The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මළවුන්ගේ ලෝකය

T

The Leader Desk

July 30, 2023 • 7:20 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මළවුන්ගේ ලෝකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආපසු එන ගමනේ රෝහල ඉදිරිපස පිහිටා තිබූ කඩ සාප්පු කිහිපයක් මගේ ඇස ගැසුණි.
  • නුදුරු අනාගතයේදී රෝහල් අසල ආදාහනාගාරද ඉදිවනු ඇත.
  • මල් ශාලාවන් තුළද මිනීපෙට්ටි ඇත.
  • මට හැඟුණු අන්දමට රෝහල් ඉදිරිපස පිහිටා ඇති ඉහත කී ආකාරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන මහජනතාවගේ අවශ්‍යතා අනුව ඉදිවූ සේවා ස්ථානය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආපසු එන ගමනේ රෝහල ඉදිරිපස පිහිටා තිබූ කඩ සාප්පු කිහිපයක් මගේ ඇස ගැසුණි.

ඒ අතර හෝටලයක්ද, ෆාමසියක්ද විය. පළතුරු වෙළෙන්ඳකුගේ සහ ලොතරැයි පත් අලෙවිකරුවකුගේ කුටි දෙකක්ද ඒ සමඟම තිබුණි. මඳක් ඈතින් මල් ශාලාවක්ද, අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකුගේ සාප්පුවක්ද පිහිටා තිබුණි. මිනිපෙට්ටි සාප්පුවක් නම් දක්නට නොලැබුණි. එහෙත් පසුව කියූ ස්ථාන දෙකෙන් ඔවුන් සපයන අනෙකුත් සේවාවන් සමඟ මිනී පෙට්ටිද ලබාගත හැකිය. නුදුරු අනාගතයේදී රෝහල් අසල ආදාහනාගාරද ඉදිවනු ඇත.

මල් ශාලාවන් තුළද මිනීපෙට්ටි ඇත. ඔවුන්ගෙන් මිනීපෙට්ටියක් ගන්නා විට, මල්වඩමක්ද නොමිලේ ලැබේ. අවමංගල්‍ය අධ්‍යක්ෂවරු එක් එක් මිල ගණන්වලට (පැකේජයක්) අනුව අවමංගල්‍ය උත්සව ගාම්භීරාකාරයෙන් සංවිධානය කර දෙති.

Funeral home with plenty of different coffins
මට හැඟුණු අන්දමට රෝහල් ඉදිරිපස පිහිටා ඇති ඉහත කී ආකාරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන මහජනතාවගේ අවශ්‍යතා අනුව ඉදිවූ සේවා ස්ථානය.

රෝහලකට ඇතුළත් කරන සියලුම රෝගීන් සුවපත් නොවන බව සත්‍යයකි. ඉඳහිට කෙනෙක් නිර්වින්දන අහේතුවකින් හෝ වැරදි එන්නතකින් මිය යා හැකිය. එවිට ඔහුගේ ඥාතීන් - සමීපතමයෝ මහත් අසරණභාවයට පත්වෙති. එවැනි ශෝකී අවස්ථාවක ඔවුනට මහත් අස්වැසීමක් වනුයේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුය. ඒ අතින් ඔවුහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට සම කළ හැකිය. (ඇතැම් ටෙලිනාට්‍ය තුළින්ද සිදුවනුයේ දහසකුත් කම්කටොලු විසින් ඔත්පල කරවනු ලැබූ මිනිසාගේ මනස එම්බාම් කිරීමකි.)

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා !
අවමංගල්‍ය අධ්‍යක්ෂවරු (මල්ශාලා හිමියන්ද ඇතුළුව) ඉතා ගුණයහපත් මිනිස්සුය. ඔවුහු කිසිවිටෙකත් මුදල් ගෙවන තුරු මළසිරුරු තමන් භාරයේ තබා නොගනිති. ඒ අතින් ඔවුන් සිටින්නේ ඇතැම් පෞද්ගලික රෝහල්වලට වඩා ඉදිරියෙනි.

මීට කලකට ඉහත නම් රෝහලකදී රෝගියකු මියගිය විට මෘත දේහය ලබාගැනීම සඳහා බොහෝ වෙහෙසෙන්නට සිදුවිය. මළසිරුර ට්‍රොලියට දමන්නාගේ සිට මරණ පරීක්ෂක දක්වාම අල්ලස් බලාපොරොත්තු වූහ. මුදල් ඉල්ලීමට බිය වූ අය තම ෆෝනයට රීලෝඩ් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටියහ. 'වාසියක්' වෙනුවෙන් අත දිගු කළ කෙනෙක් නොවී නම් ඒ මියගිය තැනැත්තාම පමණි.

දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. රෝහලකදි කෙනකු මියගිය විට මෝචරි සේවකයාගේ සිට සෞඛ්‍ය ඇමැතිවරයා දක්වාම ශෝක වෙති. මළසිරුර අවමංගල්‍ය අධ්‍යක්ෂවරු වෙත යැවීම සඳහා ඥාතීන් පොළඹවති.

360 F 333865582 iSCiT7GIayM85NX1nEnC8GNwlpfIg6LF

මරණ පරීක්ෂණ වාර්තාව ලබාගැනීම ඉතාම ඉක්මන්ය. පහසුය. මරණ පරීක්ෂකවරයා සිය පෞද්ගලික කටයුතු පවා අතහැර දමා මධ්‍යම රාත්‍රියේ පවා රෝහලට පැමිණ සිය රාජකාරිය ඉටු කරයි. මියගිය පුද්ගලයාගේ ඥාතීන් යමක් කමක් ඇති අය නම් හෝ විදේශ රුකියා කරන්නවුන් නම් ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිය. එවැනි අවමංගල්‍යයන්හිදී මෝචරි සේවකයා කනත්තටද එන අතර මරණ පරීක්ෂකයා හත් දවසේ දානයටද සහභාගි වෙයි. (මරණ පරීක්ෂකවරුන් විදේශ රුකියා සඳහා යාමට උත්සාහ නොකිරීම මේ රටේ මරණාපේක්ෂිත සාමාන්‍ය ජනතාවගේ භාග්‍යයකි.)

කලකට ඉහත රෝහල් අසල මිනී කාක්කන් යැයි ''සත්ව කොට්ඨාසයක්'' විසූහ. රෝහලේ වාට්ටුවක කෙනෙක් මියගිය වහාම උන් ළඟම ඇති මල් ශාලාවට පියඹා ගොස් ඒ ආරංචිය සැල කරති. ඒ සඳහා උනට කොමිස් මුදලක් ලැබේ.

දැන් මිනී කාක්කෝ නැත. එහෙත් කොමිස් කාක්කෝ සිටිති. ඒ රෝහල් අසල නොව වෙන වෙනත් තැන්වලය.

අවමංගල්‍ය උත්සව පැවැත්වෙන්නේ ද මියගිය පුද්ගලයාගේ පන්ති තත්ත්වය, තරාතිරම ලෝකයට කියාපානා අයුරිනි. ඇත්තෙන්ම එහි ගෞරවය ලබන්නේ මියගිය පුද්ගලයා නොව, ජීවතුන් අතර සිටින ඔහුගේ පවුලේ උදවියය.

සමහරු මරණයට කල් තියා ලකලෑස්ති වෙති. අන්තිම කැමැත්ත ලියති. මල් ශාලාවට මුදල් බඳිති. අවමඟුල කළ යුතු ආකාරය ගැන උපදෙස් දෙති.

dignity 120817 d2 traditional 3370
අමෙරිකාවේ විසූ ජෝන් නැමැත්තා තම අවමඟුල සඳහා ඩොලර් 50,000 ක් වෙන්කර එය තම බිරිඳට පැවරීය.

ජෝන්ගේ අවමඟුල හොඳින් කෙරිණි. ඔහුගේ බිරිඳ ජැකලයින් තම මිතුරියක වූ රෝස් සමඟ මෙසේ කියුවාය.

''හැමදේම හොඳට සිද්ධ වුණා. ජෝන්ට සතුටු ඇති.''

''ඔයාට ලොකු වියදමක් යන්ඩ ඇති?''

''ජෝන් මට ඩොලර් 50000 ක් දීලයි තිබුණෙ.''

''හැබෑව? එච්චර ලොකු මුදලක් වියදම් වුණාද?''

''ඔව්... මල් සාප්පුවට ඩොලර් 6500 ක් ගියා. පල්ලියට ඩොලර් 500 ක් පරිත්‍යාග කෙරුවා. සංග්‍රහවලට ඩොලර් 500 යි. ඉතිරි 42,500 න් මම ජෝන් මතක් වෙන්න ලස්සන මාලයක් ගත්තා.''

''ජෝන් සාමදානයේ සැතපේවා.'' රෝස් මිමිණුවාය.


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...