The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යන්නෙ කොහෙද මල්ලෙ පොල් - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

August 16, 2023 • 3:54 PM

යන්නෙ කොහෙද මල්ලෙ පොල් - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන සිටීම දක්ෂ ආණ්ඩුවක රහස් ගුණයයි.'' - වික්ටර් හියුගෝ ''ලේ මිසරාබ්ලේ'' වැනි මහාර්ඝ නවකතාවක් ලියු ශ්‍රේෂ්ඨ ගත්කරු 'වික්ටර් හියුගෝ ' සාර්ථක ආණ්ඩුවක හැඩරුව මෙසේ විය යුතුයැයි උපකල්පනය කරන්නේ මේ ආකාරයටයි.
  • මුලින්ම 'අනාගතය'යනු කුමක්දැයි අප වටහාගත යුතුව ඇත.
  • එහෙත් ඊට ප්‍රතිපක‍ෂව අප අතීතයේ යල්පිනූ සාම්ප්‍රදායික සමාජ සංවර්ධනයට දායක නොවන හතමිටිකර තබාගෙන වර්තමානය තුළ ජීවත් වන්නේ නම් අපේ අනාගතයද අතීතය මෙන් වර්තමානය වෙනුවෙන් අපට ඉතිරි කරනු ඇත්තේ මිනිස් වාසයට සරිලන දියුණු ලෝකයක් නොවේ.
  • කෙසේ වෙතත් 'වික්ටර් හියුගෝ'ට අනුව ''අනාගතයෙන් හරියටම කොපමණ ප්‍රමාණයක් වර්තමානය තුළට ඇතුළු කර ගැනීමේ රහස් ගුණය '' පිළිබඳව වත්මන් ආණ්ඩුව අවබෝධයක් ලබා සිටින්නේ ද?
අකුරු ප්‍රමාණය (Font Size):

දැන සිටීම දක්ෂ ආණ්ඩුවක රහස් ගුණයයි.'' - වික්ටර් හියුගෝ


''ලේ මිසරාබ්ලේ'' වැනි මහාර්ඝ නවකතාවක් ලියු ශ්‍රේෂ්ඨ ගත්කරු 'වික්ටර් හියුගෝ ' සාර්ථක ආණ්ඩුවක හැඩරුව මෙසේ විය යුතුයැයි උපකල්පනය කරන්නේ මේ ආකාරයටයි. මුලින්ම 'අනාගතය'යනු කුමක්දැයි අප වටහාගත යුතුව ඇත.

අනාගතය නිර්මාණ වන්නේ අතීතයේත්, වර්තමානයේත් අත්දැකීම් සම්භාරය තෝරා බේරා වෙන්කරගෙනම නොවේ. අතීතයේ සහ වර්තමානයේ යහපත් සහ අයහපත් දෑ සියල්ලම අනාගතය තුළ ඒ ආකාරයටම ප්‍රතිනිර්මාණය වේ.

එහෙත් වර්තමානයේ ජීවත්වන අප අනාගත ලෝකයේ පිළිබිඹුව වර්තමානය තුළින් දකින්නෙමු. විශේෂයෙන්ම විද්‍යාව, තාක‍ෂණය ආදිය ඇසුරෙන් බිහිවන නවෝත්පාදන වලින් සමන්විත අති නවීන ලෝකය අප දකින්නේ වර්තමානයේ දී මොහොතින් මොහොත දියුණුුවන නවීන විද්‍යාත්මක තාක‍ෂණික ලෝකය ඇසුරිනි.

එහෙත් ඊට ප්‍රතිපක‍ෂව අප අතීතයේ යල්පිනූ සාම්ප්‍රදායික සමාජ සංවර්ධනයට දායක නොවන හතමිටිකර තබාගෙන වර්තමානය තුළ ජීවත් වන්නේ නම් අපේ අනාගතයද අතීතය මෙන් වර්තමානය වෙනුවෙන් අපට ඉතිරි කරනු ඇත්තේ මිනිස් වාසයට සරිලන දියුණු ලෝකයක් නොවේ.


අදටත් තාක‍ෂණයේ අනුහසින් මුළු ලෝකයම එකම ගම්මානයකි. නිමේෂයකින් වෙනත් රටක ජනයාගේ සිතුම් පැතුම්, සංස්කෘතිය පිලිබඳ දැනුමක් ලබාගැනීමට අපට හැකියාව තිබේ.

කෙසේ වෙතත් 'වික්ටර් හියුගෝ'ට අනුව ''අනාගතයෙන් හරියටම කොපමණ ප්‍රමාණයක් වර්තමානය තුළට ඇතුළු කර ගැනීමේ රහස් ගුණය '' පිළිබඳව වත්මන් ආණ්ඩුව අවබෝධයක් ලබා සිටින්නේ ද? සැබැවින්ම නැත. එය සැබෑ නම් වත්මන් ආණ්ඩුව දක්ෂ ආණ්ඩුවකි. එය සැබෑවක් නොවන නිසාම වත්මන් ආණ්ඩුව දක්ෂ ආණ්ඩුවක් නොවේ. මක්නිසාදයත් ආණ්ඩුව සෑම අංශයකින්ම අසාර්ථකත්වය පෙන්නුම් කරන බැවිනි.

විදුලි අර්බුදය, සෞඛ්‍ය අර්බුදය, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අර්බුදය ආදී අටෝරාසියක් අර්බුද අතරේ සෙලවෙමින් තිඛෙන දතක් සේ පවතින වත්මන් ආණ්ඩුව ආර්ථීක අර්බුදයට එකම පිළියම ලෙස සලකනු ලබන්නේ රට සතු සම්පත් සහ දේපල වෙන්දේසියේ දැමීම සහ ණය ගැනීම පමණෙකි.

බිත්තරය පවා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන ආණ්ඩුවට කිසිදු අර්බුදකාරි ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ස්ථීරසාර විසඳුම් නැත. පොදුජන පෙරමුණු ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර පවත්නා සීතල යුද්ධය හෙට දවසට කිනම් ප්‍රතිඵලයක් උදාකර දෙනු ඇත්ද? විශේෂයෙන්ම මැතිවරණ සිතියම හකුලා දමා ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කරන තත්ත්වයකට පත්ව ඇති ආණ්ඩුව ජනතාව විඳින දුක් පීඩාවන්ට එකම විසඳුම ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය නමැති පෙත්ත ගිල්ලවීමට මාන බලමින් සිටියි. එබැවින් වත්මන් ආණ්ඩුව ජනතාව සතු සිතුම්පැතුම් වලට එරෙහිව ස්ව කැමැත්තට අනුව කටයුතු කරමින් සිටින වග රහසක් නොවේ.



''මිනිසා ලඟා කරගත නොහැකි සත්‍යය වෙත ලඟාවන්නේ වැරදි පෙළක් තුළිනි. '' යනුවෙනි.   'ඇල්ඩවුස් හක්ස්ලි' ප්‍රකාශ කරනු ලබන කියමනෙහි 'මිනිසා' යන්න වෙනුවට 'ශ්‍රී ලංකාවේ ජනතාව' යනුවෙන් එය සංශෝධනය කළත් එහි වරදක් නැත්තේය.



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 'විශේෂ තත්ත්වය' ගෙන බලන්න. බාල ඖෂධ ගෙන්වීම, රෝගීන් මියයාම, දහස් ගණනින් වෛද්‍යවරු රට හැරයාම ආදිය නිසා ජනතාව පීඩා වි`දින අන්දම සෞඛ්‍ය ඇමතිට තබා රටේ නායකයාටද වගේ වගක් නැති බව පෙනීයයි.

අර්බුදයකින් තොරව රටට ජනතාවට හිතකරව සංවර්ධනය වන ක්ෂේත්‍රයක් ඇත්තේම නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට මැති ඇමැතිවරු උපහාසාත්මක සිනහපා ලැජ්ජා සහගතව මාරු වී යන අන්දම රූපවාහිනියෙන් පෙන්වනු ලැබීය. ඇත්තෙන්ම මෙවැනි ආණ්ඩුවකින් රටට ඇති ඵලය කුමක් ද? තින්ත කසාය බීපු ගොළුවන්සේ හැසිරෙන මේ ආණ්ඩුවේ ඇත්තන්ට ඊළඟ මැතිවරණයකින් සිද්ධ විය හැකි අභාග්‍ය සම්පන්න ඉරණම කල්තියාම දැන සිටින බැවින් ආණ්ඩුවේ ඇත්තෝ 'පෙරසේම' යටිමඩි ගසමින් විනෝද වෙමින් කල්ගෙවති. ආණ්ඩුවේම මැති ඇමැති පිරිසක් නුවරඑළියේ සැප ගනිමින් ක්‍රිකට් ගසා විනෝද වන්නේ රට ස්වයංපෝෂිත ආශ්චර්යමත් රටක් යැයි සිතන නිසාවෙන්ද?

ආසියාවේ ආශ්චර්ය, සෞභාග්‍යයේ දැක්මට හැරී පසුගිය කාලයේ ඉන්න නොහිතෙන රටක් බවට පත්කළ වත්මන් ආණ්ඩුවේ ඇත්තන් රැකීම මිස ජනපතිට අන් කාර්යයක් නැති බව හැඟුනත් සියල්ලම අලෙවි කිරීම හැර අන් කවර දෙයක් ගැනවත් හැඟීමක් නැති ගානට කල්මරමින් සිටියි. සමෘද්ධිය අහෝසි කර අස්වැසුම ගෙන ඒම හැර ආණ්ඩුවට ජනතාවාදී චර්යා රටාවක් නැති බව පෙනීයයි.

රට පුරාම ප්‍රචණ්ඩත්වයේ මානසිකත්වය බෝ වෙමින් පවතින අතර පාසල් දරුවන් පවා වැඩිහිටියන්ට පහරදෙන තත්ත්වයක් උද්ගතව ඇත. සිය දිවිනසා ගැනීම් සංඛ්‍යාව, රිය අනතුරු සංඛ්‍යාව, මිනිස් ඝාතන සංඛ්‍යාව ආදී වශයෙන් වසසනකාරී අත්දැකීම් වලට මුහුණ පාන්නට ලාංකීය ජනතාවට සිදුවී තිබේ.

පළාත් පාලන මැතිවරණය මුදල් නැති නිසා පැවැත්විය නොහැකියැයි පැවසු ආණ්ඩුවේ නායකයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා 13 බලාත්මක කිරීමේ වැයම තුළ නිරන්තරව රැඳී සිටින බව සැබෑවකි. මාධ්‍ය නිදහස වැළලීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් තිඛෙන ආණ්ඩුව අදහස් ප්‍රකාශනයේ නිදහසද අහිමි කරන්නට පිඹුරුපත් සකසමින් සිටියි.



'' ප්‍රජාතන්ත්‍රවාදයේ පරීක්ෂණය විවේචනය කිරීමේ නිදහස බව''  'ඩේවිඩ් ඛෙන් ගුරියන්' කියා තිබේ. ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ට එන්න යැයි කියා ත්‍රීකුණාමලය පෙන්වන ආණ්ඩුව සියළුම ආකාරයෙන් හිස් ඉඩම් පිටරැටියන්ට විකුණා දැමීමට සැළසුම් කරමින් සිටියි. වැලිකඩ බන්ධනාගාර භූමියද මේ වනවිට විකිණිම සඳහා යත්න දරමින් සිටින ආණ්ඩුවේ ගමන කොහෙන් නතර වේදැයි කිව හැක්කේ දෙවියන්ට පමණක්ය. යන්නේ කොහේද මල්ලේ පොල්ය.




mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...