The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : ලාල්කාන්තගේ මනස්කාන්ත ‘ලොරීකරණ’ කතා - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

September 1, 2023 • 11:03 AM

බල්සාක් කැෆේ : ලාල්කාන්තගේ මනස්කාන්ත ‘ලොරීකරණ’ කතා - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය යොමුකර තිබුණේ ‘මතවාද’ සාමුහිකය තුළ අධිනිෂ්චයවැ පවතින ජා.ජ.බ.
  • හිතවාදියෙකුගෙන් වූ අතර ඔහු පවසා තිබුණේ ‘එය ආධුනිකයෙකු විසින් කෙරුණු ඉතා අසාර්ථක එඩිට් එකක්’ බව යි.
  • එම පින්තූරය සත්‍යය පින්තූරයක් ලෙස පිළිගැනීමට ඇති නොහැකියාව යි.
  • එය සත්‍ය පින්තූරයක් ලෙස පිළිගැනීමට මැලි වන දේශපාලන පසුබිම කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය යොමුකර තිබුණේ ‘මතවාද’ සාමුහිකය තුළ අධිනිෂ්චයවැ පවතින ජා.ජ.බ. දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන මිත්‍රයෙක් වන අතර ඔහු ‘එම ඡායාරූපය ව්‍යාජයක් ද, නො එසේ නම් සත්‍යයක්දැ’යි ප්‍රශ්න කර තිබිණ. ඊට ලැබුණු පළමු සහ එකම ප්‍රතිචාරය තවත් එක් ජා.ජ.බ. හිතවාදියෙකුගෙන් වූ අතර ඔහු පවසා තිබුණේ ‘එය ආධුනිකයෙකු විසින් කෙරුණු ඉතා අසාර්ථක එඩිට් එකක්’ බව යි. එම ප්‍රතිචාරයේ අර්ථය කුමක් ද? එම පින්තූරය සත්‍යය පින්තූරයක් ලෙස පිළිගැනීමට ඇති නොහැකියාව යි. එය සත්‍ය පින්තූරයක් ලෙස පිළිගැනීමට මැලි වන දේශපාලන පසුබිම කුමක් ද? ඒ වනාහී පාස්කු බෝම්බය දක්වා විකාශය වුණු ‘අබ සරණං’ පන්නයේ සිංහල - බෞද්ධ අන්තගාමීත්වයක්, එකවිට, එම පින්තූරය පසුබිම තුළ මතු නොව පෙරබිම තුළ ද වරනැඟෙමින් පැවතීමයි.

මෙම ‘මතවාද’ වට්සැප් සාමුහිකයේ බහුතර නියෝජනය, මීගමුව මෙන් ම විමුක්ති ක්‍රිස්තියානිය මෙන්ම විමුක්ති දේශපාලන කේන්ද්‍ර කර ගත් සමාජාර්ථික-සංස්කෘතික- දේශපාලන ක්‍රියාකාරකම්වල පසුගිය දශක කිහිපය පුරා ම අඛන්ඩව නියුතු පිරිසක් බව ගෞරවයෙන් මෙනෙහි කළ යුතු ය. රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නයේදී පවා අතිශය ඉදිරිගාමී ස්ථාවරයක පිහිටියා මතු නොව පීඩිතයා වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වූ ඒ වෙනුවෙන් නිර්භීතව කතා කළ ‘මතවාද’ සාමුහිකයේ ඇතැම් සහෝදරයන් සමකාලීන දේශපාලන මොහොතේ පෙනී සිටින්නේ ‘මාලිමා’ දේශපාලනය වෙනුවෙනි.

368422232 9889588851113521 6519249348575970601 nඑසේ වන්නේ වුව ‘මාලිමා’ දේශාපාලනය තුළ පවා අධිනිෂ්චිත දේශපාලන නායකයකු වන කේ.ඩී. ලාල්කාන්ත අත ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව පිරිත් නූලක් බැඳීම විසින් වර නැඟෙන දේශපාලනය ‘අනාගත වක්තෘවරයකු’ ලවා කියවා ගත යුතු නැති බව දන්නා විමුක්ති ක්‍රිස්තියානිකාර මිත්‍රයන්ට එම පින්තූරය ‘ෆොටෝ ෂොප්කරණය කෙරුණු පින්තූරයක් බව බැලූ බැල්මට ම පෙනී යන්නේ තවමත් තමන් සතු විමුක්තිකාමී හෘදය සාක්ෂිය නිසා බව තේරුම්ගැනීම අමාරු නැත. ඔවුන්ට ජාතිවාදය දරන්නට බැරි තරම් බරකි.

නමුත් සිදුවූයේ කුමක් ද? එම ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් බව ලාල්කාන්ත විසින් පිළිගනු ලැබීම යි.

ලාල්කාන්තට පිරිත් නූල් බඳින ඥානසාර භික්ෂුව මොවුන්ගේ දේශපාලන ව්‍යාපාරය අරභයා කළ ප්‍රකාශයක් මෙනෙහි කිරීම කාට කාටත් යහපත් වන්නට ඉඩ තිබේ. මෙලෙස ය.

‘’ජනතා විමුක්ති පෙරමුණ, මේගොල්ලො වැඩ පිළිවලක් පටන් ගත්තනෙ ‘හෙට පිණිස අද’ කියලා ජාතික ජන බලවේගය නමින්. සංවිධාන ගණනාවක් එකතු වුණා ඒ වැඩ පිළිවලට. ඒ සංවිධාන අතර ප්‍රබල අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් තියෙනවා. එකක්, ශ්‍රී ලංකා ජමාති ඉස්ලාම්. ශ්‍රී ලංකා ජමාති ඉස්ලාම් සංවිධානයෙයි ජනතා විමුක්ති පෙරමුණෙයි කිසිම වෙනසක් නෑ. ජනතා විමුක්ති පෙරමුණත් බුදු පිළිම පිටිපස්සෙ තමයි ආයුධ හැංගුවෙ. ජමාති ඉස්ලාම් සංවිධානය තමයි මාවනැල්ලෙ බුදුපිළිම කඩන කල්ලිය බිහිකළේ. ඒකෙ ශිෂ්‍ය ව්‍යාපාරය. ඒකෙ මහ එකා ඉන්නෙ කොහෙද, ජනතා විමුක්ති පෙරමුණේ. ජනතා විමුක්ති පෙරමුණ එක කොටසකට සික්‍යුරිටි එක දෙනවා. කවුරු හරි අල්ල ගත්ත ගමන් මාධ්‍ය නිවේදන දෙනවා, මානව හිමිකම් අරක මේක, මෙහෙමයි මෙහෙමයි, මේවා දේශපාලන පලිගැනීම්. කට උල්කරගෙන සුකුරුත්තං කරගෙන. ඔය හජ්ජුල් අක්බාර් අවුරුදු 25ක් මේකෙ නායකයා. (ඔහු නිදොස් කොට නිදහස් කිරීම ගැන නො ලියැවුණු සමාජයට, මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට 'බල්සාක් කැෆේ' හරහා ඒ ගැන මෙනෙහි කර ඇත) එයාගෙ ක්‍රියාකරක් ගැන නවුසර් මවුලවි ජීවමාන සාක්ෂියක් හැටියට කියනවා, මේගොල්ලො ශිෂ්‍යයො යැව්වා කියලා, ආයුධ සන්නද්ධ වැඩපිළිවෙල්වලට. ඉතින් ජේවීපී එකත් එක්ක මේ ගොල්ලො ලස්සනට බද්ධ වෙනවනෙ. මේ ඔක්කොම ඡන්ද හිඟන්නොනෙ අනේ.  ‘ප්‍රභාකරන් ආවාත් මේගොල්ලො තියාගනියි සාක්කුවෙ’’

.

මේ ගලබොඩ අත්තේ ඥානාසර භික්ෂුව හිරු නාලිකාවේ ‘සලකුණ’ තුළ ජවිපෙ ගැන මෙන්ම ජාජබ ගැන තබන දේශපාලන සලකුණයි. වැඩි කලකට පෙර නොවේ අවුරුද්දකට කලිනි. හරියමට කියන්නේ නම් 2022 සැප්තැම්බර් 13වැනිදා ය.  

ඉන් පසු සතියක සලකුණට ගෙන්නන ජවිපෙ මෙන්ම ජාජබ නායකයා වන අනුර කුමාර දිසානායකගෙන් සලකුණ මෙහෙයවන චමුදිත සමරවික්‍රම මේ ප්‍රකාශය ගැන අසයි. අනුර කුමාර පිළිතුරට පිවිසෙන්නේ තමන්ගේ ගමේ පන්සලේ නායක ස්වාමිද්‍රයන් වහන්සේ මෙන්ම තමන්ගේ පාසගේ ගුරුවරයෙක්ද වූ වෙනත් බෞද්ධ භික්ෂුවකගේ රුව ගුණ ආදරණීය සහ ගෞරවනීය ලෙස මෙනෙහි කරමිනි. උන් වහන්සේ එකල අනුර කුමාරලාට කියා දුන් ධම්ම පද අතරින් එකක් මෙනෙහි කරමිනි. ඔහු මෙනෙහි කරන්නේ ධම්ම පදයේ නිර්මාතෘවරයා ඡේතවනාරාමයේදී භික්ෂූන් පස් නමක් අරභයා දේශනාකොට වදාළ ‘භික්ඛු වග්ගයේ’ මාත්‍රාවෙකි. එය මෙබඳු ය.

‘’කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.’’

එහි අර්ථය මෙයාකාර වන්නේ ය.

කය සංවර කරගැනීම කෙතරම් යහපත් ද, වචනය සංවර කරගැනීම කෙතරම් යහපත් ද, සිත සංවර කරගැනීම කෙතරම් යහපත් ද, මෙකී සියල්ල සංවර කරගැනීම කෙතරම් යහපත් ද, මේ සියල්ලෙන්ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

අනුර කුමාර මෙකී ධම්ම පදය මෙනෙහි කර ‘ඔබට මොකද්ද දැනුණේ’ කියා චමුදිත ඇතුළු ‘සලකුණ’ ප්‍රශ්නකරුවන්ගෙන් අසයි. ඉක්බිති, ඔහු, මෛත්‍රිය, කරුණාව, අවිහිංසාවාදය  පදනම් කරගත් බුද්ධාගමේ ඉතිහාසය සැකෙවින් පැහැදිලි කරයි. අවසන ඔහු පවසන්නේ ‘ඇතැම්’ භික්ෂූන්ගේ චර්යාවන් විසින් පෙන්නුම් කෙරෙන්නේ බුදු දහම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා වන විශාල කුමන්ත්‍රණයක ඔවුන් කොටස් කරුවන්ව සිටිනා බවට තමන් තුළ සැකයක් පවතින්නේ ය යන්න යි. අනුර කුමාරගේ මේ ව්‍යංගය ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව අරභයා බව මොන්ටිසෝරි වාමාංශිකයකුට පවා නොතේරෙන්නට විදිහක් නැත.

Lal kantha 2023.02.14

කේ.ඩී. ලාල්කාන්තට පිරිත් නූල් බඳින්නේ අනුර කුමාර මෙයාකාර නාමකරණයකට ලක්කළ භික්ෂුවකි. සමස්ථ සමාජය හමුවේ සිංහල-බෞද්ධ අන්තවාදය මුවාවෙන්, රාජ්‍ය අනුග්‍රහය සහිතව හිසංනය වැපිරූ ක්‍රියාවලියක ප්‍රධානියකු බව පසෙක තිබියේ වා, බලය අත්පත් කරගැනීම සඳහා තීරණාත්මක ගමනක් යමින් සිටින තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තවදුරටත් ‘සන්නද්ධභාවය’ සමඟ ගැටගසා පෙන්වන භික්ෂුවක සමඟ පුද්ගලික මිත්‍රයභාවයක් පවත්වන දේශපාලනය ලිහා පෙන්වන්නට ‘මිත්‍රත්වය’ නම් ගැඹුරු විෂය පිළිබඳ දාර්ශනික කියවීමකට යා යුතු නැත. රංජන් රාමනායකගේ සුප්‍රකට දේශපාලන උද්දෘතය ප්‍රමාණවත් ය. ‘උං ඔක්කොම යාළුවො මල්ලි’’යැයි කීම ප්‍රමාණවත් බව පෙන්වන්නේ ලාල්කාන්ත ම ය. ලොරි ටෝක්ස් ඉෂූ කිරීමෙන් පමණක් එය සගවාලන්නට නොහැකි ය.

ජාතිවාදී දේශපාලනය පිළිබඳ ඉතිහාස විනිෂ්චයේදී ගලබොඩ අත්තේ ඥානසාර හා ලාල්කාන්තගේ භාවිතය වෙනස් වන්නේ එහි මාත්‍රාවන්ගේ පරිමානයේ වෙනස් කමින් පමණි.  ඇල්කොහොල් ලෝලී මිනිස්සු විවිධාකාර මිත්‍ර සම්බන්දතා නඩත්තු කරති. ඒවා පුද්ගලික ජීවිතය ලෙස නම්කරගන්නට ඔවුන්ට අයිතියක් තිබේ යැයි ඔවුන්ටම තර්ක කරගන්නට බැරි කමක් නැත. නමුත් රටක සමස්ත ජාතික ආතතිය කෙරෙහි බලපවත්නා අන්තවාදී බලවේග අරභයා, හිතුමතේ ‘ලොරීකරණය කළ’ වචන-වැකි-ඡේද-පරිච්ඡේද වීසි  කිරීම ඉවසා වදාරන්නේ ‘දේශපාලන වහල්ලුන්’ පමණකි.

සේපාල් අමසිංහ සමඟ සිදුකළ පශ්චාත් ඥානසාර පිරිත් නූල් සාකච්ඡාවේදී ලාල් කාන්ත විවෘතව ප්‍රකාශ කරන්නේ කුමක්ද?



තත්වය ඇතුළේ මිනිසුන් වෙනස් වන බව ය.

ඥානසාර හාමුරුදුවන් වුව හැමදාම ඔහොම ඉඳීවි යැයි තමන් නොසිතනා බව ය.

තමන් උන්වහන්සේට ‘වෙනස්වන්නට’ යෝජනාවක් පවා කළ බව ය.

ඥානසාර හාමුදුරුවන්ට පෞරුෂයක් තියෙන බව ය.

මෙකී පෞරුෂය හොඳ ක්‍රියාවලියක් සමඟ සම්බන්ද වන්නේ නම් එය සෑහෙන දෙයක් බව ය.

ඥානසාර හාමුදුරුවන් වෙනස් වේ යැයි තමන් විශ්වාස කරනා බව ය.

මේ ප්‍රකාශ වර නඟන අනාගතය කවරක් දැයි නො තෙරෙන්නේ දේශපාලන වහල්ලුන්ට ම පමණි.  මේ සාකච්ඡාව තුළ ලාල්කාන්ත, ඥානසාර භික්ෂුව අරභයා පෙන්නුම් කරන්නේ පුද්ගලික මිත්‍රත්වයක් පමණ ද?

369459239 605305705107194 8772943121178254560 n

මා ද ඇතුළත් කරගෙන සිටින පෙර කී ‘මතවාද’ වට්සැප් ගොමුවේ ‘තුයියකොන්තෝන්මාදය’ අරභයා ද තරමක සංවාදයක් ඇතිවිය. ඒ ගැන ඉදිරි දිනෙක ලිව්ව යුතු ය. මේ සියල්ල ම කරකැවෙන්නේ එකම ජාතිකවාදී දේශපාලන ඡන්ද චක්‍රයක ය.  මෙම සංකීර්ණ දේශපාලන මොහොතේ ඉතා ගැඹුරු මිනිසුන් පවා පුද්ගල අනන්‍යතා දියැවුණු රංචු මානසිකත්වයට ඇතුළත් ව සිටීම දේශපාලන ඛේදවාචකයක් ය. දශක දශක පුරා පීඩිතයා වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිමින් පරිපූර්ණ පුරවැසියකු  ලෙස දියුණු අනන්‍යතාවක් අත්පත් කරගත් ආදරණීය මිනිසුන් යළි ‘සෙනග’ බවට පත් වීම විමුක්ති ක්‍රිස්තියානියේ මෙන්ම විමුක්ති දේශපාලනයේ ද දුර්භාග්‍යයකි.


මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

( බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත -2023  සැප්තැම්බර් 03)



 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...