The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : මනුවර්ණ කඳුළු - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

August 4, 2023 • 11:04 AM

බල්සාක් කැෆේ : මනුවර්ණ කඳුළු - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර්ජාලගත රූපරාමු රැගත් අවකාශයක ජගාගේ කතාවක් වෙතොත් එක මඟහැර නොයන පුරුද්දක් අප සතුව පවා පවතින්නේ මෙකී දේශපාලන ප්‍රවාහයේ සීමාසහිතකම් පුපුරුවා හැරිය හැකි අඩංගුවක් ඔහු සංතකයේ ඇති බව නිරීක්ෂණය කළ හැකි ඉංගිත විටින් වචන අතර රඳවාලන ප්‍රවේශයක් ඒ හැඟුම් ප්‍රකාශන මත විසිරී ඇති බැවිනි.
  • ‘සහෝදරත්වයේ දිනය’ ලෙස නම්කළ දෙමළ සංහාරයික ‘කළු ජූලියේ’ හතළිස්වැනි මතකාවර්ජන සැමරුම් වේදිකාව අබියස සිටි සහෘද ප්‍රජාවට මෙකී ‘මනුවර්ණ කඳුළු’ අත්විඳ, ඊට අනන්‍යවිය හැකි වේදනාබර මොහොතක්, නොබෝදා උදාවිය.
  • ජාතිකත්ව අනන්‍යතා ඉරිගසා වෙන් නොකොට බෙදාහදාගත් සමාජයට 83 සිද්ධ වූ සන්තෑසියත්, ඒ සංකීර්ණ තත්වයන් යටතේ වුව තවදුරටත් ජාතිකත්ව සහෝදරත්වය පවත්වාගෙන යාමට සිංහලයන් දැරූ ප්‍රයත්නයන් ගැන ද ඔහු පවසයි.
  • තමන්ගේ ගම මැදින් පයින් ගිය සදානන්දන් සහෝදරයාගේ නියපොත්තකටවත් හානියක් වීමට ගම්වාසීන් ඉඩ නොතැබූ බව පවසන හැඟුම්බර කතිකයා ඊට ම සම්බන්ද කොට මෙසේ කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අන්තර්ජාලගත රූපරාමු රැගත් අවකාශයක ජගාගේ කතාවක් වෙතොත් එක මඟහැර නොයන පුරුද්දක් අප සතුව පවා පවතින්නේ මෙකී දේශපාලන ප්‍රවාහයේ සීමාසහිතකම් පුපුරුවා හැරිය හැකි අඩංගුවක් ඔහු සංතකයේ ඇති බව නිරීක්ෂණය කළ හැකි ඉංගිත විටින් වචන අතර රඳවාලන ප්‍රවේශයක් ඒ හැඟුම් ප්‍රකාශන මත විසිරී ඇති බැවිනි.  

භාවිතය විසින් ම උරුමකර දෙන ලද රැඩිකල් පෙනුමෙන් ද, තරුණ රංගනවේදියකු මතු නොව අධ්‍යක්ෂවරයකු ලෙස අත්පත් කර ගත් කලාකාර සමාජ බලයෙන් ද, චතුර කථිකත්වයෙන් ද, ‘අවංකකමින්’ ද ආඪ්‍ය මනුවර්ණ ඇස් තෙත්වන හැඟුම් ගහණ අතිශය සංවේදී චරිතයක් බව ඔහු ඇසුරේ භාග්‍යලත් මිත්‍ර-සහෝදර සමාගමය අත්දැකීමෙන් දනිතත් පොදු සහෘද ජනතාව එතරම් සමීපව දන්නේ නැත.

 ‘සහෝදරත්වයේ දිනය’ ලෙස නම්කළ දෙමළ සංහාරයික ‘කළු ජූලියේ’ හතළිස්වැනි මතකාවර්ජන සැමරුම් වේදිකාව අබියස සිටි සහෘද ප්‍රජාවට මෙකී ‘මනුවර්ණ කඳුළු’ අත්විඳ, ඊට අනන්‍යවිය හැකි වේදනාබර මොහොතක්, නොබෝදා උදාවිය.



ඔහු සිය කතාව පටන් ගන්නේ මෙසේ කියමිනි.

‘’අපට අද සහෝදරත්වයේ දිනය නමින් සමරන්න වෙලා තියෙන්නෙ ඉතාම අමිහිරි මතකයක්.’’

wishwanadan sadanandanවිශ්වනාදන් සදානන්දන්

ඉක්බිති මනුවර්ණ කතා තේමාවට අදාලව තමන් හැදී වැඩුණු මහනුවර ගලහ කෙන්ද්‍රකරගත් ස්වකීය අත්දැකීම් පාර්ශවයේ ඇති මතක ගබඩාව අවදි කරන්නේ ඔහුට පෙර ගැයුමින් වේදිකාව වර්ණවත් කළ කලාකාර විශ්වනාදන් සදානන්දන් පිළිබඳ මතකාවර්ජනයකිනි. ජාතිකත්ව අනන්‍යතා ඉරිගසා වෙන් නොකොට බෙදාහදාගත් සමාජයට 83 සිද්ධ වූ සන්තෑසියත්, ඒ සංකීර්ණ තත්වයන් යටතේ වුව තවදුරටත් ජාතිකත්ව සහෝදරත්වය පවත්වාගෙන යාමට සිංහලයන් දැරූ ප්‍රයත්නයන් ගැන ද ඔහු පවසයි. තමන්ගේ ගම මැදින් පයින් ගිය සදානන්දන් සහෝදරයාගේ නියපොත්තකටවත් හානියක් වීමට ගම්වාසීන් ඉඩ නොතැබූ බව පවසන හැඟුම්බර කතිකයා ඊට ම සම්බන්ද කොට මෙසේ කියයි.

‘’හැබැයි අසූතුනෙන් පස්සෙ - මේ මෑතක - අපේ ගම්වල මේ ජාතිවාදය ඉස්සරට වැඩි වෙනස් මුහුණුවරකින් වෙන ආරකින් දලුලන්න පටන් ගත්තා’’

ඔහුගේ කතාවේ වැදගත්ම පොයින්ටුව සම්බන්දවන්නේ එතැන්ට ය. ඒ මෙයයි. එතෙක් පැවති ජාතික සමගිය සුන්නද්දූලි කර දැම්මේ රාජපක්ෂලාගේ දේශපාලනය විසින් බවට ඔහු කරන ප්‍රකාශයයි. මෙම ලියවිල්ලේ ආරම්භයේදීම මා ලියූ වැකියක් යළි මෙනෙහි කිරීමට අවසර! ඒ මනුවර්ණගේ කතා තුළ පවතින දේශපාලන ඉංගිත ගැන යි.  ජාතික ජනබලවේගය නම් දේශපාලන ප්‍රවාහයේ පවතින සීමාසහිතකම් පුපුරුවා හැරිය හැකි අඩංගුවක් මනුවර්ණ සංතකයේ ඇති බවට අප සතු නිරීක්ෂණයයි.

361646444 839235467560357 2392650870834334629 n
නමුත් ප්‍රශ්නය මෙයයි.

මනුවර්ණ සහෝදරයා සදානන්දන් හරහා ගොඩනඟන දේශපාලන තර්කය නතර වන්නේ කොතැනින් ද? ඔහුට මඟහැරෙන සත්තාව කවරක් ද? නො එසේ නම් ඔහු සවිඥානිකව මඟ හරින සත්තාව කවරක් ද? 

සමස්ත සිංහල බෞද්ධ සමාජයම එකාවන්ව කම්පාවිය යුතු ඇඬිය යුතු වැළපිය යුතු රිද්දනසුළුම උදාහරණය මනුවර්ණ තමන්ගේ හැඟුම්බර කතාවේ අඩංගුවට ආයෝජනය කර ගනියි. ඒ, කේ. වෙන්කට් නම් සිනමාකරුවා ගැනයි. ඔහු මරා දැමුණු අතීත ය ගැන යි. දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයකුගේ ඇස්වලට, නොදන්නා සිනමා අධ්‍යක්ෂකවරයකු වෙනුවෙන් කඳුළු උනන්නේ ඒ සිද්ධිය තුළ වන ඉහිලුම් නොදෙන කෲරත්වය නිසා ය.

venkat

ඒ. කේ. වෙන්කට්

’මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ’’ වැනි මොහිදීනියානු හඬ පෞරුෂය මෙනෙහි වන තුඩ තුඩ රැවුදෙන ගීත ඇතුළත් සිංහල සිනමා රසිකයන් රසවිඳි සිනමාකෘති ගණනාවකම තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා වූ වෙන්කට්ගේ මරණය කඳුළු බවට පරිවර්ථනය වන වැදගත්ම නිර්මාණය ප්‍රවේශය වැටී ඇත්තේ ‘සිරි පතුළ’ හරහා යි. එහිදී මොහිදීනියානු වරනැඟුමෙන් බෞද්ධ සන්දර්භය තුළ සකළ හදවත් මෙසේ සහෝදරත්වයෙන් අවුළුවයි.

‘’සකල සතම බොදු බැතියෙන්
නමදිමු බිඳහැර සැම බේදේ
සුගත තථාගත
ලෝක සිවංකර‍
සම්බුදු සිරිපාදේ’’

නමුත් සිංහල බෞද්ධයෝ, ගීතයෙන් යෝජිත සහෝදරත්වයෙන් ඇවිලෙනු වෙනුවට එසේ යෝජනා කළ කලාකරුවා ‘සිරිපතුළ’ හැදුවේ තමන් බව කියද්දී ම ඔහුගේම මෝටර් රථය තුළට දමා පණපිටින්ම අවුළුවා දැම්මාහු ය. මෙකී නීච නින්දිත පාහර පාදඩ දාමරිකයන්ට ‘සිරිපතුළට’ වඩා ලොකු වී තිබුණේ ‘බාල්දිය’ යි.  සහෝදරත්වයේ සැමරුම දා‍ එනම් මෙකී වෙන්කට් ඝාතනයෙන් හතළිස් වසකට පසු පවා මනුවර්ණට කඳුළු සැළෙන ඉහිලුම් නොදෙන යථාර්ථයක් මෙකී සිද්ධිය තුළ පවතින බව යළි යළිත් කිව යුතු නැත. එසේ වන්නේ වන නමුත් මනුවර්ණ කඳුළු විසින් සැඟවෙන දේශපාලන යථාර්ථයක් ඔහුගේ හැඟුම්බර කතාවේ පවතින්නේ නොවේ ද?

පොදු මහ ජනතාව ප්‍රසිද්ධියේ මනුවර්ණ කඳුළු දුටු පළමු මොහොත - බොහෝ විට මනුවර්ණ නම් සටන්කාමී දේශපාලන ක්‍රියාධරයා ව්‍යුත්පන්න වූ මුඛ්‍යතම සංසිද්ධිය - 2014 වසරේ අවසන් හෝරා අතර පිටකෝට්ටෙ සෝලිස් ශාලාවේ පැවති  ‘අලුත් පරපුර’ ප්‍රවෘත්ති සාකච්ඡාවයි. කුඹුක්ගැටේදී ප්‍රහාරයට ලක්වූ කලාකරුවන් වෙනුවෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී, ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වන මේ කාලකණ්ණි ඩිස්නිලන්තයට නොහොත් මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට තමන් ජාතක කළ මොහොතේ තමන්ගේ අම්මා සහ තාත්තා තමන්ගේ බෙල්ල මිරිකා කානුවකට විසිකර නො දැම්මේ ඇයි’දැයි වේදනාබරව සහ ආවේගශීලීව ප්‍රශ්න කරන මනුවර්ණ කඳුළු සළයි. 



මනුවර්ණ කඳුළු දුටු පළමු මොහොතේම ලියූ සටහනක අවසානයේ අපි මෙසේ ලීවෙමු. ‘‘කොල්ලො !  මුල්ලිවයික්කලෙදි නැතිවුනු ශිෂ්ඨාචාරෙ යතුර කුඹුක්ගැටේදි හම්බවෙයි කියලා හිතන්න එපා. ඒ හින්දා අඬන්නෙ නැතුව අඛන්ඩව සටන් කරපං.‘‘

තර්කයක් නැත; ඔහු නිෂ්චිත ව ම සටනට අවතීර්ණව තිබිණ. ඔහුගේ සටනට මඟ පෙන්වා තිබුණේ ‘මාලිමාව’ යි. නමුත් ඔහු තමන්ට ම අනන්‍ය, තමන්ගේ ම අඩංගුව හිමින් හිමින් සමාජය වෙත කාන්දු කරන බව ඔහුගේ සමස්ථ භාවිතය සමීපව නිරීක්ෂණය කළ විට පෙනී යන්නකි. ‘වේදිකා කතා’ ඉක්මවූ ඔහුගේ කලාත්මක භාවිතය තුළ එය වරනැඟෙන බව, මාලිමා ව්‍යාපෘතිගත නැති ඇතැම් වාම රැඩිකල් ක්‍රියාදරයන්ගේ ප්‍රකාශ තුළින් පවා නිරීක්ෂණය කළ හැක්කකි. මනුවර්ණගේ සිනමා සම්ප්‍රාප්තිකර ‘රහස් කියන කඳු’ අතිවිශේෂ දර්ශන නැරඹූ විදර්ශන කන්නංගර සහෝදරයා ඔහුට ලබා දෙන මේ සහතිකය බලන්න!

‘’ජගත් මනුවර්ණ කියලා කියන්නෙ කලාව සහ ලංකාවේ විමුක්තිවාදී දේශපාලනය ඉතිහාසය සම්බන්දයෙන් ඉතාම සවිඥානික කලාකරුවෙක්. කලාව හා දේශපාලනය අතර තියෙන සම්බන්දය ගැන ඉතාමත් දැනුවත් අදහසක් තියෙන කලාතුරකින් ඉන්න අපේ පරම්පරාවෙ අධ්‍යක්ෂවරයෙක්.’’



දැන් නැවත මනුවර්ණගේ ‘කේ.වෙන්කට් කඳුළු’ වෙත පිවිසෙන්නේ නම් ඒ කඳුළු ගැන මා ගොඩනඟන මේ ප්‍රවාදය කියවා ගැනීම පහසු විය හැකි ය. ඒ කුමක් ද?

සහෝදරත්වයේ සැමරුම් දින වේදිකාවේ ගලා යන මනුවර්ණ කඳුළු වලට මඟහැරෙන සත්තාව කවරක් ද? නො එසේ නම් ඒ කඳුළු සවිඥානිකව මඟ හරින සත්තාව කවරක් ද යන්න යි.

ඔහු ම පවසන පරිදි ජාතික සමගිය සුන්නද්දූලි කර දැමුණේ රාජපක්ෂලාගේ දේශපාලය විසින් නම් එකී දේශපාලනයේ දෘෂ්ටිවාදය සකස්වුණේ කොහොම ද?

sri lanka m 3

නන්දිකඩාල් කඩපුව දෙමළ රුහීරයෙන් පිටාර ගැලන්නට සලස්සමින් මුල්ලිවෛක්කාල් හිදී දෙමළ මළ මිනිසුන් කඳුගසා ‘යුද්ධය අවසන්’ යැයි රාජපක්ෂවාදය නිවේදනය කළ විට හන්දියක් හන්දියක් ගාණෙ කිරිබත් කන්නට තරම් සිංහලයා මුසපත් කළ කෲරතර වූ මෙකී දෘෂ්ටිවාදී පදනම සකස්වූයේ කෙසේ ද?

එය වෙන්කට් මරා දැමූ ඉතිහාසයේ ම දිගුවක් නොවේ ද? සැබැවින් ම නම්, පාදඩ ජාතික මමංකාරයේ කූඨප්‍රාප්තිය නොවේ ද? ඒ ඉතිහාසය සහ මනුවර්ණ කඳුළු සැළෙන වේදිකාව අතර පවතින සහසම්බන්දය කුමක් ද?

කැළුම් විජේසූරිය සමඟ සිදුකළ 'හදවතින් හදවතට' යූ ට්‍යූබ සංවාදයේ එක්තැනකදී මනුවර්ණ මෙසේ කියයි.

"වහලා ගහනවා කියලා එකක් අපි කරනවා නෙ; ඒ වහලා ගැහිල්ල මට හරියන්නෙත් නෑ; මං ඒකට කැමතිත් නෑ".



දේශපාලන වේදිකාවක, මීළඟ උද්වේගකර හැඟුම්බර හැඬුම්බර දේශපාලන කතාවක ‘ජගා’ හෙවත් ජගත් මනුවර්ණ කොඩිතුවක්කු  නම් අප මිත්‍රයාට, සහෝදරයාට මෙම රාජපක්ෂවාදය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි නම් විදර්ශන කන්නංගර සහෝදරයා ඔහු ගැන පැවසූ කතාව පිළිබඳ නැවත සිතා බලන්නට අපට පිළිවන.



Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023  අගෝස්තු 6)

Anida


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...