The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

(විරු) පිළිම නෙළා දෙනු ලැබේ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

July 1, 2023 • 3:51 AM

(විරු) පිළිම නෙළා දෙනු ලැබේ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් මෑත කාලයේ ජනප්‍රිය වූයේ 2017 දී නිෂ්පාදිත 'ෆස්ට් දේ කිල්ඩ් මයි ෆාදර්' (මුලින් ම උන් ම‍ගේ තාත්ත ව මැරුවේ) චිත්‍රපටය ය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වෙච්චා තානාපතිනියක ලෙස කාම්බෝජය ගැන මහත් උනන්දුවකින් කටයුතු කළ, කාම්බෝජීය දරුවන් කිහිප දෙනෙකු ද දරුකමට ගත්, ජනප්‍රිය නිළි ඇන්ජලීන ජෝලී ය මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.
  • මේ භීම සමය ඇන්ජලීනා ජොලීගේ චිත්‍රපටයට වඩා සියුම් ලෙස හා ගැඹුරෙන් නිරූපණය කරන්නේ මා නැරඹු 'මිසින් පික්චර්' (Missing Picture) චිත්‍රපටයෙනි.
  • එහි අධ්‍යක්ෂක වන්නේ කාම්බෝජ ජාතික, පොල්පොට් සමයේ කුඩා දරුවෙකු ලෙස ඒ දරුණු කෘර අත්දැකීම ලත් රිති පාන්(හ්) ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් මෑත කාලයේ ජනප්‍රිය වූයේ 2017 දී නිෂ්පාදිත 'ෆස්ට් දේ කිල්ඩ් මයි ෆාදර්' (මුලින් ම උන් ම‍ගේ තාත්ත ව මැරුවේ) චිත්‍රපටය ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වෙච්චා තානාපතිනියක ලෙස කාම්බෝජය ගැන මහත් උනන්දුවකින් කටයුතු කළ, කාම්බෝජීය දරුවන් කිහිප දෙනෙකු ද දරුකමට ගත්, ජනප්‍රිය නිළි ඇන්ජලීන ජෝලී ය මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ.


සමාජවාදයේ නාමයෙන් වසර තුනක් සමස්ත කාම්බෝජය ම වධකාගාරයක සිර කර (වහලුන් මෙන් ජනතාව වැඩ කළ වැඩ-කඳවුරු) මිලියන දෙකක් පමණ ජනතාවක් වද විඳීමෙන් හෝ සාගතයෙන් මරණ මංචකයට ඇද දැමී ය. මේ භීම සමය ඇන්ජලීනා ජොලීගේ චිත්‍රපටයට වඩා සියුම් ලෙස හා ගැඹුරෙන් නිරූපණය කරන්නේ මා නැරඹු 'මිසින් පික්චර්' (Missing Picture) චිත්‍රපටයෙනි. එහි අධ්‍යක්ෂක වන්නේ කාම්බෝජ ජාතික, පොල්පොට් සමයේ කුඩා දරුවෙකු ලෙස ඒ දරුණු කෘර අත්දැකීම ලත් රිති පාන්(හ්) ය. (රිති, පසු කලෙක ප්‍රංශයේ චිත්‍රපටකරුවෙකු වූ අතර, අපගේ ප්‍රවීන සිනමාකරු විමුක්ති ජයසුන්දරගේ පැරිස් අධ්‍යන සමයේ යම් සුපරීක්ෂණ කටයුතු ද කර ඇත).

2013 දී තිර ගත කළ, රීතීගේ චිත්‍රපටයේ එකදු නළුවෙකු හෝ නැත. සියළු චරිත නිරූපණය කරන්නේ මැටියෙන් නෙළන ලද, අල්ලක් පමණ වන, කුඩා පිළිම දහස් ගණනකි. අසරණ ජනතාව ද කෘර කෙමරුෂ් 'සහෝදරයන්' ද එක ම මැට්ටෙන් තැනුණු පිළිම ය. මැටි පිඬකට කළ හැකි චෛතසික බලපෑම කෙතරම් ද කියතොත් මේ චිත්‍රපටය 86 වන ඇකඩමි සම්මාන උළෙලේ විශිෂ්ඨ ම විදේශීය චිත්‍රපටය නාමයෝජනා විය.  


මා මිසින් පික්චර් දුටු ජූනි 20 වැනි දින, ලංකාවේ සිසු විරු දිනය සැමරෙන බව මා දන ගත්තේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙ‍ස 2014 හා 2015 වසර ද්වයේ කටයුතු කටයුතු කළ, මේ වන විට වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතාගේ දීර්ඝ සමාජ මාධ්‍ය සටහනකිනි. වෛද්‍ය නජිත් ඉන්දිකගේ '(ජාතික) ශිෂ්‍ය වීර දිනය - පමා වූ පසුවදනක්' මැයින් ලියන ලද සටහන අපගේ අවධානය ලැබිය යුතු එකක යී මම සිතමි. ඒ අතර ම ඒ සටහන අපගේ විචාරයට ද භාජනය විය යුතු ය.

යට කී සටහනේ කියැවෙන්නේ "ජාතික ශිෂ්‍ය වීරදිනය" ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය (ජවිපෙ යටතේ ඇති සංවිධානයකි) විසින් නම් කර පළමු වරට සමරනු ලබන්නේ 1985 වසරේදී බවයි. ඊට ආසන්න නිමිත්ත වන්නේ වසරකට පෙර ශිෂ්‍ය අරගල වලදී පේරාදෙණියේ පද්මසිරි අබේසේකර 1984 ජුනි 19 වනදා ද, කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක ජුනි 21 වනදා ද ඝාතනය වීම යි. 88-89 ඝාතනය වූ වෙනුර, ත්‍රීමා, නිශ්මි, බාලසූරිය ඇතුළු සරසවි සිසුන් වෛද්‍ය නජිත්ගේ සටහනේ සිසු විරුවන් ලෙස නම් කෙරෙන අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව සිටියදී ඝාතනය කරන ලද එච්.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, උපාලි, රංජිතම් ගුණරත්නම්, ඉඩමේගම ය ද ඒ ගොන්නට ඇතුලත් කර ඇත.

dharman18061606

2011 වසරේ ජවිපෙ තුළ සිදුවූ ඛණ්ඩනයත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය(පෙසප) බිහිවීමත්, එවකට ජවිපෙ දේශපාලනය හා සම්බන්දවී කටයුතු කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අති බහුතරයක්, නජිත් ඉන්දික ඇතුළු ව, පෙසප හා සම්බන්ද වීම ද සටහනේ සලකුණු වේ.

 ඒ බෙදීමත් සමග එතෙක් පැවති "ජාතික ශිෂ්‍ය වීර දිනය", "ශිෂ්‍ය වීර දිනය" ලෙස වෙනස් කළයුතු බව ද සඳහන් වන අතර, 2012 වසරේ සිට මෙතෙන් අවිශිබම විසින් "ශිෂ්‍ය වීර දිනය" ත්, ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් "ජාතික ශිෂ්‍ය වීර දිනය" ලෙසත් සමරණ බැව් කියැවේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ, එම වගකීම දරමින් සිටියදී ඝාතනය කරනු වූ වෙනුර එදිරිසිංහ, "උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේ සැබෑ නායකයෙක්' ලෙස ද "එම අරගලය පියවරෙන් පියවර ඉදිරියට වර්ධනය කිරීමට හා ජයග්‍රහණය කරා රැගෙන යාමට සිය තරුණ ජීවිතයේ අවසන් වසර කිහිපය මුළුමනින්ම කැපකළ සහෝදරයෙක්" ලෙස ද "ලාංකේය නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් වන අරගලයේ සදාකාලික විරුවෙක් හා දේශපාලනික වශයෙන් ජවිපෙ සමඟ සම්බන්දව කටයුතු කළ පුද්ගලයෙක්" වශයෙන් සටහෙනෙන් හඳුන්වා, "වියයුතු පරිදිම ශිෂ්‍ය වීරයින්ගේ නාමාවලියේ ඉහළින්ම සිටින, ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් හඳුනන වීරයෙක්" ලෙස පිදුම් ලැබීම යි.

Dayapathirana
''මේ සටහනේ විශේෂත්වය වන්නේ වෙනුරට සමගාමී ව දයා පතිරණ ද තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන් ද සිසු විරුවන් ලෙස පිළිගැනීම යි''


එහෙත්, මේ සටහනේ විශේෂත්වය වන්නේ වෙනුරට සමගාමී ව දයා පතිරණ ද තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන් ද සිසු විරුවන් ලෙස පිළිගැනීම යි. තිලීපන්ඔ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියදී කොටි සංවිධානයට සම්බන්ධ ව, එම සංවිධානයේ මෙහෙයවීමෙන් කරන ලද උපවාසයකින් මිය ගිය අයෙකි. කොළඹ සරසවියේ ස්වධීන ශිෂ්‍ය සංගමයේ නායක ව සිටි දයා පතිරණ කෘර ලෙස ඝාතනය කරනු ලැබුවේ, එම සංගමයේ පස මිතුරු ජවිපෙ විසින් බව බොහෝ දෙනාගේ පිලිගැනීම යි. තිලීපන් ක්‍රියාවෙන් ද පතිරණ මතවාදයෙන් ද උතුරේ අරගලයේ කොටස් කරුවෝ වූ හ. පතිරණ කොටි සංවිධානය සමග කටයුතු නොකළත්, එකල ප්‍රබල කොටි-නොවන ඊළාම් සංවිධාන සමග සමීප ව කටයුතු කළේ ය.

 

Thilipan1

 උතුරේ අරගලය සම්බන්ධයෙන් අසුවේ මැද භාගයේ දී පමණ ජවිපෙ තම අත් සෝදාගෙන පැත්තකට වන්නේ දමිල ප්‍රජාවගේ ස්වයං නීර්ණ අයිතිය ද පිලිනොගමිණි. මේ ස්ථාවරය "අනේ, අපි ඕවට නෑ" වැනි මට්ටමකින් ඉදිරිපත් කළ ද, ජවිපෙ නියම ස්වරුපය හෙළිදරව් වූයේ "ගහපං බර අවි වලින්" කෝරසය යුද්ධයේ තීරණාත්මක සමයේදී ජාතිවාදී තනුවකට උස් හඬින් ගායනා කිරීමේ දී ය. මෙහිලා සටහන්කරු සටහන් කර නැත්තේ බර-අවි සටන් පාඨය ඇවිළුයේ ජවිපෙන් පසු ව කැඩුණු පාර්ශවයේ නායක තෙමේ බව ය. කෙසේ හෝ, අවසානයේ, තිලීපන් තම ජීවිතය පුජා කළ සංවිධානය මිලිටරිමය ලෙස ඝාතනය විය.

තමන් අයත් ව සිටි දේශපාලන ධාරාවක ම ඍජු හා අනියම් ක්‍රියාකාරිත්වයකින් ඝාතනය වූ අවශේෂ ශිෂ්‍ය නායකයින් දෙදෙනකු, 'අපේ එකා' ගමන් කරන විරු පංතියේ අසුනකට 'අප්ග්‍රේඩ්' කිරීම අප වටහා ගත යුත්තේ කෙසේ ද ? කෙරුවාවට කිසිදු සම්බන්ධයනක් නැති හුදු රෙටරිකයක් ලෙස ද? එසේත් නැති නම් පාපෝච්චාරාණාත්මක හා සංහිඳියාත්මක පියවරක් ලෙස ද ? ඝාතනයේ වගකීම නියමාකාර ව පිළි නොගෙන, ඒ වෙනුවට ඝාතනය වූ එකාගේ පිළිමයක් නෙළීම, රජයට ද අනුගමනය කළ හැකි කදිම නව උපායක් මාර්ගයක් ද ? ඒ අනුව, රිචර්ඩ් ද සොයිසාගෙ පිලිමයක් කෙසෙල්වත්තේ ගොඩනැගිය හැක. ඇල්ටීටියට ද රාජිණී තිරාණගමගේ පිළිරුවක් තින්නවේලියේ ඉදි කළ හැක. විජය කුමාරතුංගගේ පිලිමයක්, පැලවත්තේ ජවිපෙ කාර්යාලය ඉදිරිපිට නෙළිය හැක. තත්ත්වය එසේ නම්, නුදුරු අනාගතයේ අපට ද රිතී පාන්(හ්) ගේ පිළිම සැට් එකට නොදෙවෙනි චිත්‍රපටයක් සදා ගෙන සම්මානයක් ද දිනා ගත හැක.

Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

(විරු) පිළිම නෙළා දෙනු ලැබේ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader