The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

'නාඳුනන මන්දාකිනි' යක අසිරිය - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

September 17, 2023 • 4:29 PM

'නාඳුනන මන්දාකිනි' යක අසිරිය - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතුරින් ඇතැම් අය අදාළ සිද්ධිය ඒ ආකාරයෙන් ම කාව්‍යානුරූපව ඉදිරිපත් කරති.
  • ඒ දුලබ කවි කිවිඳියන් අතර සිටින එක් කිවිඳියක් ලෙස වින්යා මැණිකේ ජයසේකර කිවිඳිය නම් කිරීම අතිශෝක්තියක් නොවේ යැයි මම විශ්වාස කරමි.
  • සිය වැඩිමහල් සොයුරිය කථකාවගේ රහස් රැකි අන්දම කිවිඳිය ඉතා කාව්‍යාත්මකව ඉදිරිපත් කරන්නී ‘‘ඈ හද අගුළු ලා ඇත’’ නමැති වක්ක්‍රෝක්තියෙනි.
  • අවසන කිවිඳිය, කථකාව සිය සොයුරියගෙන් වියුක්ත වීම ඇයට කෙතරම් බරපතළ අන්දමට බලපා ඇත්ද යන්න පිළිබඳ ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාව්‍ය නිර්මාණ පබඳති. ඒ අතුරින් ඇතැම් අය අදාළ සිද්ධිය ඒ ආකාරයෙන් ම කාව්‍යානුරූපව ඉදිරිපත් කරති. තවත් අය ඒ සඳහා තමා සතු කාව්‍ය ශක්තිය උපයෝගී කරගනිමින් හෘද සංවේදී සිද්ධියක් වුව සිද්ධිය නොපවසා එය ‘‘කවිය’’ට නගති. ඒ සඳහා කවියා හෝ කිවිඳිය විවිධ කාව්‍යෝපක්‍රම භාවිත කරති. එය කවියකු හෝ කිවිදියක සතු විය යුතු සුවිසෙස් දක්ෂතාවකි. නමුදු එබඳු දක්ෂතාවෙන් සපිරි කවියන් හෝ කිවිඳියන් දුලබ ය. ඒ දුලබ කවි කිවිඳියන් අතර සිටින එක් කිවිඳියක් ලෙස වින්යා මැණිකේ ජයසේකර කිවිඳිය නම් කිරීම අතිශෝක්තියක් නොවේ යැයි මම විශ්වාස කරමි.

මෙය මැනවින් ස්ඵුට කරන කාව්‍ය නිර්මාණ කිහිපයක් ම ඇගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘‘නාඳුනන මන්දාකිනි’’ කෘතියෙහි අන්තර්ගත ය.

nandunanna mandakini

මෙම ලියවිල්ල එබඳු කාව්‍ය නිර්මාණයකින් ම ඇරඹීම වඩාත් සුදුසු යැයි හැඟණ බැවින් මම මතු දැක්වෙන කවිය උපුටා දක්වමි.

මගේ ඔසු පිරි ඔරුව හොරු ගෙන

මතක සක්මනට පමණක් ඉඩ ඉතිරි කර
මග වසා වියපත් බවෙහි වේදනා
ළපැත්තෙන් නැගි ඒ
‘‘අපරාදෙ අපි ලොකු වුණේ’’
හිතෙන තරමට

හිතේ ඉපදුණු නොමේරූ පිළිල
වදන්වල දියකර
‘‘උඹ හොඳින්දැයි’’ අසා නිවාරණ
හිත පෙඟූ
මගේ ඔසු පිරි ඔරුව හොරු ගෙන

තිගැස්සී අවදි වුණ රෑ
නිදි දෙව් දුවක මෙන් තුරුල් කළ
දෙවැනි අම්මා කෙනෙකි ඇය මට

නළලත කනස්සලු රැලි ලිහා එකිනෙක
අම්මාට නොකී රහස්
ඈ හද අගුළු ලා ඇත

කාලය කලඹවයි දියඹ
ඉවුරු දෑලෙහි බැඳ දමා අප
දෙපස අත වනන හැටි බලා උනුන් වෙත

රහසේ හඬනා ඉතා නරක පුරුද්දක්
තනිවට තබා මා ළඟ
රැගෙන ගිය දා පටන් ඈ මඟුල් පෙරහැර

උපදිමි මියෙමි
ගිලී සියවසක හුදෙකලාවක මම

කිවිඳිය කවිය නම් කරන්නේ ම සංකේතාර්ථයකිනි. නිර්මාණය ඉදිරිපත් කරන්නේ කථකයෙක් ද කථකාවක් ද යන්න ඍජුව පවසා නොතිබුණ ද ඒ කථකාවක යැයි අනුමාන කළ හැකි ය. ඉදින් මෙතැන් සිට කවිය ඉදිරිපත් කරන්නේ කථකාවක යන උපකල්පනයේ සිට ම මම කවිය පිළිබඳ මගේ කියවීම ඉදිරිපත් කරන්නෙමි.

පළමු පද කිහිපයෙන් කිවිඳිය ඉදිරිපත් කරන්නී සහෝදර බැම්ම කෙතරම් ශක්තිමත් යන්න පිළිබඳ ඉඟියකි. එමෙන් ම ළදරු අවදියේ කෙළිදෙළෙන් ගත කළ දිවිය කෙමෙන්  වියැකීම සහ තරුණ වියට එළැඹීමෙන් ඉක්බිති එකිනෙකාට එකිනෙකාගෙන් වෙන්වන්නට සිදුවීම පිළිබඳ කථකාවගේ ළතැවුල ද එහි කියැවේ.

දෙවන කවියෙන් පිළිබිඹු කෙරෙන්නේ කථකාව අනෙකාට (ඒ කවුදැයි අවසනට කියවාගමු) කථකාවට දැනෙන ආකාරය සහ අනෙකා කථකාව කෙරෙහි කෙතරම් බැඳීමක් පැවතියේ ද යන්න ය.

කථකාව පවසන්නනී කවුරු පිළිබඳව ද යන්න පාඨක ප්‍රජාවට හැඟෙන්නේ දැනෙන්නේ තෙවන කවියේ දී ය. ඒ ‘‘තවත් අම්මා කෙනෙකි’’ නමැති උපම්‍යෙය අනුසාරයෙනි. කථකාව විස්තර කරන්නී ඇගේ වැඩිමහල් සොයුරියක පිළිබඳවය යන්න මෙමගින් විශද කරනු ලබයි.

සිවුවන කවියේ දී කථකාවගේ වැඩැමහල් සොයුරිය තමාට කෙතරම් හිතෛෂිවන්ත ද යන්න පිළිබිඹු කරන්නී ය. බොහෝ විට වැඩිමහල් සොයුරියක සිටින තරුණියක් තමාගේ ජීවිතයේ බොහෝ රහස් දෑ පවසන්නී මවට නොව සිය වැඩිමහල් සොයුරියට ය. කිවිඳිය ගෙනහැර දක්වන්නී ඒ යථාර්ථය යි. සිය වැඩිමහල් සොයුරිය කථකාවගේ රහස් රැකි අන්දම කිවිඳිය ඉතා කාව්‍යාත්මකව ඉදිරිපත් කරන්නී ‘‘ඈ හද අගුළු ලා ඇත’’ නමැති වක්ක්‍රෝක්තියෙනි.

පස්වන කවියේ දී කිවිඳිය ප්‍රකට කරන්නී මේ දෙසොයුරියන්ගේ වෙන්විම පිළිබද සංකේතාර්ථයකි; කාලයාගේ ඇවෑමෙන් දෙදෙන දෙපසට ගිය ආකාරය යි. ඒ කුමන හේතුවක් මත ද යන්න තවමත් කිවිඳිය ඉදිරිපත් නොකරන්නී ය.

සයවන කවියේ දී කථකාව සහ ඇගේ වැඩිමහල් සොයුරිය දෙපසකට වෙන් වූයේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි කරන්නට කිවිඳිය පෙලඹෙන්නී ය. ඒ වෙනුවෙන් ඇය ඉතා සුගම වක්බිණුමක් භාවිත කරන්නි ය. ඒ ‘‘රැගෙන ගිය දා පටන් ඇය මඟුල් පෙරහැර’’ යන්න ය. එම වක්බිණුම වෙසෙසින් පැහැදිලි කිරීම අනවැසි යැයි මම විශ්වාස කරමි.

අවසන කිවිඳිය, කථකාව සිය සොයුරියගෙන් වියුක්ත වීම ඇයට කෙතරම් බරපතළ අන්දමට බලපා ඇත්ද යන්න පිළිබඳ ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරන්නී ය.

xfyety

ලිපිය ආරම්භයේ දී ම පැවසු පරිදි කිසියම් සිද්ධි වාචකයක් වුව එය කාව්‍යාත්මකව ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කදිම නිදසුනක් ලෙස මෙම නිර්මාණය හැඳින්විය හැකි ය.

වත්මනෙහි විද්‍යාවේ සහ තාක්ෂණයේ මහඟු ඵලයක් ලෙස නළ දරු උපත් මෙන් ම අනෙකකුගේ ජීවමාන අනුරූ වුව ද නිපදවිය හැකි ය. නමුදු භොතික මෙන් ම මානසික බැඳීම වඩාත් මතු කෙරෙන්නේ සහ හැඟෙන්නේ ස්ත්‍රී පුරුෂ සම්භෝගයේ ඵලයක් ලෙස මෙලොවට බිහිවන මිනිස් ජීවියා ය. එහෙත් එම ජීවී උපත ද දෙකොට්ඨාසයකට බෙදා හැඳින්වීම කෙතරම් දුරට අසාධාරණ ද, සදාචාරසම්පන් ද, අමානුෂික ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයට එළඹෙන්නට අප තවමත් අසමත් වී ඇත. එනම් ‘‘සහජාත’’ සහ ‘‘අවජාත’’ යන නාමකරණයට ලක් කිරීම ය. විද්‍යාව සහ තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පැවතිය ද මෙම ගැටලුව සඳහා මෙතෙක් විසඳුම් සොයාගෙන නොමැත. අනාගතයේ දී විසඳුමක් සොයාගනිතැයි ද විශ්වාස කළ නොහැකි ය. නමුදු මිනිසුන් ලෙස අප මෙම පැනයට ස්ථිර විසඳුමක් සොයාගත යුතු ම ය. එසේ නොවන සමාජයක් අනෙක් සියලු අංගවලින් පරිපූර්ණ වුව ද ඵලක් නොමැත.



මා මෙහි දී අදහස් කරන්නේ ස්ත්‍රි පුරුෂ සම්භෝගයකින් අනතුරුව මෙලොවට බිහිවන ඕනෑම මිනිස් ජීවියෙකුට අනෙක් මිනිස් ජීවින්ට හිමි විය යුතු සියලු අයිතිවාසිකම් හිමි විය යුතු ය යන්න ය. එසේ නොමැතිව අදාළ මිනිස් ජීවියා ‘‘සහජාත’’ ය ‘‘අවජාත’’ ය යනුවෙන් බෙදා වෙන් නොකළ යුතු ය යන්න ය.

වින්යා මැණිකේ කිවිඳිය ‘‘ඉරුණි සුදු කමිස’’ නමැති කාව්‍ය නිර්මාණය තුළින් ඉදිරිපත් කරන්නී යට සඳහන් කළ බෙදා වෙන් කිරීමේ ප්‍රතිඵලය යි. එය මිනිස් සමාජයේ නොපැවතිය යුතු ක්‍රියා පිළිවෙතකි; මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ක්‍රියාදාමයකි.

දසුනින් උණුසුම් ව
විසල් වූ ඇස් දෙකක
දාරක ප්‍රේමයේ දුම් වළලු
පාවෙමින

ගොඩවදින්නට මත්තෙන්
එබැවින් ගෙයි දොරකඩට ම
අවවාද කන්දක්
නාය යන්නට සැරසුණි

ජාතක පොතෙත් නැති
අවජාතකය ගැන
පංතියේ එකෙක් දෙන්නෙක්
ලාලසාවකි

විලීනව ඉවසුම්
සතුටින් සිටි වගට පැලඳි
යකඩ වෙස් මුහුණු ගැලවිණි

දෙවන වරටත්
තුවාලයක මුව විවරව
සුදු කමිසය පෙඟී
ඉරි තිබුණි


මෙම නිර්මාණය තුළින් කියැවෙන්නේ නිර්මාණය උපුටා දැක්වීමට පෙර සඳහන් කළ ඛේදවාචකයේ ම එක් පැතිකඩකි. මෙහි පදයෙන් පදය විසංයෝජනය නොකළ ද සමස්ත නිර්මාණයෙන් කියැවෙන සිද්ධි දාමය පැහැදිලි ය.

‘‘මගේ ඔසු පිරි ඔරුව හොරු ගෙන’’ තරම් ම නොවුණ ද මෙම නිර්මාණයේ දී ද කිවිඳිය අදාළ සිද්ධිය කවියට නැගීමේ දී ඇගේ කවිතාව ප්‍රකට කරන්නී ය. ඒ, නිර්මාණය සඳහා සරල සුගම වදන් උපස්තම්භක කරගන්නා අතර ම අවම පමණින් හෝ ව්‍යංගාර්ථ, වක් බිණුම් සහ වක්ක්‍රෝක්ති භාවිත කිරීම ය.

‘‘දාරක ප්‍රේමයේ දුම් වළලු’’, ‘‘අවවාද කන්ද’’, ‘‘යකඩ වෙස් මුහුණු’’ යනාදි රූපක මෙන් ම ‘‘ලාලසාව’’, ‘‘විලීනව’’ නමැති විදග්ධ වදන් ද ‘‘තුවාලයක මුව විවරව’’, ‘‘සුදු කමිසය පෙඟි ඉරී තිබිණ’’ යනාදි ව්‍යංගාර්ථ ඊට නිදසුන් සපයයි. මෙම ව්‍යංගාර්ථයෙන් අවජාතක යැයි ගැරහුමට ලක් වු දරුවා එතෙක් ඉවසා දරාගෙන සිටි මානසික පීඩනය පුපුරවා හැරි බවට ද ඉඟියක් සැපයේ; ඔහුගේ පිරිසිදු චරිතය අපිරිසිදු කරගත් බව ද ප්‍රකට කෙරේ.

අවජාතකයකු ලෙස සමාජයේ විවිධ ගැරහුම්, අපවාදවලට ලක්වෙන දරුවකු වැඩිහිටියන් විසින් දෙන ලද අවවාද නොතකා පාසලේ දි කිසියම් ගැටුමකට මැදිහත්ව තුවාල ලබා නිවසට පැමිණීමේ සිද්ධිය ඉතා මනරම් ආකාරයට කවියට නගන්නට කිවිඳිය සමත්වන්නි ඇගේ කවිතාව ප්‍රකට කරමිනි.

‘‘නාඳුනන මන්දාකිනි’’ නිර්මාණ සමුච්චයේ මා වඩාත් ම ප්‍රිය කරන නිර්මාණය වන්නේ ‘‘අදිසි මිනිසෙක් නිදයි’’ නමැති නිර්මාණය යි. එම නිර්මාණයේ යටි පෙළ ද මැනවින් වටහාගත හැකි ය. නමුදු එහි මගේ විඳීමට බාධා කරන වාතාවරණයක් ද පවතී. එය ජයගැනීමට කිවිඳියට නොහැකි යැයි මම විශ්වාස නොකරමි. නමුදු ඇය එය ජයගන්නට සමත් නොවන්නී ය. මෙලෙස සිදුවන්නේ භාෂාවේ පවත්නා ඇතැම් ව්‍යාකූලත්වය හේතුවෙනි.

මෙම නිර්මාණයේ ‘‘මිනිසෙක්’’ සහ ‘‘බෝනික්කකු’’ යනුවෙන් වදන් දෙකක් අන්තර්ගත ය. මෙහි දී ‘‘මිනිසා’’ යනු ස්ත්‍රි ලිංග පදයක් ද, පුරුෂ ලිංග පදයක් ද යන්න නිවැරරැදිව නිර්වචනය කළ නොහැකි ය. ‘‘මිනිසා’’ යනු පොදු වදනකි. ලිංග බේදය අනුව බෙදෙන විට එය පුරුෂ සහ කාන්තා වශයෙන් හැඳින්වේ. එමෙන් ම ‘‘බෝනික්කිය’’ යැයි භාවිත නොකෙරේ. වඩාත් භාවිත කෙරෙන්නේ ‘‘බෝනික්කා’’ යනුවෙනි. මෙහි දී යම් පුද්ගලයෙකු  මෙබඳු ප්‍රශ්නයක් නැගිය හැකි ය. එනම්, හෙන්රික් ඉබ්සන්ගේ The Doll House නාට්‍ය ‘‘බෝනිකි ගෙදර’’ යනුවෙන් නම් කළේ ඇයි ද යනුවෙනි. සැබැවින් ම එය ප්‍රශ්නයකි. මන්ද Doll හෝ dolly යන වදන් දෙකෙන් ම අර්ථ ගැන්වෙන්නේ බෝනික්කා යනුවෙනි. නමුදු ගොඩගේ සදාර්ථවාහිනි ශබ්දකෝෂයේ Doll සහ dolly වදන් දෙකම අර්ථ ගැන්වෙන්නේ ස්ත්‍රී ලිංග පද වශයෙනි. එහි සඳහන් වන්නේ මෙසේ ය.

Doll, dolly (ඩෝල්, ඩොලී) =  බොනික්කා, පමණට වැඩියෙන් ඇදුමෙන් සැරසුණු රූමත් හා මෝඩ ගැහැනිය

ඉදින් බෝනික්කා යනු ස්ත්‍රී ලිංග පදයක් ද පුරුෂ ලිංග පදයක් ද යන්න නිවැරැදිව නිර්වචනය කරගන්නේ කෙසේ ද...?

මෙහි අරුත් ගැන්වෙන ආකාරයට ‘‘බෝනික්කා’’ යනු ස්ත්‍රි ලිංග පදයකි. එසේ නම් ඉබ්සන්ගේ The Doll House සිංහලයට නැගීමේ දී ‘‘බෝනිකි ගෙදර’’ යනුවෙන් නම් කළේ ඇයි.

යට දැක්වු කරුණු හේතුවෙන් ‘‘අදිසි මිනිසෙක් නිදයි’’ නිර්මාණයේ සඳහන් ‘‘බැටරි ගැලවූ බෝනික්කා’’ කාන්තාවක් ද පුරුෂයෙක් ද යන්න අරුත් ගන්වාගන්නේ කෙසේ ද?

අනෙක් පසින් ‘‘මිනිසෙක්’’ යන්න අරුත් ගන්වාගන්නේ කෙසේ ද? මිනිසා යන වදන හරිශ්චන්ද්‍ර විජේතුංග විසින් සම්පාදිත ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයේ අර්ථ ගන්වා ඇත්තේ මේ ආකාරයෙනි.

මිනිසා/මිනිහා = 1 මනුෂ්‍යයා. 2 තැනැත්තා, පුද්ගලයා 3 මිනිස් වර්ගය. 4 වැඩිහිටි පිරිමියා. 5 ස්වාමි පුරුෂයා. 6 යම් කිසි  ප්‍රමානයකට මනුෂ්‍ය බව ඇත්තා

එම ශබ්දකෝෂයේ මිනිසා හෝ මිනිහා මෙලෙස අර්ථ ගන්වා ඇති අතර ම ‘‘පුද්ගලයා’’ යන්න වෙනත් තැනක අර්ථ ගන්වා ඇතිතේ මෙලෙසය.

පුද්ගලයා/පුග්ගලයා = 1 තැනැත්තා, තනි කෙනා, පුඟුලා

මේ අනුව සලකන විට ‘‘මිනිසා’’, ‘‘පුද්ගලයා’’ සහ ‘‘පුඟුලා’’ ස්ත්‍රී ලිංග නාම පද ද පුරුෂ ලිංග නාම පද ද යන්න අපැහැදිලි ය. ඒ අනුව ‘‘අදිසි මිනිසෙක් නිදයි’’ යන්න සහ ‘‘බැටරි ගැල වු බෝනික්කකු සේ’’ යන්න විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද? බැටරි ගැලවූ බෝනික්කා යනු ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද? ‘‘අදිසි මිනිසෙක්’’ යනු ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද?



සිංහල භාෂාවේ නිපුණත්වයක් දරන ඕනැම පුද්ගලයෙකුට අවශ්‍ය නම් මෙම විග්‍රහය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකි ය. එය මගේ දැනුම මෙන් ම කාව්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා ද දායක කර ගත හැකි ය.



තත්ත්වය එසේ වුව ද කවිය විදින පුද්ගලයා හට ස්ව කැමැත්ත අනුව මෙය උපකල්පනය කරගත හැකි ය. එහි දී කවියේ අර්ථය ද වෙනස් විය හැකි ය. එබැවින් මගේ යෝජනාව වන්නේ එම දෙවදනෙහි ස්ත්‍රී පුරුෂ භාවය එසේත් නොමැති නම් එකී අනන්‍යතාව පැහැදිලි වන ලෙස යෙදුවේ නම් කිවිඳිය පවසන්නේ කුමක් ද යන්න නිවැරැදිව කියවිය හැකි ය යන්න ය.

මා මෙය මෙතරම් දීර්ඝ ලෙස විග්‍රහ කළේ කවිය නිසියාකාරයෙන් විඳීමට නම් එහි වදනරුත් නිවැරැදිව වටහාගත යුතු බැවිනි. කිවිඳියගේ ඉදිරි නිර්මාණවල දී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්නැයි මම ඉල්ලා සිටිමි.

මෙම නිර්මාණය පිළිබද මගේ කියවීම මෙසේ වුව ද සමස්තයක් ලෙස ගත් විට නිර්මාණ හතළිහකින් සමන්විත ‘‘නාඳුනන මන්දාකිනි’’ කාව්‍ය සංග්‍රහය තුළ මගේ වින්දනය අවදි කළ නිර්මාණ 20ක් පවතී. ඒ, මතු දැක්වෙන නිර්මාණ ය.

‘‘නුග උකුලතක නැළවිල්ල’’, ‘‘වියළි පත් පවා හාදුවක් පතයි තෙතැති දෙතොලක’’, ‘‘නාඳුනන මන්දාකිනි පවා ඇවිස්සිණ’’, ‘‘ඈ මගේ දෙව් දුව’’, ‘‘තනිව වයස්ගත වීම’’, ‘‘මතකයක් මරණයක’’, ‘‘සරුංගල් සර්පයකුට’’, ‘‘සමනලී ඉගිළුණා’’, ‘‘මහ ගෙදර මහ පපුව’’, ‘‘කුමාරයකු නොවූ ගෙම්බෙකුට’’, ‘‘ඈ ගසක් මල් මවක්’’, ‘‘පුතා ඇවිල්ලා’’, ‘‘ඔබ නොආ යුතු ව තිබුණි’’, ‘‘ඔබ වැවක් මම ගඟක්’’, ‘‘නික්මන’’, ‘‘වෙන්ටිලේටරයට පවා දුක ඇති’’ සහ ‘‘දැන් වහින්නද කල්පනා’’

මෙම කාව්‍ය සංග්‍රහයේ මා දුටු සුවිශේෂත්වය වන්නේ ලිපිය ආරම්භයේ සඳහන් කළ පරිදි බොහෝ සිද්ධිවාචක ප්‍රස්තුත කරගනිමින් කවි පබැඳි තිබුණ ද ඒ සෑම කවියක ම පාහේ සුවිශේෂී කාව්‍යලංකාර සහ කාව්‍යෝක්ති භාවිත කර තිබී ම ය. එය වර්තමානයේ ලියැවෙන වාර්තාමය කවි අභියෝගයට ලක් කර ඇත. කිසියම් සිද්ධි වාචකයක් වුව ද කවීත්වයෙන් පිරිපුන් නිර්මාණයක් කළ යුත්තේ කෙසේ ද යන්න අවබෝධ කරගැනීම සඳහා වින්යා මැණිකේ ජයසේකරගේ ‘‘නාඳුනන මන්දාකිනි’’ කාව්‍ය සංග්‍රහය ඇසුරු කරන්නැයි බිය සැක නොමැතිව ඇරයුම් කළ හැකි ය.

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/09/17  

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නාඳුනන මන්දාකිනි' යක අසිරිය - (ජයසිරි අලවත්ත) | The Leader