The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ද්‍රවිඩ භාෂා පවුලෙන් හමුවන ඊළාම් නිජබිම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 19, 2023 • 4:24 PM

ද්‍රවිඩ භාෂා පවුලෙන් හමුවන ඊළාම් නිජබිම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝන්ඩි, බ්‍රාහුයි, තුලු, කුරුඛ්, මෝල්ටෝ, කුරුම්බා ආදී දැනට භාවිත කෙරෙන ද්‍රවිඩ භාෂා 70 ක් පමණ හඳුනාගත හැකි අතර කතා කරන ජනගහනය අනුව තෙලුගු, දෙමළ, කන්නඩා සහ මලයාලම් අනුපිළිවෙලින් ප්‍රධාන වේ.
  • ලෝකයේ වෙනත් කිසිදු භාෂා පවුලකට පැහැදිලිව නෑකම් නොකියන බැවින් ද්‍රවිඩ භාෂා පවුලේ සම්භවය සහ එහි සාපේක්ෂ ස්ථානය පිළිබඳව ඇත්තේ මතභේදයකි.
  • නමුත් 1981 වර්ෂයේ මහාචාර්ය ඩේවිඩ් මැක්ඇල්පින් විසින් පළ කළ “ප්‍රාග්-ඊළාම්-ද්‍රවිඩ (භාෂාව): සාක්ෂි සහ සම්බන්ධය” (Proto-Elamo- Dravidian: The Evidence and its Implications) නමැති පොතේ ද්‍රවිඩ භාෂා සම්භවය පිළිබඳව වැදගත් පර්යේෂණයක් හමුවේ.
  • මහාචාර්ය මැක්ඇල්පින් පෙන්වන ආකාරයට ද්‍රවිඩ භාෂා ආරම්භ වන්නට ඇත්තේ ක්‍රි.පූ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝන්ඩි, බ්‍රාහුයි, තුලු, කුරුඛ්, මෝල්ටෝ, කුරුම්බා ආදී දැනට භාවිත කෙරෙන ද්‍රවිඩ භාෂා 70 ක් පමණ හඳුනාගත හැකි අතර කතා කරන ජනගහනය අනුව තෙලුගු, දෙමළ, කන්නඩා සහ මලයාලම් අනුපිළිවෙලින් ප්‍රධාන වේ.

pak

වර්තමාන දකුණු සහ මධ්‍යම ඉන්දියානු ප්‍රදේශවල වැඩිපුර කතා කෙරුණත් ද්‍රවිඩ භාෂා කතාකරන්නන් ඉන්දියාවේ වෙනත් ප්‍රදේශ සහ ලෝකයේ බොහෝ රටවල පැතිර සිටියි. බ්‍රාහුයි වැසියන් ජීවත් වන්නේ වත්මන් පකිස්ථානයේ ප්‍රාන්තයක් වන බලොකිස්ථාන් (Balochistan) ආශ්‍රිතවය.

 

ලෝකයේ වෙනත් කිසිදු භාෂා පවුලකට පැහැදිලිව නෑකම් නොකියන බැවින් ද්‍රවිඩ භාෂා පවුලේ සම්භවය සහ එහි සාපේක්ෂ ස්ථානය පිළිබඳව ඇත්තේ මතභේදයකි. නමුත් 1981 වර්ෂයේ මහාචාර්ය ඩේවිඩ් මැක්ඇල්පින් විසින් පළ කළ “ප්‍රාග්-ඊළාම්-ද්‍රවිඩ (භාෂාව): සාක්ෂි සහ සම්බන්ධය” (Proto-Elamo- Dravidian: The Evidence and its Implications) නමැති පොතේ ද්‍රවිඩ භාෂා සම්භවය පිළිබඳව වැදගත් පර්යේෂණයක් හමුවේ. මහාචාර්ය මැක්ඇල්පින් පෙන්වන ආකාරයට ද්‍රවිඩ භාෂා ආරම්භ වන්නට ඇත්තේ ක්‍රි.පූ. 3200–539 අතර පැවති ඉපැරණි ශිෂ්ටාචාරයකිනි. සිත්ගන්නා සුලු කාරණය වන්නේ එම රාජ්‍යය නමින් “ඊළාම්” (Elam) ලෙස එකල හඳුන්වා තිබීමය. නමුත් එය තිබී ඇත්තේ ලංකාව හෝ ඉන්දියාව හෝ ලෙස වත්මනේ හඳුන්වන ප්‍රදේශයක නොවේ.

Elam

එය තිබී ඇත්තේ වත්මන් ඉරාන-ඉරාක දේශ සීමාවේය. පර්සියානු බොක්කට නැගෙනහිරින්ද සැග්‍රෝස් කඳු පන්තියේ (Zagros Mountains) සහ ඊට බටහිරින්ද මෙම ඊළාම් ශිෂ්ටාචාරය තිබුණු බවට සාක්ෂි තිබේ. අදටත් එම ප්‍රදේශයේ එක් ප්‍රාන්තයක් හඳුන්වන්නේ ඉලාම් (Ilam Province) ලෙසය. ඉපැරණි ඊළාම් වැසියන් කතා කළ ඊළාම් භාෂාව (Elamite) සහ පැරණි සහ නව ද්‍රවිඩ භාෂා අතර පැහැදිලි වාග්විද්‍යාත්මක සමානකම් සිය පොතෙන් මැක්ඇල්පින් පෙන්වා දෙයි. එම භාෂාවල දැකගත හැකි මූලික ස්වර, රූප, වාක්‍ය ව්‍යුහය, ව්‍යාකරණ සහ නිරුක්ති වැනි අංශ රැසක් යොදාගනිමින් ඔහු එම සමානකම් පෙන්වා දෙයි.

 

අසල්වැසි මෙසපොටේමියාව සහ පර්සියාව සමග කලින් කලට යුද්ධ කරමින් ඒවායේ අධිරාජ්‍යයන්ට යටත් වෙමින්ද නැවත ස්වාධීන වෙමින්ද රජ පෙළපත් ගණනාවකින් පරිණාමය වූ ඊළාම් රාජ්‍යය ඉන්දු නිම්නයේ හරප්පා ශිෂ්ටාචාරය සමග වෙළඳ සම්බන්ධතා පවත්වා තිබෙන බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවේ. ද්‍රවිඩ ආගමිකයන් අදහන ත්‍රිදේවී සංකල්පයට සමානව ඉපැරණි ඊළාම් වැසියන්ද ප්‍රධාන කාන්තා දෙවිවරු තිදෙනෙක් අදහා තිබීම විශේෂත්වයකි. ඊළාම් සංස්කෘතිය කාන්තා මූලිකව තිබෙන්නට ඇතැයි සැලකේ.

 

මැක්ඇල්පින් සහ තවත් පර්යේෂකයන්ගේ මතයට අනුව මෙම ඉපැරණි ඊළාම් භාෂාව කතා කළවුන් ක්‍රමයෙන් පෙරදිගට සංක්‍රමණය වී (ඊට පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණ සිටි ජනකොටස් සමග මිශ්‍ර වී) තිබේ. එම මතය සනාථ කරන ජානවිද්‍යාත්මක සාක්ෂිද යම් ප්‍රමාණයක් තිබේ. බ්‍රාහුයි යනු එම ගමන අතරතුර වත්මන් පකිස්ථානය ආශ්‍රිතව ඉතිරි වුණු පිරිසක් විය හැකිය. නොඑසේ නම් ඊළාම් සහ බ්‍රාහුයි භාෂා දෙකට පූර්වජ ප්‍රාග්-ඊළාම් භාෂාවක් තිබී ඇත. එයට සමාන්තරව ප්‍රාග්-ද්‍රවිඩ භාෂාවක් තිබී ඇත. ඒ සියල්ලටම පූර්වජ භාෂාවක් කතා කළ ගෝත්‍රයක් සැග්‍රෝස් කඳු ආශ්‍රිතව සිටින්නට ඇත. (භාෂා ගස සහිත රූපය බලන්න)

xdgrt

 

ඊළාම්-ද්‍රවිඩ සම්භවය පිළිබඳ මෙම මතය පිළිනොගන්නා භාෂා ශාස්ත්‍රඥයන්ද සිටී. මහාචාර්ය මැක්ඇල්පින් සහ තවත් අයගේ පර්යේෂණ විවේචනය කරන ඔවුන් කියන්නේ ඉපැරණි ඊළාම් භාෂාව සහ ද්‍රවිඩ භාෂා අතර පිළිගත හැකි සම්බන්ධයක් නොමැති බවයි. මැක්ඇල්පින්ගේ පොත සහ ඊට අදාළ තවත් පර්යේෂණ කියවා සාක්ෂි පිරික්සා ඒ පිළිබඳව තීරණය කිරීම ඔබට බාර කරමි. මට අනුව නම් මැක්ඇල්පින් ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ප්‍රමාණවත්ය. ඔහුගේ නිගමන තාර්කිකය.

 

මෙම සාකච්ඡාවේ අපට වැදගත් හඳුනාගැනීමක් වන්නේ “ඊළාම්” යන වචනයේ සම්භවය සහ අර්ථය පිළිබඳව වෙනස් ඓතිහාසික දේශපාලනික “ස්ථානීය” විග්‍රහයක් ලැබීමයි. භාෂාව යනු මානව ඉතිහාසයට ඇති සජීවී සාක්ෂියකි. දෙමළ භාෂාවේ ද්‍රවිඩ සම්බන්ධය අවිවාදිතය. දෙමළ නිජබිම පිළිබඳව අදහස ඒ අනුව ද්‍රවිඩ භාෂා පවුලට අදාළව විමසිය යුතුය. ඒ අනුව ද්‍රවිඩ භාෂාවල නිජබිම ලංකාව නමින් හඳුන්වන භූමියේ තිබෙනවා යැයි කීම අවිද්‍යාත්මකය.

 

ධර්මය අපට මග වේවා.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 අගෝස්තු 19

 

 

මූලාශ්‍ර සහ රූප:

McAlpin, D. (1981). Proto-Elamo-Dravidian: The evidence and its implications. Transactions of the American Philosophical Society. 

Narasimhan, V. M., Patterson, N., Moorjani, P., Lazaridis, I., Lipson, M., Mallick, S., … Reich, D. (2018). The Genomic Formation of South and Central Asia. 

Hypothesized tree of the Elamo-Dravidian language family - By Vishamasiddhi, Own work CC BY-SA 4.0 

Distribution of the Dravidian languages - By Noahedits - Own work, CC BY-SA 4.0,

Map showing the area of the Elamite Empire (in orange) and the neighboring areas. Derivative work: Morningstar1814, CC BY-SA 3.0 

Proto-Elamite kneeling bull holding a spouted vessel - Sajjadi Livejournal, CC BY 2.0

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...