලයට ආ ආණ්ඩුවක් හා ජනපතිවරයෙකු හොඳ හැටි හොට ඇණගත් ඊයේ පෙරේදා ඉතිහාසයක භාෂානුරාගී කලාපයකට පිවිසීම පහසු නොවේ. එහෙත් සඳදස් සූරීන්ගේ ගුණ සිහි කෙරුමට දේශපාලනය බාධාවක නොවී ය. 

pun 1 2

 අප එකල සඳදසුන් ඇමතුවේ මිස්ටර් කෝපරහේවා කියා ය. ආදරයට (හෝ විටෙක තරහට) කීවේ කොප්පරයා කියා ය. ඔහු අපගේ සිංහල හා චිත්‍ර ගුරුවරයා විය. කුඩා මිටි සිරුරකින් හෙබි මිස්ටර් කෝපරහේවා, රැල්ලක හෝ නැති අත් දිග කමිසයක පිළිවෙලට බකල් දෙකක් දෙපස ඇති ප්ලීට් සහිත කලිසමට යටකර, තෙල් හෝ ක්‍රීම් ගල් වූ කොණ්ඩය පිටුපසට පීරා තිබුණේ චණ්ඩ මාරුතයකට හෝ කෙසක්වත් නොසෙල්වෙන පරිදි ය.

අප එකල හෙළ වහර ගැන කිසිවක නොදැන සිටියත් මිස්ටර් කෝපරහේවා හා එවැනි 'අමුතු' විලසකට සිංහල කතා කළ අප පාසැලේ ම සෙසු ඇදුරන් වූ අරිසෙන් අහුබුදු  හා කු.බෙ ජයසූරිය අපට කළ බලපෑම විශාල ය. සිංහල ද ඉංග්‍රීසිය ද එක සේ ම ව්‍යක්ත ලෙස වැහැරූ මේ ගුරුවරු ඉතිහාසය, සාහිත්‍යය ජාත්‍යන්තර සබඳතා ආදී විවිධ විෂයන් ද එක සේ විශද කර සිටිය හ.  

සඳදසුන් අපට උගැන්වූ කාල වකවානුව පූර්ව ජනවාර්ගික යුධ සමය ය. එනම් 1983 ට පෙරාතුව ය. එකල  හෙළ බස ගැන ඒ හැටි ප්‍රබෝධයක් තිබුණේ නැත. අවංක ව කියතොත් රෙද්ද බැනියම හැඳි අහුබුදු (ඔහුට පාසැලේ වැහැරුවේ මිස්ටර් ආශුබෝධ කියා ය) හා කලිසම් සපත්තු හැඳි සඳදසුන්ට කවුරුවත් ගැරහුවේ හෝ සමච්චල් කළේ නැතත්, ඔවුන් එක්තරා ආකාරයකට කරමින් සිටියේ හුදෙකලා ව්‍යායාමක ද යී මට පසු කලෙක සිතුණු වාර අනන්ත ය.

සඳදසුන්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි කතාව හා සාහිත්‍යයික දැනුම (ඔහුගේ පුත් මහැදුරු සඳගෝමි මට වරෙක කීවේ තම පියාට ගුරුළුගෝමි හා ශේක්ස්පියර් උදෘත එක ලෙස මතක බව යි) නිසා ඔහු යම් අධිකාරියක් හා ගරුත්වයක් ඇන්ග්ලිකානු සභාව යටතේ ඇති මිෂනාරී පාසලක තම පැවැත්ම තහවුරු කර ගත්තේ යී මට සිතේ.

 අසූවේ දශකයේ අග්ගිස්සේ රටේ ඇති වූ කලබගෑනි නිසා, වසර ගණනාවක් සරසවි වැසිණ. අත මිට සරු දෙමාපියෝ තම දුවා දරුවා පිටරට පැටවූයේ මෙරට ලබා ගත නොහැකි වැඩිදුර අධ්‍යාපානය ලබා ගනු පිණිස ය. ඒ අතරේ, ජාත්‍යන්තර පාසැල් ද ව්‍යාප්ත වී යමක් කමක් ඇති දරුවෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ හ. මේ සියල්ලේ ම එක්තරා ප්‍රතිඵලයක වූයේ සිංහල බසක් ලෙස දෙකයි පනහට වැටීම ය. මා අවසනට ලංකාවේ පුර්ණ කාලීන රැකියාව කළ කන්තෝරුවේ කනිෂ්ඨ පර්යේෂකයින් බඳවා ගැනීමේ කාලවල මේ යතාර්ථය මගේ කණ හරහා අතුල් පහරක් ගසනු මතක ය.

අපගේ පර්යේෂණ ක්ෂේත්‍ර වැඩ සිදුවනුයේ, කොළඹින් බැහැර ගැමි පරිසර හෝ වතු පරිසර තුල ය. කොළඹ නම් නාගරීක අවවරප්‍රසාධිත පරිසර තුල ය. ඒ නිසා සිංහල හා/හෝ දමිල බස වැහැරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, අපේ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන බොහෝ තරුණ තරුණියෝ සිනා සෙමින් කියන්නෝ "වෙල්, මයි සිංහල ඊස් ක්වයිට් ඇට්‍රෝශෂ්" (මගේ සිංහල ගන්න දෙයක් දෙයක් නෑ / අන්තිමයි) හෝ "මයි සිංහල හැස් බිකම් අ බිට් රස්ටි"  (වාච්‍ය අර්ථයෙන්, මගේ සිංහලේ මලකඩ බැඳී ඇත. යන්තං පොඩි පොඩි දේ විතරයි කියා ගන්න පුළුවන්) කියා ය.  

Main image

යට කී මලකඩ කෑ සිංහල යතාර්ථය සමාජයේ එක්තරා පැලැන්තියක් හා පරම්පරාවක නියෝජනය කළා යී අනුමාන කළ හැකි අතර ඊට සමාන්තර සුදු යකඩෙන් පිරියම් කළ සිංහල යතාර්ථයක් ද මට අභිමුක වූයේ වැඩි ඈතක නොවේ. එනම් ස්ව-කැමැත්තෙන් හා මහත් පරිශ්‍රමයකින් සිංහල, බොහෝ විට හෙළ යී ගැණෙන සම්ප්‍රදාය, ප්‍රගුණ කරන තරුණ පිරිසකගේ මතුවීම ය.

මින් බහුතරය සිංහල උපාධි අපේක්ෂකයින් හෝ සිංහල උපාධිධරයන් නොවේ. එහෙත් ඔවුන්ගේ සිංහල දැනුම ඉහල ය. විශිෂ්ඨ ය. ව්‍යාකරණ පමණක නොව, වදනක මුල ගැන විමසීමේදී පාලි හා සකු පමනක නොව දමිල බස ගැන ද ප්‍රාමාණික දැනුමක ඔවුන් සතු බව මා විමතියට පත් කළේ ය. මින් කිහිප දෙනෙකු ඉංග්‍රීසි බස ව්‍යක්ත හෝ ඉහල මට්ටමකින් වහරණ නිසා ඔවුන් පැරැණි අර්ථයෙන් ද්වී-භාෂා උගතුන් ලෙස ද හඳුනා ගැනීම වරදැක නොවේ යී මට සිතේ.

 විසි හා තිස් වයසැති මේ කුමරතුඟු පොව්වන් බිහිවුණු ඓතිහාසික හා සමාජ/දේශපාලන සන්දර්භය කිම ද යනු මට පැනයකි. සරලමතික පැහැදිලි කිරීම වනුයේ තිස් වසරක යුද්ධය හා ඊට අවැසි සමාජ හා සංස්කෘතික කොන්දේසිය වූ දේශප්‍රේමය ය. මෙය යුධ කළ ජන වර්ග ද්වයට ම අදාළ ය. දේශප්‍රේමය පෙරනා'තර බස අතුරු පානයක් ලෙස කාන්දු වූවා කියා ද අනුමාන කළ හැක. එහෙත් මේ සංසිද්දිය පැල පදියම් වන්නේ පශ්චාත් යුධ සමයේ ය. එනම් 2009 වසරින් පසු ය. 'සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්' සේ, භෞතික යුද්ධයක නැතත් දේශප්‍රේමයේ ගඳ-සුවඳ (නැහැය අනුව තීරණය වන දෙයකි) තව ම සමාජයේ සැරිසරණ බව පැහැදිලි ය.  

බසකට පෙම් බැඳීම වරදක නොවේ. විවාහ නීතියෙන් බහු භාර්‍යා සේවනය වරදක වුව ද බහු බස් සේවනය "දෙස, බස හා රැස තෙරුවන ම සුරැක වවා වඩා නංවාලීම" (උධෘතයේ ඇත්තේ හෙළ හවුලේ නිල විබැඳුම්පොළෙහි, එනම් වෙබ් සයිටයේ, ඇති කොටසකි). මා සිතනාකාරයට හෙළ බසට පෙම් කෙරුම වෙන බසක හෝ ඒ බස වහරන ජන වර්ගයක හෙළා දැකුමට කාරණයක් නොවේ.

යට කී සුදු-යකඩ-සිංහල පුනරුදකරුවන් පිටකොටුවේ හවස හයට හතට ලාබෙට විකිණෙන එළවලු ගොඩක මෙන් සැළකිය නොහැක. ඔවුන් අතර බොහෝ වෙනස් රුව  ගුණ තිබේ. ඒ අනුව, සමහරු යුධ යථාර්ථය ජාතක කළ ස්වොත්තමවාදයෙන් මිදී නව බහු භාෂික පිවිසුමකින් සමාජයේ මැදිහත් කිරීම් කරනට වෙර දරන බව පෙණේ. ඒ අතර ම හැම විට ම නැතත්, වරින් වර, සමහර සුරුවන් කලබල වී පියඹන විට ඔවුනගේ යම් යම් අගතිගාමී සුද නොපෙනෙනවා ද නොවේ.

 

Udan fernando


(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...