The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අමතක ජාතිය

T

The Leader Desk

August 20, 2023 • 5:41 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අමතක ජාතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු කිව්වත් නැතත් කතාව ඇත්තය.
  • ජාතික ගීය ගැන පසුගිය දිනවල ඇතිවුණු උණුසුම දැන් කාටවත් මතක නැත.
  • පොඩ්ඩ වැරදුණොත් ගස් බැඳ, තලා පෙලා, මරා දැමීමට ද ඉඩ ඇත.
  • එක් අයිරිෂ් විහිළුවක කියැවෙන අන්දමට ඒ රටේ ඉණිමංවල ඉහළම පියගැටයේ 'නවතිනු' (STOP) යනුවෙන් සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කවුරු කිව්වත් නැතත් කතාව ඇත්තය. හේතුව නම් නොදනිමු. ජිප්සීස් සුනිල් ද කියූ අන්දමට, ලංකාවේ බොහෝ දේවලට දිය හැකි පිළිතුර 'අයි ඩෝන්ට් නෝ වයි' ය.

ජාතික ගීය ගැන පසුගිය දිනවල ඇතිවුණු උණුසුම දැන් කාටවත් මතක නැත. ඒ පිළිබඳව මුහුණු පොතේ තිබූ සටහනකි මේ.

'අපිට අන්තිමේට ධාන්‍යත් නෑ...
ධනයත් නෑ, පළතුරුත් නෑ, ජයත් නෑ, 
භූමියත් නෑ, රම්‍යා ආගිය අතකුත් නෑ!'

ජාතිය, ආගම, භාෂාව පමණක් නොව ජාතික ගීතයත් මාකට් කළ හැකි රටක් ලොව වෙත්නම් ඒ සිරි ලංකාවමය. දේශප්‍රේමය, දේශ වාත්සල්‍යය, ජාත්‍යාලය, භාෂා ප්‍රේමය වැනි සංකල්ප හැම එකකටම මේ දූපතේදී, මූල්‍යමය හා දේශපාලනික වටිනාකමක් ලැබේ.
 
රට, ජාතිය, ආගම ගැන විහිළු කිරීම මේ රටේදී ජාතික අපරාධයකි. පොඩ්ඩ වැරදුණොත් ගස් බැඳ, තලා පෙලා, මරා දැමීමට ද ඉඩ ඇත. සාමාන්‍ය ජනතාව පවා ඉතා නීතිගරුකය. එහෙයින්, බොහෝ විට තමන්ම නීතිය අතට ගෙන ක්‍රියාවට නංවති. එවිට බඩුත් ජනතාවගේය. නඩුත් ජනතාවගේය.
සමහර රටවල ජනතාව තමන්ගේ මෝඩකම්, ගොන්කම්වලට තමන්ම සිනාසෙති. අයර්ලන්ත ජාතිකයන්ගේ 'අයිරිෂ් ජෝක්ස්' ඊට හොඳ නිදසුනකි. එක් අයිරිෂ් විහිළුවක කියැවෙන අන්දමට ඒ රටේ ඉණිමංවල ඉහළම පියගැටයේ 'නවතිනු' (STOP) යනුවෙන් සඳහන් කර ඇත. නැත්නම්, ඔවුන් තවත් ඉහළ නගින්නට තැත් කරනු ඇත.
 
8589130531054 punjabi culture wallpaper hd1

පංජාබ් වාසීන් නැතහොත් සීක ජාතිකයාද තමන්ටම සිනාසීමට කැමැත්තෙකි. ඊට හොඳම නිදසුන කුෂ්වන්ත් සිං ය. ඔහු විවිධ විහිළු කතා එකතු කර, පොත් වශයෙන් පළ කළේය. ඉන් බොහෝමයක් සීකයන් විසින් සීකයන්ටම සිනාසෙන, එහෙත් 'සික්' නැති උපහාසයන්ය.

එක් කියුමක් මෙසේය.

'සීක කාන්තාවන් ඒ ඒ අවස්ථාවට, තැනට ගැලපෙන සේ ඇඳුම් ඇඳීමට දක්ෂය. ආගමික උත්සවවලදී ඊට ගැලපෙන සේ අඳිති. මංගල්‍ය හෝ අවමංගල්‍ය උත්සවවලදී ඊට ගැලපෙන ඇඳුම් තෝරා ගනිති. මුහුදු වෙරළට යද්දී නාන ඇඳුම් අඳිති. එසේම, උපන් දිනයේදී ඔවුහු ඇඳුම් ගැන කරදර නොවෙති.'

khushwant singhකුෂ්වන්ත් සිංකුස්වන්ත්ගේ තවත් රස විහිළුවක් මෙසේය.

සීකයන්ගේ විද්වත් සමුළුවකට සහභාගි වීමට ගිය, ආරාධිත මහාචාර්යවරයකුට සිය උපැස් යුවළ ගෙන ඒමට අමතක විය. 

ඉදිරිපස පේළියේ ආසනවල ආරාධිතයන්ගේ නම් සඳහන් පුවරු සඳහන් කර තිබුණි. එහෙත්, ඒවා කියවා ගැනීමට අපහසු වූ බැවින්, මහාචාර්යවරයා වටපිට බැලීය. ඒ අසලින් ගිය ශාලාව බාරකරු ඇමතූ මහාචාර්යවරයා මෙසේ කීය.
 
'මිත්‍රයා, මම මහාචාර්ය සැන්ට බැන්ටා සිං... මගේ සීට් එක තියෙන තැන පෙන්නනවද?'

බාරකරු යටිතොළ පෙරළමින්, මෙසේ කීය.
'වෙරි සොරි, මටත් සර්ට වගේම අකුරු බෑ.'
 
සිරි ලාංකිකයා (සිංහලයා) පංජාබීන් මෙන් මෝඩ නැත. තමන්ගේ සාක්ෂරතාව ගැන ඔවුහු ආඩම්බර වෙති. ඔවුන්ට උගන්වා ඇත්තේ ලෝකෙන් උතුම් රට සිරි ලංකාව බවය. එහෙයින් ඔවුන් තමන්ට සිනාසීමට අකමැතිය. අනුන්ට සිනාසීමට නම් රුසියෝය.
කලකට පෙර නම්, මේ දූපතේද පොදුජනතාව අතර අන්දරේලා සහ මහදැනමුත්තෝ සිටියහ. දැන් ඔවුහු වඳව ගොසිනි. ඉතිරිව සිටින ටිකදෙනා පාර්ලිමේන්තුවේය. ඔවුහු, ජනතාව විනෝදයෙන් තැබීම සඳහා පුදුමාකාර විහිළු කරති. ජනතාවට ඒවාට ඇඬෙයි.
 
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8
 
 
පාර්ලිමේන්තු කවට පිරිස, වර්තමාන ආර්ථික අර්බුදයෙන් බැටකන ජනතාවට සහනයක් වනු පිණිසද සිතාමතාම විහිළු මවති. මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව, සිනාසී තරවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. එහෙත්, අවසානයේදී තර වී සිටින්නේද ඔවුන්මය.
පාර්ලිමේන්තුව තුළදී එහි සිටින විනෝදකාමී මැති ඇමැතිවරු තම තමන්ටද විහිළු කර ගනිති. එක් විවාදයකදී ඇමැතියෙක් තවත් ඇමැතියකුට මෙසේ කීය.
'ඔබතුමා නටන්ඩ හදන්නෙ කාගෙ පදේටද කියලා මම දන්නවා.'

එවිට, අනෙකා මෙසේ කීය.

'කරුණාකර මේ විවාදයට, මගේ නෝනව පටලව ගන්න එපා.'

රට්ටු මේවාට සිනා නොවෙති. ඔවුන්ට මේවා මතකයේද නොරුඳෙයි. පාර්ලිමේන්තුවක් තිබෙන බවවත් ඔවුන්ට මතකයේ නැති ගාණය.
 
කොටින්ම, තමන්ගේ රටේ ජනාධිපතිවරයා, තමන් විසින් පත්කර ගත්තකු නොවන බවවත් ඔවුන්ට මතක නැත. මේ රට, වළපල්ලට වැටි වැටීත් මෙසේ ඉදිරියට තල්ලු වන්නේ, ඔවුන්ට හිමි මෙම අමතක වීමේ ජාන ගුණය නිසාය.
 
(ඒ බව මතක් කරදීම පිළිබඳව ප්‍රභාකරන් කොටි නයුවාට, ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු නොවේද?)



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...