The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'එය අළු පැහැති කවුළුවකි' මනරම් කව් දසුන් මවනා - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

June 18, 2023 • 11:00 AM

'එය අළු පැහැති කවුළුවකි' මනරම් කව් දසුන් මවනා - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඇතැම් චරිත ‘‘කළු’’ ලෙස ද ඇතැම් චරිත ‘‘සුදු’’ ලෙස ද නාමකරණය වී තිබේ.
  • එහෙත් ඒ ඇතැම් කළු චරිත වෙත ගරහන පිරිස් අදාළ චරිතයේ ම පැවැත්මට දායක වන්නෝ වෙති.
  • මෙම වෘත්තියේ යෙදෙන පිරිස් වෙත සමාජය අවධානය යොමු කරන්නේ ‘‘කළු’’ පාර්ශවයට අයත් පිරිසක් ලෙසිනි.
  • ඇතැම් කාන්තාවෝ කිසියම් පුද්ගලයකුගේ යටතේ සේවයේ නිරත වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ ඇතැම් චරිත ‘‘කළු’’ ලෙස ද ඇතැම් චරිත ‘‘සුදු’’ ලෙස ද නාමකරණය වී තිබේ. එහෙත් ඒ ඇතැම් කළු චරිත වෙත ගරහන පිරිස් අදාළ චරිතයේ ම පැවැත්මට දායක වන්නෝ වෙති. ඊට කදිම නිදසුනක් නම් ගණිකා වෘත්තියේ නියැළෙන පිරිස සහ ගණිකා සේවය ලබාගන්නා පිරිස ය. මෙම වෘත්තියේ යෙදෙන පිරිස් වෙත සමාජය අවධානය යොමු කරන්නේ ‘‘කළු’’ පාර්ශවයට අයත් පිරිසක් ලෙසිනි. එහෙත් එම වෘත්තිය ලබාගන්නා පිරිස් වෙත එබඳු අවධානයක් යොමු නොකෙරේ. මෙය එක් පසෙකින් සමාජ ආකල්පයක් වන අතර තවත් පසෙකින් සමාජ විෂමතාවක් ද වේ.

ගණිකා වෘත්තියේ යෙදෙන පිරිස් ද, එය කෙරෙහි කාන්තාවෝ යොදවන පිරිස් ද අදාළ වෘත්තියේ නියැළෙන ක්‍රමවේද ද විවිධාකාර ය. ඇතැම් කාන්තාවෝ කිසියම් පුද්ගලයකුගේ යටතේ සේවයේ නිරත වෙති. තවත් පිරිසක් වීදියේ සැරිසරමින් සිය ගනුදෙනුකරුවන් සොයාගනිති. තවත් පිරිසක් ගනුදෙනුකරුවෝ සිය නිවෙසට ම ගෙන්වා ගනිති. කුමනාකාරයෙන් සිදුවුව ද සිදුවන්නේ එකම ක්‍රියාදාමයකි.

1429310

මෙබඳු චරිත පිළිබඳව විවිධ කලා නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයෝ විවිධාකාරයෙන් අදාළ චරිතය: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව හමුවේ තබති. වෙසෙසින් ම කාව්‍යකරණයේ යෙදෙන පුද්ගලයෝ තම පාඨක ප්‍රජාව ඉදිරියට කැඳවාගෙන එන අදාළ වෘත්තිකාව විවිධාකාරයෙන් හඳුන්වති. එබඳු චිත්‍රයක් වෙනස් ම ආකාරයෙන් පාඨක ප්‍රජාව හමුවේ තබන කාව්‍ය නිර්මාණයක් රස විඳින්නට ලැබිණ. ඒ, පද්මිනි ශ්‍රියාලතා කිවිඳියගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘‘එය අළු පැහැති කවුළුවකි’’ කෘතිය තුළ ය.

20230617 150415
කිවිඳිය අදාළ නිර්මාණය නම් කර ඇත්තේ ‘පළල් පාර’ යන මැයෙනි. ඇතැම් විට කිවිඳිය සිය නිර්මාණයට පාදක කරගන්නේ වෙනත් ප්‍රස්තුතයක් විය හැකි ය. නමුදු මෙය කියවා රසවිඳි සැණින් මගේ මනසේ චිත්‍රණය වූයේ ගෘහස්ත ගණිකාවකි; ඇගේ පාරිභෝගික පිරිස පිළිබඳ සිතුවම් පෙළකි; කාලයාගේ ඇවෑමෙන් ඇය මුහුණ පාන ජීවන ඛේදය යි.

මෙම නිර්මාණය තරමක් දීර්ඝ වුව ද එය උපුටා නොදක්වන්නේ නම් නිර්මාණයේ රසවත් භාවය අවතක්සේරු වන බව මගේ පුද්ගලික හැඟීම වන බැවින් මම එය මෙසේ උපුටා දක්වමි.

ඈ නිවහනේ දොරටුව
‘හායි’ ගා ඇර තිබුණු
පළල් පාරකි එය

ඇතැමෙක්
පැමිණියේ හිස් අතිනි
පිටව යන විට
මල් ද අතු ඉති ද
ඔවුනතෙහි විය

ඇතැමෙක්
රහසේ ම පැමිණ
පියසටහන් තබා
පිටව ගොස් තිබිණි

වසන්තය
පැමිණ ආපසු ගියේ ය
වස්සානය ද
පැමිණ ආපසු ගියේ ය

ගිම්හානයක වුව
ඈ හද පත්ල අතගෑ කිසිවකුට
මලක් හෝ දෙකක්
නෙළාගත හැකි විය

කාලයෙ රකුස් දළ’ගින්
උරා බී ඈ රූසිරු
ඉපලක්ව වැතිර හුන්
යහන අබියස
පඬු පැහැති බිතු මත
සැදෑ හිරු රැස්
ඉකි බිඳින සවසක

පුළුල් මාවත පටු විය
නොවැසුණ ද දොරටුව
ආගිය කෙනෙක් නැතිවිය.

කථකාව වටා ඇගේ ගනුදෙනුකරුවන් එක් රොක් වන ආකාරයත්, ඒ අතර ඒ එක් එක් ගනුදෙනුකරුවා තුටු පහටු වන ආකාරයත්, කාලයාගේ ඇවැමෙන් කථකාවගේ රූ සොබා වියැකී යන ආකාරයත්, එම කාල සීමාවේ දී වුව ද මඳින් මඳ ඇගේ පහස පතමින් කිසිවකු පැමිණෙන ආකාරයත්, අවසන ඒ පිරිස ද කෙමෙන් කෙමෙන් අවම වන ආකාරයත් කිවිඳිය ඉතා මැනවින් විදාරණය කරන්නී ය.

AAAAQZw FDQ13GRooBUfYQGKoMq0LQrYtOZVrW7o 8yt1O76bBYcH 8BD26pG2 TQQD9R1SlzZuQgVkiERC1i4Jg1xJsiw 15kJ2HUcn2A43VrcWlmPzlfP22hBxTShdYoeMhvrplyDrYCUx3tI1Dg3Ob6o8mKY

සමස්ත නිර්මාණය පුරා ම එලෙස සිය පරිකල්පනය විදාරණය කරන්නට කිවිඳිය උපස්තම්භක කරගන්නා කාව්‍යලංකාර මනරම් ය. කවිය වර්ණවත් කිරීම උදෙසා ඇය ඉතා සරල, සුගම එහෙත් නිසි තැනට ගැළපෙන සංකේත, රුපක භාවිත කර ඇත; ව්‍යංගාර්ථය, වක්ක්‍රෝක්තිය සහ වක් බිණුම යනාදි කාව්‍යලංකාර ද නිසි තැනි නිසි ලෙස පිහිටුවා ඇත. ඒ එක් එක් කාව්‍යලංකාර විසංයෝජනය කිරීම අනවැසි යැයි මට සිතිණ. මන් ද පුහුණු පාඨක ප්‍රජාව ඒ සියලු කාව්‍යලංකාර හඳුනා ගන්නවා නිසැක ය; නුපුහුණු පාඨක පාඨකාවක වේ නම් ඒ සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක යෙදෙතැයි මම විශ්වාස කරමි. එසේ නොකරන්නේ නම් එබඳු පාඨක ප්‍රජාවට කවිය විඳීමේ වරම අහිමි වනු නියත ය. නමුදු එය කිවිඳියගේ වරදක් නොවේ.

*                *                      *

කුමන සමාජ තලයක වුව ද ඔවුනොවුන් සමග වෙසෙන එක් හෝ තවත් පුද්ගලයෙක් ඔහු හෝ ඇය සිටින සමාජ තලයෙන් වියුක්තව ඊට වඩා ඉහළ සමාජ තලයකට සංක්‍රමණය වන විට ඊට එරෙහිව කෙනෙහිලිකම් කරන පිරිස අනන්ත ය; අප්‍රමාණ ය. ඒ බොහෝ එදිරිවාදියෝ යනු තමා සමග ම එකට හැදුණු වැඩුණු, එක බත්පත බෙදාගෙන කෑ, එක යහනේ එකට සැතපුණ යහළු යෙහෙළියෝ විය හැකි ය; ආසන්නත ම ඥාතියකු විය හැකි ය; එසේත් නොවේ නම් අසල්වැසියකු විය හැකි ය. අදාළ පුද්ගලයන් කෙතරම් කෙනෙහිලිකම් කළ ද පිපෙන මල විකසිත වීම කිසිවකුට නවතා ලිය නොහැකි ය.

යට කී සිදුවිම් මාලාව ඉතා නිර්මාණාත්මක අයුරින් පබැඳු නිර්මාණයක් ලෙස මෙහි එන ‘පිපෙන්නට කල් බලමින්’ නමැති කාව්‍ය නිර්මාණය හැඳින්විය හැකි ය.

පොහොට්ටුව
දියෙන් ඉහළට එසවී
ලද පළමු හිරු කිරණින්
පිපෙන්නට කල් බලමින්


ජල තලය හා
සමව උන් සමයේ
මිතුරු මැඬියන්ගේ
බක බකය


පීනනා මාළුවෙක්
යමින් ගමනේ
හොටෙන් ඇන කළ
මදිපුංචි කම

කුඩ මසෙක් ඉස්ගෙඩියෙක්
‘නොතකන්නේ ය කිසිවක්’
අතොරක් නැතිව කළ
නන්දෙඩවීම්
ඉවසිය හැකිය දැන්
දයාවෙන් මදහසින්


පොහොට්ටුව
දියෙන් ඉහළට එසවී
නෙළුමක්ව
පිපෙන්නට කල් බලමින්.

316390120 6e8cab822f b


මෙම නිර්මාණය පබැඳීමේ දී ද කිවිඳය උපස්තම්භක කරගන්නී ඉතා සරල සුගම රුපක ය; සංකේත ය. එහෙත් තම අනුභූතිය කාව්‍යාත්මක ලෙස ඉදිරිපත් කරන්නට ඇය සමත්වන්නී ය. ඒ අන් කිසිවක් නිසා නොව ඇය සතු පරිකල්පනීය ශක්තිය සහ කවිතාව හේතුවෙනි.

*                *                      *

නායකයකු ලෙස පුද්ගලිකව ගත්ත ද, රටක් ලෙස පොදුවේ ගත්ත ද ‘අපි දිනුවා’ යැයි උදම් අනමින් වසරක් පාසා සැමරුව ද සැබැවින් ම පොදු ජනතාව හෝ රට යුද්ධයෙන් දිනුමක් අත්පත් කර නොගත්තේ ය. තාවකාලික දිනුමක් හෝ අත් පත් වුයේ නම් ඒ, යුද සමයේ රට පාලනය කළ නායකකාරාදින් සහ යුදයට ආවැඩූ යුදවාදී දේශපාලන පක්ෂ සහ එහි නායකාරාදිහු ය. ඒ හැරුණු විට රටේ ජනතාව තවමත් දිනුමක් අත්පත් කරගෙන නොමැත. පාලක පෙළැන්තියේ නායකකාරාදිහු උජාරුවෙන් පවසන ආකාරයට අපි යුද්ධය දිනුවේ නම් පසුගිය කාලවකවානුවේ රටේ සමස්ත ජනතාව ම මුහුණ දුන්: තෙල්, ඉන්ධන, ගැස්, කිරිපිටි ඇතුළු වෙනත් කිසිදු ඛේදවාචක කිසිවක් සිදු නොවන්නේ ය. යුද්ධය දිනුවේ නම් මේ වන විට දිවයින සියලු සිරින් පිරි දේශයකි. එහෙත් යුද්ධයෙන් ගිනිකන වැටී සිටි බොහෝ පිරිස් මේ අනාගත ඛේදවාචකය නොදුටුවහ; දුටු බොහෝ දේශපාලක පිරිස් නොදුටු ලෙස හැසිරුණහ; එසේ හැසිරෙමින් කල දුටු කල වළ ඉසගත්හ.

‘‘එය අළු පැහැති කවුළුවකි’’ නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත ‘කිනම් මිනිසෙක් ද මොහු’ නමැති නිර්මාණය මේ යථාර්ථය කදිමට පිළිබිඹු කරන්නකි.

ඒ අසම සම
ගිරි හිසට නැගගත් මිනිසා
දැත් දෙපසට විහිදා
‘දිනුවෙමි යි’ ගොස නගන්නට වී

ඔහු පැමිණි පෙත් මග
වන බූටෑව තුළ
අතුරුදන් වී ගොසිනි
කඳු බඳෙහි
සර්පිලාකාරව දිවෙන
කාබන් ඇතිරූ මාවත
විසල් කිරුළක් බදාගත්
දාර පිඹුරෙකු වැන්න
එමගෙහි යනෙන වාහන
ගිනිපෙට්ටි තරම් වී
මිනිස්සු කුරුමිට්ටන් වී
උන් ඉහළ බැලුව ද
විසල් ගිරි හිස මිස
තිතක් තරමටත්
නොදිසේ ය හේ
ගිර ඉහළ අහසෙහි
සුදු වලා කැටි කැටි
පාවෙමින් තිබුණේය උතුරට
සුළග හමා ගියේ දකුණට ය


ඉර
සිනා පහල කරන්නට විය

කිනම් මිනිසෙක් ද මොහු
‘දිනුවෙමි යි’පවසන


පහළ දෙණි පෙත් වල
සයින් පීඩිත දරු හැඬුම් හඬ
බියෙන් මිරිකෙන හුදී ජන හඬ
බුරුතු ගණනින් ගිලන්හල් වල
සොවින් වැළපෙන මිනිස් කටහඬ


නොදැක නොඅසා ගිරිහිසට නැග
තනිව රසමසවුළු මිහිර විඳ
‘දිනුවෙමි යි’ මොර දෙන
කිනම් මිනිසෙක් ද මොහු.


මෙම නිර්මාණය සපුරා ම දේශපාලන කියවීමකි. එහි දී නිර්මාණයේ සැකිල්ල විවිධාකාර හැඩයෙන් යුත් රූ සටහන් නිම කරන බව ද දක්නට ඇත. එනම් මෙහි එන ‘කිනම් මිනිසෙක් ද මොහු’ යන්න වත්මන් රාජ්‍ය නායකත්වයට ද සමපාත කළ හැකි ය. ඒ. මෙම නිර්මාණයේ දක්නට ලැබෙන...

පහළ දෙණි පෙත් වල
සයින් පීඩිත දරු හැඬුම් හඬ
බියෙන් මිරිකෙන හුදී ජන හඬ
බුරුතු ගණනින් ගිලන්හල් වල
සොවින් වැළපෙන මිනිස් කටහඬ

image.jpglpo

නමැති රූපක පෙළ ම වත්මන් සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳ පාඨක මනසේ පැහැදිලි රූපක පෙළක් මවන බැවිනි. ඇතැම් විට කිවිඳියගේ මනස් සිතුවිලි මේ ආකාරයෙන් කවියට නගන්නට ඇත්තේ වත්මන් අත්දැකීම ම විය හැකි ය. එමෙන් ම රටක් ලෙස මේ ඛේදවාචකයට අප මුහුණ දෙන්නේ ඊට අදාළ පසුබිම වසර ගණනාවක සිට සැකසෙමින් පැවති බැවිනි. යුද්ධය වවාගෙන අනුභව කළ දේශපාළුවන්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්ව සිටින්නේ රටේ පීඩිත ජන කොටස ය. එහෙත් රට පාලනය කළ දේශපාළුවන්ට ද, වත්මනෙහි පාලනයේ නිරත දේශපාළුවන්ට ද එකී ඛේදවාචකය පිළිබඳ වගේ වගක් නොමැත. ඔවුහු තවමත් මළ ගෙදර සුදු පිටියේ සුදු කෙළිති; සූදු ගාස්තු (තෝං) අය කරමින් සිටිති.

මේ දේශපාලන සූදුව පිළිබඳ කිවිඳියගේ කියවීම සහ දැක් ම ඇය ඉතා මැනවින් සිය නිර්මාණයට ග්‍රහණය කරගෙන ඇත.

කාව්‍ය නිර්මාණ තිස් පහකින් සුසජ්ජිත ‘‘එය අළු පැහැති කවුළුවකි’’ කාව්‍ය සංග්‍රහයේ යට විමංසනයට ලක් කළ නිර්මාණ ත්‍රිත්වය හැරුණ විට: ‘‘එතෙර වනු පිණිස’’, ‘‘රහස’’, ‘‘වඩුවෝ’’, ‘‘දෙව්රුව’’, ‘‘සිංහයා’’, ‘‘ඔබ එවු මල් මිට’’, ‘‘කෝපි මල් සුවඳ’’, ‘‘තුඹස’’, ‘‘හැකරැල්ලෙක්’’, ‘‘පණු හද’’,  ‘‘මලක් නම්’’, ‘‘56වන පිටුවේ අන්තර්ගත නිර්මාණය’’, ‘‘පිහාටුව’’, ‘‘මිටි පඳුරු’’ සහ ‘‘අරුමය’’ නමැති නිර්මාණ ද  පැසසිය යුතු නිර්මාණ කිහිපයකි.

සැ. යු. කෘතියෙන් උපුටා ගත් නිර්මාණවල අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් ඒවායේ අන්තර්ගත පරිදි ම ය.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/06/18


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'එය අළු පැහැති කවුළුවකි' මනරම් කව් දසුන් මවනා - (ජයසිරි අලවත්ත) | The Leader