The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

'එක වහලක් යට' සාරය උරා ගැනීමට සමාජය සමත් ද...? - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

August 28, 2023 • 6:26 AM

'එක වහලක් යට' සාරය උරා ගැනීමට සමාජය සමත් ද...? - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබඳු ආකල්ප සහ සංකල්ප සමාජයෙන් අතුගා දැමීමට අදාළ නිර්මාණය භාවිත කළ යුතු ය යන්න ය.
  • අප රටේ විසූ සහ වෙසෙන බහුතරයක් කලාකාර ප්‍රජාව ද මේ තත්ත්වයට වගකිව යුතු බව ඔබට වැටහී යනු නොඅනුමාන ය.
  • යට සඳහන් පූර්විකාව ලිවීමට හේතු පාදක වූයේ අන්තර්ජාලයේ සැරිසරන විට අහම්බෙන් මෙන් සම්මුඛ වූ, කොටස් පහකින් යුත් ටෙලි නිර්මාණයක් නැරඹීමෙන් ඉක්බිතිව ඒ පිළිබඳ සිතට නැගුණු අදහස් ලිවීමට පෙරාතුව යමක් ලිවිය යුතු යැයි අදහස් කිරීම ය.
  • නමුදු මෙම නිර්මාණයේ ඇය, ඇගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය මැනවින් ඉදිරිපත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එබඳු ආකල්ප සහ සංකල්ප සමාජයෙන් අතුගා දැමීමට අදාළ නිර්මාණය භාවිත කළ යුතු ය යන්න ය. කලාව තුළින් මිනිසාගේ මනස වෙනස් වන්නේ ද, හදවත කිසියම් කම්පනයට හෝ ස්තම්භනයකට පත්වන්නේ ද එබදු ආකල්ප කෙරෙහි නිර්මාණකරණයෙහි යෙදෙන පුද්ගලයා දක්වන දෘෂ්ටිය අනුව ය. ඔහුට හෝ ඇයට කිසියම් කලා නිර්මාණයක්: නරඹන, සවන් දෙන හෝ කියවන පුද්ගලයා එතෙක් සිටි පුද්ගලයාගෙන් වෙනස් පුද්ගලයෙක් කළ හැකි වන්නේ එවිට ය. එසේ නොමැතිව පවතින: චාරිත්‍ර, වාරිත්‍ර, සම්ප්‍රදා, සංස්කෘතිකත්ව, සදාචාරත්ව යනාදි සංකල්ප යළි යළිත් හෝද හෝදා මඩේ දැමීමෙන් කලාවට හෝ කලාව රස විඳින පුද්ගලයන්ට කිසිදු ප්‍රයෝජනයක් නොවේ ය යන්න මගේ හැඟීම ය. කලාවේ කාර්ය භාරය වන්නේ පවතින ක්‍රමය ඒ ආකාරයෙන් ම ආරක්ෂා කිරීම නම් එකී කලාව යනු නිෂ්ප්‍රයෝජන කලාවක් ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.

වර්තමානයේ රට පත්ව තිබෙන තත්ත්වය දෙස මඳක් ආපසු හැරී බලන්න. අප රටේ විසූ සහ වෙසෙන බහුතරයක් කලාකාර ප්‍රජාව ද මේ තත්ත්වයට වගකිව යුතු බව ඔබට වැටහී යනු නොඅනුමාන ය. ඒ අන් කිසිවක් නිසා නොව කලාව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට තම තමන්ගේ බැංකු ගිණුම් තර කර ගැනීම වෙනුවෙන් භාවිත කළ බැවිනි. එය කෙතරම් නිර්ලජ්ජිත ආකාරයෙන් භාවිත කළේ ද යත් ආසියා මහාද්විපයේ ම සිටින දැවැන්ත චෞර පවුලක් බුදුන් වහන්සේගේ ඥාතින් යැයි පවසන්නට තරම් මේ කලාකාර නඩය නිර්ලජ්ජිත විය. එහි බියකරු විපාක මේ වන විට සමස්ත රටවැසියෝ ම විඳිමින් සිටිති. එකී බියකරු භාවයෙන් මිදිය හැකි වන්නේ කවදා ද යන්න පවා අවිනිශ්චිත ය.

යට සඳහන් පූර්විකාව ලිවීමට හේතු පාදක වූයේ අන්තර්ජාලයේ සැරිසරන විට අහම්බෙන් මෙන් සම්මුඛ වූ, කොටස් පහකින් යුත් ටෙලි නිර්මාණයක් නැරඹීමෙන් ඉක්බිතිව ඒ පිළිබඳ සිතට නැගුණු අදහස් ලිවීමට පෙරාතුව යමක් ලිවිය යුතු යැයි අදහස් කිරීම ය.

1687313911293අනුෂ්ක රසාංජන ද සිල්වා

ටෙලි නිර්මාණය නම් කර තිබුණේ ‘‘එක වහලක් යට’’ යනුවෙනි. නිර්මාණ අධ්‍යක්ෂණය අනුෂ්ක රසාංජන ද සිල්වා ය. චරිත නිරූපණය: දිනක්ෂි ප්‍රියසාද්, ප්‍රසන්න දැකුම්පිටිය සහ පවිත්‍රා වික්‍රමසිංහ ය.

මෙම ටෙලි නිර්මාණය ටෙලි නිර්මාණ ප්‍රේක්ෂක සියලු දෙනා ම පාහේ නැරඹිය යුතු ම නිර්මාණයක් වන බැවින් එහි කතා සාරාංශය ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්නට මම අදහස් කළෙමි. එහෙත් මගේ කියවීමට සාපේක්ෂව අදාළ නිර්මාණය පිළිබඳ යම් සටහනක් තැබීම යුතුකමක් මතු නොව වගකීමක් යැයි සිතුණ බැවින් මෙම ලියවිල්ල සමාජ ගත කරන්නට අදහස් කළෙමි.

මෙතෙක් නොදුටු රංගවේදිනිය

ewy 1

‘‘එක වහලක් යට’’ ටෙලි නිර්මාණය තුළ මා දුටු එක් විශේෂත්වයක් වූයේ දිනක්ෂි ප්‍රියසාද් වෙතින් මා මෙතෙක් නොදුටු රංගන කෞෂල්‍යයක් දක්නට ලැබීම ය. මා මෙතෙක් දුටු ඇගේ රඟපෑම් බොහෝ විට සීමා වී තිබුණේ නාගරික මධ්‍යම පංතියේ හෝ සාමාන්‍ය පංතියේ චරිත සඳහා ය. නමුදු මෙම නිර්මාණයේ ඇය, ඇගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය මැනවින් ඉදිරිපත් කර ඇත. අනුෂ්ක රසාංජන ද සිල්වා නමැති අධ්‍යක්ෂකවරයා ද ඇගේ රංගන කුසලතාව මැනවින් භාවිතයට ගෙන ඇත. එක් පසෙකින් අධ්‍යක්ෂවරයාකට මෙන් ම නිළියට ද මෙය එක්තරා අභියෝගයක් වූවාට සැක නැත.

මෙහි දී දිනක්ෂි පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්නේ ප්‍රසන්න දැකුම්පිටිය සහ පවිත්‍රා වික්‍රමසිංහ දෙපළගේ රංගනය අවතක්සේරු කිරීමට නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එම දෙපළගේ සුවිශේෂී රංගන කුසලතා ඔබත් මමත් මීට පෙර දැක ඇතුවාට සැක නැත. අනාගතයේ දි ද දැකිය හැකි ය. නමුදු‘‘එක වහලක් යට’’ ටෙලි නිර්මාණයේ දිනක්ෂි ප්‍රියසාද්ගේ රංගනය මට සුවිශේෂ ය. ඒ, මා මීට පෙර ඇගේ එබඳු රංගන කුසතාවක් නරඹා නොතිබූ බැවිනි.

එක ම ප්‍රස්තුතයක්, වෙනස් හැඩයක්

Screenshot 2023 08 28 at 11.42.28‘‘එක වහලක් යට’’ නිර්මාණයට පාදක කරගන්නා ප්‍රස්තුතය ම වෙනත් ආකාරයක හැඩයකින් අප මීට පෙර වෙනත් කලා නිර්මාණ තුළ අත් දැක ඇතුවාට සැක නැත. නමුදු එම ප්‍රස්තුතය ම වෙනස් හැඩයකින් ඉදිරිපත් කිරීමට තිර රචකයා (මෙහි තිර රචනය ද අධ්‍යක්ෂකවරයාගේ ම ය) සමත් වී තිබේ.

අවිවාහක කාන්තාවක සහ පුරුෂයකු අතර සිදු කරන කාම සම්භෝගයකින් ඉක්බිති අදාළ කාන්තාව ගැබ් ගත් විට වඩාත් සසල වන්නේ පුරුෂයා ය. එය සැබෑ ජිවිතයේ දී මෙන් ම විවිධ සාහිතය කලා නිර්මාණ තුළ දි ද අප අත් දැක ඇතුවාට සැක නැත. නමුදු ‘‘එක වහලක් යට’’ නිර්මාණයේ දක්නට ලැබෙන්නේ මෙහි විරුද්ධ පාර්ශ්වය යි. එනම් සුද්දා (ප්‍රසන්න දැකුම්පිටිය) සහ මාලනී (දිනක්ෂි ප්‍රියසාද්) අතර ඇතිවන කාම සම්භෝගයෙන් ඉක්බිති මාලනීගේ කුසෙහි හටගන්නා කලලය විනාශ කල යුතු බවට යෝජනා කරන්නේ ද, ඒ සඳහා වඩාත් උනන්දු වන්නේ ද කාන්තාව ය. එහෙත් පුරුෂයා ඊට එරෙහි වන්නේ ය.

එහි දී කාන්තා පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන අදහස වන්නේ ඔවුන්ට දරුවකු ජීවත් කරවීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවයි. නමුදු කතා සන්දර්භය තුළ ඇය තම කුස හොත් කලලය විනාශ කිරීමට තවත් ප්‍රධාන හේතු එකක් නොව කිහිපයක් පවතී. ඒ ඇය, කුස තුළ වැඩෙන කලලයේ පාර්ශවකරුවාට වඩා වැඩිමහල් කාන්තාවක වීම, ඇය මීට පෙර විවාහ වී සිටීම සහ පාරශ්වකරුවා ඇගේ මාමණ්ඩියගේ පුතා වීම ය.

පිටු දැකිය යුතු නිරර්ථක සමාජ ආකල්ප

මේ සියල්ල ලිපියේ පුර්විකාවේ සඳහන් පරිදි සමාජයේ පවත්නා නිරර්ථක ආකල්ප ය. එම ආකල්ප අභියෝගයට ලක් කරන්නට පුරුෂ පාර්ශ්වය යත්න දරන විට ඊට බියක් දක්වයන්නේ කාන්තා පාර්ශ්වය යි. සැබැවින් ම ඇය එහි දී කලලය විනාශ කරන්නට යත්න දරන්නේ හුදෙක් දුගී බව පමණක් ම සැලකිල්ලට නොගෙන බව පැහැදිලි ය. විශේෂයෙන් ම ඔවුන් දෙදෙනා අතර ඇතිවන්නේ අසම්මත යැයි සමාජයේ මුල් බැස ඇති සම්බන්ධයකි; එසෙත් නොවේ නම් පිරිමියකුට තරම් නෙවේ යැයි සමාජයේ මුල් බැස ඇති ආකල්පයකි. පුරුෂ පාර්ශ්වය ඊට අභියෝග කරන විට කාන්තා පාර්ශ්වය මුහුණ දීමට නොහැකිව පසු බසින්නේ ද පවත්නා සමාජ ආකල්ප, සංකල්පවලට ඇති බිය හේතුවෙනි.

මෙහි දී සුද්දා: අවංක ය, නිර්භීත ය, සියතින් වරදක් සිදු වූවා යැයි පිළිගන්නට තරම් නිහතමානී ය. එහෙත් ඒ සියල්ල යටපත් කරන්නට තරම් සමාජ ආකල්ප බලවත් වන බැවින් මාලනී ඊට එරෙහි වන්නී ය. අවසන සිදු කෙරෙන්නේ මේ එකිනෙකා ඔවුනොවුන් රැවටීම ය. එහි දී පුරුෂ පාර්ශවය විසින් සිදු කරනු ලබන රැවටීම සාධනීය වන අතර කාන්තා පාර්ශ්වය විසින් කරනු ලබන රැවටීම නිෂේධනීය ය. නමුදු මෙහි දි කාන්තා පාර්ශවයට දොස් පැවරිය ද නොහැකි ය. ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ මුල් බැස ඇති ආකල්පවලට අභියෝග කරන්නට තරම් ආත්ම ශක්තියක් ඇය සතු නොවන බැවිනි.

‘‘එක වහලක් යට’’ නරඹන ප්‍රේක්ෂක ප්‍රජාව උගත යුත්තේ යට දැක්වෙන පාඩම ය. එනම් නිරර්ථක සමාජ ආකල්ප පිට දැක, ඊට අභියෝග කිරීමට තරම් තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරගත යුතු බව ය.

ewy 4

රූප රාමු අභියෝගයට ලක් කිරීම

ටෙලි නිර්මාණයේ රූප රාමු නැරඹීමෙන් ඔබ්බට ගොස් එය කියවන්නට සමත් වන කිසියම් ප්‍රේක්ෂකයෙක් හෝ ප්‍රේක්ෂිකාවක් සිටි නම් එය නිර්මාණකරුවාගේ ජයග්‍රහණය යි. මන්ද පුර්විකාවේ සඳහන් කළ පරිදි ම කිසියම් කලා නිර්මාණයක් තුළින් සිදු විය යුත්තේ ම මිනිසුන්ගේ සිතුවිලි, ආකල්ප නැවුම් වෙනසකට බඳුන් කිරීම ය. ‘‘එක වහලක් යට’’ නිර්මාණය ඒ සඳහා කිසියම් මග පෙන්වීමක් සිදු කරයි. පවත්නා නිරර්ථක සමාජ සම්මත, ආකල්ප සහ සංකල්ප දුරලිය යුතු ය යන මතය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටින මට ද එය බෙහෙවින් සමීප ය.

සමස්ත නිර්මාණය පුරා ම හැකි තාක් දුරට පවත්නා සමාජ යථාර්ථය පිළිබිඹු කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්ව ඇත. ඒ සඳහා ඔහු යොදාගන්නා රූප රාමු මතු නොව දෙබස් ඛණ්ඩ, පසුබිමෙන් ඇසෙන ගුවන් විදුලි හඬ, චූන් පාන් වාහනයේ හඬ සහ පිරිත් හඬ පවා දැඩි බලපෑමක් එල්ල කරයි. එමෙන් ම තවත් විටෙක ඇතැම් සමාජ ආකල්ප අභියෝගයට ද ලක් කරයි. උදාහරණයක් ලෙස ගතහොත් තම කුස හොත් කලලය විනාශ කරන්නට යත්න දරන කාන්තාව මීයන්ට වස තැබීම ප්‍රතික්ෂේප කරන්නී ය. ඇය ‘‘ඕව මහ පවුකාර වැඩ’’ යැයි පවසන්නී ය.

ගබ්සාව සහ නීතිය

ewy 2

මෙහි දී අප සැලකිල්ලට ලක් කළ යුත්තේ කුමක් ද...? ලංකාවේ නීතියට මතු නොව සදාචාරයට, සම්මතයට අනුව ද දරු ගැබක් විනාශ කිරිම නිතියට පටහැනි ය. එහෙත් කලලයක් හෝ දරුවකු ගැබ දරා සිටින කාන්තාවකට සිය කුස හොත් කලලය හෝ දරුගැබ ඉවත් කිරීමේ අයිතිය තිබිය යුතු ය. එසේ නොවන්නේ නම් ඇයට සමාජයෙන් එල්ලවන නින්දා, අපහාස, අපහාස හෝ චෝදනා නොතිබිය යුතු ය. එසේත් නෙවේ නම් එලෙස නින්දා. අපහාස සහ චෝදනා එල්ල කරන පාර්ශවවලට එරෙහිව නිත්‍යනුකුලව ක්‍රියා කිරීමට වින්දිතයාට ඉඩ තිබිය යුතු ය.

නමුදු අපේ සමාජය තුළ ඒ කිසිවකට ඉඩ අවකාශ නොපවතී. අවසන සියලු අපවාද, අවලාද. අපහාසවලට මුහුණ දිය යුතුතේ කාන්තාව ය. එවන් වටපිටාවක් තුළ කාන්තාව තම කුසහොත් කලලය විනාශ කිරීමට පෙලඹීම සාධාරණ ය. කුස හොත් කළලය මතු නොව උපන් දරුවන් පවා තැන තැන දමා යාමට හෝ මරා දැමීමට කාන්තා පාර්ශ්වය පෙලඹෙන්නේ එබැවිනි. 

 
මෙය බරපතළ සමාජ ඛේදවාචකයකි. ඒ සඳහා පවත්නා ක්‍රමය විසින් සුදුසු වැඩපිළිවෙළක් සකසනු ලැබිය යුතු ය. එසේ නොවනතාක් ‘‘එක වහලක් යට’’ නිර්මාණයේ පිළිබිඹු කෙරෙන ආකාරයේ ඛේදවාචක අනන්ත අප්‍රමාණව සිදු විය හැකි ය. එබඳු ඛේදවාචක වැළැක්වීම සමාජ වගකීමකි. කලාකාර පාර්ශ්වයේ යුතුකම සහ වගකීම වන්නේ ඒ සඳහා සිය නිර්මාණ තුළින් සමාජය දැනුවත් කිරීම ය. මගේ පුද්ගලික කියවීමට අනුව නම් ‘‘එක වහලක් යට’’ යනු එබඳු නිර්මාණයකි. එහෙත් එහි සාරය උරාගැනීමේ හැකියාව කෙතෙක් දුරට සමාජය සතුව පවතී ද යන්න ගැටලුවකි.
 



පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි  අලවත්ත)ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/08/28


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'එක වහලක් යට' සාරය උරා ගැනීමට සමාජය සමත් ද...? - (ජයසිරි අලවත්ත) | The Leader