එහිදී, ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය කොපමණද යන්නත්, රටේ දේවල් සිදුවන සමස්ත ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත් භාවය කොපමණද යන්නත්, රටේ ආර්ථිකය ගමන් කරන මාර්ගය පිළිබඳව ජනතාව තුළ ඇති ප්‍රසාදය කොපමණද යන්නත් දළ වශයෙන් සොයාබැලෙයි. මේ කාරණා තුන පිළිබඳව ජනතා මනෝභාවය මැන බැලීම සඳහා, තෝරාගත් පිරිසකට ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනු ලැබේ.


# දෙවැනි ප්‍රශ්නයට, එනම් රටේ දේවල් සිදුවන සමස්ත ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වන්නේද යන ප්‍රශ්නයට, ජූනි මාසයේදී ‘ඔව්’ යනුවෙන් ලැබී ඇති ප්‍රතිචාරය සියයට 12 කි. එය, පසුගිය ඔක්තෝබර් මාසයේදී සියයට 7 ක්ද, පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 4 ක්ද වී ඇත. ඒ අනුව, ජුනි මාසය අවසන් වන විට, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව බලන විට, සමස්තයක් වශයෙන් සෑහීමට පත්වන පිරිස තුන් ගුණයකින් වැඩි වී ඇති බව පෙනේ.
# තුන්වැනි ප්‍රශ්නය, එනම් රටේ ආර්ථිකය පිළිබඳ පවතින විශ්වාසය ජුනි මාසය අවසන් විට සියයට සෘණ 44 කි. එය, පසුගිය ඔක්තෝබර් මාසයේ සහ පසුගිය පෙබරවාරි මාසයේ සටහන්ව ඇත්තේ, සෘණ 78 ක් වශයෙනි. ඒ අනුව බලන විට, ආර්ථිකය පිළිබඳ ජනතාවට ඇති නොසෑහීම සහ අතෘප්තිය, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව බලද්දී, අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනේ.
අගෝස්තු 1 වැනිදා ප්‍රකාශයට පත් ‘කොළඹ පාරිභෝගික මිල දර්ශකය’ අනුව, 2023 ජුලි මාසයේ උද්ධමනය සියයට 6.3 ක් දක්වා අඩු වී ඇත. එය, ජුනි මාසයේ උද්ධමනය වශයෙන් පැවති සියයට 12 සමග සසඳද්දී අඩකට කිට්ටු ප්‍රමාණයකින් අඩු වීමකි.
ආර්ථිකය අළුගසා නැඟිටිද්දී ප්‍රජාතන්ත්‍රවාදය පල්ලම් බසී

රටක කාර්යක්ෂම ආර්ථික යාන්ත්‍රණයක් කියා දෙයක් පැවතීම සහ ඒ යාන්ත්‍රණය සමග රටේ ජනතාව සාපේක්ෂ තෘප්තියකින් බද්ධ වී සිටීම, දියුණු ආර්ථිකයක ස්වභාවයයි. එහෙත් ඉහත කී සමීක්ෂණයේදී ලැබී තිබෙන ජනතා ප්‍රතිචාරය, එවැනි තෘප්තියක් ප්‍රකාශයට පත්කරන මනෝභාවයක් වශයෙන් සැලකිය හැකි දෙයක් නොවේ. එය, වෙනම පසුබිමක් යටතේ ප්‍රකාශයට පත් මනෝභාවයකි. එය, රටේ ආර්ථික යාන්ත්‍රණය එක විට ඇණහිටිය, මෑත අතීතයක ලද ඉතා කටුක අත්දැකීම් පිළිබඳ මතක ලෝකයක සිට වර්තමානය දෙස බැලීමක් පමණි. ගෝඨාභය රාජපක්ෂ යටතේ, මේ රටේ ආර්ථික යාන්ත්‍රණය නතර විය. එනම්, මිනිසුන්ට ආර්ථික ශක්තිය ඇතත්, ඊට පිරිමැහෙන වෙළෙඳපොලක් සහ නිෂ්පාදන/සේවා ක්‍රියාවලියක් නොතිබුණි. දවස් ගණන් එක දිගට පෝලිම්වල දිගහැරුණේ එකී අකර්මණ්‍යතාවයි.
අද ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන මිනිසුන් තමන්ගේ ‘තෘප්තිමත් භාවය’ ප්‍රකාශයට පත්කරන්නේ, අර ඉහත කී ගෝඨාභයගේ අතීත අත්දැකීමේ පිහිටා ය. එය, ප්‍රකෘතිමත් සම්භාව්‍ය තෘප්තියක් නොව, ‘උන්න හැටියට මළා මදිද’ වැනි තෘප්තියකි. ඒ ගැන දිග පළල නිවැරදිව හිතේ තියාගෙන, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇතැයි ගැනීම බරපතළ වරදක් නොවේ.

අනිත් පැත්තෙන්, ආයතනික නොවන පොදු අවකාශයේ විශාල හැකිළීමක්ද පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණි. භාෂණයේ නිදහස උදුරාගනිමින් ප්‍රහසණ වේදිකාවේ කලාකාරියක් වන නතාෂා එදිරිසූරිය විලංගුවේ දැමුණි. ගිය සතියේ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, කිසි දවසක අධිකරණයක් ඉදිරියේ වරදක් වශයෙන් නොසැලකෙන ක්‍රියාවක් හෙවත් ත්‍රීවීලරයක නැඟී ගමන් කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් අඩන්තේට්ටම්වලට ලක්කෙරුණි. මෙවැනි අවකල් ක්‍රියා, සිංහල-බෞද්ධ නිර්-ලිබරල් නායකත්වයක ආවේණික ස්වභාවයක් වශයෙන් මිස, ලිබරල් යැයි හදාගත් නමක් ඇති රනිල් වික්‍රමසිංහ කෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ.

ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකු පළමු වරට වඩා දෙවැනි වාරයේදී රැවටිලිකාරී වෙයි. එය, ජේ. ආර්. ජයවර්ධනගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා, මේ විධායක ජනාධිපති ක්‍රමය තුළ, විශේෂයෙන් පෙනෙන්ට තිබුණු ලක්ෂණයකි. ඒ නිසාම, දෙවැනි වාරය පළමුවැනි වාරයට වඩා අසාර්ථක විය. මේ රැවටිලිකාරී මාවත සඳහා තෝරාගත් එක් ප්‍රධාන විෂයපථයක්, විශේෂිත නම් කිහිපයකින් හැඳින්වුණි. ඒවා නම්, ‘ජාතික සංහිඳියාව’, ‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම’ සහ ‘ජාතික ප්‍රශ්නයට විසඳුමක් සැපයීම’ ආදි වශයෙනි.
ආර්ථික සංවර්ධනයේ නාමයෙන් රටක් රැවටීම, එක පැත්තක තිබේ. මත්තල ගුවන් තොටුපොළවල් සහ නෙළුම් කුලුනු පිළිබඳ සිත්කාවදින ඉතිහාසයක් ඊට තිබේ. මේවා, විශාල පාඩුවක් දරා හෝ ආපසු හැරවිය හැකි විනාශයන් ය. එහෙත්, දෙමළ ජනවර්ගය රැවටීම, 30 අවුරුදු යුද්ධයකට තුඩුදුන් බව අපි දනිමු. එය, ආර්ථික විනාශයකට වඩා මානුෂීය විනාශයකි. විශේෂයෙන් 2009 කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු, එතෙක් දෙමළ ජනතාව වෙත දිගු කෙරුණු, ‘ත්‍රස්තවාදය’ සහ ‘අතිධාවනකාරීත්වය’ වැනි නම්වලින් හැඳින්වුණු මහජාතියේ චෝදනාත්මක ඇඟිල්ල, තමන් වෙතම දිගු කරගැනීමට, ජයග්‍රාහී සිංහල රාජ්‍ය තන්ත්‍රයට සිදු වෙයි. හෙවත්, යුද්ධයෙන් පසුව, ජාතික ප්‍රශ්නයක් නැතැයි යන පම්පෝරි කතාවට තවදුරටත් ඉඩක් ඉතිරිකොට නැති බව ය. එසේ හෙයින්, පරණ රැවටීමම තවදුරටත් අත්හදාබැලීමට යත්න දැරීම යනු, මේ ලිපියේ මාතෘකාවෙන් ගම්‍ය කෙරෙන අදහසට සමානත්වයක් දරන්නකි.
පසුගිය සතියේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම අරභයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ගැන කතාව පටන්ගත යුත්තේ එතැනිනි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලගන්වනවාද නැත්නම් එය අහෝසි කරනවාද යන්න සර්වපාක්ෂිකයන් තීරණය කළ යුතු බවයි. එහි අදහස වන්නේ, සර්ව පාක්ෂිකයන් ‘හා’ කිව්වොත් තමා එය ක්‍රියාත්මක කරන බවත්, ඔවුන් ‘බැහැ’ කිව්වොත් තමාට එය අහෝසි කළ හැකි බවත් ද?
එහෙත් ඔහු කීවේ කුමක්ද? ‘මට ජනවරමක් නැත’ යන්නයි. එතකොට, ජනාධිපති වීමට ඔහුට ජනවරමක් තිබේ ද? නැති ජනවරමක් මත පිහිටා රටේ ජනාධිපති පදවිය දැරිය හැකි නම්, ඒ නැති ජනවරම මත පිහිටාම 13 ඉදිරියට ගෙනියනවාද නැද්ද යන්න ඔහුට තීරණය කිරීමට නොහැකි වන්නේ ඇයි? මෙයින් පෙනීයන්නේ මීට කලින් සිටි සෑම නායකයෙකු මෙන්ම, විවිධ අවසරයන් යටතේ මේ කාරණය හෙවත් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්වීම මඟහැර යාමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවයි.
එක ඡන්දයකින් ජාතික ප්‍රශ්නය විසඳීම !
ජනාධිපතිවරයා කියන පරිදි ඔහුට ඇත්තේ එක ඡන්දයකි. එහෙත් ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ඡන්ද 134 ක් ලැබුණි. ඒවා ඔහුගේ පක්ෂයේ නොවුණත් ඔහු වෙනුවෙන් පාවිච්චි වූ ඡන්දයි. දැන් මුලින්ම ඔහු කළ යුත්තේ කුමක්ද? ඒ කියන 134 දෙනාගේ මේ පිළිබඳ අදහස ලබාගැනීමයි. ඉන්පසුව එම අදහස ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කරවීම සඳහා ඡන්දය පාවිච්චි නොකළ අනිත් අයට ඉදිරිපත්කොට ඔවුන්ගේ අදහස විමසා බැලීමයි. ‘සර්ව පාක්ෂික’ යනුවෙන් හැඳින්වෙන ඕනෑම දෙයක් සාර්ථක කරගත හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණි. එහෙත් ජනාධිපතිවරයා කරන්නේ කුමක්ද? මේ පිළිබඳ තමන්ගේ කඳවුරේ අදහස නොවිමසා තමන්ගේ නොවන කඳවුරේ අදහස විමසා සිටීමයි. රංගනය යනු එයයි.
හොඳයි, ඔහුගේ නොවන කඳවුර මේ කාරණය සම්බන්ධයෙන් එකඟත්වය පළ කළා යැයි අපි සිතමු. ඉන්පසු, ඒ අදහස ජනාධිපතිවරයාගේ කඳවුර ප්‍රතික්ෂේප කළොත් වන්නේ කුමක්ද? මේ කරන ලද සියලු ආයාසයන් වතුරේ යාමයි! මන්ද යත්, බහුතරය ඇති ඔහුගේ පිළේ අනුමැතිය නැතොත්, විරුද්ධ කඳවුර ‘හා’ කිව්වත් කිසිවක් කළ නොහැකි වන බැවිනි. මේ සියල්ලෙන් පෙනෙන්නේ නොකෙරෙන විදිහටම වැඩේ පටන්ගැනීමට මුල පටන්ම ජනාධිපතිවරයා තීරණයකොට ඇති බවයි.

යුද්ධය අවසන් වූ වහාම, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක්’ පත්කෙරුණි. ඒ 2010 දී ය. එහි වාර්තාව තවමත් තිබේ. 2015 යහපාලන ආණ්ඩුවෙන්, ‘සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්යසාධන බලකායක්’ පිහිටුවන ලදි. එහි වාර්තාවත් තවම තිබේ. මේ සියල්ල, පාර්ලිමේන්තු පුස්තකාලයේ සහ ජනාධිපති කාර්යාලයේ පුස්කකා තිබියදී, අලුතෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට සැරසීම යනු, ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. එතකොට, ඉතිහාසය තිබෙන්නේ විභාගවලට උත්තර ලිවීම සඳහා පමණක් ද?
(ගාමිණී වියන්ගොඩ)ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)





