The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජකර්තා: ලොව වඩාත් ම දූෂිත නගරයේ ඇදුම සමග දිවි ගෙවීම

T

The Leader Desk

August 20, 2023 • 6:37 AM

ජකර්තා: ලොව වඩාත් ම දූෂිත නගරයේ ඇදුම සමග දිවි ගෙවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම සෞඛ්‍යය වෙනුවෙන් තමන් උපන් නගරය වන ජකර්තා හැර යන ලෙස වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ෆාරා නුර්ෆිර්මාන් වෙත උපදෙස් දී තිබේ.
  • දිගු කලක් තිස්සේ වායු දූෂණයත් සමග පොරබදමින් සිටින ඉන්දුනීසියානු අගනුවර, පසුගිය සතියේ ද සෑම දිනක ම පාහේ ගෝලීය දර්ශකවල වඩා ත් ම දූෂිත නගරය ලෙස ශ්‍රේණිගත විය.
  • වාතය අයපත් අතට හැරීම මධ්‍යයේ සියලු ම රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සඳුදා නියෝග කළේ ය.
  • ස්විට්සර්ලන්ත වායු තත්ත්ව තාක්‍ෂණ සමාගමක් වන IQAirහි සජීවී දත්තවලට අනුව, පසුගිය සතියේ, ජකර්තා නගරයේ PM2.5 ලෙස හඳුන්වනු ලබන වාතයේ අඩංගු දූෂිත වායු අංශු සාන්ද්‍රණය රියාද්, දෝහා සහ ලාහෝර් වැනි දැඩි ලෙස දූෂිත නගර අභිබවා ගියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තම සෞඛ්‍යය වෙනුවෙන් තමන් උපන් නගරය වන ජකර්තා හැර යන ලෙස වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ෆාරා නුර්ෆිර්මාන් වෙත උපදෙස් දී තිබේ.

22 හැවිරිදි වියේ පසු වන ඇදුම රෝගියෙකු වන ඇය බොහෝ අවස්ථාවලදී මුහුණු ආවරණයක් පළඳින අතර ඉන්හේලරයක් ද රැගෙන යයි. නමුත් නගරයේ වාතයේ ගුණාත්මකභාවයෙන් නම් සහයක් ඇයට හිමි නොවේ.

දිගු කලක් තිස්සේ වායු දූෂණයත් සමග පොරබදමින් සිටින ඉන්දුනීසියානු අගනුවර, පසුගිය සතියේ ද සෑම දිනක ම පාහේ ගෝලීය දර්ශකවල වඩා ත් ම දූෂිත නගරය ලෙස ශ්‍රේණිගත විය.

වාතය අයපත් අතට හැරීම මධ්‍යයේ සියලු ම රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සඳුදා නියෝග කළේ ය.

jakar
ස්විට්සර්ලන්ත වායු තත්ත්ව තාක්‍ෂණ සමාගමක් වන IQAirහි සජීවී දත්තවලට අනුව, පසුගිය සතියේ, ජකර්තා නගරයේ PM2.5 ලෙස හඳුන්වනු ලබන වාතයේ අඩංගු දූෂිත වායු අංශු සාන්ද්‍රණය රියාද්, දෝහා සහ ලාහෝර් වැනි දැඩි ලෙස දූෂිත නගර අභිබවා ගියේ ය. එම සමාගම සෑම දිනක ම තත්කාලීනව ප්‍රධාන නගරවල වායු දූෂණ මට්ටම ශ්‍රේණිගත කරයි.

ජකර්තා නගරය මැයි මාසයේ සිට ගෝලීය වශයෙන් වඩාත් ම දූෂිත නගර 10 අතරට නිරන්තරයෙන් පැමිණ ඇත. එහි සහ ඒ අවට ප්‍රදේශයේ මිලියන 30ක පමණ ජනතාවක් වාසය කරති.

මේ දිනවල, ෆාරා ඔක්සිමීටරයක් [සාමාන්‍යයෙන් ඇඟිලි තුඩක තබා කෙනෙකුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මනින උපකරණයක්] ද රැගෙන යන්නේ, ඇයගේ තත්ත්වය වඩා ත් හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා ය.

"ඇදුම තියෙන කෙනෙකුට, හරි ම සුළු ප්‍රමාණයකින් ඔක්සිජන් මට්ටම පහළ ගිය ත් ඒක හොඳට දැනෙනවා. ඒක පපුවේ හිර ගතියක් දැනෙන එක විතරක් නෙවෙයි, මගේ පපුව ගොඩක් රිදෙන්න ගන්නවා. ඉතින් හරි ම අමාරුයි හුස්ම ගන්න," අලෙවිකරණ ආයතනයක සීමාවාසිකයෙකු ලෙස සේවය කරන ෆාරා පැවසුවා ය.

"මට තියෙන ඇදුම තත්ත්වය හරි ම දරුණුයි වගේ ම පරම්පරාවෙන් එන එකක්. හැම ඩොක්ටර් කෙනෙක් ම මට කිව්වේ ජකර්තාවලින් එළියට යන්න කියලා. 'හොඳ වෙන්න ඕනේ නම්, ජකර්තාවලින් යන්න, නැත්නම් හැමදා ම මේ වගේ තමයි ඉන්න වෙන්නේ,' කියලා ඒ හැම කෙනෙක් ම කිව්වේ."

"මට දැන් එපා වෙලා ඉන්නේ. මොකද මට කිසි දෙයක් කර ගන්න බැරි නිසා. ඒත් මේ තමයි මම ජීවත් වෙන තැන. මාස්ක් එකක් දානවා ඇරෙන්න මට කරන්න පුළුවන් වෙන දෙයක් නැහැ," ෆාරා පැවසුවා ය.

BBC jakarta 1
පරිසර දූෂණය ඉහළ යාමට ප්‍රදේශයේ බලධාරීන් වියළි කාලගුණයට සහ රථවාහනවල වායු විමෝචනයට දොස් පවරන අතර කඩිනමින් රථවාහන අහඹු පරීක්ෂා කිරීම්වලට භාජනය කරන බව ත් රියැදුරන්ට තම වාහන දුම් පරීක්ෂාවට ලක් කරන ලෙස ත් බල කරයි.

ජනාධිපති විඩෝඩෝ ජකර්තා නගරය සහ ඒ අවට ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා කාලගුණ වෙනස් කිරීම් සිදු කරන ඉල්ලා සිටි අතර, දෙමුහුන් වැඩමුර ලෙස සේවකයින් රාජකාරියේ යොදවන ලෙසට සමාගම්වලට උපදෙස් දුන්නේ ය.

නගර පාලනාධිකාරිය ද එහි සිවිල් සේවකයින්ගෙන් අඩකට නිවසේ සිට වැඩ කරන ලෙස නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටියි.

නමුත් ජුවාන් එමානුවෙල් ධර්මද්ජය වැනි ජකර්තා වැසියෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙති. "මට ඇත්තට ම ඉන්දුනීසියාවේ ඉන්න ඕනේ. මොකද මේ මම ඉපදුණු තැන, මගේ පවුල ඉන්නේ මෙහේ. නමුත් වායු දූෂණය කියන්නේ නිහඬ ඝාතකයෙක්."

22 හැවිරිදි ඔහු මීට පෙර ක්ෂය රෝගයෙන් පීඩා විඳි අතර දැන් ඔහුට පීනස වැනි ගැටලු තිබේ. නරක අතට හැරෙන වාතයේ ගුණාත්මකභාවය ඔහුගේ සෞඛ්‍යයට බලපාන බව ඔහු පැවසීය.

"මට මගේ දෛනික ජීවිතය ගැන අවධානය යොමු කරන්න බැරි වෙලා තියෙන්නේ, හැම වෙලේ ම මගේ නාසයෙන් හොටු දියර ගලන නිසා සහ නාසය කසන්න ගන්න නිසා," තොරතුරු තාක්ෂණ කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නිරත වන ජුවාන් පැවසීය.

ඔහු ජර්මනියේ ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය: "යුරෝපයේදී සීත ඍතුවේදී පවා ගල්ගැහෙන මට්ටමට උෂ්ණත්වය පහළ ගිය ත් මගේ නාසයෙන් හොටු දියර ගැලුවෙවත්, කැස්සක් ආවෙවත් නැහැ. හැබැයි මම ජකර්තාවලට ආපහු ආව ගමන් ම මගේ නහය බර වෙන්න පටන් ගත්තා. හරි ම අපහසුයි, හිර වෙලා."

BBC jakarta 2
ඉන්දුනීසියාවේ පරිසර හා වන විද්‍යා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සිගිත් රෙලියන්තොරෝ පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසුවේ ජූනි, ජූලි සහ අගෝස්තු මාසවල වාතයේ පැවති වියළි ස්වභාවය ජකර්තාහි වායු දූෂණය "නොවෙනස්ව" ඉහළ යාමට හේතු වූ බවයි.

වාතය වියළි ස්වභාවයෙන් පැවතීමෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ, දූෂක ද්‍රව්‍ය දිගු කාලයක් වාතයේ අවලම්බනය වී පවතින බව ය. වියළි කාලගුණ සමයේ ලැව්ගිනි ඇති වීම ද සුලබ ය.

රජයේ පර්යේෂණ පෙන්නුම් කරන්නේ, වාහන වායු විමෝචනය වායු දූෂණයෙන් 44%කට වග කිව යුතු බව ය, සිහිත් පෙන්වා දුන්නේ ය.

නමුත් මුහම්මද් අමිනුල්ලා වැනි සමාජ ක්‍රියාකාරීන් විශ්වාස කරන්නේ, කර්මාන්ත ශාලා සහ ගල් අඟුරු බලාගාර ජකර්තාවල විෂ දුමාරයට මූලික දායකත්වය සපයන බව ය.

2056 වසර වන විට විදුලිය සඳහා ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීම වැනි කාබන් විමෝචනය කපා හැරීමේ විශාල අභිලාෂයන් ඉන්දුනීසියාවට තිබුණ ද, එය දැනට විදුලි ජනනය සඳහා ගල් අඟුරු සපයන ලොව විශාලතම අපනයනකරු වේ.

ඉන්දුනීසියාවේ ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්තවල විශාල පිරිසක් රැකියා කිරීම හේතුවෙන් එය භාවිතයෙන් ඉවත් කිරීම මිල අධික කටයුත්තක් වනු ඇත.



'ආර්ථික හා දේශපාලන අවශ්‍යතා' හේතුවෙන් රජය මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව වාහි ලෙස ද හැඳින්වෙන පරිසරය සඳහා වන ඉන්දුනීසියානු සංසදයේ නායකත්වය දරන අමිනුල්ලා පැවසීය. ඔහු පවසන්නේ, කර්මාන්ත ශාලා ජනාවාසයක් අසල පිහිටා තිබුණ ද ගල් අඟුරු දහනය කිරීමෙන් නිකුත් වන අළු නිසි ලෙස කළමනාකරණය නොකරන බව ය.

ගල් අඟුරු බලාගාරයක් අසල ජීවත් වන අම්රින් (ඔහුගේ සැබෑ නම නොවේ) ද පීඩාවට පත් වූවන් අතර වේ.

ඔහු බීබීසීයට පැවසුවේ, තම පවුලේ අය ස්නානය කිරීමට සහ පරිභෝජනය සඳහා වැසි ජලය රැස් කිරීමට පුරුදුව සිටි බව ය. නමුත් 2009 වසරේදී බලාගාරය එහි මෙහෙයුම් ඇරඹූ දා සිට පසු එය තවදුරටත් කළ නොහැකි විය.

"අපි තවදුරටත් ඒක කරන්නවත් හිතන්නේ නැත්තේ, එකතු කරන ජලය කළු පාට වගේ ම වහලයේ තියෙන ඝන කළු දූවිලි එකතු වෙලා අපිරිසිදු වෙන නිසා," ඔහු පැවසීය.


(ට්‍රීෂා හුසාඩා, ක්වින් පසරිබු සහ කෙලී එන්)
ජකර්තා සහ සිංගප්පූරුවේ සිට


( BBC සිංහල සේවය )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...