The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක් -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 30, 2023 • 6:54 PM

සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක් -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුලි මස සිට එම ප්‍රතිලාභ ලබාදෙන අයගේ තාවකාලික ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලදි.
  • සමෘද්ධිය ලැබුණු පිරිසකගේ නම් ලේඛනයේ නැති බව කියැවිණි.
  • එසේම, සුදුසු නැති අයගේ නම් ලේඛනයේ ඇති බව ද කියැවිණි.
  • රජය පැවසුවේ, ලේඛනය නිවැරදි කිරීම සඳහා වහා අභියාචනා හා විරෝධතා ලබාදෙන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධය. ජුලි මස සිට එම ප්‍රතිලාභ ලබාදෙන අයගේ තාවකාලික ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමගම තැන් තැන්වල උද්ඝෝෂණ ආරම්භ විය. සමෘද්ධිය ලැබුණු පිරිසකගේ නම් ලේඛනයේ නැති බව කියැවිණි. එසේම, සුදුසු නැති අයගේ නම් ලේඛනයේ ඇති බව ද කියැවිණි.

රජය පැවසුවේ, ලේඛනය නිවැරදි කිරීම සඳහා වහා අභියාචනා හා විරෝධතා ලබාදෙන ලෙසයි. ඒ සඳහා ජුලි 10 දක්වා කල් ලබා දී තිබේ. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය නිවැරදි කිරීම සඳහා ක්‍රමවේදය එයයි.

එහෙත්, සිදුවන්නේ වෙනත් දෙයකි. පොහොට්ටුවේ සිට සජබ, ජවිපෙ, එක්සත් ජනරජ පෙරමුණ හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වාම විරෝධතාවාදීන් කියන්නට පටන් ගත්තේ එකම දෙයකි. එනම්, තට්ටු දෙකේ ගෙවල් තියෙන අයට දීලා, දුප්පතුන් කපලා වැනි පොදු කතාය. ඔවුන් මෙසේ කියන්නේ කිසිදු සාක්ෂිමය පදනමකින් තොරව බැලූ බැල්මෙනි. නැතිනම්, හැමෝම කියන නිසාවෙනි.



 බොහෝ දේශපාලන ක්‍රියාධරයන් මෙතෙක් කල් අස්වැසුම ගැන කිසිදු අවධානයක් යොමු නොකළ අතර ඔවුන්ට එය පසුබිමේ සිදුවූ දේ ගැන අවබෝධයක් ද නැත. විස්මිත කරුණ වන්නේ මෙතෙක් කල් මේ අය කීවේ සමෘද්ධිය අතිශය දූෂිත හා දේශපාලනික නිසා එය වෙනස් කළ යුතු බවයි. දැන් හිටි හැටියේ ඔවුන්ට තිබුණු ක්‍රමය හොඳ වී ඇත. ලංකාවේ දේශපාලකයන්ගේ අවස්ථාවාදයේ තරම එයින් පෙනේ. කෙසේ වෙතත්, ඔවුන් වෙනුවෙන් දැන් රජය නිර්නාමිකව පවා විරෝධතා භාරගනු ලැබේ. තම වාගාලාප සැබෑ විරෝධතා බවට පත් කිරීමට දේශපාලන ක්‍රියාකාරිකයන් සමත් විය යුතුය.


සමෘද්ධි නිලධාරීන්ගේ හා සංවර්ධන සහකාරවරුන්ගේ වෘත්තීය සමිති අස්වැසුම සමීක්ෂණය වර්ජනය කළහ. එයට හේතුව, 2002 අංක 24 දරණ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල පනත අනුව වැරදි තොරතුරු ලබාදෙන නිලධාරීන් දඬුවමට ලක්වීමයි. මෙම සමික්ෂණයේදී වැරදි තොරතුරු ලබාදුන් නිලධාරින් සිටී නම් ඔවුන්ට ද මෙම නීතිය අදාළය. මෙම සමීක්ෂණය සිදුකළ නිලධාරීන් මේ හේතුව නිසා පරිස්සම් වන්නට ඇත. රජය මෙම සමීක්ෂණය සාර්ථක ලෙස පැවැත්වීම මෙම වෘත්තීය සමිතිවලට පරාජයකි. සමෘද්ධිලාභීන් කුපිත කිරීම පසුපස සිටින්නේ මේ නිලධාරීන්ය.

සමෘද්ධි සහනාධාර සම්බන්ධයෙන් මෙතෙක් සිදු වූයේ කුමක්ද? ආදායම් අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී සමෘද්ධි නිලධාරීන්ට අභිමතය තිබිණි. සමෘද්ධි නිලධාරීන් 1994න් පසු බඳවාගන්නා ලද අය වන අතර ඔවුන් අතර වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් පදනමක් ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිතියක නායකයෙකි. සමෘද්ධිලාභීන් තෝරාගැනීමේදී දේශපාලන බලපෑම් සිදුවූ බව කවුරුත් දනිති. යහපාලන රජය සමයේ ද එසේ විය. 2019දී 433,500ක් පමණ අලුත් සමෘද්ධිලාභීන් ලැයිස්තුවට එකතු වී එය ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවක් බවට පත් වූයේ එසේය.



දිළිඳු සහනාධාර සම්බන්ධයෙන් සිදුවිය යුත්තේ දිළිඳු ජනයා නගාසිටුවීම සඳහා සහනාධාර යොදාගැනීමයි. එසේ නොමැතිව එන්න එන්නම රජයෙන් යැපෙන දිළින්දන් ගණන වැඩි නොවිය යුතුය. 2005 වන විට ලක්ෂ 20කට සමෘද්ධිය ලැබුණු අතර 2020 වන විට එය අඩු වී තිබුණේ ලක්ෂ 18 දක්වා පමණි. අස්වැසුම ආරම්භයේදී ලක්ෂ 23ක් පමණ පවුල් සංඛ්‍යාවකට සහනාධාර ලැබෙයි. එමගින් සහන ලබාගන්නා මුළු ජනගහණය ලක්ෂ 70ක් පමණ වේ. ඒ අනුව, රටේ ජනගහණයෙන් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකු පමණ අස්වැසුමෙන් ප්‍රතිලාභ ලබති. ආර්ථිකය නගාසිටුවා මෙම තත්වය වෙනස් කළ යුතුය. මෙම ජනයා රැකියා සොයාගත යුතුය. ක්ෂුද්‍ර ව්‍යවසාය වෙත යොමු විය යුතුය.



2022 ඔක්තෝබර් 20 දින ගැසට් නිවේදනයේ මෙම තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සියලු කරුණු අඩංගු වේ. මාන හයක් ඔස්සේ නිර්ණායක 22ක් අනුව මෙම තෝරාගැනීමේ සමීක්ෂණය පැවැත්විණි. එහිදී පදනම් කරගෙන තිබෙන්නේ පවුල් ඒකක මිස ගෘහ ඒකක නොවේ. එක ගෙදරක පවුල් කීපයක් ජවත් වේ නම්, එහිදී පදනම් කරගෙන තිබෙන්නේ පවුල් මිස ගෘහය නොවේ. බොහෝ අය පටලවා ගන්නා කරුණක් වන්නේ එයයි. ඇතැම් විට, ගෙදර සිටින දරුවන් හා මව්පියන් වෙනම පවුල් ඒකක දෙකක් නම්, දරුවන්ට යාන වාහන තිබුණත්, මව්පියන්ට ආදායම් නොමැති නම්, ඔවුන්ට අස්වැසුම ලැබිය හැකිය. මෙය කවදත් තිබුණු තත්වයකි. එසේම, එහි ගැටලු ද තිබිය හැකිය. එහෙත්, නීතිමය වශයෙන් ගත් කල එක ගෙදරක සිටි පළියට සියලු දෙනා එක් පවුල් ඒකකයක් තුළට ඇතුළත් කළ නොහැකිය.

සමෘද්ධි සහනාධාර බෙදාදීම සිදුකළ සමෘද්ධි නිලධාරීන් අයත් සමෘද්ධි අධිකාරිය වෙනුවෙන් සමෘද්ධිය සඳහා වෙන් කරන ලද මුදලින් 25%ක් වැය විය. නව ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ කෙළින්ම බැංකු ගිනුම් වෙත බැර කරන නිසා සල්ලි බෙදාදෙන්නට නිලධාරීන් අවශ්‍ය නැත. එසේම, වැඩ කළ හැකි කාලය නාස්ති කරගෙන සමෘද්ධිලාභීන් සල්ලි ගන්නට රස්තියාදු වීම ද අවශ්‍ය නැත. සමෘද්ධි නිලධාරීන් මින් ඉදිරියට කුමක් කරන්නේද යන්න තවම පැහැදිලි නැත. දැන් සල්ලි බෙදාදීමේ වගකීමක් නැති නිසා ඔවුන්ට දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් වෙනුවෙන් මුළු කාලය යොදවන්නට හැකියාව ඇත.



ඒ සමගම, මේ රටේ ජනතාව රජයෙන් මොකක් හෝ බලාපොරොත්තු වන මේ සංස්කෘතික ගැටලුවෙන් මුදාගත යුතුය. ඉහළ මට්ටමේ අය දේශපාලන පත්වීම් බලාපොරොත්තු වෙති. දේශපාලකයෝ හා නිලධාරීහු තීරු බදු රහිත කාර් පර්මිට් ආදිය බලාපොරොත්තු වෙති. පහළ මට්ටමේ අය රජයෙන් විශ්‍රාම වැටුප් සහිත රැකියා බලාපොරොත්තු වෙති. ගොවියෝ පොහොර, වතුර බලාපොරොත්තු වෙති. මේ සියල්ල වෙනුවෙන් රජය බදු අය කළ යුතුය. බදු අය කරනවාටත් වැඩිදෙනෙකු විරුද්ධය. අන්තිමේදී රජය දේශීය හා විදේශීය ණය ගනිමින් මේ වියදම් කළේය. දැන් එහි අවසානයකට පැමිණ ඇත. එක්කෝ අප තිරසර අන්දමින් ආර්ථිකය සකසා ගත යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය සමාජ පරිවර්තනය කරගත යුතුය. නැතිනම්, අරාජිකත්වයට ගොදුරු වී විනාශ විය යුතුය.




දෙවෙනි අර්බුදය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම...

දෙවෙනි අර්බුදය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම හා සම්බන්ධය. විදේශීය වශයෙන් ණය ප්‍රතිව්‍යූහගත කරගන්නට නම්, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් අතිශය වැදගත් වේ. රජය තමන් ණය ගත් සියලු පාර්ශ්ව සමග සම අන්දමින් කටයුතු කිරීම විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී අතිශය වැදගත්ය. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී රජයට ණය දී ඇති පාර්ශ්වවලට යම් නම්‍යශීලීත්වයකින් කටයුතු කරන්නට සිදුවේ. බදාදා දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව සෙනසුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමකට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට ආරංචි ලැබෙමින් තිබෙන ආකාරයට බැංකුවලට එයින් බලපෑමක් නැත. සේවක භාරකාර අරමුදල වැනි ණය හිමියන්ට ද තම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් කිරීමට බාධාවක් සිදුවන ආකාරයේ අලාභයක් සිදුවන්නේ නැත. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පොළී අඩු කිරීමක් පමණක් සිදුවේ.



රජය මෙම ක්‍රියාවලියෙන් බැංකු පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීම සඳහා ජූනි 30 බැංකු නිවාඩුව සාමාන්‍ය පරිදි ලබාදී දින පහක දීර්ඝ බැංකු නිවාඩුවකට ඉඩ සලසන ලදි. මේ පිළිබඳ විරුද්ධ පක්ෂ විසින් විවිධ සැක සංකා මතු කරමින් දුර්මත පතුරුවන ලද අතර, බදාදා වන විට, මහජනයාගේ ස්ථාවර තැන්පතු කපාහරිනු ඇති බවට කටකතා ද පතුරුවා හරින ලදි. එවැනි තත්වයකදී බැංකුවලට තැන්පතුකරුවන්ගෙන් ඇතිවිය හැකිව තිබුණු පීඩනය රජය විසින් මෙම දීර්ඝ නිවාඩුව හරහා සමනය කරගත් බව පෙනේ. 

 

සමාජය තුළ බිය පතුරුවමින් මහජනයා අතර කැළඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ කළ විරුද්ධ පක්ෂවලට ලබන සතිය වන විට තමන් කියූ දේ ගිලගැනීමට සිදුවනු ඇත. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම දෙසට තබන සාර්ථක ඉදිරි පියවරකි.

අස්වැසුම සම්බන්ධ අර්බුදය ද රජයට සති කීපයක් තුළ විසඳාගැනීමට හැකි වනු ඇත. දිළිඳු සහනාධාර සම්බන්ධ මෙම ගැටලුව විසඳාගැනීම ලංකාවේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍යය. මෙහිදී, පොහොට්ටුවේ දේශපාලකයන් විසින් පෙන්වනු ලබන නම්‍යශීලීත්වය හා වෙනස් වීමට කැමැත්ත ආණ්ඩුවට වාසිදායකය. එසේම, අභියෝගයන්ට මුහුණ දෙමින්, අත්හැර නොදමා අරමුණ කරා යාමේ අධිෂ්ඨානය ද රාජ්‍ය නායකත්වය විසින් පෙන්වා තිබේ.


මේ වන විට ආණ්ඩුව විසින් සාර්ථක ලෙස කරන ලද පරිවර්තන කීපයක් තිබේ. ඉන්ධන, විදුලිය වැනි සහනාධාර මිල රඳා පැවති භාණ්ඩ සඳහා පිරිවැය අනුව මිල ගණනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ, අස්වැසුම හා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම එවැනි වේදනාකාරී, එහෙත්, සාර්ථකව තබන ලද පියවර කීපයකි. ඒ ඔස්සේ සමාජයේ සිදුවන පරිවර්තනය විප්ලවීය එකකි. මෙම පරිවර්තන හමුවේ පැරණි තත්වයන් රැකගැනීමට යත්න දරණ ඊනියා විප්ලවවාදීන් නිරුවත් වීම ද සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය දෙයකි.



(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක් -(අජිත් පැරකුම් ජයසිංහ) | The Leader