The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : ලෝගු ඇඳ ගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

September 8, 2023 • 7:33 AM

බල්සාක් කැෆේ : ලෝගු ඇඳ ගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ - (මංජුල වෙඩිවර්ධන) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙකී ‘චැනල් හතර’ නාලිකාව ‘කිලිංග් ෆීල්ඩ්ස්’ නමින් දුර්දාන්ත අන්ත අමානුෂික යුද අපරාද ගැන පෙන්වන විට එහි මාධ්‍ය පර සුද්දන් පරසක්වල ගසමින් අම්මාමෝ කියා බනිමින් උන් පලු ඇරියේ ද මෙකී සමාජය ම වීම විසින් පෙන්නුම් කරන්නේ කුමක් ද?
  • අප අති උතුම් කාදිනලුන් වනාහී සමකාලීන ලාංකික කිතුනු සංඝයේ පළමු කිතුනුවා මෙන්ම ජාත්‍යන්තර ලකුණ බවට විවාදයක් නැත.
  • කලක් වතිකානුවේ පවා සේවය කළ එතුමන් ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් මෙතාක් කර ඇති අති උතුම් ‘සේවාවන්’ කප්පරකි.
  • ‘ කාදිනල්වරයා බොරු දිවැසිවරයෙක්ද ?’ මැයෙන් අප ලියූ කොලමේ ඔවුන්ගේ භාවිතය වඩා පැහැදිලිව දක්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙකී ‘චැනල් හතර’ නාලිකාව ‘කිලිංග් ෆීල්ඩ්ස්’ නමින් දුර්දාන්ත අන්ත අමානුෂික යුද අපරාද ගැන පෙන්වන විට එහි මාධ්‍ය පර සුද්දන් පරසක්වල ගසමින් අම්මාමෝ කියා බනිමින් උන් පලු ඇරියේ ද මෙකී සමාජය ම  වීම විසින් පෙන්නුම් කරන්නේ කුමක් ද?

පාස්කු බෝම්බ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පෙළගැසී සිටින නිල කිතුනු පෙරහැරේ කසකාරයා වී සිටින්නේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ය. අප අති උතුම් කාදිනලුන් වනාහී සමකාලීන ලාංකික කිතුනු සංඝයේ පළමු කිතුනුවා මෙන්ම ජාත්‍යන්තර ලකුණ බවට විවාදයක් නැත. කලක් වතිකානුවේ පවා සේවය කළ එතුමන් ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් මෙතාක් කර ඇති අති උතුම්  ‘සේවාවන්’ කප්පරකි.  උන්වහන්සේගේ තීන්දු තීරණ නිසා කිතුනු සභාවට අත්පත් වූ ඉරණම ගැන ගැඹුරු සංවාදයකට අවතීර්ණ වන්නට තරම් නිර්භීත ක්‍රිස්තු පුත්‍රයන් සභාව තුළ සිටී නම් පාස්කුවේ සැබෑ විමුක්තිකාමී හරය මෙන්ම  ක්‍රිස්තියානිකාරකමේ සැබෑ හරය අත්පත් කර ගන්නට සියලු පීඩිතයන්ට මාර්ග විවර වන්නට පවා ඉඩ තිබේ.

children killed in sri lanka airforce bombing2

නවාලියට හෙළූ ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කුඩා දරුවන් 63දෙනෙකුගේ මළ සිරුරු අතර මෙම බිළිඳියගේ මළ සිරුර ද විය

තුයියකොන්තා පන්නයේ අහස්යාත්තරා බෝම්බ වලින් ආරක්ෂා වන්නට නම් වහාම පොදු ස්ථාන වලට යන්නටැයි පීඩිත දෙමළ මිනිසුන් හට නිවේදනය කර ඔවුන් ආරක්ෂාව පතා 'නවාලිය' සාන්ත පීතර ඇතුළු දෙව්මැදුරු පොදු සමාජ අවකාශ වෙත ගාලු වූ පසු බෝම්බ දමා මරා දැමූ කල, කට පුක වහගෙන නිහඬව සිටියේ පාස්කු බෝම්බ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කර සමාජයට යුක්තිය ඉටුකර දිය යුතු යැයි කියමින් වැළලෙන්නට හදන මහා ගැඹුරු ඇදැහිලිවන්තයන් ම ය. ඉනික්බිති උතුරේ දේවස්ථාන යැයි නම් කෙරුණු කීයක් නම් ස්ථාන පුපුරා ගොස් ඇද්දැයි නිල සභාව දන්නේ නැත.

tamil homes bombed by sri lankan air force

5 1.jpg          රදගුරු රායප්පු ජෝෂප්රායප්පු ජෝෂප් ප්‍රමුඛ ක්‍රිස්තියානිය ප්‍රායෝගිකව අත්හදා බැලූ නිර්භීත මිනිසුන් දෙමළ පීඩිතයා වෙනුවෙන් ක්‍රිස්තු පුත්‍රයන්ව සටනට බට කල ඔවුන්ට දේශද්‍රෝහී හංවඩුව ගැසූ ඉතිහාසය දැන් කිසිවකුටත් මතක නැත. ‘කිතුනු දෙස-බස-රැස-හඬ’ වැනි නම් වලින් අටවා ගත් සංවිධාන සිංහල -බෞද්ධයාට නොදෙවැනිව, තමන්ගේ ජාතිවාදී සිංහ අසිපත් දෙමළාට එරෙහිව අමෝරාගත් ඉතිහාසය දැන් කිසිවකුටවත් මතක නැත. ‘පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල’ වනාහී සිංහල කිතුනුවාද මහත් උද්යෝගයෙන් හා උත්කර්ෂයෙන් ආරක්ෂා කරමින්, පෝෂණය කරමින් ගොඩනැංවූ සමාජ සන්දර්භයක තාර්කික ප්‍රතිපලයක් විනා ඉන් පරිබාහිර අමුතු යමක් නොවේ.

පාස්කු බෝම්බාවලිය බටහිර කුමන්ත්‍රණයක් යැයි කීවෝ, ‘මානව හිමිකම්’ පිළිබඳ සටන් කිරීම පවා බටහිර කුමන්ත්‍රණ දක්වා ඌණනය කළ කාදිනල් උන්නාන්සේ වන්නා හ. අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස නොව ගෝඨාභය රාජපක්ෂ රජපුටුවේ ඉන්දවන්නැයි නිල කතෝලික සභාව නිල වශයෙන් අණවන ලද්දෝ උන්වහන්සේ වන්නා හ. ‘කාදිනල්වරයා බොරු දිවැසිවරයෙක්ද?’ මැයෙන් අප ලියූ කොලමේ ඔවුන්ගේ භාවිතය වඩා පැහැදිලිව දක්වා ඇත.

සරත් වීරසේකරගෙන් පටන් ගත් ‘වඳකොත්තු’ ක්‍රියාන්විතයේ සිට මාලිමා ලාල්කාන්තගේ අතිජාත මිත්‍රවර ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ප්‍රමුඛ බලවේග ක්‍රියාත්මක වන්නට වූ රාජපක්ෂ පාලනය තාවකාලිකව හමාර කෙරුණු ඉතිහාසය තුළ අති උතුම් කාදිනලුන්, අතුරලියේ රතන නම් ජාතිමාමක දේශපාලන භික්ෂුව සමඟ තිබුණු පළහිලව්ව ෂෙහාන් මාලක විසින් ‘ත්රුත් විත් චමුදිත’ යූ ට්‍යුබ නාලිකාවේ දී චමුදිත සමරවික්‍රම අභියස නිරාවරණය කර ලදි. මේවා සංවාදයට ගත යුතු නැද්ද?



‘බලසෙනඟට සමර ගී’ ලියූ ඇල්ලේ ගුණවංශ භික්ෂුව විසින් ‘රටේ දුක දැනෙන්නේ කාදිනල්තුමාට විතරයි. මම එතුමාට ආදරෙයි’ යනුවෙන් ප්‍රකාශ කෙරෙන සමාජ සන්දර්භය පිළිබඳ විවාද කළ යුතු නැද්ද?

පාස්කුව ගැන මෙන්ම පාස්කු දා බෝම්බ පිපිරීම ගැන කතා කළ යුත්තේ ඊට යුක්තිය සෙවිය යුත්තේ ව්‍යුක්ත ක්‍රියාවලියක් ලෙස නොව මේ සියල්ල සංයුක්තව විමසා බැලීමෙනි.

ජේසුස් නම් ක්‍රිස්තුවරයාගේ කුරුසිය මත උකුත්වීමෙන් ඉක්බිති උන්වහන්සේගේ සිරුර සොහොන් ලෙනක නැන්පත් කෙරිණ. දින තුනකට පසු සොහොන් ලෙන හිස්වී තිබිණ. ඇදැහිලි ක්‍රිස්තියානියට අනුව උන්වහන්සේ  මරණයෙන් උත්ථාන වී තිබිණ. මෙකී මරණය සහ උත්ථානය ගැනත්, උත්ථානයෙන් පසු ජීවිතය ගැනත් ප්‍රකට මෙන්ම අප්‍රකට ප්‍රවාද ගණනාවක් ඇත. ඒ කවර ප්‍රවාදයක් සත්‍යයට වඩා ආසන්න වුව ද, දාර්ශනික ක්‍රිස්තියානියට අනුව ඒ වනාහී ‘ප්‍රේමය’ මත පදනම් වූ  උන්වහන්සේගේ සමාජ දේශපාලන දර්ශනය නැවත පණ ගන්වන්නට ප්‍රේරිත සහ අනුගාමික සනුහරය තීන්දු කරනු ලැබීමයි. එනම් තමන් මත බලහත්කාරයෙන් පැටවුණු මරණයෙන් සහ පාපයෙන් නිදහස් වීම සඳහා පීඩිතයන් විසින් -  අන්‍යෙන්‍ය ප්‍රේමය මත පදනම්ව  - තීරණය කරනු ලැබීම යි. මෙහිදී අන්‍යෙන්‍ය ප්‍රේමය යනු තමන් මත පාපය පටවන පීඩක ප්‍රජාවට පවා ප්‍රේම කිරීම නොවේ. පැහැදිලිවම පීඩිතයන් අතර පමණක් ගොඩනැඟෙන ප්‍රේමයකි. මාක්ස් විද්‍යාවේ ‘සකල ලෝකවාසී නිර්ධනයිනි එක්වව්’ කියන්නා සේ දාර්ශනික ක්‍රිස්තියාගේ තමන්ගේ අසල්වාසියා යනු අල්ලපු ගෙදර සිටිනා කෙනා නොව, ලෝකයේ කොතැනක හෝ සිටින පීඩිතයා ය. අසල්වාසියාට ප්‍රේම කරනවා යනු පීඩිතභාවය බලමුළුගැන්වීමයි.

නමුත් මෙම පීඩිතයාගේ සමානාත්මතාව පදනම් කරගත් පීඩිතයාගේ කැපකිරීම් ගහණ දුෂ්කර ක්‍රියාවලියක් වූ ක්‍රිස්තියානිය, රෝම අධිරාජ්‍ය සමඟ ගැටගැසිල්ලත් සමඟ ම, ඇදහිලි විශ්වාස දුර්මත මිත්‍යාමත ගහණ හුදු ආගමික භාවිතයක් බවට ඌණනය විය.

දාර්ශනික අර්ථයෙන් ගතහොත් දේශපාලන කුමන්ත්‍රණ බෝම්බ වලින් ඇදහිලිවන්තයන් ආරක්ෂා කර ගැනීමට ඇදැහිලි ක්‍රිස්තියානියේ, ඒ ඒ ශාන්තුවරයන්ට තබා දෙවියන්වහන්සේට වත් බැරි ය. එසේ නම් කළ යුත්තේ බෝම්බ පුපුරන්නේ නැති සමාජයක් ගොඩනංවා ගැනීමයි. ඒ වනාහී සාධරණ යුක්තිගරුක සමාජයකි. ක්‍රිස්තියානිය වනාහි එවන් සමාජයක් ගොඩනංවා ගැනීම වෙනුවෙන් වන සමාජ දේශපාලන ජීවන භාවිතයක් උදෙසා වන ඉදිරි දර්ශනයකි. එම ජීවන භාවිතය පාදා මතුකරගන්නට නම් නිල රෝම අධිරාජ්‍යයෙන් උත්පාදිත නිල සභා වියගසෙන් සවිඥානිකව මිදිය යුතු වන්නේ ය. එසේ නොමැති වූ විට ක්‍රිස්තියානිය ලෙස අධිනිෂ්චය වන්නේ, ලංකාවේ නම් මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ ද ඔහුගේ මාධ්‍ය ප්‍රකාශ මුඛය වන සිරිල් ගාමිණී උන්නාන්සේද මාධ්‍ය මයික්‍රෆෝන අබියසට පැමිණ 'මේ තමයි සභාවේ නිල මතය’ යනුවෙන් කරන ප්‍රකාශ පමණි.

පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල පුපුරා යාම දක්වා වූ මෑත ඉතිහාසය පමණක් නිරීක්ෂණය කළ ද මෙම නිල මතය පෙනී සිට ඇත්තේ කා වෙනුවෙන්වන් ද යන්න ක්‍රිස්තියානිකාර හෘදය සාක්ෂියට තේරුම් ගැනීම අපහසු නැත.

ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ ටෙලි නළුවේ කියැවුණු බරපතල සමාජ දේශපාලනයක් කැටි කරගත් රමනීය ගීතයේ මෙවන් වැකියක් ඇත.

‘’මෙහි ලෝගු ඇඳ ගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ.’’



ජැඇල වැලිගම්පිටියේ දෛනික ජීවිතය පාදක කර ගත්තේ වී නමුත් එහි ඇත්තේ විමුක්ති ක්‍රිස්තියානිය හෙවත් දාර්ශනික ක්‍රිස්තියානිය පිළිබඳ සදාතනික ඇත්තකි. ක්‍රිස්තියානිකාරයා හෙවත් කිතුනුවා යනු බෝම්බ පුපුරා යන යාන්ත්‍රණයට එරෙහිව පීඩිතයා බලමුළු ගැන්වෙන සමාජ දේශපාලන ක්‍රියාවලික පෙරගමන්කරුවකු මිස, වේදනාබර මරණයන් පවා පරිභෝජනය කරන පවතින නීච නින්දිත සමාජ යාන්ත්‍රය සජීවීව පවත්වා ගන්නට පරපෝෂිත ජනමාධ්‍යයන්ට කතා හදා දෙන විහිළුකාරයකු නොවේ.

පාස්කුව යනු පසුකර යාම ය. එතෙර වීම ය. පසුකර යන්නේ කුමක් ද, එතෙර වන්නේ කුමකින් ද යන්න තීන්දු කිරීම පීඩකයාට බාර දෙන යුගය අවසන් කරන තුරු ක්‍රිස්තියානි අර්ථයෙන් පාස්කුව උදා වන්නේ නැත.

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023  සැප්තැම්බර් 10) 

Anida

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...