The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

නැතිමොර සිතිවිලි - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

July 30, 2023 • 5:21 AM

නැතිමොර සිතිවිලි  - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැරලි ගැසුණු දිග කොණ්ඩයක් හා ඝන රැවුලකින් එකල හෙබි ෆ්‍රෙඩී මා දැන හඳුනාගත්තේ අනුවේ දශකයේ මුල් භාගයේ විය හැකි ය.
  • ඔහු එකල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව ද යාන්තමට මතක ය.
  • ඒ අනුව ෆ්‍රෙඩි ඇතුළු පිරිසගෙන් මා උගෙන ගත්තේ, නැගෙනහිර ටිමෝරය යනු බොහෝ කලක් පෘතුගීසි යටත් විජිතයක් ව පැවැත, ඉන් අනතුර ව 1976 සිට ඉන්දුනීසියාවේ ආක්‍රමණයට පත් වුණු බවයි.
  • ඉන්දුනීසියානු පාලනයෙන් නැගෙනහිර ටිමෝරය නිදහස් කර ගැනීමට දීර්ඝ කාලයක් ෆ්රෙටිලින් නමැති සංවිධානය විසින් ගරිල්ලා පන්නයේ යුද්ධයක් හා බලවත් ජාත්‍යන්තර කැම්පේනයක් වසර ගණනාවක් පුරා ගෙන ගිය බව ද දැන ගතිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

කැරලි ගැසුණු දිග කොණ්ඩයක් හා ඝන රැවුලකින් එකල හෙබි ෆ්‍රෙඩී මා දැන හඳුනාගත්තේ අනුවේ දශකයේ මුල් භාගයේ විය හැකි ය. ඔහු එකල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව ද යාන්තමට මතක ය. එම පක්ෂයේ එකල ක්‍රියාකාරී ව සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු (90 වේ මුල ඔහු පක්ෂය නියෝජනය කරමින් නගර සභා සභිකයෙක් ව සිටියේ ය, පසු කාලීන ව නිදහස් වෙළෙඳ කලාපයේ හා අතුරුදහන් වුවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී විය) හා සුදර්ශන ගුණවර්ධන (වත්මන් අයිටීඑන් සභාපති) හා ෆ්‍රෙඩී පදිංචි ව සිටියෝ මීගමුව ප්‍රදේශයේ ය. ෆ්‍රෙඩී 'මීපුර' නමින් ප්‍රාදේශීය පුවත් පතක් ද එකල සංස්කරණය කළේ ය.  ෆ්‍රෙඩීගේ නායකත්වයෙන් හා සම්භන්ධීකරණයෙන් කුඩා පිරිසක් සටන් පාඨ පුවරු රැගෙන ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ඉදිරි පිට  ටී..මෝරේ, ටි....මෝරේ.. කිය කිය මොර දෙන විට මා කල්පනා කළේ මේ යෝධයා කියන්නේ කුමක් දෝ කියා ය.

East Timor on the map
ඒ පිරිස අතර මා ගරු කළ බ්‍රිටෝ ප්‍රනාන්දු, වසන්ත දිසානායක, ටයිටස් ප්‍රනාන්දු හා පැට්‍රික් ප්‍රනාන්දු ද සිටි නිසා ටීමෝර මොර දීම යම් බරපතල දෙයක යී මම අනුමාන කළෙමි. ඒ අනුව ෆ්‍රෙඩි ඇතුළු පිරිසගෙන් මා උගෙන ගත්තේ, නැගෙනහිර ටිමෝරය යනු බොහෝ කලක් පෘතුගීසි යටත් විජිතයක් ව පැවැත, ඉන් අනතුර ව 1976 සිට ඉන්දුනීසියාවේ ආක්‍රමණයට පත් වුණු බවයි. ඉන්දුනීසියානු පාලනයෙන් නැගෙනහිර ටිමෝරය නිදහස් කර ගැනීමට දීර්ඝ කාලයක් ෆ්රෙටිලින් නමැති සංවිධානය විසින් ගරිල්ලා පන්නයේ යුද්ධයක් හා බලවත් ජාත්‍යන්තර කැම්පේනයක් වසර ගණනාවක් පුරා ගෙන ගිය බව ද දැන ගතිමි. ෆ්‍රෙඩී ඇතුළු පිරිස කළේ නැගෙනහිර ටිමෝර නිදහස් සටනට සහයෝගීතාව පළ කිරීම ය. එය ඔවුන් කළේ නසසපයේ පදනමින් නොවුණත් එම පක්ෂය ස්වයං තීරණ අයිතිය පිළිගත් එකකි.    

uuf et
අනුව දශකයේ ම අග්ගිස්සේ, එනම් 1999 පමණ මට නැවත වරක් නැගෙනහිර ටිමෝරය ගැන දැන ගන්නට ලැබුණේ මගේ සමීප ම මිතුරන් දෙදෙනෙකු වන උදය කළුපතිරණ (බොහෝ කලක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයෙක්) හා මේ දිනවල කාගේත් අවධානයට (හා ස්වයං කළකිරීමේ ප්‍රක්ෂේපණයක් වන) ලක් වන සුදර්ශන ගුණවර්ධන ගෙනි. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන්, ටිමෝරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරද්දි, එහි ඡන්ද කොට්ඨාස ස්ථාපිත කරනට ය ඔවුන් අතුළු ජාත්‍යන්තර කණ්ඩායමක් ටිමෝරයේ තෙමසක් පමණ වැඩ කටයුතු කළේ. මිතුරු ඇසුර ඔක්සිජන්වලටත් වඩා අවැසි උදයා නිතර ම ටිමොරේ සිට මහින්දයා මහින්දයා කිය කියා ඔවුන් සමග වැඩ කරන ලාංකිකයෙකු ගැන කීවා මතක ය. පසු කලෙක මැකෝ ලෙස මතුවුණේ අර 'මහින්දයා' ද කියා උදයගෙන් අසන විට ඔහු කීවේ ඔව් බං කියා ය. මගේ මතකය නිවැරදි නම් කිවිඳියක වූ පුෂ්පා රම්ලනීත් එකල සිටියා ටිමෝරයේ ය. මේ කණ්ඩායම ෆ්‍රෙඩී ඇතුළු කණ්ඩායමේ 'දේශපාලන සහයෝගිතා' ප්‍රවේශයට වඩා වෙනස් තාක්ෂණික පදනමකින් ටිමෝරයේ වැඩ කළ ද ටිමෝරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනට වැදගත් දායකත්වයක් එක්සත් ජාතීන්ගේ සේවකයින් ලෙස කළ බව කිව යුතු ය. ටිමෝරයේ එදිනෙද ජීවිතය ගැන ම බොහෝ දේ මෑ උගෙන ගත්තේ උදය හා සුදර්ශනගෙනි. 

රට ගැන බොහෝ දේ ඇසුව ද ටිමෝරෙ මා හට දැක බලා ගන්නට අවස්තාවක් උදා වුණේ මීට සති දෙක තුනකට පමණ පෙර ය. ඒ මා සේවය කරන උතුරු ඇමෙරිකානු විශ්ව විද්‍යාල ජාලය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් ජාතික ටිමෝර විශ්ව විද්‍යාලය සමග එළඹීමට ගිය අවස්ථාවේ ය. සතියක් පමණ ඩිලී අග නුවර සුඛෝපභෝගී හෝටලයක මා ඇතුළු කණ්ඩායමට නවාතැන් ලැබුණු නමුත් මා වඩා ප්‍රිය කළේ නගරයෙන් බැහැර ව අප ගත කළ ක්ෂේත්‍ර පර්යේෂණ (ෆීල්ඩ් රිසර්ච්) සතිය ය. අප නැවතී සිටියේ බිඩවූ නම් නගරයෙන් මඳක් බැහැර ප්‍රදේශයේ ම ය. අර්ධ නාගරීක පරිසරයක වුව ද, පාන්දර තුනේ සිට නිදා ගැනුමට නොහැක්කේ නොනවතින කුකුළු හඬලෑම නිසා ය. පහ හය වන විට කුඩා දරුවන් වට්ටිවල ගමේ පාරවල් සිසාරා කඩයප්පන් විකුණනු පිණිස කරන කෑගැසීම ද කුකුලන්ට නොදෙවෙනි ය. හවස හයට පමණ බොහෝ නිවෙස්වලින් ඇසෙන්නේ ඔරසන් කීම ය. ඒ කතෝලිකයින් 98% ක් ටිමොරේ ඇති නිසා ය. අපට නගර මාධ්‍යට යැමට ඇති පොදු ප්‍රවාහන මාධ්‍යය මා අතීතයට ගෙන ගියේ උණුසුම් නොස්ටැල්ජික හැඟුමකිණි.           

හැත්ත හතෙන් පසු ව හෝ අසූවේ මුල කාලේ ය ලංකාවට මුලින්ම පුද්ගලික බස් හඳුන්වා දුන්නේ. ප්‍රධාන පාරවල්වල දිවුවෙ සීට් විසි හයේ රෝසා හා සිවිලියන් බස් ය.අතුරු පාරවල්වල දිවුවෙ, පොඩි ඉසුසු එල්ෆ් වැනි බස් ය. ඒවාට අප කීවේ පාන් භාග කියා ය. බස් එක වැඩි උස නැති නිසා ඔබ උස නම් යා යුත්තේ දෙකට නැවී ය. එහෙත් ටික කාලෙකින් මේ පාන්-භාග අතුරු පාරවල්වල යෑම නැවතිණ.

7942c21584103ca35edf6b7c0c9f4525
ටිමෝරයේ බොහෝ ප්‍රදේශවල, පොදු ප්‍රවාහන මාධ්‍ය වන්නේ, පාන් බාගයකටත් වඩා කුඩා, පාන් කාලක් වගේ කිව හැකි, මික්‍රොලෙට් (mikrolet) ලෙස හැඳින්වෙන කුඩා වෑන් රථ ය. ධාවන මාර්ග අනුව මේවායේ නොම්බර ඇත. ඊට අමතර ව ධාවන මාර්ගයට නියමිත වර්ණයක් ද ඇත. මා සිටි 'බිඩවු-ට්කො-බාරු' නම් ප්‍රදේශයේ සිට නගර මධ්‍යය දක්වා ආ යුත්තේ නොම්බර 4 මික්‍රොලෙටයක ය. එය නිල් පාට ය. ටිමොරේ බස් ඉස්ටැන්ඩ් කියා දෙයක් නැත. මගියෙකු පාර අයිනේ සිට හෝ අතුරු පාරක සිට දුවගෙන එන විට මික්‍රොලෙටය කිරිස් ගා බ්‍රේක් අල්ලයි.

වාහනය ඇතුළේ හරහට බංකු දෙකක් දමා ඇත. සෙනග පිරුණ විට පුට්බෝඩයේ වාඩි වී හෝ සිටගෙන යා හැක. මික්‍රොලෙටය ඇතුලේ කණ පැළෙන්නට සින්දු දා තිබේ. ඩැයිවර් මහත්තයා කපන කැපිල්ලට අනුගත වන්නට, වහල හරහා, ඇලුමිනියම් පොලු අල්ලා ඇත. බැහැ ගන්නට මීටර් විස්සකට තිහකට පෙර කළ යුත්තේ සත 25 හෝ 50 කාසියක් භාවිතා කොට,  වහලයේ ඇති ඇලුමිනියම් පොල්ලට ගසා, ටක ටක ගා ශබ්දයක් ජනනය කිරීම ය. ඊට අනුකූලව ඩැයිවර් මහත්තයා වාහනයේ අයිනකට කර නවත්වයි. ඉන් අනතුරුව ඒ මහතාට ම ගාස්තුව දිය යුතු ය.

IMG 3897 1024x683
සතියක් පමණ මික්‍රොලෙට ගමනේ ගිය මට වැටහුණේ මෙය ය. පසුගිය දිනවල එල්.ආර්.ටී එපා කියා හැපී වැළපෙන කොමරාදුවන්ගේ රජයක් යටතේ, දුප්පත් රටක් වන ටිමෝරෙන් පාන්-කාල් හෙවත් මික්‍රොලෙට් ගෙන්වාගෙන සෝසලිස් ප්‍රොලිටේරියට් සොලිඩැලිරිටියක් ද ගොඩනගා ගත හැකි බව ය. රිවස් ගමනේ යන්නට රිසි අපට පාන්-භාග යුගය අභිබවා පාන්-කාල් යුගයකට අපට අභිමානයෙන් යා හැක. එල්ලාර්ටී සාපයෙන් ලක නිදහස් කර ගැනුමේ සටනේ සෙනෙවියා සිහි කරනු වස්, අපට ඒ පාන්-කාල් මික්‍රෝලෙට්‌ ප්‍රවාහන මාධ්‍යයට ලංකාවේ 'වසන්ත්ලැට්' කියා කිව හැක.  


ටවුම්-හෝලාගමනය : (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(උදන් ප්‍රනාන්දු, PhD)
විධායක අධ්‍යක්ෂක, දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA)
බාහිර කථිකාචාර්ය විවෘත විශ්ව විද්‍යාලය

udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...