The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පුවත් මවන රටක්

T

The Leader Desk

June 25, 2023 • 3:12 PM

 කපිල කුමාර කාලිංගගේ හීසරය : පුවත් මවන රටක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සතියේ අසන්නට ලැබුණු හොඳම පුවත් අතර ලෝකයේ ලොකුම මුත්‍රා ගල හමුවීම, දේශපාලන ආර්යාවකට උපහාරයක් හිමිවීම හා ටියුෂන් ගුරුන්ට ලයිසන් ක්‍රමයක් යෝජනා වීම ආදිය දැකිය හැකිය.
  • අනික් අතට ඩොලර් අර්බුදයෙන් පසු බංකොලොත් රටක් ලෙස 'පීචන්' වී ඇති සිරි ලංකාව මුත්‍රා පාෂාණ අංශයෙන් හෝ ලෝකයේ තැනක් දිනාගැනීම ආඩම්බරයට කාරණයකි.
  • ඒ අනුව අප ද 'ලොව විශාලතම මුත්‍රා පාෂාණය' ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළහොත් එය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටද හේතුවක් වනු ඇත.
  • එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයට එය විකුණාගත හැකි ක්‍රමයක් ඇත්දැයි වෙනම සොයා බැලිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

රළ මෙන් පුවත් ගලා එයි. ඒ කතාව ඇත්තකි.

පසුගිය සතියේ අසන්නට ලැබුණු හොඳම පුවත් අතර ලෝකයේ ලොකුම මුත්‍රා ගල හමුවීම, දේශපාලන ආර්යාවකට උපහාරයක් හිමිවීම හා ටියුෂන් ගුරුන්ට ලයිසන් ක්‍රමයක් යෝජනා වීම ආදිය දැකිය හැකිය.

'මුත්‍රා ගල්' සිද්ධිය විහිළුවට ගැනීමට අපේ කිසිම අදහසක් නැත. එහෙත් එහි 'නිව්ස් වැලියු' එක නොහොත් ප්‍රවෘත්තිමය අගය වන්නේ එය ලෝකයේ ලොකුම මුත්‍රා ගල වීමය. ඉදින් බත්පතේ වැලි වැටී සිටින ජනතාවකට එය මරු කතාවක් වන්නේය.

image e1d4fca9ec
අනික් අතට ඩොලර් අර්බුදයෙන් පසු බංකොලොත් රටක් ලෙස 'පීචන්' වී ඇති සිරි ලංකාව මුත්‍රා පාෂාණ අංශයෙන් හෝ ලෝකයේ තැනක් දිනාගැනීම ආඩම්බරයට කාරණයකි.

මනුෂ්‍යයකුගේ පමණක් නොව සත්වයකුගේ වුව, ශරීරය තුළ ගල් හටගැනීම සානුකම්පිත ඇසින් සලකා බැලිය යුක්තක් සේම, එබඳු රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ද මහත් සේ ප්‍රශංසාවට ලක් කළ යුතු වන්නේය.

දැන් එගල ජාතික වස්තුවකි. සඳට ගිය යානා මගින් ගෙන ආ චන්ද්‍ර පාෂාණ අමෙරිකානුවන් විසින් ලොව පුරා ගෙන යමින් ප්‍රදර්ශනය කරන ලදී. ඒ අනුව අප ද 'ලොව විශාලතම මුත්‍රා පාෂාණය' ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළහොත් එය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටද හේතුවක් වනු ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයට එය විකුණාගත හැකි ක්‍රමයක් ඇත්දැයි වෙනම සොයා බැලිය යුතුය.

 මෙබඳු දුර්ලභ වස්තූන් එක්රුස් කරන ධන කුවේරයන් මෙන්ම ආයතනද ලොව බොහෝය. ඒ කෙසේ වෙතත් කංසා කන්ටේනරයක්වත් රට යවාගත නොහැකිව ගොන් කතා කිය කියා සිටින මේ දූපතේ මුත්‍රා පාෂාණ ප්‍රදර්ශන ව්‍යාපෘතියක් කවදා ක්‍රියාත්මක වේදැයි සිතාගත නොහැක. අපට ඇත්තේ 'ලොකු කතා' පමණි. ලොකු වැඩ නැත. ලොකු ලොක්කෝ නම් ඕනෑ තරම්ය. එහෙත් උන්ගේ කිසිදු වටිනාකමක් නැත. ඒ අතින් අයි.පී.එල්. වෙන්දේසියේ මාකට් වන අපේ කොල්ලෝ 'ග්‍රේට්' ය.ead44401e1cfdf0e79f0e777354f3196

 
ක්‍රිකට් මතක් වූ නිසා බුකියෙන් උපුටාගත් උපහාස කියුමක්ද දක්වන්නට සිතෙයි.

''අපේ කොල්ලෝ ක්‍රිකට් ගසන්නට පටන් ගන්නේ කරේ චේන් පොටක් තබා, අතේ පිරිත් නූලක්වත් නැතුවය. එහෙත් අයි.පී.එල්. ගියාට පස්සේ හෙට්ටිවීදියම බෙල්ල වටේය.''

මේවා වැඩ බැරි දාසලාගේ ඉරිසියා කතා යැයි කෙනකුට සිතෙන්නට පිළිවන. තෑගිබෝග, මිල මුදල් ලැබෙන්නේ දක්ෂයන්ටය. බෝක්කු උඩට වී, බීඩි උරන අලස නිකමුන්ගේ කෙබර කටවලට 'රන් මසු' වැටෙන්නේ නැත.

ක්‍රිකට් පිත්තෙන් බැරි නම් එල්ලේ පොල්ලෙන් හෝ රට සල්ලි හොයනවා නම් එය ජාතික මෙහෙවරකි.

විවෘත ආර්ථිකය විවෘත කළ කාලයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කීවේ පිටරටින් වැලි හෝ ගෙන්වා විකුණා ගන්නා ලෙසය. එතුමාට අවනත වූ ඇතැම් පුරවැසියෝ වැලි නොව කුඩු පවා ගෙන්වා මුදල් උපැයූහ.

වැලිගම, වැලිතුඩුව, වැලිකන්නගේ ආදී වශයෙන් අපගේ මිතුරන් ගණනාවක් වෙතත්, ඔවුන් කිසිවෙක් 'වැලි බිස්නස්' වලට සම්බන්ධ වූයේ නම් නැත.

පියදාස වැලිකන්නගේ නමැති සම්මානලාභී ගත්කරුවාට වයස 90 ක් පිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් පසුගියදා මාතලේදී පැවැත්වුණි. මේ රටේ හැටියට ලේඛකයකු අනූ වසරක් යහතින් ජීවත්වීමද ආශ්චර්යයකි. ප්‍රාතිහාර්යකි.
90 දශකයේ මුල් භාගයේ දිනෙක වැලිකන්නගේ සිය මිතුරු ලේඛකයකුගේ නිවෙසට ගියේය.

 මිතුරාගේ කුඩා දියණිය 'වැලි මාමා' ගෙන් මෙසේ ඇසුවාය.
''ඇයි මාමේ වැලි කන්නේ?''
ඒ සමඟම ඇගේ බාල සොහොයුරාද මෙසේ ඇසීය.
''මාමා බත් වෙනුවට වැලි විතරමද කන්නෙ?''
''වැලි නොකා මොනව කන්නද පුතේ. මුන් අපේ හාල් පොතටත් කෙළියනෙ.''

 
වැලි, සිනාසෙමින් කීවේය. පොඩි උන්ගේ ප්‍රශ්නයකට වුවත් ඔහුට තිබුණේ දේශපාලනික පිළිතුරකි. (ඩබ්.ඒ. අබේසිංහයන්ගේ මතක සටහනකිනි.)

ඒ කාලයේ හාල්පොත නැතුව කිසි දෙයක් කරගත නොහැකි විය. පුස්තකාලයකට බැඳීමට පවා හාල්පොත ගෙන යාමට සිදුවූ බව මට මතකය.

වැලිකන්නගේ උපහාරයට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සුපුරුදු පරිදිම රසවත් හා හරවත් කතාවක් කළේය.

5 0
සුනිල් කියූ අන්දමට වැලිගේ 'සුදු සෙවණැලි' චිත්‍රපටයට නැගීමේදී නවකතාවේ දැක්වෙන අන්දමට කිසියම් පිරිසක් කරත්ත විස්සකින් පැමිණෙන ආකාරයට එසේම රූගත කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා අඹරාව බැඳි පැරණි තාලයේ කරත්ත 20ක් සොයාගැනීමද පහසුවෙන් කළ හැකි විය.

ඊට දශක දෙකකට පසු 'කදිර දිව්‍යරාජ' අධ්‍යක්ෂණය කිරීමේදීද එක් දර්ශනයක් සඳහා ඔහුට කරත්ත කිහිපයක් අවශ්‍ය විය.

 මහත් උත්සාහයෙන් එක් කරත්තයක් සොයාගත් නමුදු, එය අදින්නට ගොනෙක් නොවීය. රට පුරා ගොන්නුය. එහෙත් කරත්තයක් ඇදීමට සුදුසු හරිහමං ගොනෙක් සොයාගැනීම දුෂ්කරය !


Kapila Kumara Kalinga

 


(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පුවත් මවන රටක් | The Leader