The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

August 28, 2023 • 8:26 AM

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවත්වන කෙටි විරාමයෙහි ඔහුව දැන හඳුනා ගෙන සිටි උදවියට ඉතිරි වන්නේ මියගිය මිනිසාතුළ පැවති මිනිස්කම් පමණකි.
  • ඒ මිනිස්කම්ද, සමහර විට, සුදු - කළු වශයෙන් ඛෙදී යා හැකි ය. සිවිල් නිලධාරියෙකු ලෙස 1960 මාර්තු 28 වෙනිදා රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම, වසර 50කට ආසන්න කාලයක් රටේ ප්‍රගමනයට දායක විය.
  • ඔහුගේ පැවැත්ම, නිරන්තරව ආධුනික තරුණ නිලධාරින් තුළ උද්යෝගය, ශක්තිය හා විශ්වාසය රෝපනය කිරීමට හේතු වාසනා ගෙනා බව ලියා තැබීම ඔහුට කරන ගෞරවයකි. කේ.එච්.ජේ.
  • විජයදාස, නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස මගේ ආසන්න ප්‍රධානයාගේත් ඉහළ විධායක ප්‍රධානියෙකු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මිනිසුන් එති. යති. ජීවත්වන කෙටි විරාමයෙහි ඔහුව දැන හඳුනා ගෙන සිටි උදවියට ඉතිරි වන්නේ මියගිය මිනිසාතුළ පැවති මිනිස්කම් පමණකි. ඒ මිනිස්කම්ද, සමහර විට, සුදු - කළු වශයෙන් ඛෙදී යා හැකි ය. 

K H J Wijedasa 2017.5සිවිල් නිලධාරියෙකු ලෙස 1960 මාර්තු 28 වෙනිදා රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම, වසර 50කට ආසන්න කාලයක් රටේ ප්‍රගමනයට දායක විය.  කේ.එච්.ජේ. විජයදාස පොළොන්නරුව දිසාපති සිටි නවසිය හැට ගණන්වල මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. රාජකාරි අතර, නවසිය අසූ ගණන්වල හෙතෙම, මා අනුයුක්තව සිටි නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකි. 

විවිධ සිවිල් නිලධාරින් යටතේ සේවය කළ මට කිසි විටෙකත් සිවිල් නිලධාරි කේ.එච්.ජේ. විජයදාස, තවත් සගයෙකු මිස ප්‍රධානියෙකු හැටියට දැනුණේ නැත. ඔහුගේ පැවැත්ම, නිරන්තරව ආධුනික තරුණ නිලධාරින් තුළ උද්යෝගය, ශක්තිය හා විශ්වාසය රෝපනය කිරීමට හේතු වාසනා ගෙනා බව ලියා තැබීම ඔහුට කරන ගෞරවයකි. 

කේ.එච්.ජේ. විජයදාස, නිවාස හා  ඉදි කිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස මගේ ආසන්න ප්‍රධානයාගේත් ඉහළ විධායක ප්‍රධානියෙකු විය.  එහෙත් පැවරුණ රාජකාරි අතර, වගකීම් ඛෙදා ගත්තෙකු මිස, තමන් යටතේ සිටි කිසිවෙකුට අතට කෙවිට අතට ගත් පාලකයෙකු නොවී ය.

අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස යටතේ නිවාස අමාත්‍යාංශයේ වැඩ කළ අප කවුරුත් සිටියේ අවදානම ඛෙල්ලේ බැඳගෙනය. ස්වාර්ථය මිස අනෙකෙකුගේ පහසුව අයිතිය හෝ ගෞරවය ගැන ආර්. ප්‍රේමදාස තුළ කිසිදු තැකීමක් නොවී ය. සිය උපන් දින සාදය වූ ගම් උදාව සහ ප්‍රේමදාස යනු දෙකක් නොව එකකි. විජයදාස දිගු කලක් ගම්උදා ප්‍රදර්ශන අධ්‍යක්ෂ ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රීක් භාරව සිටි අප සමග ඍජුව ක්‍රියා කළේ ය. මා ප්‍රේමදස යුගයේ 1982 සහ 1984 යන  වර්ෂවල පිළිවෙලින් මාතලේ 'දඹුළුගම' සහ අනුරාධපුර 'පණ්ඩුලගම' ගම් උදා සංවත්සර භාරව සිටි දිස්ත්‍රීක් නිලධාරියා විය. 

gam

1980 ආරම්භ කළ ගම් උදා සංවත්සරය ප්‍රේමදාසගේ උපන් දිනය වූ ජූනි 23 දින ආරම්භව ජූලි 02 දින තෙක් පැවැති ගම් උදා ප්‍රදර්ශනය ඉදි කළ සියළු මඩු කූඩාරම් ප්‍රදර්ශන කුටි ගලවා අවසන් කරන්නකි. එහෙත් දඹුල්ලේ 1982 ගම් උදා භූමියේ ස්ථීර උදා ගමක් ඉදිකර ජනතාව සතු  කළ යුතු බවට ගත් තීරණය නිසා දිස්ත්‍රීක් කළමනාකරු ලෙස ප්‍රදර්ශණයට අමතරව, ස්ථීර ගමකට උචිත භූමියක් ගැන මගේ සැලකිල්ල යොමු විය. ඒ නිසාම තෝරා ගැනීමේ පහසුව තකා සීගිරිය පාරේ ඇටවරාහේන සහ ඒ නවය පාරේ දඹුල්ලේ මිරිස්ගොනියාව පාලම අසල වට්ටක්කායාය යන ඉඩම් දෙක හඳුනා ගතිමි. නගරයෙන් ඈතක වීම නිසා, කිසිවෙකු ඇටවරාහේන ගැන උනන්දු නො වීය. ආදර්ශ ගම්මානයක් නම් පිටිසර ප්‍රදේශයක ඉදි කළ යුතු බවත්,  නගරයක නම් එකී ව්‍යාපෘතිය නිවාස යෝජනා ක්‍රමයක් මිස ආදර්ශ ගම්මානයක් විය නොහැකි ය යන්න මගේ අවබෝධය වූයෙන් සුප්‍රකට ඒ නවය මාර්ගයේ පිහිටි වට්ටක්කායාය ගැන මගේ කැමැත්තක් නො වීය. 

'' හොඳ තේරිමක්.....''  ආර්.ප්‍රේමදාස මා දෙස බලා කීවේ කෘතඥපූර්වක හැඟීමකිනි . පුදුමයක් නැත. ඉරහඳ පවත්නා කල් ඒ නවය පාරේ යන එන්නන්ගේ ඇස ගැටෙන මේ භූමිය, ගමකට නොව ප්‍රදර්ශනයකට නම් කියාපු තැනකි. එහෙත් මිනිසුන් සඳහා ආණ්ඩුවේ මුදලින් ගමක් ඉදි කෙරෙන හෙයින් සඛ්‍යතා අධ්‍යයනයක් කිරීම මගේ වගකීම විය. මේ භූමිය මිරිස්ගෝනියා ඔය පිරි ඉතිරී ගලා යන හැම අවස්ථාවකම ජලයෙන්  යටවන බව ප්‍රදේශ වාසීහු ප්‍රකාශ කළහ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මා ලබා ගත්  ගංවතුර වාර්තා අනුව වසර 10ක් 20ක් අතර නැවත නැවත ගංවතුරට යටවන බව තහවුරු විය. අගමැතිගේ කැමැත්ත පළවී ඇති නිසා ඉහළ නිලධාරින් කිසිවෙකු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා ගැන උනන්දු වුණේ නැත. 

IMG 6215'' තියා ගන්නවා තමුසෙගේ කෙහෙම්මල් ගංවතුර වාර්තා....''  යනුවෙන්  අමාත්‍යාංශ රැස්විමක් අතර, ආයතන ප්‍රධානියා මගේ කනට කර කළ තර්ජනය නිසා මගේ ස්ථාවරය හකුලා ගත් මම, නියමිත දිනට ගමේ ඉදි කිරීම් අවසන් කර ඇඟ බේරා ගැනීමට ඉටා ගතිමි. 1982 සිට මේ දක්වා ගෙවී ගිය හතලිස් එක් වසරක කාලය තුළ යටත් පිරිසෙයින් තුන් වරක් හෝ 'දඹුළුගම' ගංවතුරට සේදී ගියේ ය. (හේමලයා ස්වයං චරිතාපදානය. චන්ද්‍රසිරි සෙනෙවිරත්න. සරසවිය ප්‍රකාශනයකි. හේමලයා 220-221 පිටු)

නැනත් බලා මංගල පස් පිඩැල්ල කැපූ දින රාත්‍රීයේ වැඩබිමේ කූඩාරමක නිදා සිටි වැඩිහිටි මේසෙන් බාස් කෙනෙකු මහ රෑ සිහිනෙන් බියවී අවදිව, නැකතට පටන් ගත් වැඩේ කරගෙන යාමට නම්, වහා නර බිල්ලක් අවශ්‍ය බවට කෙනෙකු කළ තර්ජනජනය හේතුවෙන් ඉදි කිරිම් ශිල්පින් බියෙන් පසුවන බව වැඩබිම් නිලධාරි නිහල් ගුණවර්ධන මට වාර්තා කළේය. මනස්ගාත පිළි නො ගන්නා නමුත්, වගකීම දරන්නා ලෙස, පිරිස ධෛර්යමත් කොට, ආරක්ෂා කිරීම මගේ වගකීම විය. වැඩබිම් සාමාජිකයන් සමග දඹුළු විහාරය වැඳ විෂ්ණු දෙවියන්ට පින් දී භාරහාර වී කණ්ඩායමේ මානසිකත්වය ශක්තිමත් කළ මම ප්‍රදර්ශණ අධ්‍යක්ෂ වැඩබිමට පැමිණි වහාම, මේ කතාව දන්වා සිටියෙමි. 

'' Do you believe these…. ''  ඔහු බරපතල හඬකින් එසේ විමසූ විට මට සිනහ පහළ විය.  

''ඇයි එහෙනම් මට කියන්නේ .... ''  එවර කතා කළේ සිංහලෙනි. 

'' මේක මට රාජකාරි ගැටළුවක් .. මට අවශ්‍ය වුණේ ඕනැ කාට හරි පාස් කරන්න. දැන් මම නිදහස්. මම එසේ කියා සිනාසුනෙමි. 

K.H.J. Wijayadasa'' චන්ද්‍රසිරි අපේ මෑන්ට කිව්වොත් නර බිලි තුන හතරක් වුණත් දෙයි. කොළඹ ඇඩ්රස් නැති හිඟන්නෝ ඕනැ තරම්....''  එසේ කී හෙතෙම ගැඹුරු බැල්මක් මා වෙත හෙළීය. වචනයක් පිට නො කිරීමට මම පරෙස්සම් වීමි. යම් විරාමයකට පසුව ප්‍රදර්ශන අධ්‍යක්ෂ විජයදාස යළි හඬ අවදි කළේ ය.

'' කාගේවත් උපන් දින සාදවලට අපි කුකුළෙක්වත් මරණ සිරිතක් නෑනේ..'' එසේ කියා පිටට තට්ටුවක් දැමූ හෙතෙම දුර අඩි තබමින් මා වෙතින් ඉවත් විය. එදා දඹුල්ලේදී මට හමුවූයේ පොළොන්නරුව සහ කෑගල්ල ආණ්ඩුවේ ඒජන්ත ලෙස අසා දැන සිටි කේ.එච්.ජේ. විජේදාස නම් නොවේ. 

පොළොන්නරුව ආණ්ඩුවේ ඒජන්ත ලෙස සේවය කරන අතර දිසාපති මන්දිරයේ සිදුවූ යම් යම් අපැහැදි සිද්ධින් කිහිපයක් ගැන කලින් එකී නිල නිවසේ පදිංචිව සිටි සිවිල් නිලධාරි අයිවන් සමරවික්‍රමට දන්වා ඇත. 

IMG 6216'' බලන්න කවුරු හරි ආවතේව කාරයෙක් අනවශ්‍ය දෙයක් කරලා තියෙනවාද කියලා..... අයිවන් එසේ විමසා ඇත්තේ නොවරදවා සවසට බුදු පහන තියන්න යනුවෙන් විජයදාසට නිල නිවෙස භාර දුන් දවසේ කළ මතක් කිරීම ද සිහිපත් කරමිනි. විජයදාස දෙ මහල්ලන් තිගැස්සූ අපැහැදිලි සිද්ධින්ට හේතුව, උද්‍යාන මුරකරු දිසාපති බංගලාවට රිංගා ගත් සර්පයෙකු මරා දැමීමය. (පහන් සංවේගය කේ.එච්. ජේ. විජයදාස චරිතාපදානය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. 78-79 පිටු.) ඔහු කෑගල්ලේ සේවය කරන අතර,  කාගේ දෝ  කීමකට හොඳින් කේන්ද්‍ර කියවනවා කී දෛවඥයෙකු හමුවිමට වෙස් වලාගෙන ගියේය. කේන්ද්‍රය අතට ගත් දෛවඥයා, හිගන්නෙකු ලෙස වෙස් වලාගෙන සිටින්නේ ආණ්ඩුවේ ඒජන්ත බව ප්‍රකාශ කළා පමණක් නොව තවත් ඇදහිය නොහැකි බොහෝ දේ මෙන්ම, උපන් කේන්ද්‍රයේ දෝෂ හේතුවෙන් විවාහය ගැන ප්‍රවේසම් වන ලෙස සිය මව ගැටවර විජේදාසට දුන් උපදේශයක් නිසා හෙතෙම විශ්වවිද්‍යාල ජීවිතයේ ප්‍රේම සබඳතා ඇති කර නොගත් බව (ප්‍රියංවදා කහවනුගොඩ සමග රිවිර 2006-12-17 ඉරිදා) සමග කියා තිබිණ.

මේ අත්දැකීම් හරහා ආර්.ප්‍රේමදාසගේ ඉහතින් කී ස්වාර්ථයත් විජයදාසගේ සමබරතාවයත් විමසිය යුතුවේ.  විජේදාස නම් කේන්දර හොල්මන් භූත කතා විශ්වාස කළ සාමාන්‍ය මිනිසා අපල උපද්‍රව වලට කොතරම් බියවීද යත් විශ්වවිද්‍යාල ජීවිතය අතර ප්‍රේම සබඳතාවක් හෝ ඇති කර ගත්තේ නැත. එහෙත් කොණ්ඩකුමාර හපුදොරු ගමගේ ජෝතියරත්න විජයදාස, රාජ්‍ය නිලධාරියෙකු ලෙස නර බිලි ගැන මා සමග කළ කී දේ ආකාරය ප්‍රේමදාසට වඩා වෙනස් ය. සමහර විට වෙනත් නිලධාරියෙකු මෙය දැන ගත්තා නම් බිලි පූජා ව්‍යාපෘතියද භාර ගෙන තනතුරෙන් ඉහළ යාමටත් උත්සාහ කිරීමට ඉඩ තිබිණ. 

විධිමත් රාජකාරි අතර පවා ඔහු කිසි විටෙක පොතේ ගුරෙකු නො වීය. දඹුළුගම විවෘත කරන දිනයේ ගමේ කඩ මණ්ඩිය සඳහා ඉදි කළ සියලු කඩ කාමරවල වෙළඳසැල් ආරම්භ කළ යුතු බවට කවුදෝ ලණුවක් දී තිබිණ. මේ අවස්ථාවේ මා කියා සිටියේ දඹුළුගම නිවාස ලාභීන්ට උත්සවයේදී යතුරු භාර දුන්නාට ඔවුන්ට නිවසේ හිමිකම ලැඛෙන්නේද ප්‍රදර්ශණය අවසන්වූ පසුව නිසා සක්‍රිය කඩ සාප්පු අවශ්‍ය නැති බවය. එහෙත් ප්‍රේමදාසගේ උවමනාව ඉක්මවා යාමට හපන් කිසිවෙකු මට සහාය නො දැක්වීය. අවසානයේ කඩිනමින් වෙළඳ කුටි බදු දීමට අභිලාෂයන් කැඳ වූ විට කිසිදු අයදුම් කරුවෙකු අපේක්ෂා කළ බදු කුලියෙන් අඩකටවත් සරිලන මිලක් දක්වා නො තිබිණ. මේ තත්වය ප්‍රදර්ශන අධ්‍යක්ෂට දැන්වූ පසුව ඔහු පහසු ඉරියව්වෙන් සිනා සී කීවේ අප හෝ කඩ විවෘත කළ යුතු බවය. 

'' ආණ්ඩුව කොහොමද සිල්ලර කඩ දාන්නේ.... කවුද ඒ වගකීම ගන්නේ මගේ විමසීම තරමක් ආවේගශීලි වුණා විය හැකිය. 

'' කේන්ති ගන්න එපා. හෙමින් හිතන්න.'' ඔහු එවර කතා කළේ වැඩිහිටි ස්වරූපයකිනි.  

'' ඕනැ මගුලක් කර ගැනීමට කඩ කාමර කිහිපය පළාත් පාලන සහකාර කොමසාරිස් හරහා පළාත් පාලන ආයතනවට භාර දෙමු. මා කළ යෝජනාව හිස සලා අනුමත කළ හෙතෙම සැනෙකින් මා අත පැවති කඩ කාමර ගොනුවේ මගේ යෝජනාව අනුමත කළේ ය. 

'' කලබල නොවුණොත් හැම දේටම උත්තරයක් තියෙයි. ඔහු සිද්ධිය අවසන් කළේ එසේය. 1984 ගම් උදා සංසිද්ධින් අතර පසුව පණ්ඩුලගම ලෙස නම් කළ කොරකහවැව වැඩ බිම සිට මග දෙපස නිවාස වැඩි දියුණු කිරීම කළ යුතු විය. නැතිබැරිකම කි විට ප්‍රේමදාස ආණ්ඩුව ගණනේ ගෙවල් හදා දෙන බවට පැවති ආරංචිය නිලධාරින් වන අපට වදයක් විය. කොළඹින් පැමිණි කණ්ඩායම් මෙවැනි අවස්ථා ප්‍රගතිය රහිත බවට ඉහළට වාර්තා කිරිම යළි අපෙන් විමන්නේ සමහර විට රටේ අගමැතිවරයාමය. තිසාවැව ඉස්මත්තේ එක් නිවෙසක හිමිකාරිය ආධාර අපේක්ෂාවෙන් ඉදි කිරීම් නො කිරීම හේතුවෙන් නිලධාරින් සමග අවුලක් ඇති කරගෙන තිබිණ. යම් අවස්ථාවක අමාත්‍යාංශ වැඩ මූලිකයෙක් කාර්මිකයන් යොදා උක්ත නිවෙසේ වැඩ රජයේ මුදලින් ඉදි කරන බව මා වෙත වාර්තා වීම සමග මම සැනසුම් සුසුම් හෙළීමි.

image 07b8b99ac2

පසු දවසක ප්‍රදර්ශන කාර්යාලයේ සති සාකච්ඡාව අතර, ප්‍රදර්ශන අධ්‍යක්ෂ මා වෙත වැඩ ඇස්තමේන්තුවක් දිගු කොට මුදල් ගෙවීමට අනුමැතිය අවශ්‍ය බව කීය. මගේ අනුමැතියක් හෝ අධීක්ෂණයකින් තොරව සිදුවී ඇති මේ නිවසේ ඉදි කිරීම්වල තත්වය ගැන මගේ කාර්මික නිලධාරින්ට ලවා සහතික ලබාදීම අපහසු බව කියා සිටියෙමි. මද වේලාවක් මා දෙස බලා සිටි ප්‍රදර්ශන අධ්‍යක්ෂ විජයදාස සිය අත පාමින් අර ඇස්තමේන්තුව ආපසු ඉල්ලා ගත්තේය. එහි සිටි සියළු දෙනාට මේ මොහොත ඛෙහෙවින් අවිනිශ්චිත වූ බව දැනිණ. මා දුන් ඇස්තමේන්තු වාර්තාව එ සැනින් සිරි හත්තේට්ටුගමට දිගු කරමින් මෙසේ කීය. 

'' මේකත් එහෙනම් පිඩෙලි වියදමට...''  දැන් අපි ඔක්කොම නිදහස් අපෙන් උකුත්ව ගිය සිවිල් නිලධාරි කේ.එච්.ජේ. විජයදාස යනු එවැන්නෙකි.

විජයදාස නම් විශිෂ්ටයාගේ නික්ම යාම පාදක කොට මේ තොරතුරු මා ලියා තබන්නේ රාජ්‍ය සේවය ගැන යමක් සිතා ගැනීම සඳහා ය.

එ දවස අප ගෙවන ලද්දේ ආශ්වාදනීය සේවා කාලයකි. අප වැඩ කළෙමු. විනෝද වීමු. කන්තෝරුවෙන් පිටට ගිය අප නිල තරාතිරම් අමතක කර සතුටින් කල් ගෙවීමු. අද මෙන් එකල රාජ්‍ය සේවය පසුපසින් දේශපාලකයන්ගේ කෙවිටි ලෙලදුන්නේ නැත. ඒ යුගය ශක්තිමත් රාජ්‍ය සේවයක් පැවතියා යයි අපට සතුටු විය හැකිය. වසර කිහිපයකට ඉහත දිනෙක කොළඹදී මට විජයදාසයන් මුණ ගැසිණ. 

ඔහු මා දුටු  වහාම කොහොමද කියා සිනාසිණ. ඔහු දුටු මටත් දැනුණේ මහා තෘප්තියකි. පැමිණි කාර්ය නිම කළ හෙතෙම යම් යම් මතක අළුත් කරන අතර රාජ්‍ය සේවය ගැන යමක් මා වෙතින් ප්‍රකාශ විය. 

'' කතා නොකර ඉම්මු. රාජ්‍ය සේවය බල්ලට ගිහින්....''

'' සර් ..... ඒක වැරදියි මා ආරම්භ කළ කතාවට බාධා කරමින් හෙතෙම හඬ අවදි කළේය. 

'' මිස්ටර් සෙනෙවිරත්න කවදාවත් එකඟ වෙන ජාතියේ කෙනෙක් නොවෙයිනේ '' අපේ සාකච්ඡාව අවසන් කළ මගේ පිළිතුර මෙ වැන්නකි.

'' රාජ්‍ය සේවය බල්ලට ගිහින් නෙවෙයි. රාජ්‍ය සේවය බලූ වෙලා.''

'' මට වෙලා ගියා '' එසේ කී ඔහු නික්ම ගියේය. 


අලුත් ගිවිසුමකින් බැඳ දැමුණ රාජ්‍ය සේවයේ නම්බුකාර පැවැත්ම - (නීතිඥ  චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...