The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : යාචක ප්‍රශ්නය

T

The Leader Desk

July 9, 2023 • 10:43 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : යාචක ප්‍රශ්නය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රැකි රස්සාවල්, කොන්ත්‍රාත් ආදිය පමණක් නොව ගුවන් තොටුපළක්, වරායක් හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ද ලැබුණේය.
  • ''කොස් ඇති තැනටමලු දෙලුත්'' කියන්නා සේ, ඔන්න දැන් හම්බන්තොටට තවත් තෑග්ගක් ලැබෙන්නට යයි.
  • වර්තමාන හම්බන්තොටට ජනාධිපතිවරයකු නැතත්, හිටපු ජනාධිපතිතුමාගේ පිහිට තවමත් ලැබෙන බව, මෙම යාචක සංක්‍රමණයෙන් පෙනී යයි.
  • රටේ පවත්නා දුක්ඛිත තත්ත්වය නිසා සියල්ලන්ම දුගී, මගී යාචකයන් සේ පෙනී යාමට ඉඩ ඇති බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රැකි රස්සාවල්, කොන්ත්‍රාත් ආදිය පමණක් නොව ගුවන් තොටුපළක්, වරායක් හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ද ලැබුණේය.

''කොස් ඇති තැනටමලු දෙලුත්'' කියන්නා සේ, ඔන්න දැන් හම්බන්තොටට තවත් තෑග්ගක් ලැබෙන්නට යයි. ඒ ගාලු මුවදොර පදිංචි වී සිටි යාචක පිරිසය. දැන් ඉතින් හම්බන්තොටට අඩුවක් පාඩුවක් නැත. සියල්ලෙන් සම්පූර්ණය.

සිරි ලංකාවේ කිසියම් පළාතක්, දිස්ත්‍රික්කයක් දියුණුවීමට නම් එයින් අගමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු බිහිවිය යුතුය. පොළොන්නරුවට ද ඒ වාසනාව හිමි විය. වර්තමාන හම්බන්තොටට ජනාධිපතිවරයකු නැතත්, හිටපු ජනාධිපතිතුමාගේ පිහිට තවමත් ලැබෙන බව, මෙම යාචක සංක්‍රමණයෙන් පෙනී යයි.

suit

යාචකයන්, අන් පුරවැසියන්ගෙන් වෙන්කර හඳුනාගන්නා ප්‍රමිතිය හෝ ක්‍රමවේදය තවම පැහැදිලි නැත. කෙසේ වෙතත්, කොළඹ රස්සාවට යන උදවිය මේ දිනවල දිය නා, දත් මැද පිරිසිදුව, හොඳින් හැඳ පැළඳ යාම වැදගත්ය. රටේ පවත්නා දුක්ඛිත තත්ත්වය නිසා සියල්ලන්ම දුගී, මගී යාචකයන් සේ පෙනී යාමට ඉඩ ඇති බැවිනි.

උදේ කොළඹ වැඩට යන මිනිහා සවස හම්බන්තොටින් සොයාගැනීමේ තත්ත්වයක් අප උදාකර ගත යුතු නැත. අනෙක් අතට කිසියම් වැරදීමක් සිදුවූ විටෙක හෝ තමා සිඟන්නකු නොවේ යැයි ඔප්පු කිරීම, වත්මන් සිරි ලාංකිකයාට අපහසුවීමට ද ඉඩ ඇත. වැඩිදෙනා දැන් ජීවත්වන්නේ, සිඟ නොකා සිඟා කන තත්ත්වයකය.

පුවත්පත්වල යන ඇතැම් ලිපිවලින් පෙනෙන අන්දමට, යාචකයන්ගේ දෛනික ආදායම, රැකියා කරන්නාවුන්ගේ ආදායමට වඩා හොඳය. බොහෝ යාචකයන්ට බැංකු ගිණුම් ඇති අතර, ඔවුන් ගනුදෙනු කරනුයේ ක්‍රෙඩිට් කාඩ් පත්වලිනි.

යාචකයන් අතර, කෝටිපතියන් ද සිටීමට බැරි නැත. එසේ නම්, හම්බන්තොටට යාචකයන් පැටවීම පසුපස, වෙනත් අරමුණක් තිබෙන්නට ද බැරි නැත. මෙය පිං පෙට්ටියට පවා අත දමන්නට මැළි නොවන, ''කොමිස් කාක්කන්'' සිටින රටක් බව රහසක් නොවේ.

 99426950 still0601 00007
දැනට, සිඟනුන් යනු වඳ වී යන මනුෂ්‍ය කොට්ඨාසයක් නොවුණත්, 2048 පසු වනවිට එය එසේ වීමට බැරි නැත. එසේ නම්, අනාගතයේදී අවශ්‍ය වන, මානව විද්‍යාත්මක වැඩපිළිවෙළක් වීමටද ඉඩ ඇත. ඒ අනුව, සෞභාග්‍යමත් සිරි ලංකාවක් තුළ දේශීය හා විදේශීය සංචාරකයනට යාචකයන් නැරුඹීමට නම්, හම්බන්තොට යාමට සිදුවනු ඇත.

දැන් අපට සිටින්නේ, මී කුණක් නොව මී බෙටි හෝ විකුණා ඩොලර් උපයා ගත යුතු තත්ත්වයකය. එසේ හෙයින්, රිළවුන් බැරිනම් ඒ වෙනුවට සිඟනුන් චීනයට පැටවිය හැකි ක්‍රමයක් තිබේදැයි සොයාබැලීම වටී. එය සාර්ථක වුවහොත් රටේ ජනගහණයෙන් හරි අඩකටත් වඩා අඩුකර ගැනීමටද හැකිවනු ඇත. (මෙය කොරෝනාවට සපුරා ගැනීමට බැරි වූ ඉලක්කයකි.)

රිළවුන්ට වඩා මිනිසුන් වටී. ඒ ගැන තර්කයක් නැත. එහෙත්, රිළවුන් පමණක් නොව, මිනිසුන්ද ඕනෑවට වැඩි නම්, එය රටකට බරකි. කරදරයකි. පව්-පින් නොබලා උපත් පාලනය වැනි ක්‍රම මගින්, ජනගහණය සීමා කිරීමට ලෝකය වෙහෙසෙන්නේ එහෙයිනි.

ඔරොත්තු නොදෙන ජනගහණය දුප්පත්කමට පාර කපයි. මොන කයිවාරු ගැහුවත් අපේ රට දුප්පත්ය. ලක්ෂ සංඛ්‍යාත ජනකායක්, ආණ්ඩුවෙන් ඉල්ලන් කෑමට පුරුදුව සිටින්නේ එහෙයිනි. අස්වැසුමෙන්, ආණ්ඩුවට අස්වැසීමක් නැතිව තිබෙන්නේ එවැනි තත්ත්වයක් තුළය.

අස්වැසුම ඉල්ලා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනකාය දකින විට, ''ගාලු මුවදොරින් හම්බන්තොටට'' ව්‍යාපෘතිය, රටපුරාම ක්‍රියාත්මක කිරීමට වේදැයි සැකයක් පහළ වේ. අලසකමද දිළිඳුකමට හේතුවකි. සිඟාකෑමද පහසු ආදායම් මාර්ගයකි.

 99428006 still0601 00006
ගාලු මුවදොර ඇවිදීමට යන ව්‍යාපාරික මහතෙක්, එහි සිටින යාචකයකුට දිනපතාම රුපියල් සීයක් දීමට පුරුදුව සිටියේය. ටික කලකින් එය රුපියල් 75ක් දක්වා අඩු විය. ඉන් ටික කලකට පසු රුපියල් 50 විය. තවත් කලකට පසු රුපියල් 25 දක්වා පහළ බැස්සේය.

කෝපයට පත් යාචකයා මෙසේ ඇසීය.

''මහත්තයා... පටන් ගත්තෙ සීයෙන්. දැන් විසිපහට බැහැලා... මොකක්ද මේකට හේතුව?''

''මගේ ළමයින්ගෙන් දෙන්නෙක් පිටරට විශ්වවිද්‍යාලවල. දෙන්නෙක් ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාලවල. දැන් මගේ වියදම් සැරයි.'' ව්‍යාපාරිකයා කීය.

''ඒක හරි වැඩක්නෙ මහත්තයා. ළමයින්ගෙ අධ්‍යාපනේ හින්ද මගේ දෛනික ආදායමටනෙ කෙළවුණේ!'' යාචකයා කීවේ කෝපයෙනි.

කුසගින්නේ පසුවන්නකුට, මාළුවකු දීමට වඩා බිලීපිත්තක් දීම මැනවැයි පිරුළක් ඇත. සිරි ලංකාවේදී බිලී පිත්ත වෙනුවට දිය යුත්තේ ''අස්වැසුම''ය. අපේ මිනිසුන්ට හෙට ලැබෙන ඇතාට වඩා අද ලැබෙන වටුවා වටී.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...