The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංකොලොත් කොමිටිය

T

The Leader Desk

July 17, 2023 • 12:35 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංකොලොත් කොමිටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතරම රට බංකොලොත් වීමට හේතු කාරණා සෙවීමට ආණ්ඩුව කමිටු පත්කිරීම වැනි කටයුතුවල යෙදීමද සතුටට කාරණයකි.
  • අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමා පලක් නැතැයි කතාවක් ඇත.
  • ලෙඩා මළාට පසු බඩ සුද්ද වීමෙන් ඇති වැඩක්ද නැත.
  • මෙය සිංහල වහරට එක්වී ඇත්තේ ඉංග්‍රීසි bankrupt (බෑන්ක්රප්ට්) වදනිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අතරම රට බංකොලොත් වීමට හේතු කාරණා සෙවීමට ආණ්ඩුව කමිටු පත්කිරීම වැනි කටයුතුවල යෙදීමද සතුටට කාරණයකි.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමා පලක් නැතැයි කතාවක් ඇත. ලෙඩා මළාට පසු බඩ සුද්ද වීමෙන් ඇති වැඩක්ද නැත. එසේ වෙතත්, අශ්වයා පැන ගිය හේතුවත්, ලෙඩා මළ හේතුවත් සොයා ගැනීමත් මතුවට වැදගත්ය.

'බංකොලොත්තුව' යන වදනේ තේරුම වස්තු භංගත්වයයි. ණය තුරුස් ගෙවාගැනීමට බැරිවීම, වෙළෙඳ ව්‍යාපාර පරිහානියට පත්වීම වැනි අවස්ථාවලදී බංකොලොත් යෙදුම භාවිත වෙයි.

මෙය සිංහල වහරට එක්වී ඇත්තේ ඉංග්‍රීසි bankrupt (බෑන්ක්රප්ට්) වදනිනි. දැන් බංකොලොත් යෙදුම කොතෙක් සිංහල වී ඇත්දැයි කිවහොත්, එය සුද්දා අපෙන් කොපි කර ගත්තකැයි සැක සිතෙන තරම්ය.

කතාවෙන් බහෙන් පමණක් නොව, ක්‍රියාවෙන්ද බංකොලොත්වීමෙන් අපි සුද්දාට වඩා 'ඉහළින්' ඉන්නා බව පෙන්වා ඇත්තෙමු.

ආකල්පවලින් බංකොලොත් මිනිසුන් සිටින රටක් කවදාවත් ඉදිරියට යන්නේ ද නැත. එවැනි රටක බංකොලොත් කොමිටියක් පත් කිරීම ද තවත් එක් කොමඩියක් වීමට ද ඉඩ ඇත.

lokju

සිරි ලංකාවේ තරම් කොමිටි පත්කරන රටක් ලෝකයේ තවත් නැති තරම්ය. එහෙත් ඒවා බොහෝමයකින් සිදුවන්නේ ධනයත්, කාලයත්, කඩදාසිත් නාස්තිවීම පමණකි. කොමිටි නිර්දේශ ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි.

සිරි ලංකාව බංකොලොත් වූයේ මොකදැයි ඇසුවොත්, පහළ බාලාංශයේ ළමයකු පවා ඊට නිවැරදි පිළිතුරක් ලබා දෙනු ඇත. එය එසේ නම් විද්වතුන්ගෙන් සැදුම්ලත් බංකොලොත් කොමිටි කුමට?

අපේ ජනවහරේ එන ජනප්‍රිය පිරුළකට අනුව පේන නොඇසිය යුත්තේ හොරාගේ අම්මාගෙනි. දැන් දැන් පත්කෙරෙන කොමිටිවල හොරුන්ගේ අම්මලා පමණක් නොව හොරුන්ද සිටිතැයි සමහරු චෝදනා කරති.

සොරාට ගණ දෙවි නුවණ ඇති බවද අප අමතක නොකළ යුතුය. (එහෙත්, ඒ තමන්ගේ ගැලවීම පිණිසය.)

359349814 657591793072463 3906335904081341866 n
සමහර කොමිටිවල හොරුන් මෙන්ම හොඳ අවංක පුද්ගලයන්ද සිටින බව පෙනේ. එහෙත් හොර හරකාගේ කරේ ඈඳපු හොඳ හරකාත් හොර වෙන බව පැරුන්නෝ කියා ඇත්තේ කට කහනවාට නොවේ.

පාමුල් පෙට්ටිය යනු, ඇඳ පාමුලම තබාගන්නා කුඩා පෙට්ටගමකි. රන්, රිදී, මුතු, මැණික් ආදී වටිනා දේවල් ආරක්ෂාව පිණිස තබන්නේ පාමුල් පෙට්ටියෙහිය. බොහෝ විට එහි යතුර තබාගන්නේ ගෘහ මූලිකයාමය. පාමුල් පෙට්ටියේ යතුර වගකීම් රහිත නුසුදුස්සන් අතට පත් නොකෙරේ. එහෙත් සිරි ලංකාවේ නම් බොහෝ විට සිදුවන්නේ පාමුල් පෙට්ටියේ යතුර සොරුන් අතටම පත් කිරීමය. එය 'මහා මැතිවරණය', 'මහා භාණ්ඩාගාරය' වැනි බරපතළ වචනවලින් අලංකාර කෙරේ.

කුකුල් කොටුවේ මුරකාරකමට නරියකු පත්කිරීමත්, කරවල සොරකම සෙවීම බළලුන්ට බාරදීමත් මේ රටේ කොමිටි පත්කිරීමට සමාන යැයි කියන සටහන් මුහුණුපොතෙහි දිටිමි.

358603718 10229795410166759 1428925657030000159 n
සොරකම යනු මිනිසාගේ දුර්ගුණයකි. එයට දිගු ඉතිහාසයක්ද ඇත. විවිධ සොරකම් අතර කුකුල් හොරකම, කෙසෙල් හොරකම, පුහුල් හොරකම, ජංගි හොරකම වැනි සුළු සොරකම්ද ඇති අතර, ගෙවල් බිඳීම්, බැංකු සොරකම් වැනි මහ සොරකම්ද ඇත.

දක්ෂ හොරුන් නීතියට හසු නොවන අතර, අදක්ෂ හොරු හිරේ යති. ඊසොප් කියා ඇති පරිදි එල්ලුම් ගස පොඩි හොරුන්ටය. මහජන ආයතන ලොකු හොරුන්ටය.

මනෝ විද්‍යාවට අනුව සොරකම මානසික රෝගයක් වන අවස්ථාද ඇත. එංගලන්තයේ සිටි රජ කෙනකුටද මේ රෝගය තිබුණි. එහෙයින් ඔහු යන යන තැන මුදල් බෑගයක් ගත් රාජ පුරුෂයෙක් ද ගියේය. ඒ රජු සොරාගත් දෙයට ගෙවීමටය.

නූතන ලෝකයේද එවැනි රජවරු (පාලකයෝ) සිටිති. එහෙත් ඔවුන්ගේ සොරකම්වලට වන්දි ගෙවිය යුත්තේ ජනතාවමය. ඉඳහිට කෙනෙක්, දෙන්නෙක් සිරේ විලංගුවේ වැටෙති. එහෙත් ඉන් අනෙකුත් අය පාඩම් ඉගෙන ගන්නා බවක්ද පෙනෙන්නට නැත.

සිරි ලංකාවේ පොඩි මිනිස්සු සොරකමක් සිදුවූ විට පොලිසි යාමට මැලි කරති. එයට හේතුව, ''සොරා කවුදැයි දන්නවාදැ''යි පොලිසියෙන් ප්‍රශ්න කරන නිසාය. මේ නිසා සමහරු සොරා ගැන දැනගැනීමට දේවාලයට යති. නැතිනම් පේන කියන්නකු වෙත යති.

එක් කාන්තාවක් සොරකමක් ගැන දැනගැනීමට පේන කියන්නකු වෙත ගියාය.

''මේ සොරකම කර ඇත්තේ ඔබේ නිවෙසේම සිටින ඥාතිවරියක්. ඇය ඒ සොරකම් කළ දෙය, හැට්ටය අස්සෙ සඟවාගෙන ගොස් විකුණා තිබෙනවා.''

කාන්තාව පේන කියන්නාට ''හොඳවැයින් දෙකක්'' කියා ආපසු ගියාය. ඇගේ නිවෙසින් සොරකම් කර තිබු‍ණේ පොල් පරාල කිහිපයකි!


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...