The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෲඩියා සිලනිකා: ආන්දෝලනාත්මක ගස ගලවා ඉවත් කළේ කවු ද?

T

The Leader Desk

July 11, 2023 • 11:18 AM

කෲඩියා සිලනිකා: ආන්දෝලනාත්මක ගස ගලවා ඉවත් කළේ කවු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ.
  • ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර එම ශාකය ඉවත් කිරිමට ගත් උත්සාහය මහත් අන්දෝලනයකට තුඩු දුන්නේය.
  • කෙසේ වෙතත් ජුලි 10 වැනිදා පැමිණි කණ්ඩායමක් මෙම ශාකයේ අතු කඩා දමා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් සම්පුර්ණයෙන් උගුල්ලා රැගෙන ගිය බවට ප්‍රදේශවාසිහූ චෝදනා කරති.
  • මෙම ශාකය පිහිටා ඇති කලාපය වන සංරක්ෂණ කලාපයක් නොවුන ද පණු කරඳ ශාකයේ විශේෂත්වය මත වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊට මැදිහත් වන බව ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ.

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර එම ශාකය ඉවත් කිරිමට ගත් උත්සාහය මහත් අන්දෝලනයකට තුඩු දුන්නේය.

කෙසේ වෙතත් ජුලි 10 වැනිදා පැමිණි කණ්ඩායමක් මෙම ශාකයේ අතු කඩා දමා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් සම්පුර්ණයෙන් උගුල්ලා රැගෙන ගිය බවට ප්‍රදේශවාසිහූ චෝදනා කරති.

cru 1

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු මඟට

ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු මෙරටට ආවේණික අති දුර්ලභ පණු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධව බීබීසි සිංහල සේවය ගම්පහ වන අඩවි කාර්යාලයෙන් විමසීමක් කරනු ලැබීය.

පණු කරඳ ගස ගලවා ඉවත් කිරිම සම්බන්ධව මධ්‍යම අධිවේගි මාර්ගයේ අධ්‍යක්ෂකගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හා ශාකය ඉවත් කිරිම ගැන විමර්ශණයක් සිදු කරන්නැයි ඉල්ලා ගම්පහ වන අඩවි කාර්යාලය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබු අතිදුර්ලභ ශ්‍රී ලංකාවට අවේණික කෲඩියා සිලනිකා (Crudia zeylanica) කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම ගැන අතිරේක දිසා වන නිලධාරි මහී වර්ණප්‍රිය ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝග ලබා ගත් බව ගම්පහ වන අඩවි නිලධාරි ඒ.කේ. පුෂ්පකුමාර බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

මෙම ශාකය පිහිටා ඇති කලාපය වන සංරක්ෂණ කලාපයක් නොවුන ද පණු කරඳ ශාකයේ විශේෂත්වය මත වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊට මැදිහත් වන බව ඔහු සඳහන් කළේය.

"ගහ ඇත්තටම හයිවේ එකට අදාළවනේ තියෙන්නේ. එතකොට ඒක විශේෂ ගහක් විදියට තමයි හඳුනගෙන තිබුනේ. දැනට මේ ප්‍රදේශයේ තවත් ඒ ගස් හම්බ වෙලා තියෙනවා. එතකොට මේක බැකෝ දාලා ගලවලා අරන් ගියේ වෙනත් ස්ථානයක හිටවන්න ද, කොහොමද ගෙනිච්චේ කියාල මට දැනුන් දීමක් නම් නැහැ."

පණු කරඳ ගස විනාශ කර ඉවත් කරන ලද්දේ කවුරු විසින් ද යන්න මේ තාක් අනාවරණ වී නැති අතර විනාශ කරන ලද ගසෙහි මුල ඇතුලු කොටස් අතුරුදහන් වී ඇත.

"බැකෝ එකක් ඇවිල්ලා අතු ටික ඉස්සෙල්ලා කැඩුවා, ඊට පස්සේ ටිකක් ලොකු වාහනයක් ආවා ඒකේ දිග අඬු දෙකක් වගේ තිබුනා, ඒකෙන් මුල ගලෝලා බැකෝ එක ගෙනාපු වාහනයටම දාගෙන ගියා." යැයි සිදුවීම දුටු ප්‍රදේශවාසියකු මාධ්‍යය වෙත පවසා තිබුණි.

cru 2

පණු කරඳ ශාකය ඉවත් කර අධිවේගී මාර්ගය සෑදීමට උත්සාහ කළ 2021 වසරේ පෙබරවාරි මාසයේ දී එම ගස බේරා ගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් විසින් ගස සසුන් ගත කිරීමට ද කටයුතු කරනු ලැබීය.

"බෞද්ධයෝ හැටියට කල්පනා කළොත් ශ්‍රී මහා බෝධිය තමයි ඓතිහාසික බෝ ගස, ලංකාවේ හා ලෝකයේ තවත් බෝ ගස් තියෙන්න පුලුවන් හැබැයි අපි ශ්‍රී මහා බෝධිය කොයි වෙලාවකවත් කපලා විනාශ කරන්නේ නැහැනේ. එතකොට මේ ශාකය තමයි 1861 හොයාගෙන මේ දක්වා ආරක්ෂා කරගෙන යන එකම ශාකය හැටියට සලකන්නේ." යැයි ශාකය සසුන් ගත කරමින් එම පෙරමුණේ විධායක සභික පුජ්‍ය තංගල්ලේ සාරද හිමියෝ එවකදී ප්‍රකාශ කළහ.

ගස ඉවත් කිරීමට පැමිණි පිරිස අතර ලාංකිකයන් මෙන්ම විදේශීය ජාතිකයින් ද සිට ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන් චීන ජාතිකයින් බවයි.

ශාකය ඉවත් කිරිමෙන් අනතුරුව එම ස්ථානයේ පස් දමා වසා ශාකයක් තිබු බවට සොයා ගත නොහැකි ලෙසට වෙනස් කර ඇති බව සිද්ධිය දුටුවන් පවසයි.

cru 3

රතු දත්ත පොතට ඇතුළත්

කෲඩියා සිලනිකා ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.

එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා තිබේ.

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ශිත ශාක විශේෂයක් ලෙස නම් කර තිබෙන පණු කරඳ ශාකය 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමට අත්‍යාසන්න තත්වයේ (Critically Endangered) පසුවන ශාකයක් වේ.

ලැබුණ තොරතුරක් මත 2019 වසරේ දී මෙම ශාකය ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ පරිසරවේදියා විසිනි.

2021 වසරේ දී මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීමට පණු කරඳ ශාකය ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගත් උත්සාහය එවක ගම්පහ වන අඩවි නිලධාරිනිය දේවානි ජයතිලක, ප්‍රදේශ වාසීන් හා පරිසරවේදීන්ගේ උත්සාහයෙන් නතර විය.

ඔවුන්ගේ ඉල්ලීම වුයේ මෙම ශාකය ඉවත් නොකර අධිවේගී මාර්ගය ඉදිකරන ලෙසයි.

"මේ ගහ ඉවත් කරන්න එනකොට ඔය විද්‍යාඥයන්ට කියලා තව ගස් හයක් හතක් හොයාගෙන තියෙනවා. නමුත් විද්‍යාත්මකව ගත්තාම ඒ ගහේ තියෙන වඳ විමේ තර්ජිත තත්වයට කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ නිසා ශාක විශේෂයක් විදියට පණු කරඳ ශාකයේ පැවැත්ම තහවුරු වුණ තත්වයක් ලංකාවේ නැහැ." යි පරිසරවේදී ජගත් ගුණවර්ධන බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

එවැනි තත්ත්වයක දී බෝ වීමේ ශක්තිය ඇති හැම ගසක්ම ඒකාකරව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

අතු කඩා දමා බැකෝ යොදා ගෙන ගස උගුල්ලා ඉවත් කර දැමීම පරිසරවේදියා හඳුන්වනු ලැබුවේ "අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික" ක්‍රියාවක් ලෙසයි.

මෙම ගස වෙනත් තැනක රෝපණය කිරීම සම්බන්ධව හෝ ගසට හානියක් නොවන ලෙස මාර්ග ඉදිකිරීම සම්බන්ධව විවිධ සාකච්ඡා, යෝජනා හා අදහස් තිබු බව කී පරිසරවේදී ජගත් ගුණවර්ධන "ඒ එකක්වත් ගැන සවන් දීලා කටයුතු කරන්න මාර්ග සංවර්ධන අධිකරිය සහ මහා මාර්ග අමාත්‍යංශය සුදානම් තිබුනේ නැහැ ඒක අපි දැක්කා." යි බීබීසි සිංහල සේවයට වැඩිදුරටත් කියා සිටියේය.


(BBC සිංහල සේවය)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...