The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රේ ජයවර්ධන: ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානී ධුරයට පත්වූ ශ්‍රී ලාංකිකයා

T

The Leader Desk

July 19, 2023 • 11:30 AM

රේ ජයවර්ධන: ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානී ධුරයට පත්වූ ශ්‍රී ලාංකිකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 28 වන ස්ථානයේ පසුවන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානී ධුරයට එලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු, සම්මානනීය ලේඛකයෙකු මෙන් ම අධ්‍යාපනඥයෙකු ද වන ආචාර්ය රේ ජයවර්ධන ය.
  • ඔහු මේ වන විට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.
  • රේ ජයවර්ධන, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වන අධ්‍යාපන ප්‍රධානියා බවට පත්වනු ඇත.
  • ඔහු එම විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් යටතේ සේවය කරනු ඇති අතර, අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහය වීම, විෂය නිර්දේශ සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 28 වන ස්ථානයේ පසුවන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානී ධුරයට එලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු, සම්මානනීය ලේඛකයෙකු මෙන් ම අධ්‍යාපනඥයෙකු ද වන ආචාර්ය රේ ජයවර්ධන ය.

ඔහු මේ වන විට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.

රේ ජයවර්ධන, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වන අධ්‍යාපන ප්‍රධානියා බවට පත්වනු ඇත. ඔහු එම විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් යටතේ සේවය කරනු ඇති අතර, අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහය වීම, විෂය නිර්දේශ සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.

johns hopkins university

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය

ඔක්තෝබර් 15 වන දා සිට ඔහු එම ධුරයේ කටයුතු කරන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

"ආචාර්ය ජයවර්ධන යනු, අපගේ ආයතනය ආරම්භයේ සිට ම එහි කැපී පෙනෙන ලක්ෂණය වූ විශිෂ්ටත්වය සහ ගවේෂණය සඳහා වූ උද්‍යෝගිභාවයකින් මෙහෙයවන දූරදර්ශී මෙන් ම සහයෝගීත්වයෙන් යුත් නායකයෙක්," බව ආචාර්ය රේ ජයවර්ධනගේ පත්වීම පිළිබඳව සටහනක් තබමින් සභාපති රොන් ඩැනියෙල්ස් සඳහන් කර තිබේ.

"ආචාර්ය ජයවර්ධනගේ ජයග්‍රහණ පිළිබඳ වාර්තාව, විශිෂ්ටත්වය සහ ඔහුගේ ප්‍රමිතීන් වෙනුවෙන් ඔහු දක්වන කැපවීම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මීළඟ අධ්‍යාපන ප්‍රධානියා ලෙස සේවය කිරීමට සුදුසු ම පුද්ගලයා ඔහු බවට පත් කරයි."

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන පරිදි ආචාර්ය රේ ජයවර්ධන අවධානය යොමුකර ඇති ප්‍රධාන අංශ හතර මෙසේ ය.

  • පීඨයන් නව්‍යකරණය කිරීම සහ ඊට සහාය සැලසීම‍
  • පර්යේෂණ සහ නිර්මාණාත්මක විශිෂ්ටත්වය
  • අධ්‍යාපනික නවෝත්පාදන සහ ශිෂ්‍ය අත්දැකීම්
  • මහජන දායකත්වය සහ බලපෑම

ආචාර්ය රේ ජයවර්ධනගේ අදහස්

"ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිර්භීත අපේක්ෂාවක් සහ දැවැන්ත ගම්‍යතාවයෙන් කැපී පෙනෙන මාවතක ගමන් කරන ආයතනයක්. මෙම සුවිශේෂී ක්‍රියාශීලී ප්‍රජාව සමග සම්බන්ධවීමට සහ විශ්වවිද්‍යාලයේ විශිෂ්ටත්වය සහ බලපෑම ඉදිරියට ගෙන යාමට සහාය වීම සඳහා සභාපති ඩැනියෙල්ස් සහ සෙසු පිරිස සමග එක්ව කටයුතු කිරීමට ඉමහත් සතුටින් සිටිනවා," ආචාර්ය රේ ජයවර්ධන පවසයි.

කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ධූරයට පත්වීමට පෙර, ඔහු කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස ත් සේවය කර තිබිණි‍. ඊට අමතරව, ඔහු ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ කැනඩා පර්යේෂණ අංශයේ සභාපති සහ තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ ය.

විශිෂ්ට විද්‍යාඥයා

carl sagan

ශ්‍රී ලාංකිකයෙකු වන රේ ජයවර්ධන යේල් විශ්වවිද්‍යාලයෙන් තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තේ ය.

ඔහු තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

සම්මාන රැසක් හිමි කරගෙන ඇති ඔහු අවස්ථා රැසකදී ගෞරවයට පාත්‍ර වී තිබේ.

ගූගන්හයිම් සාමාජිකත්වය, කැනඩා රාජකීය සමාජයේ භෞතික විද්‍යාව පිළිබඳ රදර්ෆර්ඩ් පදක්කම, ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමය පිරිනමන කාර්ල් සේගන් පදක්කම ඒ අතරින් කිහිපයකි‍.

Asteroid (4668) Rayjay නමැති ග්‍රහකය නම් කෙරුණේ ද ඔහුට ගෞරවය පිණිස වීම විශේෂත්වයකි.

ග්‍රහ මණ්ඩල පද්ධතියේ විවිධත්වය, ආරම්භය සහ විකාශනය පිළිබඳව ඔහුගේ පර්යේෂණවලින් අවධානය යොමු වී ඇත. ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක පිළිබඳව සොයා බැලීම සඳහා පෘථිවියේ සහ අභ්‍යවකාශයේ විශාල දුරේක්ෂ භාවිත කරන අතර විශ්වයේ වෙනත් තැනක ජීවය පිළිබඳ අපේක්ෂාවන් විමර්ශනය කරමින් සිටියි.

ඔහු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ Near Infrared Imager සහ Slitless Spectrograph (NIRISS) උපකරණය සැකසූ ප්‍රධාන විද්‍යා කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 150කට වඩා පළ කර තිබේ.

විශිෂ්ට ලේඛකයා

nhආචාර්ය ජයවර්ධන The Economist, The New York Times සහ The Wall Street Journal සහ තව ත් ප්‍රකාශන රැසක ලිපි පළ කර ඇති සම්භාවනීය ලේඛකයෙකි.

ඔහු වෙනත් ග්‍රහලෝකවල ජීවය සෙවීම පිළිබඳව ලියැවුණු Strange New Worlds ඇතුළු ග්‍රන්ථ හතරක කතුවරයා ය. නියුට්‍රිනෝ සඳහා වූ හඹා යාම පිළිබඳ කතාවක් වන ඔහුගේ 'Neutrino Hunters' 2014 දී කැනේඩියානු විද්‍යා ලේඛකයන්ගේ සංගමයේ ග්‍රන්ථ සම්මානය දිනාගත් අතර, Child of the Universe නමින් 2020 දී ප්‍රකාශයට පත් කරන ලද ළමා ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත්තේ කුඩා කාලයේදී ඔහුව ආස්වාදනය කළ විශ්වය කෙරෙහි දරුවන්ගේ ආකර්ෂණය ඇති කිරීම සඳහා වන කරුණු ය.

කුඩා කල සහ පවුල

ad9d7820 2525 11ee 941e 23d1e9ab75fa

රේ ජයවර්ධන, පියා වූ සෝමපාල ජයවර්ධන සමග

ශ්‍රී ලංකාවේ උපත ලැබූ රේ ජයවර්ධන, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවෙකි‍‍. පසුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

(පියා සමග සිටින ඡායාරූපය) - සටහන - 1994 වසරේදී රේ ජයවර්ධන උපාධිය හිමි කර ගත් දිනයේ පියා සමග - අනුග්‍රහය: Facebook)

ආචාර්ය රේ ජයවර්ධනගේ පියා වූ සෝමපාල ජයවර්ධන Handbook of Pali Literature, හෙළ මහිමය, හෙළ අසිරිය, Ruins of Sri Lanka, English-Sinhala School Dictionary සහ සිංහල ගුරුපොත ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ කතුවරයෙකි.

ආචාර්ය රේ ජයවර්ධන වරක් පවසා තිබුණේ, පියා නිසා ඔහු ලේඛකයෙකු වූ බව ය.

රජයේ නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහුගේ පියා ග්‍රන්ථ 35ක් ප්‍රකාශයට පත් කළ බව ත්, ඔහු නිරන්තරයෙන් ලේඛන කටයුතුවල නිරත වන ආකාරය දැකීමෙන් තමන්ට ද ලේඛකයෙකු වීමට පෙළඹවීමක් ලැබුණු බව ත් ඔහු සඳහන් කර ඇත‍.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ගැන තොරතුරු

QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 28 වන ස්ථානයේ පසු වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව 14,000 ඉක්මවයි. ‍

ඉන් 4,200කට අධික පිරිසක් විදේශීය සිසුන් ය. සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය 4,900 ඉක්මවයි.


(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...