The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

August 26, 2023 • 8:39 AM

 බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල බුද්දිලාගේ කතාව නමින් ද සංසිද්දියක් සමාජයේ දිග හැරෙමින් තිබේ.
  • කුඩා කාලයේ මම බුද්ධිලා දෙන්නෙකු ගැන අසා ඇත්තෙමි.
  • පළමුවැන්නාගේ නම වඩා ප්‍රචලිත වුණේ බුද්ධි බතික් ලෙසිණි, එය ඔහුගේ ව්‍යාපාරික නම වුව ද පුද්ගලික නම වූයේ බුද්ධි කීර්තිසේන ය.
  • මුල් නම සමහර විට බුද්ධදාස විය හැකි අතර කෙටි නම බුද්ධි ලෙස ව්‍යාපාර ලොවේ ප්‍රචලිත වූවා විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යක්ෂනයෙණි. මේ දිනවල බුද්දිලාගේ කතාව නමින් ද සංසිද්දියක් සමාජයේ දිග හැරෙමින් තිබේ. අද මගේ කොලම ඒ ගැන ය.



කුඩා කාලයේ මම බුද්ධිලා දෙන්නෙකු ගැන අසා ඇත්තෙමි. පළමුවැන්නාගේ නම වඩා ප්‍රචලිත වුණේ බුද්ධි බතික් ලෙසිණි, එය ඔහුගේ ව්‍යාපාරික නම වුව ද  පුද්ගලික නම වූයේ බුද්ධි කීර්තිසේන ය. මුල් නම සමහර විට බුද්ධදාස විය හැකි අතර කෙටි නම බුද්ධි ලෙස ව්‍යාපාර ලොවේ ප්‍රචලිත වූවා විය හැක. මාරවිල ප්‍රදේශය ආශ්‍රිත ව කෙරුණු බුද්ධි බතික් ව්‍යාපාරය හැත්තෑවේ අග හා අසුවේ දශකයේ සිට ම ලංකාවේ එකල ව්‍යාප්ත වෙම්න් පැවැති සංචාරක ව්‍යාපරය සමග ද බද්ධ වී තිබිණ. ඊට අමතර ව, එම බතික් නිෂ්පාදන අපනයනයට ද යොමු කෙරිණ. බතික් ව්‍යාපාරයෙන් ජනනය කළ ලාභ යොදවා බුද්ධි වෙනත් ව්‍යාපාර ද ඇරැඹි අතර ඒවා ද සාර්ථක විය.
244556590 10161338020169418 8679137514336918619 n
ඔහුගේ පුත්‍රයා බූඩි (ඔහුගේ නියම නම මෙය ම ද කියා මම නොදනිමි. සමහර විට, ඔහු කලක් විදේශගත ව අධ්‍යන කටයුතු කරන විට ඇමෙරිකානුවන් මෙලෙස ඔහු ඇමතුවා ද විය හැක) ද දියණිය දර්ශි ද හොඳ ම විදේශ විශ්ව විද්‍යාල වෙත යවා, පිළිවෙලින් සිනමා හා මෝස්‌තර කලාව ගැන ඔවුනට මනා අධ්‍යාපනයක් ලබා දිණි. බූඩීත් දර්ශීත් අධ්‍යන කටයුතු හමාර කොට පෙරලා මව්බිමට අවුත් සිනමා, ප්‍රචාරණ, ආපන ශාලා, සිල්ක් සාරී වැනි ව්‍යාපාර අරඹා පියාගේ ව්‍යාපාර තව තවත් වැඩි දියුණු කළ හ. බුද්ධි පවුල තම ව්‍යාපාර ජාත්‍යන්තර මට්ටමින් කළ ද, නිතර ඒ අරභයා විදේශ රටවලට ගමන් කළ ද දිගට ම මුල් බැස සිටියේ ලංකාවේ ය. ඒ ගැන ඔවුහු මහ පාරම්බෑමක් ද 'ලක් මාතා හැර නොගියෙමු වැනි' නොකළ හ.  

 

 කුඩා කල මා ඇසු අනෙක් බුද්ධි නළුවෙකි. රූපවාහිනී හා චිත්‍රපට ක්ෂේත්‍රයේ ඔහුගේ රඟපෑම් සම්භාවනාවට ලක්  විණ. ප්‍රශස්ත හඬ පෞරෂයක් තිබූ නිසා මේ බුද්ධි දක්ෂ 'කයියෙක්' ද විය. එකල 'කයි' නමින් දේශපාලන අනන්‍යතාවක් නොතිබුණ නිසා ඔහු කළේ රුපවාහිනි වැඩසටහන්වල පූරක කටයුත්ත ය. මේ බුද්ධි මහතා කලෙක ජවිපෙ (1971 ප්‍රභේදය)  සිටි බව පැරැන්නෝ කියති. පසු කලෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක වන්දනාවත් ඉන් අනතුරු ව රාජපක්ෂ පරපුරත් වැඳ පුදා ගත් මේ බුද්ධි අවසානයේ ජාජබ වේදිකාවලත් මල් පෝච්චියක ලෙස සිටිනට ඉදිරිපත් විය. දෙස රැස බස ගැන බස බස ගසමින් කයිය ගැසූ මේ බුද්ධි හිටි අඩියේ ඕස්ට්‍රේලියාවට 'ගලනය' විය. 'බුද්ධි-ගලනය' කියා ලංකාවේ ජනවහරට නව යෙදුමක් එකතු වුණේ මෙතැන් සිට බව සමහර බස්-ඔස්තාද්වරුන්ගේ මතය යි.

image 49b077fdf0 
ඒ අනුව, ගලනය නොවූ බුද්ධි හෙවත් නොගැලූ බුද්ධියෙකුත්, ගලනය වූ හෙවත් ගැලූ බුද්ධියෙකුත් අප ඉදිරියේ සිටිත්. ගලනය නොවූ බුද්ධි ලංකාවේ ම සිට පිටරටක රස්සවක් කර හරි හම්බ කරාටත් වඩා සාර්ථක ව දිවි පෙවෙත ගත කළ බවට අනුමාන කළ හැක. තමන්ගේ ව්‍යාපාර සඳහා ගෙවිය යුතු බදු වැඩියි කියා ගෝරනාඩු කර, එම බදු අඩු නොකළහොත් රට හැර යන බවටත් එසේ වුවහොත් සමස්ත බතික් ව්‍යාපාරය මරු කටේ බවට ඔහු තර්ජනය කළ බවක් අප අසා නැත.

වැඩි ආදායම් ලබන්නෙකු වශයෙන් ගෙවිය යුතු බදු ඔහු නිත්‍යානුකූල ව ගෙවුවා විය හැක. සංකල්පීය ව ගත් කල, මෙවැනි බුද්ධිලා බොහොමයක් මෙරටේ ඇත. ඔවුහු ව්‍යාපාර පමණක් නොව රැකි රක්ෂා කරන අය ද වෙති. වෙහෙස මහන්සි වී මෙරටේ ම සිට යමක් හරි හම්බ කරගෙන, බද්දක් ගෙවන්නට් ඇත්නම් ඒවාත් ගෙවා දමා, කාටත් ණය නොවී, අත නොපා, පුළුවන් ලෙසකට කා බී, මෙරටේ ම මිය පරලොව යෑම නොගලන බුද්ධිලාගේ ජීවන දර්ශනය යි. මේ බොහොමයක් අය තමන්ගේ ඒ වරණය (එලෙස සිටිනට ගත තීරණය හා කැමැත්ත) ගැන මහා විච්චුරණ නොකියති. ඒ අරබයා මහා හයි-මොරල් -ග්‍රවුන්ඩයක් හෙවත් තමන්ගේ කැමැත්ත උභය ආචාර ධාර්මික පදනමක යී නොපාවිති.      

මේ දිනවල ලංකාවේ බුද්ධිලා ගලනය වීම ගැන යම් නොසන්සුන් කතාබහක් ඇති වී තිබේ. බොහෝ අය කියන්නේ මේ දිනවල උද්ගත ව ඇති ආර්ථික අහේනිය නිසා බොහෝ බුද්ධිලා ගලනය වී ඇති බව ය. ගලන්නට සැරසෙන නමුත් ඊට තවම හරි හැටි පොටක් පාද ගෙන නැති හෝ පාද ගන්න නොහැකි අය කියන්නේ තවත් කතාවකි. ඒක තරමක් දිග කතාවකි. බොහෝ සරසවි ඇදුරෝ මතුරන්නෝ මේ පදය ය.  ඒ මෙසේ ය :  

369740298 681412160690426 8193353488214913767 n


 සරසවි ඇදුරෝ ද මනුස්සයෝ ය. ඔවුහු ද කා බී, ඩියුටි-ෆ්‍රී කාරයක් පදිමින්, තට්ටු දෙකක තුනක ගෙයක් හදා
ගනිමින් ජීවත් විය යුත්තා හ. ලස්ස හතරක් පහක් පඩියක් ලැබුවා ද ඉන් සියයට තිස් ගණනක් බදු අසාධාරණ ලෙස කපා ගැණේ. ලොකු වාහන හා උස ගෙවල් සඳහා ගත් ණය වාරික ද කැපුණු පසු, මාසේ පඩියෙන් අතට එන්නේ සොච්චමක් පමණි. මේ නිසා බුද්ධිලා වන අපට සිදුවන මේ සහ ගහන අපාරධය නිමිත්තෙන් අප වහා වෙනතකට ගලනය විය යුතු ය. ගලනය වන රටවල ඉහල බදු රේට්ටු ගැන මේ බුද්ධිලා මීක් නැත. එසේ ඇසුවහොත් කියන්නේ, ඒ ගලනය වන රටවල අය කරගන්නා බදු වලින් ප්‍රශස්ත සේවයක් ජනතාවට පෙරලා ලැබෙන බව ය. ගලන්නට රිසි බුද්ධිලා මෙතෙක් කල් සතයක්වත් නොගෙවා ලබා ගත් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව හා රජය විසින් දරා ගන්නා (සබ්සිඩයිස්ඩ්) ප්‍රවාහන, ජලය හා විදිලිය වැනි සේවාවන් ගැන ද කිසිවක් නොකියති. එසේ ඇසුවොත් කියන්නෝ ඒවායේ අඩු පාඩු ගැන ය.

369537571 679794147518894 6058639553431128478 n

ගලන ගඟකි ජීවිතේ කියන්නාක් මෙන් ගලන්නට හැකි එකා කවදත් ගලා ගිය බව ඉතිහාසය පුරා සාක්ෂි දරන්නේ එඬේර හෙවත් පාස්ටරලිස්ට් සමයේ සිට ය තණකොළ උළා කන සතුන් ඇති කරන එඬේරු කරන්නෝ එක තණ බිමක් උළා කා එය වියලි බිමක් වන වන විට තවත් සරු තණ නිල්ලක් සොයා ගව හෝ එළු හෝ බැටළු රැල සමග වෙනතකට යෑම ය. ග්‍රීනර් පාස්චර්ස් (greener pastures) කියා කැනඩාව, ඇමෙරිකාව, යුරෝපය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් හඳුන්වන්නේ එබැවිණි.

ගලන්නට හැකි බුද්ධියක් ඇත්තෝ පිට රට ගියෝ බදු බර වැනි ආඩපාලි කියා ආණ්ඩුවට සාප කරමින් නොවේ. මහැදුරු ගණනාථ, තම්බයියා, සෙනෙවිරත්න, (විමල්) දිසානායක වැන්නන් තරමක් පරණ උදාහරණ ය. මහැදුරු සසංක පෙරේරා හා නිරා වික්‍රමසිංහ අතර මැද කාලයේ උදාහරණ ය. මහදුරු හර්ෂණ රඹුක්වැල්ල නවත ම උදාහරණය ය.

 මොවුන්ට බදු ඇතා හෝ නැතා, ආණ්ඩු හොඳා හෝ නරකා ලෝකයේ ඕනෑම සරසවියක මහැදුරු මට්ටමේ ම පට්ටමක් ලබා ගැනීම අසීරු නොවේ.  ඔවුන් ගලනය වන්නේ තමන්ගේ බුද්ධිය වඩා සරු පසෙක පැල කෙරුමට මිසෙක ලංකාවේ වියහියදම් පියවා ගන්නට ක්‍රමයක් නැතැයි වැළපෙමින් නොවේ. ගණනාථ වැනි මහදුරෙක් කලක් ගලනය වී මෑත කාලීන ව මෙරටට ප්‍රති-ගලනය වී, ඔහුගේ පොත් පත් කන්දරාවත් පේරාදෙණියට දන් දුන්නේ සතියකට දෙකකට පෙර ය.  කනගාටුදායක යතාර්ථය නම් සරසවි ඇදුරන් බහුතරයට ගණනාථලා තම්බයියාලාගේ ශාස්ත්‍රීය මයිලක් තරම්වත් වන්නට බැරි වීම ය. ඔවුනට කළ හැක්කේ "ගලනෝ-ගලනෝ, රට අනතුරේ-ආණ්ඩුව මර-නින්දේ" වැනි ප්‍රලාප මතුරමින් තමා හැර අන් සියල්ලන්ට ම සාප කරමින් වෛර කරමින් මෙරට ම සිටීම පමණි.



Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader