The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

තරිඳු තාම නාඹර වයසේ ; (රඟනු රංඟ රන් රඟ මඩලේ) - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

July 31, 2023 • 7:31 AM

තරිඳු තාම නාඹර වයසේ ; (රඟනු රංඟ රන් රඟ මඩලේ) - උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරිඳු මා දන්නේ මීට වසර දහයකට එකොළහකට පෙර මා රාවය පබ්ලිෂර්ස් ගරන්ටී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින කළ සිට ය.
  • අධ්‍යක්ෂකවරුන් ලෙස අප රාවය පත්තරයේ සේවකයන් සමග ඍජු සම්බන්ධයක් නොපැවැත්වුව ද මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් අපි ඔවුන් ගැන සැළකිලිමත් ව සිටියෙමු.
  • පාසල් යෑම අවසන් වූ වහා ම තරිඳු ගොඩ වී ඇත්තේ රාවයට යි.
  • ලජ්ජාශීලී හා නිහතමානී ගති තිබූ තරිඳු 'බේබි ඔෆ් රාවය' ලෙස කාගේත් පැසසුමට හා ආදරයට පාත්‍ර වුවා මතක ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරිඳු මා දන්නේ මීට වසර දහයකට එකොළහකට පෙර මා රාවය පබ්ලිෂර්ස් ගරන්ටී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින කළ සිට ය. අධ්‍යක්ෂකවරුන් ලෙස අප රාවය පත්තරයේ සේවකයන් සමග ඍජු සම්බන්ධයක් නොපැවැත්වුව ද මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් අපි ඔවුන් ගැන සැළකිලිමත් ව සිටියෙමු.

පාසල් යෑම අවසන් වූ වහා ම තරිඳු ගොඩ වී ඇත්තේ රාවයට යි. වික්ටර් අයිවන්, ජනරංජන, ලසන්ත රුහුණගේ, විමලනාත් වැනි එකල සිටි දෙටු සංස්කාරක මණ්ඩල සාමාජිකයින්ගෙන් පුවත් පත් කලාව ගැන මනා පුහුණුවක් ලද පෝතක තරිඳු වැඩි කලක් නොගොස් පතාකයෙකු වූයේ කැපවීම, කඩිසර කම, සුව නොවෙන උණකින් පෙළීම හා දක්ෂකම නිසා ය. ලජ්ජාශීලී හා නිහතමානී ගති තිබූ තරිඳු 'බේබි ඔෆ් රාවය' ලෙස කාගේත් පැසසුමට හා ආදරයට පාත්‍ර වුවා මතක ය.

රාවයෙන් කැඩී ජනරංජනගේ නායකත්වයෙන් 'අනිද්දා' පත්තරය 2018 පමණ කාලයේ අරඹන විට සිටි ජ්වලිතමත් ම සාමාජිකයෙක් වූයේ තරිඳු ය. ඔහුගේ පුවත්පත් කලා ජීවිතයේ සම්මාන ලද සංධිස්ථාන උදා වූයේ මේ කාලයේ ය. 2021 වසරේ මැයි හෝ ජූනි වැනි කාලයක තරිඳු 'අනිද්දා'වෙන් සමු ගන්නා බවට සැළ කළේ ය. මේ පුවත ලත් මා තරිඳුට 2021 ජූනි 21 දින මෙසේන්ජර පණිවිඩයකින් මෙසේ ඇමතීමි : "සිංහබාහු ම ය පෙලක් ණයට ගතහොත්, ,මම සැක නොකළත් දැනගතිමි ! මෙය ඉක්මනින් හෝ පමා වී සිදු වන බව !! රාවය හා අනිද්දා අවකාශ දෙකට ම ඔබ ගෙන ආවේ නැවුම් ජවයක බව කිව යුතු ය. පසු කලෙක ඔබ යම් ටෙන්ටටිව් ගතියක් පෙන්නුම් කළ බව ද මම දිටිමි. භක්ති අර්ථයෙන් ගතහොත් එය විශ්වාසය හා අවිශ්වාසය අතර දෝලනයකැයි මට සිතිණ. එහෙත් දැන් දෝලනය නැවතී ඔබ තිර අදිටනක පිහිටා ඇත්තේ හැර යාමට ය. ඊට අප ගරු කළ යුතු අතර, ඔබ මෙතෙක් කලක් කළ නිර්මාණශීලී දායකත්වයට සුභ පතමු. නව අවකාශයක හමුවෙමු, තරිඳු !! මගේ පණිවිඩයට තරිඳුගේ පිළිතුර වුයේ අති විශාල ස්මයිලි ඉමොජයකි. 'තරිඳු තාම නාඹර වයසේ' කියා මම එය නොදැක්කා සේ සිටියෙමි. 

raghee omar

රගී ඔමාර්

ඉන් පසු මා තරිඳු දකින්නේ පාර තොටේ ය. මට නිතැතින් ම සිහි වුණේ බීබිසියේ කලක සිටි සෝමාලි සම්භවයක් ඇති ව පසු ව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රගී ඔමාර් කොරස්පොන්ඩන්ට් ය. කලබල, යුධ තත්ත්ව, ගහ මරා ගැනීම් වාර්තා කරනට රගී තරම් හපනෙකු එකල නොවී ය. හමුදා හෙල්මටයක් හා බුලට් පෘෆ් බැනියමක් හැඳ ගත් රගී ඉරාක යුද්ධය එකල වාර්තා කලේ සමහර විට මුනිස්සන් කන ගාවින් යන විට තරමක් පාත් වෙමින් ය. අපටත් දැන් 'ලෝකල් රගියෙක්' ඇතැයි යන සොම්නසක් මට තරිඳු පාර තොටේ සිට උද්වේගකර අවස්ථා වාර්තා කරන විට ඇති විය. අපේ පත්තර දෙකක ම හිටිය අපේ එකෙක් නේ යන වැඩිහිටි ම ය හැඟුම සිතේ නැගුම වැළකිය නොහැකි විය.



මීට දින කිහිපයකට පෙර තරිඳු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීම හා එය කළ අකාරය ගැන සිංහල  සමාජය තුල විශාල විරෝධයක් හා සංවාදයක් ජනනය කළේ ය. සංවාදයේදී ඉස්මතු වූ කරුණු දෙකකට  මාගේ අවධානය යොමු විය. පළමු වැන්න තරිඳු, දඟලානා හෙවත් ඕවර් ඇක්ටින්, හයිපර් ඇක්ටිව්, හයිපර් රියල් යන ලක්ෂණ පෙන්නුම් කිරීම. දෙවැන්න, මාධ්‍යවේදියෙකුට එක වර ම උද්ඝෝෂකයෙකු, හැප්පෙනසුළු දේශපාලනයක් (confrontational politics) කරන්නෙකු හා ඇක්ටිවිස්ටයෙකු වීම අකැප ය වැනි චෝදනාව ය. මේ  කාරනා දෙක ම අරභයා මා සිට ගන්නේ තරිඳු සමග ය. ඒ මන්ද යත්:       

මුලින් අප තේරුම් ගත යුත්තේ තරිඳු ස්ථානගත ව ඇති මාධ්‍ය අවකාශය හෝ ප්‍රභේදය හා එහි ව්‍යාපාර මාදිලිය හෙවත් බිස්නස් මොඩලය යි. එය පිහිටා ඇත්තේ මහරගම පිළියන්දල පාරේ තිබූ රාවය කන්තෝරුවේ නොව පරක් තෙරක් නැති ඩිජිටල් යතාර්ථයේ ය. එහි ඇති ගතික හා නීති රීති හණමිටි පුවත් පත් කලාවට වඩා සපුරා වෙනස් ය. අන්තර්ගත ජනනය හෙවත් කොන්ටෙන්ට් ක්‍රියේෂන් එහි මුඛ්‍ය කර්තව්‍ය යි. මුලින් පොඩ්කාස්ටයක් ලෙස කළත් අරගලකාලයේ තරිඳුගේ මාධ්‍යවේදය යූටියුබකරණයට රූපාන්තරණය විය. අරගලය අවසානයේ රැට්ටා, දුලාන්, කෝනාර, සුදන්ත ආදීන් ගොම රිටි මෙන් පාවී විසි වී ගිය ද මිණි කැටයක සේ ඉතිරි වුණේ තරිඳු පමණි. ඒ එසේ සිදු වූයේ, ඔහු තමා නිරත මාධ්‍ය ප්‍රභේදය මනා ව වටහා ගෙන එය දක්ෂ ලෙස අභ්‍යාස කළ නිසා ය. 

sri lanka 07 28 2023

යූටියුබ් හෝ එවැනි චැනලයක අපගේ කොන්ටෙන්ටුව පළ කළ විට, එය නරඹන දනා දානා ලයික් හෝ හිට් ගණනට අනුපාතික ව යූටියුබරයාට කොමිස් මුදලක් ලැබන්නේ ආදායමක් ලෙස ය. මීට අමතර ආදායම ද ලබා ගත හැක. අප හෝටලයකට ගොස් ආහාර වේලක් කා, මහන්සි වී අපට කෑම, වතුර, වැඩිපුර මාළුපිණි ගෙන ආ වේටර කොලුවාට සන්තෝසමක් හෙවත් 'ටිප්' එකක් දෙනවා මෙන් ම යුටියුබරයන්ට ද ඔවුන්ගේ අන්තර්ගතය (content) බලන්නන්ට ටිප් එකක් (එවේලේට දෙන සන්තෝසමක්) හෝ ඩොනේෂන් (නිත්‍ය උපකාරයක්)  දිය හැක. මේ සඳහා විශේෂිත ප්ලැට්ෆෝරම (platforms) ඇත. ඔවුන් කරන්නේ, අපගේ ජවිපෙ කාදරයන් කරන්නා සේ, නමුත් ඩිජිටල් අවකාශයේ, කැට සෙලවීම යි. ප්ලැට්ෆෝරමයට යුටියුබරයා වෙනුවෙන් එකතු වෙන සල්ලි (ඩොලර්, යුරෝ, පවුම්, හෝ ඕනෑම විනිමයකින් ප්‍රේෂණය කළ හැකි) වලින් කොටසක් තමන්ගේ මහන්සිය වෙනුවෙන් කොමිස් ගාස්තුවක් ලෙස අඩු කරගෙන, ඉතිරිය අදාළ යූටියුබරයාගේ ගිණුමට ප්‍රේෂණය කිරීම යි. ග්‍රාහකයින්ගෙන් මසකට ඩොලර් දහයේ සිට තමන්ගේ බැංකු ගිණුමවලින් ස්වයංක්‍රීය ව මාසික ව ප්ලැට්ෆෝරමයට ප්‍රේෂණයවන අතර ඒවා ගණන් හිලවු සමගින් කොමිස් මුදල ද අඩු කොට යූටියුබරයාට ලැබේ.

මේ ක්‍රමයේ ඉදිරියෙන් ම සිටින්නේ පෙට්‍රියෝන් (Patreon) ප්ලැට්ෆෝරමය වන අතර අපගේ කතානායකයා වෙනුවෙන් කැට සොලවමින් ටිප් හා ඩොනේසන් එක්කාසු කරන්නේ පෙට්‍රියොන් ය. පිටරට දෙකක මට හමු වූ සටහන් ෆෑන්වරුන් මේ යටතේ තමන්ගේ පඩියෙන් නිශ්චිත මුදලක් කැපෙන්නට අවසර දී ඇති බව සැළ කළ හ. මෙය ඔවුන් දෙන්නේ හිඟමනක් ලෙස පිනක් දහමක් කර ගන්නට නොවේ. තමන්ට අවැසි තොරතුරු (education) හා විනෝදය (entertainment), සමහර විට මේ දෙක ම මිශ්‍ර වී එන edutainment පරිභෝජනය පිණිස ය.

ග්‍රාහකයා විනෝද කිරීම (එන්ටර්ටේන් කිරීම) ලෙහෙසි පහසු නැත. අන්තර්ගතය හුදෙක් තොරතුරු (දත්ත) පමණක් වූ විට සයිබර ප්‍රවෘත්ති අලෙවි වන්නේ නැත. එය කියවන්නා හෝ තනන්නා ද අතිශයෙන් සක්‍රිය විය යුතු ය. ස්ටුඩියෝවේ සිට පමණක් මෙය කළ හැක්කක් නොවේ. ඒ නිසා ය යූටියුබරයෝ 'ඇක්ෂන්' එක ඇති තැනට, දුම් මැදින්, කඳුළු ගෑස් මැදින්, වෙඩි වරුසා මැදින්, ගාල කඩාගෙන දුවන්නෝ. ඇක්ෂන් වැඩි තරමට අන්තර්ගතයේ විනෝද සංයුතිය වැඩි ය. ටිප් හා දොනේසන් සට සට ගා පෙට්‍රියොන් කැටයට වැටෙන්නේ එවිට ය. යූ ටියිබරයාට මෙය අධික වෙහෙසකාරී හා සමහර විට අවදානම් සහගත තත්ත්වයක් බව අප සහකම්පිත ව තේරුම් ගත යුතු ය.         

357039269 3622446311320476 8960605011648543965 n

තරිඳුගේ රංගනය අධිතාත්වික යි යන චෝදනාව අසාධාරණ ය. මගේ නිරීක්ෂනය අනුව ඔහුගේ රංගනය ප්‍රශස්ත, අදාළ හා අවස්තානුකුල ය. තරිඳු තවෙකෙකු සේ ලංකට් කෙටියක් හැඳ කුරුසයක් කරේ බැඳන් මහා පාරේ යන්නේ නැත. තරිඳු කර-නැති ටීෂර්ටයක් අඳින්නේ කාස්ථක අව්වේ දුවන්න පනින්න තියෙන නිසා ය. බාටා දෙකක් දා සිටින්නේ දුවන්නට සිදුවන වට එය දමා හෝ කළ හැකි නිසා ය. අනෙක් අතට, ටී ෂර්ට් කෑලි හා බාටා දෙක  costume හෙවත් වස්ත්‍රාභරණ ය. රංගධර මාධ්‍යකරණයේ අත්‍යවශ්‍ය දෙයකි. පිළිවෙලකට කොණ්ඩයක් පීරා, ලස්සන ෂර්ට් එකක් සමග පොලිශ් කළ සපත්තු දෙකක් දාගෙන, දෙමටගොඩ සිට තරිඳු වාර්තා කළහොත් අප එය බැලීම ප්‍රතික්ෂේප කරන්නේ නොවේ ද?

ඇත්තට ම මෙය තරිඳුගේ ම දෙයක් නොවේ. එය සමකාලීන මාධ්‍ය අවකාශයටත් වඩා එහා යන්නකි. එක්තරා අකාරයකට මෙය මනා ඉකෝ සිස්ටමයකි. එහි තරිඳු (සමකාලීන මාධ්‍ය), පොලීසිය (රාජ්‍යය) හා අප (ප්‍රගතිශීලී දනා) යන තුන් කට්ටුව සිම්බයෝටිකාරයෙන් (symbiotic, එකිනෙකාගේ පිහිටෙන්) තම තමන්ගේ කාර්ය හා පැවැත්ම නඩත්තු කරමින් සිටිමු. තරිඳුට පොලීසිය කුපිත කිරීම සමකාලීන ජන මාධ්‍ය භාවිතාවේ අත්‍යවශය කොන්දේසියකි. මර්ධනීය යාන්ත්‍රණයක් වන රාජ්‍යයේ දිගුවක් වන පොලීසියට වරින් වර තම අණසක පතුරුවන්නට වසන්තයෙකු හෝ තරිඳුවෙකු හෝ කුදලෑම ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. මෙය නිමක් නැති අනන්ත රාත්‍රියක රතියකි. මේ රති කෙළියේ වොයෙවර් හෙවත් දර්ශාස්වාදකයා ප්‍රගතිශීලී අප ය. අපගේ ප්‍රගතිශීලී හර්ද සාක්ෂිය හා භාවිතාව ඇක්ටිවේට් වන්නේ -- ප්‍රොෆයිල් පොටෝ මාරු කිරීම්, කොටුවේ  ඉස්ටෙසමට ඒම්, ආදී වශයෙන් -- මෙවැනි අවස්ථා නිසා ය. 

රතිය අවසානයේ ඔප්පු වන්නේ මෙය ත්‍රීසම් ම ය සමාජ දේශපාලන මැනිෆෙස්ටෙෂනයක් බව යි. ඒ අරුතින් ගත් කල, මට හිතෙන්නේ, 1976 තිරගත වූ දියමන්ති චිත්‍රපටයේ වික්ටර් රත්නායකයින් ගයන 'ගිගිරි ගීත නාදේ .." ගීතයේ එන තරිඳු, නාඹර වයසේ නොව සමකාලීන සංකීර්ණ සමාජ දේශපාලනය, නව්‍ය-ලිබරල් ආර්ථිකය හා ඩිජිටල් යතාර්ථය මනා ව වටහා ගත් හා ඒ තුල  මනා ව ස්ථාපිත වුණු, වැඩි වියට පත් පරිණතයෙකු බව ය.        

(2023 අගෝස්තු 5 දින අනිද්දා පත්තරයේ 'ඉඳහිට' කොලමට පළ කිරීමට කර්තෘට යවන පිටපත ම'වසින් ම සයිබර් අවකාශයට 'ලීක්' කරන ලද්දේ තව දවස් දෙක දුනක් යන විට තරිඳු පරයා තවත් ටියුබරයෙකු මතු විය හැකි බවත්, පොලීසියට වසන්ත-තරිඳු එපා වී තවෙකෙකු සොයා ගැනුමත්, අපටත් පොඩි 'චේන්ජ්' එකකට අළුත් වීරයෙක් අවැසි නිසා ය)


ටවුම්-හෝලාගමනය : (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(උදන් ප්‍රනාන්දු, PhD)

udanfer2014@gmail.com


සබැඳි වෙනත් ලිපි :

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා - (අජිත් පැරකුම් ජයසිංහ)

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)

ඔබ මාධ්‍යවේදියෙක් නම් ඔබ මාධ්‍යවේදියෙක් යැයි කියන්නේ ඇයි? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...