The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනතා බලයද ? කම්කරු බලයද...? - (රංජන සේනානායක)

T

The Leader Desk

July 7, 2023 • 8:05 PM

ජනතා බලයද ? කම්කරු බලයද...? - (රංජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සමාජවාදය"ගොඩනැගීමටත්, අවම වශයෙන් "දියුණු"වමක් සෑදීමෙන් "පංතියට" පක්ෂය වීමේ අභිප්‍රායෙනුත්, ගොඩනගාගත් වාමාංශික පක්ෂවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට ලක්කිරීමෙන් මෙම විචාරය කිරීමට සිත්විය.
  • මේ දක්වා එම පක්ෂ තම "විප්ලවවාදී"භාවිතාව ලෙස ක්‍රියාවටනැංවුනු බොහෝ දේවල් මාක්ස් විසින් පෙන්වාදුන් ප්‍රවාදයන්ට බොහෝසේ පිටතින් පිහිටන බව අවධාරනය කිරීමට කැමැත්තෙමි.
  • සමාජයේ පවතින වෙනස් කොටස් නිර්ධන පංතියට නැත්නම් කම්කරු පංතියට අයත්ලෙස කිසිසේත්ම සැලකිය නොහැක.
  • ශිෂ්‍ය ප්‍රජාව, රැකියා විරහිත තරුණ තරුණියන්, සුළුගොවියන්,ත්‍රීවීල් කරුවන්, සමෘද්ධි ලාභීන් වැනි කොතෙකුත් පීඩාවලින් බැටකන, අගහිඟකම් වලින් මිරිකී සිටින සමාජ කොටස් ඇතත් ඔවුන් නිර්ධන පංතියට අයත් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

"සමාජවාදය"ගොඩනැගීමටත්, අවම වශයෙන් "දියුණු"වමක් සෑදීමෙන් "පංතියට" පක්ෂය වීමේ අභිප්‍රායෙනුත්, ගොඩනගාගත් වාමාංශික පක්ෂවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට ලක්කිරීමෙන් මෙම විචාරය කිරීමට සිත්විය.                

මේ දක්වා එම පක්ෂ තම "විප්ලවවාදී"භාවිතාව ලෙස ක්‍රියාවටනැංවුනු බොහෝ දේවල් මාක්ස් විසින් පෙන්වාදුන් ප්‍රවාදයන්ට බොහෝසේ පිටතින් පිහිටන බව අවධාරනය කිරීමට කැමැත්තෙමි.



විප්ලවවාදී පක්ෂයක පළමු කාර්‍යභාරය වියයුත්තේ "නිර්ධන පංතිය" සංවිධානය කිරීමයි. මෙම නිර්ධන පංතිය යනු කම්කරුවන් මිස වෙනත් කොටස්නම් නොවේ. සමාජයේ පවතින වෙනස් කොටස් නිර්ධන පංතියට නැත්නම් කම්කරු පංතියට අයත්ලෙස කිසිසේත්ම සැලකිය නොහැක. ශිෂ්‍ය ප්‍රජාව, රැකියා විරහිත තරුණ තරුණියන්, සුළුගොවියන්,ත්‍රීවීල් කරුවන්, සමෘද්ධි ලාභීන් වැනි කොතෙකුත් පීඩාවලින් බැටකන, අගහිඟකම් වලින් මිරිකී සිටින සමාජ කොටස් ඇතත් ඔවුන් නිර්ධන පංතියට අයත් නොවේ. එනම් කම්කරු පංතියට ඇතුලත් නොවේ.



එබැවින් ඇත්තටම මාක්ස් විසින් "නිර්ධන පංතිය" ලෙස හඳුනාගත් කොටස ජවිපෙ විසිනුත් එය ආරම්භයේදී සිටම හඳුනාගත්තේ ඉතා වැරදි සහගත අයුරිනි. ජවිපෙ මුලසිටම පෙනීසිටියේත්, ඇත්තටම නියෝජනය කලේත් එදිනෙදා ආර්ථික ප්‍රශ්නවලින් දුක් විඳින, විවිධ අසාධාරණයන්ට ලක්වන මේ ඊනියා "ජනතාව" වෙනුවෙනි. මේ කියන "ජනතාව" ඇත්තටම සිටියේ කම්කරු පංතියෙන් නැත්නම් නිර්ධන පංතියෙන් පිටත බවත් එම ස්ථාවරය මාක්ස් පෙන්වාදුන් කම්කරු පංතිය නොවනබවත් මුලසිටම ජවිපෙ හඳුනාගත්තේ නැත.

නමුත් කම්කරු පක්ෂයක් ඇරඹූ රුසියාවේ ලෙනින් තමා ක්‍රියාකලයුත්තේ නිර්ධන පංතිය තුල පමණක්ම බව ඉතා මැනවින් අවබෝධකොට ගත්තේය. එදා 1895 දී ලෙනින් 25 හැවිරිදි තරුණයෙකුව සිටියදී මාටොව් සමග ඇරඹූ ප්‍රථම දේශපාලන කවය වූයේ "කම්කරුවන් සඳහාවූ විමුක්ති ව්‍යාපාරයයි" මෙයද ඇරඹුවේ රුසියාවේ ප්‍රධානම කාර්මික නගරය වන පෙට්‍රොග්‍රාඩ් වලදීය. ඔවුන්ගේ පළමුවන පක්ෂ සම්මේලනය 1898 දී බෙලොරුසියාවේ "මින්ස්ක්" වලපැවති සමුළුව මුළුමනින්ම නියෝජනය කලේද බූන්ඩ්ස් වරු ඇතුළු කම්කරු සංවිධානයි.

එහෙත් රෝහණ විජේවීරයන් ඇරඹූ ජනතා විමුක්ති පෙරමුණ ඇරඹුනේම "අක්මීමන" සාකච්චා සහ "කැලැත්තෑවේ" සාකච්චා ලෙස ගත් ඉතාම ග්‍රාම්‍ය ප්‍රදේශවල කම්කරුවන් නොවන මූලිකවම ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කොටගෙනයි. මේ ආරම්භක වැරැද්ද කිසිදා නිවැරදි කර නොගත් අතර කල්‍ගතවීමේදී ජවිපෙ ප්‍රධාන බලවේගය උනේද ශිෂ්‍ය බලවේගයම පමණි. මේ කියන ශිෂ්‍ය බලවේගයද නිර්ධන පංතියට සපුරා පිටතින් ඇති එකක් මිස ඊට කෙසේවත් සම්බන්ධ නැති, පෑස්සියනොහැකි ප්‍රජාවක් බවද කිව යුතුය. එබැවින් මෙම ශිෂ්‍ය ප්‍රජාව ධනේශ්වර නිෂ්පාදනයේ අතිමූලික පදනම තුලින් උත්පාදනය වන්නාවූ දෙයක්ද නොවන අතර මෙකී ශිෂ්‍ය සටන් වලින් ධනේශ්වරයේ ආධිපත්‍යයෙහි පැවැත්ම අභියෝගයේ තබන "කළළ"අවස්ථාවකවත් නොමැතිබව එකහෙලාම කිවයුතුය.



එදා ජවිපෙ කරගෙන ආ බරපතල "වැරැද්ද" එනම් නිර්ධන පංතිය නොහොත් කම්කරු පංතියට පිටතින් "ජනතාව" සංවිධානය කිරීමට යාම අදවන විට අනෙකුත් "දියුනු" නැත්නම් "විප්ලවවාදී" කියාගන්නා පක්ෂ විසින්ද කරගෙනයාමට උත්සාහ කරන බව ඉතා පැහැදිලිව පෙනේ. ධනේශ්වර පංතියට අභිමුඛ වී ඇති සියළු පංති ස්ථාරායනයන් සලකා බැලූකල ඒවා සියල්ල අතරින් "විප්ලවවාදී" පංතියක් බවට පත්වී ඇත්තේ කම්කරු පංතිය නැත්නම් නිර්ධන පංතිය පමණි. පශ්චාත් නූතන තත්වය හමුවේත්, අතිනවීන තාක්ෂණික මෙවලම් පෙරටුකොටගත් බහුජාතික මහාකර්මාන්ත හමුවේ අනෙක් සියළුම ජාතීන්ගේ පැවැත්ම දෝලනයට පත්වී අවසානයේ දියවීයෑමේත්,අහෝසිවී යෑමේත් තර්ජනයට මුහුණදී තිබේ.



අද දවසේ මෙම සංදර්භය තුලත් පවතින වමේ පක්ෂ පෙනීසිටීමට හා සංවිධානය කිරීමට උත්සාහ කරන පවතින සමාජයේ සමෘද්ධි ලාභීන්, ත්‍රීවීල් කරුවන්, කුඩා ප්‍රමාණයේ සුළුගොවියන් සහ ශිෂ්‍ය ප්‍රජාව ඇත්තටම සටන් කරන්නේත්, ඔවුන් එසේ සටනට පැමිනෙන්නේත් සිය අනන්‍යතා රැකගැනීමේ විඥ්ඥාණයක් සහිතවය. ඒ අනුව ඔවුන් අරගලයට පැමිණියද එහි දිගුකාලීනව එහි නොරැඳේ. ඉක්මනින්ම සටනේ වාසිය රැඳී ඇති පාර්ශ්වය සමඟ ගනුදෙනුව අරඹයි. අවසානයේ තමාට වාසිගෙනදෙන පාර්ශ්වය සමග එක්වේ. මෙය ඔවුන් නියෝජනය කරන්නාවූ පංතිමය ස්වභාවය බවත් මාක්ස් පෙන්වාදී ඇත. එසේම මෙය ඉතා අවදානම් තත්වයක් සහ ප්‍රතිගාමී තත්වයක් බවද මාක්ස් පැහැදිලිව දක්වා ඇත.

එබැවින් අද වමේ පක්ෂ තම සම්පූර්ණ කාලය, ශ්‍රමය වැයකරමින් මේ "ජනතාව" සංවිධානය යාම සහ "ජනතා බලයක්" ගොඩනැගීමට යාම කිසිම විප්ලවවාදී පක්ෂයක් නොකලයුතු නිර්මාක්ස්වාදී ප්‍රතිපල විරහිත උත්සාහයක් බව කිවයුතුය. ඔවුන්ගේ අගනා කැපවීම සහ අධිශ්ඨානය කොතරම් දැඩිව පැවතුනත්, එදා රුසියාව තුල "නරොද්නික්"ව්‍යාපාරයත්, ඉන් පසුව එයින් බිහිවුනු සමාජවාදී විප්ලවකාරී (SR) පක්ෂයත් තම මුළු කාලයශ්‍රමය කැපකොට ගොවියන් සංවිධානය කිරීමට උත්සාහ ගැනීමද පලක් නොවූබව පෙන්වාදීමට කැමැත්තෙමි.



අනෙත් අතට අද ලෝකයේ දියුනු රටවල ශ්‍රම බලකාය සීග්‍රයෙන් අඩුවී ඇති මොහොතක, ඔවුන්ගේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් වයසට යෑමෙන් ශ්‍රමබලකාය පිරවීමට ඇති මහාපරිමාන ඉල්ලුම හමුවේ, එම ශ්‍රමබලකායට ඇති ඉල්ලුම සැපිරීමට විශාල ඉල්ලුමක් දකුනු ආසියාතික අතිරික්ත ශ්‍රමබලකායට  පවතින බොහොතක සහ එම ඉල්ලුම ඉදිරියේදී විශාල ලෙස වර්ධනයවීමට නියමිත මොහොතක, ජාතික ශ්‍රම විභජනය ලෝක ශ්‍රමවිභජනයක් බවට පත්වී ඇති මොහොතක, තවත් සරලව කියන්නේනම්, ඕස්ට්‍රේලියාවේ ආයෝජන භාන්ඩයක් දකුනු ආසියාවේ අමුද්‍රව්‍ය වලින් චීනයේ නිපදවා, නවසීලන්තයේ අසුරා, කොරියාවේ අලෙවි කරන මොහොතක, ලෝකයේ කිසියම්ම තනි රටක්තුල ස්වාධීන සමාජවාදී සමාජයක් ගොඩනැගීම ප්‍රායෝගික නොවන තත්වයක් තුල, කම්කරුවන්ට පිටතින් සමෘද්ධි ලාභීන් සංවිධානය කිරීම අප තේරුම් ගන්නේ කෙසේද?



ඇත්තෙන්ම ධනේශ්වර ක්‍රමයතුල පවත්නා නිෂ්පාදන බලවේග තුල වඩාත් තීරණාත්මක වන්නේද කම්කරු පංතිය මිස වෙනත් දෙයක් නොවේ. මේනිසා ධනේශ්වර සූරාකෑමට ලක්ව එයින් විමුක්තිය ලැබීමට කම්කරු පංතිය විසින් දියත්කරනු ලබන "සටන" වූකලී, නිෂ්පාදන බලවේග ධනේශ්වර පංතියෙන් අස්වාමික බවට පත්කොට එහි ආදිපත්‍ය කම්කරු පංතිය වෙතට සස්වාමික කොටගැනීමට ගෙනයන්නාවූ සටනයි. එනිසාම මාක්ස් පෙන්වාදුන් පරිදි මේ කම්කරු පංතිය වනාහි ධනේශ්වරයේ "මිනීවල" කාරන්නාවූ පංතියයි.

එබැවින් මේ කම්කරු පංතිය සංවිධානය ජාත්‍යන්තරව සංවිධානය නොකර, ඊට නායකත්වය දීමෙන් බැහැරව, එම කම්කරු පංතියට පිටතින් "ජනතා බලයක්" සෑදීම සඳහා සමෘද්ධි ලාභීන්,ශිෂ්‍ය යින්, සුළුගොවියන් සංවිධානයකොට එමගින් ධනේශ්වරයට අභියෝග කිරීමට යාම ඉතිහාසය තුල තවත් එක් "විගඩමක්" ලෙස ඉතිහාසය තුලම ගිලීයාමට නියමිත බව ඔබලාගේ දැඩි කැපකිරීමටත්, අධිශ්ඨානයටත් ආචාරය පළකරමින්ම දැනුම්දීමට කැමැත්තෙමි..

Ranjana Senanayaka(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක

kaya4842@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...