The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සෙන්පති පිළිරුව යට සිම්පල් සෙල්වම්! - (නිමල් වීරසිංහ)

T

The Leader Desk

June 20, 2023 • 9:16 AM

සෙන්පති පිළිරුව යට සිම්පල් සෙල්වම්! - (නිමල්  වීරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුණගැහෙන ඕනම මනුස්සයකුගෙ මතකය හාරලා, අවුස්සලා බැලුවත් හම්බවෙන්නෙ ඒ වගේ දේවල්ම තමයි.
  • පණ නැති පිළිරුවත්, පණ ඇති යාචකයාත් යන දෙදෙනාම යුද්ධයේ වින්දිතයෝ.
  • පිළිරුව බලා සිටියදී පණ ඇති සෙල්වම් අසලට යමි.
  • මම ඒ පැත්තට දුවලා යන්න හැදුවත් අනිත් කට්ටිය යන්න දුන්නෙ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මුණගැහෙන ඕනම මනුස්සයකුගෙ මතකය හාරලා, අවුස්සලා බැලුවත් හම්බවෙන්නෙ ඒ වගේ දේවල්ම තමයි. මේ අහම්බයකින් සිද්ධ වුණ ඒ වගේ කැණීමක්.


ගිනි කාෂ්ටකේ  පිලිස්සෙන වව්නියා නගරයේ, යාපනය- අනුරාධපුර මාර්ගය අසල සංකේතාත්මක පිළිරුවක්. එහි සෙවණැල්ල යට හිඳිමින් මහමග යන එන්නන්ගෙන් සිඟමන් යදින-නොයදින මිනිස් රුවක්.

 පිළිරුව සෙන්පති කොබ්බෑකඩුවගේ. යාචකයා සෙල්වම්. පණ නැති පිළිරුවත්, පණ ඇති යාචකයාත් යන දෙදෙනාම යුද්ධයේ වින්දිතයෝ.

යුද්ධයක ජයග්‍රාහකයින් නැත. මේ දෙදෙනාම එයට අලගු තබති. පිළිරුව බලා සිටියදී පණ ඇති සෙල්වම් අසලට යමි. ඔහුද ජීවමාන පිළිරුවකි. යුද වීරත්වයේ නොව වින්දිතභාවයෙහිය.

 

Selvam 3
“දැන් මට චෙල්වම් කිව්වට මගේ සැබෑ නම පෙරුමාල් සෙල්වම්. වව්නියාවේ නටාමි වැඩ කරන්න ආවහම තමයි චෙල්වම් කියන නම වැටුණේ... ඒක කවුරු කොහොම දැම්මද කියලත් මතක නෑ.”

සෙල්වම් මැනවින් සිංහල හසුරුවයි. ඒ හැකියාව ලැබුණ හැටිත් සෙල්වම් කියනවා. “අපේ අම්මා වේයන්ගොඩනෙ. එයාටත් හොඳට සිංහල පුළුවන්. අම්මා තමයි අපට සිංහල කතා කරන්න ඉගැන්නුවේ. අපේ පවුලේ ඔක්කොටම සිංහලත් පුළුවන්, හැබැයි ලියන්න කියන්න බෑ. දෙමළෙන් අත්සන් කරන්න විතරයි මට පුළුවන්කම තියෙන්නේ.”

සෙල්වම් උපදින්නේ කැකිරාවේය. ඒ ඔහුගේ පියා පදිංචිව සිටියේ එහි බැවිනි. පවුලේ දරිද්‍රතාව නිසා චෙල්වම්ටවත් ඔහුගේ සහෝදර සහෝදරියන් හය දෙනාටත් එකක් ඉරෙනකොට තවත් ඇඳුමක් අරන් දෙන්නටත්, යන්තම් කුසගින්න නිවා ගන්නට මොනවා හෝ තම්බා දෙන්නටත් හැර වෙන කිසිවක් කරන්නට තරම් ආදායමක් මවටත් පියාටත් තිබිල නැහැ. චෙල්වම්ට පාසල් අධ්‍යාපනයත් නොලැබුණේ ඒ නිසයි.

 උපතේ සිටම දරිද්‍රතාව කර පින්නාගෙන පැමිණි චෙල්වම්ට ඔහු ගත කළ දිවිය පුරා මෙන්ම දිවියේ සැදෑ සමය එළඹෙද්දීත් කාට හෝ අත නොපා ජීවත්වීමට නොහැකි වීමත්, එක්තරා විදියකින් යුද්ධයේ අතුරු ඵලයක් තමයි.


කැකිරාවෙන් කිලිනොච්චියට


කැකිරාවේ ඉපදුණ සෙල්වම් කිලිනොච්චියේ ඔඩ්ඩිසුඩාන්වල පදිංචියට යනවා. එතනින් පුදුමාතලන්වලට. ඊට පස්සේ වව්නියාවට ඇවිත් නාටාමි කෙනෙක් වී යාචකයෙකු වීම දක්වා ආ ගමනයේදී අත් විදින්නට සිදු වුණ අතුරු අන්තරා අපමණයි.  ඔහු ඒවා ගැන කියන්න පටන් ගත්තේ, කතාව අතරතුර නැගෙන සියුම් කැස්ස, සිය පපුව අත ගා සමනය කරන්නට උත්සාහ දරමින්.

“ජේ. ආර් මහත්තයාගේ ආණ්ඩුව ආවනේ, සිරිමාවෝ මැතිනියගෙන් පස්සේ. එතකොට සිංහල අය දෙමළ අයට ගැහුවනෙ.”

චෙල්වම්ගේ දෑස අඩවන් වෙනවා. නවත්වාගත නොහැකි වුණ පුංචිම පුංචි කඳුළු බිඳක් ඔහුගේ නෙත් කෙවැනිවලින් එළියට පනිනවා. ආයාසයෙන් ඔහු එය වළක්වා ගන්න උත්සහ කළත් කඳුළු බිංදුව එයට වාරු දුන්නෙ නැහැ.

Selvam 2
“ඉතින් අපටත් ගැහුවා. අම්මයි තාත්තයි එදාම අපිත් අරගෙන කිලිනොච්චියෙ ඔඩ්ඩිසුඩාන්වලට ගියා. එහේදිත් අම්මයි තාත්තයි කුලී වැඩ තමයි කෙරුවේ. අපිට ඉන්න විතරක් පුංචි පැලක් හදා ගත්තා. මමත් ටිකක් ලොකු වෙනකොට කුලී වැඩට ගිහින් කීයක් හරි හෙව්වා. එහේදි තමයි මම කසාද බැන්දේ. කුලී වැඩ කරන් අපි සතුටින් හිටියා, අපිට දුවෙකුයි පුතෙකුයි ලැබුණා.”

කතාව මෙතනින් ඉවර කරන්න තිබුණා නම් කොයිතරම් හොඳද? ඒත් එහෙම වෙන්නෙ සුරංගනා කතාවල මිස මහපොළොවෙ නෙවෙයි. යුද්ධයක් තියන තැනක කොහොමවත් එහෙම වෙන්න ඉඩක් නැහැ. මේ කාලය වන විට උතුරේ යුධගිනි බුර බුරා ඇවිලෙමින් තිබුණා. චෙල්වම්ගේ ජීවිතයට දෙවැනි වරටත් කණකොකා හඬන්නේ මේ කාලෙදි.

 “දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් අපේ ගමට ආවා. ඇවිත් කීවේ හමුදාවෙන් ෂෙල්වෙඩි ගහනවා හැම දෙනාම වහාම ගමෙන් පිට වෙන්න කියලා. ඉතින් ඔක්කොම අතට අහුවුණ දේවල් අරගෙන ගමෙන් පිටවුණා. අපි ගිහින් පදිංචි වුණේ පුදුමාතලන් එල්.ටී.ටී.ඊ. කෑම්ප් එක කිට්ටුවම තැනක” “මේ කාලේදී සෑම කෙනෙක්ම එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න බැරි නම් ඒ අයගෙ වැඩට යන්න ඕනේ. මට දෙන්න සල්ලි නැති හින්දා මම වැඩට ගියා.

 

එහෙම ගිය අපට බංකර් හදන්න, අගල් කපන්න ඒ අය නියම කළා.”



සියල්ල අහිමි වූ දවස


ඔහොම කෑම්ප් එකේ අපි වැඩ කරමින් හිටපු දවසක ආමි එකෙන් ෂෙල් වෙඩි ගැහැව්වා. ඒවා වැටුණේ අපේ කට්ටිය පදිංචි වෙලා හිටිය පැත්තටයි. මම ඒ පැත්තට දුවලා යන්න හැදුවත් අනිත් කට්ටිය යන්න දුන්නෙ නැහැ. සෑහෙන්න වෙලාවකට පස්සෙ එල්.ටී.ටී.ඊ. කට්ටියම කීවා දැන් ගිහින් බලන්න කියලා. මම අපේ ගෙවල් පැත්තට දිව්වා.

මිනිහෙකුට සිය දිවියේ අත් විඳිය හැකි කටුකම කටුක වේදනාව එදා සෙල්වම් විඳ ගත්තේය!

 “ඒ යනකොට මගේ පවුලයි දරුවො දෙන්නයි ෂෙල් වැදිල එක ගොඩේ මැරිලා වැටිලා හිටියා. ඒ අය ළඟින්ම මගේ පවුලගේ අම්මයි, අපේ අයියගේ පුතයි මැරිලා වැටිලා හිටියා. ගමේ ඔක්කොම වාගේ මැරිලා. කී දෙනෙක් බේරුණාද ඒ අය කොහොම ගියාද කියලා අදටත් දන්නේ නෑ. එල්.ටී.ටී.ඊ. එකේ අය ඇවිත් එතනම වළවල් කපලා මිනී ටික වළ දැම්මා. අපිව කෑම්ප් එකට අරන් ගියා.”

 

එතැන් පටන් ජීවත් වුණේ සෙල්වම් නම් මිනිසා නොව මිනිස් භාගයකි. කතාව නවතා සෙල්වම් හති හරින්නට වුණා. ඊට පසුව ඔහු මඳ වෙලාවක් බිම බලාගෙන නිශ්ශබ්දව උන්නා. චෙල්වම්ගේ සිත එදා සිද්ධිය වූ තැනට දුවන්නට ඇති.

“ඉතින් මිනිහෙකුට තවත් මොනව වෙන්නද මහත්තයො?”

සෙල්වම් හිස ඔසවා මගෙන් ඇහුවා.

ඔහුට දෙන්නට සාධාරණ පිළිතුරක් මා වෙතද නොවූයෙන් මටද සිදු වුණේ මුනිවත රකින්නයි. නිශ්ශබ්දතාවය බිදිමින්, සෙල්වම් නැවත ගොත ගසමින් කතාව අරඹුවා.


යුද බිමෙන් මහමගට


“එල්.ටී.ටී.ඊ. කෑම්ප් එකේ ඉන්න කොට ඒකටත් දවසක ආමි එකෙන් ගැහුවා. මම පැනලා ගිහින් පුන්තෝට්ටම් ආමි කෑම්ප් එකට භාර වුණා. එතැන අපි මාස 06ක් තියාගෙන හිටියා. හැබැයි අපිට කරදරයක් කළේ නෑ. තාවකාලික හැඳුනුම්පත් පවා ඒ අය හදලා දීලා තිබුණා. මාස 06න් අපිව නිදහස් කළා. යන්න මගේ කියලා තැනක් තිබුණේ නැහැ. අන්තිමේ මම මගේ අයියලාගේ ගෙදර ගියා.”

ඒ වන විට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි චෙල්වම්ගේ සහෝදරයාද දිවි ගෙව්වේ ඉතාමත් අසරණවයි. ඔව්, ඒක තමයි මේ අසරණ මිනිසුන්ගේ හිස මත කඩා වැටුණු අනිත් යුද්ධය!

“අයියලගේ ගෙදර ඒ වෙන කොට දරුවෝ හිටියෙ නැහැ. එයාගේ පවුලත් වයසයි. කුලී වැඩක් පලක් වත් කරගන්න බැරි තත්ත්වයකයි හිටියේ. අනෙක මම එහෙ ඉන්න එක ගැන ඒ අයගේ වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ. මේ වග මට දැනුණා. එහෙ ඉන්න එකත් හරි මදිනේ.”

කරකියාගත නොහැකි වූ සෙල්වම් කිසිදු අරමුණකින් තොරව සිය සහෝදරයාගේ නිවෙසින් එළියට බැස්සා. තැනින් තැන කුලී වැඩ කරමින් සිට 2015 වසරේදී වව්නියාවට ආවා.

“මම දැන් වවුනියාවට ඇවිත් අවුරුදු 12ක් 13ක් විතර වෙනවා. ඇවිල්ලා කළේ නාටාමි වැඩ. ඒ කාලෙ කාලා බීලා හොඳින් හිටියා. දැනට අවුරුදු දෙක තුනකට උඩදි තමයි හිඟමනට වැටෙන්නේ.”

ඇයි ඒ? මරණ හතකින් බේරී ඇවිත් එච්චර කාලෙකට පස්සෙ මොනව වුණාද? නොඇසුව ඒ ප්‍රශ්නයට ඔහු මෙහෙම පිළිතුරු ගොනු කළා.

Selvam and Nimal



ඉතිරි වූ ජීවිතය...


“නාටාමි වැඩ කරන කොට මගේ කකුලේ යකඩ ඇණයක් ඇණුනා. මම ගණන් ගත්තේ නෑ. පස්සෙ තුවාලෙ පැසවලා ඔපරේෂන් කරන්න වුණා. ඊට පස්සේ මට අත්වාරුවක් නැතිව ඇවිදගෙන යන්න බැහැ. එහෙම තියාගෙන කොහොමද කුලී වැඩ කරන්නේ? ඊට පස්සේ තමයි මෙතනට ඇවිල්ලා යන එන අයගෙන් කීයක් හරි  ඉල්ලාගෙන ජීවත් වෙන්න පුරුදු වුණේ.

නාටාමි රැකියාව කරද්දී ඉතුරු කරපු මිල මුදලක් ඔහු සතුව නැතිදැයි අසන්නට මාගේ සිතට ආවත් ප්‍රශ්නය අසන්නට මම පැකිලුණා. යුද්ධයට ගොදුරු වුවන්ගේ දිවියේ ආර්ථික පැත්ත පමණක්ම සමහරු කල්පනා කළ ද ඔවුන්ගේ මානසික නීරෝගීභාවය ගැන කල්පනා කරන්නට කිසිවෙකුත් නොසිතීම අභාග්‍යයක්. සෙල්වම්ගේ කතාව ඒකට හොඳම උදාහරණයක්.

“මම ඉස්සර බීවේ නෑ. වව්නියාවට ඇවිත් නාටාමි වැඩේ කරන්නට පටන් ගත්තට පස්සේ තමයි බොන්න පටන් ගත්තේ. ඇඟේ අමාරුවටමත් නොවෙයි. අදත් හවසට කාලක් බොනවා. ඊට පස්සේ මොනවා හරි කාලා කන්දස්වාමි කෝවිලට ගිහින් නිදා ගන්නවා.”

'සෙල්වම් තවම එතනම ඇති' මේ සටහන ලියද්දි මට මතක් වෙනවා. 'තව සෙල්වම්ලා කොයිතරම් ඇතිද?'



(නිමල් වීරසිංහ)
weerasinimal8@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...